මැයි 21 වර්ජනයේ අඩු සහභාගිත්වය : ජන මාධ්‍ය පරාජිතවාදයක් පතුරුවා හැරීමට තැත් කරයි

කේ. රත්නායක විසිනි, 2013 මැයි 30

ලංකාවේ පලවන දිනපතා ඉංග‍්‍රීසි පුවත්පත් දෙකක් වන ඬේලි මිරර් හා දී අයිලන්ඩ් වෘත්තීය සමිති හා විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුනත් (ජවිපෙ) එක්සත් ජාතික පක්ෂයත් (එජාපය* පසුගිය සතියේ කැඳවා තිබු වර්ජනය බිඳ වැටීම සම්බන්ධයෙන් කතු වැකි දෙකක් ලියා තිබුනි. එම කතුවැකි දෙකේ අරමුන කම්කරු පන්තිය තුලත් ඊට එරෙහිවත් පරාජිතවාදයක් පතුරුවා හැරීමකි.

මිරර් පත‍්‍රය "වර්ජනය මහ ජනතාවට පරාජයක්” යයි විලාප තබා තිබූ අතර වර්ජනයේ අසාර්ථකත්වය "අසරන වූ මහජනයාගේ අපේක්ෂා භංග කල බවට” අයිලන්ඩ් අඳෝනා කියා තිබුනි. මේ පුවත්පත් කම්කරු පන්තියට මිතුරු ඒවා නො වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂට හේත්තුවී සිටින ඒවාය.

ජවිපෙ හා එජාපයත් ඒවා විසින් පාලනය කරන වෘත්තීය සමිතිත් මැයි 21 දා වර්ජනයක් කැඳවා තිබුනේ සියයට 60කින් විදුලි ගාස්තු වැඩි කිරීම ගැන වැඩ කරන ජනතාව අතර මතුවූ විරෝධයට ඇල්වතුර දමා යටපත් කිරීමට ය. මෙම වර්ජනයට රාජ්‍ය හා පුද්ගලික අංශවල කම්කරුවන්ගේ සහභාගිත්වය පැවතුනේ අතිශයින්ම අවම මට්ටමක ය.

ආන්ඩුව කම්කරුවන් වර්ජනයට සහභාගිවීම වැලැක්වීමට ද සහභාගි වන්නන් මැඩලීමට ද අවි අමෝරා ගත් නමුත් විපක්ෂ හා සමිති එම ප‍්‍රහාරයන්ට අවනත වූහ.

විදුලි ගාස්තු වැඩි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලින් එකකි. එහෙත්, පෙර නොවූ විරූ මට්ටමින් සිදු කල එම වැඩිකිරීමෙන් ඇඟවුම් කෙරුනේ ගැඹුරු අර්බුදයක ගිලී සිටින ආන්ඩුව අලුත් ප‍්‍රහාර මාලාවක් සූදානම් කර ඇති බවයි.

ඇස්පනාපිට පෙනුනු කරුනක්වන වෘත්තීය සමිතිත් විපක්ෂත් කම්කරුවන් අතර විශ්වාසභංගයට පත්වී ඇති බව පිලිගෙන මෙම කතුවැකි ලිය තිබුනි. මිරර් මෙසේ සඳහන් කලේය: "අවුරුදු 30කට 40කට පෙරාතුව වෘත්තීය සමිතිත් විපක්ෂත් කම්කරු පන්තිය හා වෘත්තීයවේදී කන්ඩායමුත් අතර ලබාගෙන තිබූ විශ්වාසය අද තියුනු ලෙස පහත වැටී ඇති බව පෙනේ... කම්කරු පන්තියේ බහුතරය වෘත්තීය සමිති තම අයිතීන් දිනා දේ යයි විශ්වාස නොකරති.”

අයිලන්ඩ් කියාසිටියේ විපක්ෂය හා වෘත්තීය සමිති හේතු ගනනාවක්ම නිසා අසාර්ථක වී ඇති බවයි. ඉන් "වැදගත්ම කරුන විශ්වසනීයත්වය බරපතල ලෙස අඩුවීම ය.” එජාප ආන්ඩුව විසින් ජුලි වර්ජකයන් නෙරපා හැරීම ද ජවිපෙ එම වර්ජනයට විරුද්ධවීම ද අයිලන්ඩ් කතුවැකියෙන් පෙන්වා දී තිබුනි.

වෘත්තීය සමිති හා විපක්ෂ කම්කරු පන්තිය ඉදිරියේ අපකීර්තියට පත්ව ඇති බව සබෑ ය. බොහෝ වෘත්තීය සමිති විපක්ෂය හා ආන්ඩුව විසින් පාලනය කෙරන අතර ඊනියා නිදහස් සමිති ද මේ දෙපාර්ශවයට ගාල්වී ධනපති පන්තියේ උපකරන ලෙස ක‍්‍රියා කරති. ජනාධිපති මහින්ද රාජපක්ෂ බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධය කම්කරු පන්තියේ වැටුප් කැටි කිරීමට, ජීවන තත්වයන්ට පහර දීමට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පාගා දැමීමට යොදා ගත්තේය. වෘත්තීය සමිති ආන්ඩුවට අනුගතවී, විපක්ෂයේ ද තල්ලූව ඇතිව තම අයිතීන් රැුක ගැනීමට අරගලයට පැමිනි කම්කරුවන් ආපසු හරවා යැවීය.

යුද්ධයට පසුව වෘත්තීය සමිති ආන්ඩුවේ යුද ජයග‍්‍රහන උද්ඝෝෂනයට හා රට ගොඩනැගීමේ ඊනියා ආර්ථික යුද්ධයට කර දුන්නේ කම්කරු අරගල දියකර දමමිනි. ඊනියා ආර්ථික යුද්ධය පෙරට දැමුවේ දැවැන්ත යුද වියදම් නිසාත් ගෝලීය අර්බුදය නිසාත් ගැඹුරු වූ ආර්ථික බර වැඩ කරන ජනයා මත පැටවීමට ය.

දූෂනය, නීතියේ පාලනයක් නැතිකම ආදිය ගැන කෙඳිරිලි නගමින්ම මිරර් හා අයිලන්ඩ් යුද්ධයට, යුද ජයග‍්‍රහන පාලියට හා ආර්ථික යුද්ධයට සහයෝගය දුන්නේය. යුද්ධය හුදෙක් එල්ටීටීඊයට එරෙහිව පමනක් නොව කම්කරු පන්තියට පහරදීමේ කොටසක් බවත් ඔවුන්ගේ සාධාරන අරගල මැඞීමට මිලිටරි බලය යොදනු ඇති බවත් ගැන අනතුරු ඇඟවුයේ සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමනි.

වර්ජනය බිඳ වැටීම හුදෙක් වෘත්තීය සමිති හා විපක්ෂය පිලිබඳ කම්කරුවන්ගේ විශ්වාසය බිඳ වැටීමක් පමනක් නො වේ. සාරාර්ථයෙන් ඉන් පෙන්නුම් කෙරෙන්නේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව මෙන්ම සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහිම කම්කරු පන්තිය තුල වැඩෙන්නාවූ විරුද්ධත්වයයි. කම්කරුවන් විසින් ම ගොඩනගා ගත් ඉදිරිදර්ශනයක් නොමැති වුවද -- එය සම්පාදනය කර දිය හැක්කේ විප්ලවවාදී පක්ෂයට පමනි -- අත්දැකීමෙන් ඔවුන් දැන සිටි කරුන නම් රාජපක්ෂගේ පොලිස් රාජ්‍යයට ද කප්පාදු වැඩපිලිවෙලට ද එරෙහිව සටන් කල හැකි ඍජු නායකත්වයක් තිබිය යුතු බවයි. වෘත්තීය සමිති ගැන අවිශ්වාසයෙන් යුතුව වර්ජන කැඳවුමට කම්කරුවන් ඇහුම්කන් නුදුන්නේ සටන් කිරීමට උවමනාවක් නොතිබූ නිසා නො වේ.

කම්කරු පන්තිය ගැන අසාරදර්ශනය වපුරමින් මිරර් මෙසේ කියයි: "මහා වර්ජනයේ අසාර්ථකත්වයෙන් වැඩි දුරටත් ශක්තිමත් කෙරුනේ සියලු පුරවැසියන්ගේ අයිතීන්ට සහ නිදහසට බාධා කරන්නාවූ මර්දනකාරී පියවර, දූෂනය අඩු කිරීමට සහ බලය අපචාරයේ යෙදීම වැලැක්වීමට ග‍්‍රාමීය පදනමින් පීඩනය යෙදවිය යුතු බවට පවතින අදහස යි.”

මිරර් අනුවේදනාවෙන් ප‍්‍රචාරය කරන්නේ කාගේ මතය ද? ගම්බද දුගීන් ගැන කිඹුල් කඳුලු හෙලමින් ඔවුන් රවටා ගෙන, කම්කරු පන්තියට එරෙහි ප‍්‍රති බලයක් ලෙස පිහිටුවා ගැනීමට ධනපති පක්ෂ ක‍්‍රියා කරති. ගම්බද දුගීන් වෙනුවෙන් හඬ නගන බව මවා පාමින් ඔවුන් ධනපති පක්ෂවලට ගැටගැසීමට ක‍්‍රියාකරන ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනෙක් කන්ඩායම් අතර වෙති. මිරර්. කතුවැකිය උඩගෙඩි දෙන්නේ මේ පක්ෂවලට ය.

"වර්ජනයේ අසාර්ථකත්වය” පෙන්නුම් කරන්නේ කම්කරු පන්තියේ අසාර්ථකත්වයක් නොව වෘත්තීය සමිතිවල බිඳවැටීමයි. මිරර් පත‍්‍රයට කම්කරුවන් ගැන හෝ ගම්බද දුගීන් ගැන කැක්කුමක් නැත. අපක්ෂපාතී වෙස්මුහුනක් දමාගෙන, මිරර් කතා කරන්නේ රාජපක්ෂ ආන්ඩුවට බෆරයක් දමා තම වරප‍්‍රසාද රැකගැනීමට පෙලෙන ධනපති කන්ඩායමක උවමනාව වෙනුවෙනි.

කලක් ධනපති පන්තිය හා රාජ්‍යය සමග කේවල් කර කම්කරුවන්ට සහන ලබා දීමට ක‍්‍රියාකල වෘත්තීය සමිති ධනපති පන්තියේ උපකරන බවට පරිවර්තනය වී ඇත. ජාතිකවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම් වී සිටි සමිති ක‍්‍රියා කලේ ජාතික රාජ්‍යයට ගැටගැසී ගෙනය. ඒවා අද කම්කරුවන් අතීතයේ දිනාගත් අයිතීන් ආපසු උදුරාගැනීමට ධනපති පාලක පන්තියට උදව් දෙති.

නිෂ්පාදනයේ ගෝලීයකරනය සියලු ජාතිකවාදී ක‍්‍රියාමාර්ග වලට වල කපා ඇත. ගෝලීයව සංවිධානය වී ඇති බහු ජාතික සමාගම් ද දැවැන්ත ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රග්ධනය ද සෑම රටක ම ආර්ථික කටයුතු අභිභවනය කර ඇත්තේ ජාතිකවාදී ප‍්‍රතිපත්තිවල පදනම් කපා හරිමිනි.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව 1977 ලංකාවේ ආර්ථිකය ලෝක වෙලඳ පොලට ගැට ගැසීම ඇරඹුවේ රට ලාභ ශ‍්‍රම තටාකයක් ලෙස ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට විවෘත කරමිනි. තම අයිතීන්ට එල්ල වුනු ප‍්‍රහාර ගැන කම්කරුවන් නොසන්සුන්වීමත් සමග ඊනියා වාම පක්ෂවලට හා වෘත්තීය සමිතිවලට 1980 ජුලි වර්ජනය කැඳවීමට බලකෙරුනි. ප‍්‍රශ්නය මතුවී තිබුනේ ජයවර්ධන ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකින් තොරව මේ ප‍්‍රහාර පරාජය කල නොහැකි ලෙසටයි. ධනපති ක‍්‍රමයට බැඳුනු ”වාම” පක්ෂ හා සමිති ආන්ඩුවට විරුද්ධව දේශපාලන අරගලයකට හරස් වෙමින් වර්ජනයේ පරාජයට පාර කැපුවේය.

අවුරුදු 30කට පසුව, ධනවාදයේ නව ගැඹුරු අර්බුදයක් මතුවී ඇති තත්වයේදී, ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනය රටක් රටක් පාසා කම්කරුවන්ගේ සමාජ ජයග‍්‍රහන උදුරගැනීමේ ප‍්‍රහාරයක්--සමාජ ප‍්‍රතිවිප්ලවයක් -- උසිගන්වා ඇත. ඔබමා ආන්ඩුව යටතේ සමාජ සේවා කපාහෙලමින් ඇමරිකාව තුල සිදු කෙරෙන්නේ මෙයයි; යුරෝපය තුල ග‍්‍රීසියේ, පෘතුගාලයේ, ඉතාලියේ ආදී වසයෙන් සිදුවන්නේ මේ සමාජ ප‍්‍රතිවිප්ලවයයි. ලංකාවේ කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ ද මේ තත්වයට යි.

ලංකාවේ විපක්ෂය හා සමිති පසුගිය වර්ජනය කැඳවමින් කයිවාරු ගැසුවේ එය ආන්ඩුව දන ගස්වන මහා වර්ජනයක් වනු ඇති බවටයි. මේ ගෝරනාඩු කම්කරුවන්ගේ ඇස්වලට වැලි ගැසීමට එල්ල කෙරුනි. ඇත්තෙන්ම නම් වර්ජනය කැඳවුයේ කම්කරුවන් අතර නැගෙන කෝපය වාෂ්ප කර දැමීමේ දැනුවත් උත්සාහයක් ලෙස ය. මේ පක්ෂවලට ආන්ඩුවේ වැඩපිලිවෙලින් වෙනස්වූ වැඩ පිලිවෙලක් නැත.

ජවිපෙ විටින්විට සමාජවාදය ගැන කරන ව්‍යාජ දෙඩවිලි එහි දක්ෂිනාංශික වැඩපිලිවෙල ආවරනය කරගැනීමට දැරෙන තැතකි. එය පදනම් වූයේ මාඕවාදය, කස්ත්‍රෝවාදය හා සිංහල දේශපේ‍්‍රමය කලතා ගත් ජාතිකවාදයක් මත ය.

අයිලන්ඩ් කතුවැකිය සුපරීක්ෂාවෙන් සඳහන් කලේ "මහජන නොසන්සුන්තාව ගොඩගැසෙමින්” පවතින බවයි. මහජනයා "විකල්පයක් නොමැති කමින් පෙලෙති. දේශපාලන හිඩැස දිගුකල් නොපවතිනු ඇත; එය වැඩි කල් නොයා පිරවෙනු ඇත. "ඒ හෝ මේ ධනපති පක්ෂයක් හිඩැස පුරවා ගොඩ ගැසෙන නොසන්සුන්තාව සුන්කර ධනපති ක‍්‍රමය රැක දෙනු ඇතැයි අයිලන්ඩ් ප‍්‍රාර්ථනා කරනවා ඇත. එහෙත්, කතුවැකියෙන් ප‍්‍රකාශයට පත් කරන්නේ විප්ලවවාදී නැගිටීමක් සිදුවනු ඇති බවට ද විප්ලවවාදී පක්ෂයක් එම හිඩැස පුරවනු ඇති බවට ද ධනපති කන්ඩායම් තුල පවතින භීතියයි.

රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව සටන් කිරීමේ දේශපාලන ක‍්‍රියා මාර්ගයක් නොමැතිව කම්කරුවන්ට හා දුගීන්ට තම අයිතීන් රැක ගත නොහැකිය. කම්කරු පන්තිය ගම්බද දුගීන්ට ද නායකත්වය දෙමින් රාජපක්ෂ ආන්ඩුව පරාජය කර සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කල යුතුය. මෙම අරගලය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසකි.

මෙම ක‍්‍රියාමාර්ගය ඉදිරිපත් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනකි. පසු ගිය සතියේ වර්ජනය බිඳ වැටීමේ මූලිකම පාඩම නම් සසප කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගීමේ තීරනාත්මක අවශ්‍යතාවයයි.

Share this article: