ශ්‍රී ලංකාවේ බෞද්ධ කල්ලියක් පල්ලිය කඩා දැමීමට තර්ජනය කරයි

Buddhist mob in Sri Lanka threatens to demolish a mosque

කේ. රත්නායක විසිනි, 2012 මැයි 08

රට තුල තියුනුවන සමාජ ආතතීන් හමුවේ ඉනාමලුවේ ශ්‍රී සුමංඟල හිමි පසුගිය මාසයේ ප්‍රකෝපකාරී මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයක් අරඹමින් තම රංගිරි දඹුලු විහාරයට සම්බන්ධ ඊනියා ශුද්ධ භූමිය තුල පිහිටි පල්ලිය කඩා දමන ලෙස බල කලේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මෙම ප්‍රතිගාමී ක්‍රියාවට සිය නිහඬ සහාය පල කලේය.

දඹුල්ලේ මස්ජුල් කයිරා පල්ලිය අවට දහසක පමන පිරිසක් අප්‍රේල් 20දා රැස්ව සිටියහ. බෞද්ධ කොඩි අතැතිව සටන්පාඨ කියමින් ඔවුහු පල්ලිය බිඳ දමන ලෙසට හඬ නැඟූහ. බෞද්ධ භික්ෂුව විරෝධතාව මෙහෙයවමින් හා නියෝග නිකුත් කරමින් සිටිනු දක්නට ලැබුනි. ඊට පෙර දිනයේ නාඳුනන පුද්ගලයෙකු පල්ලිය දෙසට පෙට්‍රල් බෝම්බයක් දමා ගැසුවේ පසු දිනයේ ක්‍රියාව ගැන අනතුරු ඇඟවීමක් ලෙසය.

මැරයින් පල්ලිය වටලන අවස්ථාවේ සිකුරාදා යාඥාව සඳහා පුද්ගලයින් 50ක් පමන පල්ලිය තුල සිට ඇත. පල්ලියේ භාරකරුවන් ආරක්ෂාව ඉල්ලා සිටි විට හමුදාව, පොලිසිය හා ඊට සම්බන්ධ විශේෂ කාර්ය බලකාය යොදවනු ලැබින. කෙසේ වුව ද භික්ෂූන් ගනනාවක්ම ප්‍රචන්ඩත්වය උසිගන්වමින් සිටියදී පවා ආරක්ෂක හමුදා පිරිස විසුරුවා හැරීමට කිසිදු පියවරක් ගත්තේ නැත.

පල්ලිය තුල සිටි පිරිසට අභ්‍යන්තරයේ කාමරයක් තුල සැඟවෙන ලෙසට උපදෙස් දුන් පොලිසිය පසුව ඔවුන්ට එම පරිශ්‍රයෙන් ඉවත්වන ලෙස දැන්වීය. මැරයින් විසිර ගියේ අප්‍රේල් 23 දින වන විට විසඳුමක් ලබාදෙන බවට ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු දුන් පොරොන්දුවෙන් පසුවය. පල්ලිය බිඳ නොදැමුවහොත් තවත් විරෝධතා ගෙන යන බවට සුමංඟල තෙර තර්ජනය කලේය. ප්‍රදේශයේ හින්දු කෝවිලක් ඉවත් කරන ලෙසට ද ඔහු බලකර සිටියේය.

වර්ගවාදී නඬය කෙරේ ආරක්ෂක හමුදා දැක්වූ සානුකම්පික ආකල්පය, විරෝධතාවයේ යෙදෙන හා වැඩවර්ජනය කරන කම්කරුවන්, තරුනයින් හා ගම්බද පීඩිත ජනතාව සමග ගනුදෙනු කිරීමේදී ඔවුන් යොදාගන්නා ප්‍රචන්ඩ ක්‍රමෝපායන්ට වඩා සහමුලින්ම වෙනස්ය. පසුගිය පෙබරවාරියේදී ආන්ඩුව ඉන්ධන මිල නැංවීමට විරුද්ධව උද්ඝෝෂනයේ යෙදුනු ධීවරයන්ට වෙඩි තැබීමෙන් පොලිසිය එක් අයෙකු මරා තවත් ගනනාවකට තුවාල සිදු කලේය.

දඹුල්ල මැර ක්‍රියාවෙන් දෙදිනකට පසුව බෞද්ධ කටයුතු ද භාරව කටයුතු කරන අගමැති දි.මු. ජයරත්න පල්ලිය වෙනත් තැනක “පිහිටුවන” ලෙසට නියෝගයක් නිකුත් කලේය. ඇමති ඒ.එච්.එම් ෆවුසි හා නියෝජ්‍ය ඇමති එම්.එල්.එම්. හිස්බුල්ලා ඇතුලු ආන්ඩුවට සම්බන්ධ මුස්ලිම් නායකයින් සමග සාකච්ඡා කර තමා ඔවුන්ගේ අනුමැතිය ලබාගත් බව හෙතෙම කියා සිටියේය. ඔහෙත් ඔවුහු “එය අමු අමුවේ ගොතන ලද බොරුවක්” බව කියා සිටිමින් තමන් අගමැති හමුවූ බව ප්‍රතික්ෂේප කලහ.

ආන්ඩුවේ කොටස්කරුවන්ව සිටින මුස්ලිම් පක්ෂ මෙරට මුස්ලිම් සුලුතරය අතර වැඩී යන නොසංසුන්තාවය පිලිබඳව කැලඹීමට පත්ව සිටති. පසුගිය වසරේදී ශුද්ධ භූමිය තුල ඉදිකර ඇති බව කියා සිටිමින් අනුරාධපුරයේ පිහිටි පල්ලියක් පොලොවට සමතලා කරන ලදී. දෙමල හා අනෙකුත් සුලු ජනතාවන් මෙන්ම මුස්ලිම්වරු ද ක්‍රමානුකූලව සිදුකරන වෙනස්කම් කිරීමේ තත්වයට මුහුනදී සිටිති .

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අධිකරන ඇමති රවුෆ් හකීම් අප්‍රේල් 30දින රාජපක්ෂ හමුවී ඔහුගේ මැදිහත්වීම ඉල්ලා සිටියේය. “ආරවුල පාලනයෙන් පිට නොයන බවට හා මතභේදයට තුඩුදී ඇති ප්‍රශ්නය කිසිදු පුද්ගලයෙකුගේ හෝ ජනතාවකගේ අවශ්‍යතාවන්ට හානියක් නොවන පරිදි විසඳන බවට” රාජපක්ෂ හකීම්ට සහතික විය.

දඹුල්ල, අනුරාධපුරය, පොලොන්නරුව හා මහනුවර යන පැරනි බෞද්ධ මධ්‍යස්ථාන ඊනියා පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ 1982දී එවකට එක්සත් ජාතික පක්ෂයේ අගමැතිව සිටි රනසිංහ ප්‍රේමදාස විසිනි. මෙම තීන්දු, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව 1983දී පුපුරා ගිය සිවිල් යුද්ධය අවධිය තුල ද කෙරීගෙන ගිය, දෙමල ජනතාවට හා අනෙකුත් සුලු ජාතීන්ට එරෙහි වර්ගවාදී ‍ප්‍රකෝපකරනයන් මාලාවක කොටසක් විය.

දඹුල්ල පල්ලියේ භාරකරු එම්. රාමතුල්ලා හා අනෙකුත් මුස්ලිම් නායකයෝ සිය පූජා ස්ථානය ගොඩනඟා ඇත්තේ බෞද්ධ පන්සල් බිමක බවට පලවන ප්‍රකාශ ප්‍රතික්ෂේප කලහ. එය 1960 ගනන්වල මුල් භාගයේ පටන් එහි තිබුනු බවත් එය ඉදිකිරීමට කිසිදු අවසරයක් අවශ්‍ය නොවුන බවත් රාමතුල්ලා ප්‍රකාශ කලේය.

ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතනයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රකාශ කර ඇත්තේ, “පුජා භූමි” ප්‍රකාශයට පත්කිරීමට බලය පවරන කිසිදු විශේෂ නීතියක් ඇත්තේ නැති බවයි. රාජපක්ෂ ආන්ඩුව 2011 ගෙනා පනතකින් පෞද්ගලික දේපලක් “පූජා භූමියක්” හා “සංරක්ෂිත ප්‍රදේශයක්” ලෙස ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ලබා දුන්නේය. එම සංවිධානය එම නීතියට අධිකරනය හමුවේ අභියෝක කල නමුත් පසුව ඉල්ලා අස්කර ගන්නා ලදී.

මුස්ලිම් පල්ලි වලට හා හා හින්දු කෝවිල් වලට එරෙහි සිංහල-බෞද්ධ අධිපතිවාදීන්ගේ අලුත්ම ව්‍යාපාර, ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝග ක්‍රියාත්මක කිරීම මගින් නිර්මානය කර තිබෙන ගැඹුරු වන සමාජ ආතතීන් සමඟ බැඳී ඇත.

ආන්ඩුව සිංහල ස්වෝත්තමවාදය සමග පතුලෙන්ම බැඳී සිටියි. රාජපක්ෂ 2006දී එල්ටීටීඊයට එරෙහිව යුද්ධය යලි දියත් ක‍ර රුදුරු ලෙස කරගෙන ගියේය. එල්ටීටීඊය 2009 වසරේ ලැබූ පරාජයෙන් පසුව,ජනාධිපති විසින් ක්‍රමානුකූලව උසිගන්වන ලද සිංහල-බෞද්ධ විජයග්‍රහනවාදය තුඩුදී ඇත්තේ, අලුත් බෞද්ධ පන්සල් ගොඩනැඟීමටය. දෙමල හා මුස්ලිම් ප්‍රදේශ වල ප්‍රකෝපකාරී ලෙස ඉදිකරන සමහර පන්සල් ද ඊට ඇතුලත්ය.

ආන්ඩුවට ඇතුලත් එක් පක්ෂයක් වන්නේ, බෞද්ධ සංස්ථාපිතයේ කොටස් විසින් අධිකාරය දරන අන්තවාදී සිංහල පක්ෂයක් වන ජාතික හෙල උරුමයයි. ජාහෙඋ හා එහි ආධාරකරුවන් කතෝලික පල්ලි වලට පහර දීම ගැන කුප්‍රකටය. ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් ආගමට හරවා ගැනීම තහනම් කරන නීති සම්පාදනයෙහි ලා ඔවුන් මූලිකත්වය ගෙන තිබේ.

ජාහෙඋ දඹුල්ල මුස්ලිම් පල්ලියට එරෙහි උද්ඝෝෂනයට පිටුබලය දෙයි. ප්‍රවෘති හමුවකදී එහි නායක ඕමල්පේ සෝභිත හිමි අප්‍රේල් 20දා මැර ක්‍රියාව යුක්තිසහගත කලේය. ආන්ඩුවේ බලධාරීන් පල්ලියට විරුද්ධව පියවර ගැනීමට අසමත්ව සිටියදී “ප්‍රදේශයේ භික්ෂූන් ජනතාව සමග එක්ව වීදි වලට පැමිනියේය.” ඔහු පැවසීය.

දශක හයක් තිස්සේ සිංහල අධිපතිවාදය තුල මුල්බැගෙන ඇති මෙරට පාලක පන්තිය, සිය පාලනය නඟාසිටුවීමේ හා කම්කරු පන්තියත් ගම්බද පීඩිත ජනතාවත් බෙදාලීමේ මාධ්‍යයක් ලෙස දිවයිනේ සුලු ජන කොටස් වලට එරෙහිව වෙනස්කම් කිරීමේ පියවර නීතිගත කර තිබේ. නාමික නිදහස ලබාගත් 1948 වසරෙන් පසුව එක්සත් ජාතික පක්ෂය වහාම කලේ, දෙමල වතු කම්කරුවන් දශ ලක්ෂයකගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956දී සිංහල පමනක් නිල රාජ්‍ය භාෂාව බවට පත්කරන නීති පනවමින් ඊට විරෝධය පලකල දෙමල ජනතාවට එරෙහිව ප්‍රචන්ඩත්වය දිරිමත් කලේය. 1972 ව්‍යවස්ථාව ගෙන එමින් ශ්‍රීලනිප ප්‍රමුඛ හවුල් ආන්ඩුව අනෙකුත් ආගම් වලට ඉහලින් රාජ්‍යයේ “ඉහලම තැනට” බෞද්ධාගම ඔසවා තැබීය.

තම වී හා එලවලු සඳහා සාධාරන මිලක් හා අවශ්‍ය පහසුකම් ඉල්ලා ගොවීන් විසින් මෑතදී ගෙන ගිය විශාල විරෝධතාවන්ගේ මධ්‍යස්ථානයක් බවට දඹුල්ල පත්ව තිබීම අහම්බයක් නොවේ. යලි වතාවක් මෙරට දේශපාලන සංස්ථාපිතය, සිය පොදු පන්ති අවශ්‍යතා සඳහා වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ ව්‍යාපාරයක් වැලැක්වීමට උත්සාහ කරමින්, සිය බෙදා පාලනය කිරීමේ ප්‍රතිගාමී දේශපාලනයම වැලඳ ගෙන සිටියි.

Share this article: