දඹුල්ල නගරයේ නිවැසියන් ඉවත් කිරීමට එරෙහි උද්ඝෝෂනයක්

අප වාර්තාකරුවන් විසිනි, 2013 මැයි 28

උද්ඝෝෂනයට සම්බන්ධවූවන්ගෙන් කොටසක්

දඹුලූ විහාරය අවට නිවාස සහ කුඩා වෙලඳ සැල් කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පනවා ඇති නියෝගයට එරෙහිව මහජන උද්ඝෝෂනයක් පැන නැගී ඇති තත්වය තුල, ඊයේ, මැයි 27, දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම්වරිය විසින් නිවාස අහිමිවන්නන් ජන වාර්ගික කන්ඩායම් වශයෙන් කැඳවා පවසා ඇත්තේ 1982 ට පෙර, එනම් දඹුල්ල "පූජා නගරයක්” ලෙස නම් කිරීමට පෙර, නිවාස තනාගත් අයට පමනක් රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ලබා දෙන බවත් අන් අයට කවර හෝ වන්දි මුදලක් ලබා නොදෙන බවත්ය. මේ අනුව නිවාස අහිමිවන්නන්ගෙන් බහුතරයකට කිසිදු වන්දියක් නොලැබේ.

මේ කන්ඩායම් අතරින් වඩාත් පීඩනයට ලක්ව ඇත්තේ දෙමල ජන කන්ඩායම වන අතර මාසයක් තුල ඔවුන් අනිවාර්යයෙන්ම නිවාස වලින් ඉවත් විය යුතු බවට ලේකම්වරිය තර්ජනාත්මකව පවසා ඇත. එම නිවැසියන් එයට තම විරෝධය පල කල විට ඔවුනට බැන වැද එලවා ගත් බව වාර්තාවේ.

මුස්ලිම් ජන කන්ඩායම සමග කෙරුනු සාකච්ඡාවේ දී "මුස්ලිම් පල්ලිය කඩා ඉවත් කරනවාද?” යනුවෙන් නිවැසියකු ඇසූ ප‍්‍රශ්නයෙන් බලගතු ලෙස කුපිත වූ ලේකම්වරිය පවසා ඇත්තේ එම ප‍්‍රශ්නය එහි දී නොනැගිය යුතු බවයි. "මෙහිදී නැතිව අන් කවර තැනක අසන්නදැ?” යි නිවැසියන් වාද කරද්දී නාගරික සංවර්ධන අධිකාරියෙන් පැමින සිටි නිලධාරීන් තම අයිතීන් සඳහා තර්ක කල අය ඡායාරූප ගත කොට ඇත. එය නීති විරෝධී කි‍්‍රයාවක් බවත් එවන් කි‍්‍රයා තම ජීවිත වලට තර්ජනයක් බවත් පෙන්වා දෙමින් තමන් එයට විරෝධය පල කල විට ඡායාරූප ගැනීම ලේකම්වරිය විසින් නතර කල නමුදු ඒ වන විටත් අවශ්‍ය ඡායාරූප රැගෙන අවසන් බව නිවැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.

අනතුරුව තමාට කරන ලද තර්ජනයට සහ නීති විරෝධී ඡායාරූප ගැනීමට එරෙහිව පැමිනිල්ලක් කිරීමට නිවැසියන් දඹුල්ල පොලීසියට ගිය විට එය සටහන් කර ගැනීම පොලීසිය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. පැමිනිල්ලක් කිරීමට තමාට ඇති අයිතීන් පෙන්වා දෙමින් කරන ලද විරෝධය නිසා අවසානයේ දී පැමිනිල්ල සටහන් කර ගැනීමට පොලීසියට සිදු විය. කෙසේ වෙතත් නිවැසියන්ගේ නිවාස වලට පමනක් නොව මෙම නව වර්ධනයන් ඔවුනගේ ජීවිත වලටද තර්ජනයක් වෙමින් පවතින බව පැහැදිලිය.

***

රංගිරි දඹුලු විහාරය අවට "පූජා භූමියේ” ඒ-9 මාර්ගය දෙපස හා ඒ අවට නිවාස 44ක්, මැයි 26 වන දිනට පෙර, කඩා ඉවත් කරගත යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය (යූඩීඒ) විසින් කරන ලද නියෝගයට එරෙහිව ඒකාබද්ධවූ 350ක් නිවැසියෝ ”අපේ ගෙවල් අපට දියව්” යන සටන් පාඨය යටතේ පසුගිය මැයි 19 දා කන්ඬලම හන්දියේදී පිකට් උද්ඝෝෂනයක් පැවැත්වූහ.

කෙටි දැනුම් දීමකින් පසුව පසුගිය අපේ‍්‍රල් 24 වන දින හමුදාව හා පොලිසිය සමග පැමිනි නාගරික සංවර්ධන අධිකාරිය තවත් නිවාස 15ක් බුල්ඩෝසර් කර පොලොවට සමතලා කල අතර එම නිවැසියන් ද උද්ඝෝෂනයට එක්ව සිටියහ. මෙය සිදුවූයේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ රංගිරි දඹුලු විහාරයට පැමින එහි අධිපති ඉනාමලුවේ ශී‍්‍ර සුමංගල හිමි හමුවී දින හතරකට පසුව බැවින් නිවාස කඩා ඉවත් කෙරුනේ ඔහුගේ අනුමැතිය මත විය හැකි යයි ප‍්‍රදේශවාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැවසූහ.

නිවාසවලින් පලවා හැරීමේ තර්ජනය ආරම්භ වූයේ 2012 අපේ‍්‍රල් 20වන දින එම ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියට ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමග ය. රාජපක්ෂ ආන්ඩුවේ පූර්න පිටුබලය සහිතව සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් ගෙන යන මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයේ කොටසක් ලෙස විහාරයේ අධිපති භික්ෂුවගේ නායකත්වයෙන් මෙම ප‍්‍රහාරය එල්ල කෙරුනු අතර බෞද්ධ කටයුතු ද භාරව සිටි අගමැති දි. මූ. ජයරත්න පල්ලිය වෙනත් තැනක "පිහිටුවන” ලෙසට නියෝග කලේය. එහෙත් මහජන විරෝධය හමුවේ එය කි‍්‍රයාත්මක වූයේ නැත.

මෙම වර්ගවාදී උද්ඝෝෂනය නො තකා ම, සිංහල, දෙමල හා මුස්ලිම් දුගී ජනයා මෙම අරගලයේදී ඒකාබද්ධව සිටිති. මොවුන් සතුව ඇති කුඩා කඩ කාමර බොහොමයක් පොල් අතු හා සෙවිලි තහඩු වලින් යුත් පැල්පත්ය. ස්ථිර රැකියාවන්හි නියුතු කිහිප දෙනෙක් හැරෙන්නට වැඩි පිරිසක් දෛනික කුලී වැඩවල නිරත වෙන අතර ඇතැම් දෙනා සුලු වෙලඳාම්වල යෙදෙති. මෙහි ජීවත්වන දෙමල ජනතාවගෙන් බොහොමයක් තම ජීවිතය ගැට ගසා ගනු ලබන්නේ දඹුල්ල වෙලඳ සංකීර්නය හා නගරයේ ශුද්ධ පවිත‍්‍ර කිරීමේ වැඩ වල නිරත වෙමිනි.

"පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා”, ඔක්තෝබර් මාසයේ අවසානයට පෙර තමා පදිංචි නිවාස කඩා ඉවත්කරගත යුතු යැයි නාගරික සංවර්ධන අධිකාරිය මෙම දුගී පවුල් වලට නියෝග කර ඇත්තේ 2012 සැප්තැම්බර් 24 දා නිකුත් කල ලිපියකිනි. මහජන විරෝධය හමුවේ එම නියෝගය කි‍්‍රයාත්මක නොවුනි. එක් පවුලකට පර්චස් 10ක බිම්කඩක් වෙන්කර දී ඇති බව එම ලිපියෙන් දැනුම්දී තිබුන ද එය අමූලික ප්‍රෝඩාවකි. එසේ වෙන්කර ඇතැයි පැවසූ ඉඩම දැන් සංචාරක හෝටලයක් ඉදිකිරීම පිනිස ලබාදී ඇති බව ප‍්‍රදේශ වාසීහු පවසති.

පසු ගිය ආන්ඩු විසින් අරඹන ලදුව රාජපක්ෂ ආන්ඩුව යටතේ වේගයෙන් කි‍්‍රයාවට දැමෙන ඊනියා පූජා භූමි සංවර්ධනය රට තුල ආගමික ආතතීන් අවුලුවා තබා ගැනීමේ වැඩ පිලිවෙලක කොටසකි. 1948 පටන් දෙමල විරෝධී වර්ගවාදය කම්කරු පන්තිය බෙදීමේ විසකුරු අවියක් ලෙස යොදා ගත් සිංහල පාලක ප‍්‍රභූව, බෞද්ධාගම උත්කර්ෂයට නංවා අනෙකුත් ආගම් වලට එරෙහි වෙනස්කම් ද ඊට එකතු කර ගත්හ. දැන් එය ආන්ඩුවේ ආයෝජන වැඩ පිලිවෙලට ගැට ගසා ගෙන ඇත.

දඹුල්ල ”පූජා භූමි සංවර්ධන” ව්‍යාපෘතිය යටතේ නිවාස ඉවත් කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසන නමුදු කි‍්‍රයාවට නැගෙමින් පවතින්නේ දිවයින මධ්‍යයේ පිහිටි ප‍්‍රධාන මංසන්ධියක් වන දඹුල්ල නගරය විදේශීය සංචාරකයින් හා ආයෝජකයින් ආකර්ශනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ සැලසුමයි.

රටේ ප‍්‍රධාන නගරවල භුමි භාගයන් ආයෝජකයින්ට පවරා දීමේ ”නගර සංවර්ධන ව්‍යාපෘතිය” යටතේ දුගී ජනයා නගර වලින් පලවා හැරීම ආන්ඩුවේ පිලිවෙත වන අතර එය ආරම්භ කෙරුනේ කොලඹ නගරයෙනි. කොලඹ නගරය ආසියාකරයේ ප‍්‍රධාන වෙලඳ මධ්‍යස්ථානය බවට පත්කිරීමේ සැලසුම් යටතේ පවුල් 70,000 ක් ඉවත් කිරීමට නියමිතය. කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් ඉන්දියාවේ ටාටා සමාගමට දැනටමත් පවරා දී ඇත. නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොලඹ නගරයේ දුගී නිවැසියන් සිය ගනනක් හමුදාව යොදා ඉවත් කරනු ලැබුවේ ඔවුනට උන්හිටි තැන් අහිමි කරමිනි.

ජනාධිපති රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමින් නිවාස ඉවත් කිරීමේ වැඩ පිලිවෙල තම සහෝදරයාවන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට භාර දී ඇත. අපේ‍්‍රල් 24 දින දඹුල්ලේ ද, කොලඹ ප‍්‍රදේශයේ ඊට ප‍්‍රථම ද නිවාස පොලවට සමතලා කරනු ලැබුවේ මහජන විරෝධය මඩිමින් හමුදාව සහ පොලීසිය යොදවා ගනිමිනි.

පරම්පරා ගනනක් එම ඉඩම්වල පදිංචිව සිටින දඹුල්ල නිවැසියන්ගෙන් එක් අයෙක් තම විරෝධය පල කරමින් මෙසේ පැවසීය. "මේවා අපේ පාරම්පරික ඉඩම්. මම පසුගිය ගානෙම හිටියේ ඉස්පිරිතාලෙ. මගේ උගුරෙ පිලිකාවක්. හරියට කතා කරන්නත් බැහැ. ඒ අතර තමයි පසුගිය 24 වෙනි දා රාත‍්‍රියේ මගේ නිවස බිමට සමතලා කර තියෙන්නේ. මේකෙ තිබුන රේඩියෝ එක වගේ වටිනා බඩු අරන් ගිහින්. මේවා අපරාධ. දැන් මට යන්න එන්න තැනක් නෑ.

දෛනිකව කුලී වැඩ කරන තවත් නිවැසියෙක් තම අදහස් දැක්වූයේ මෙසේය: "මගේ මව හා පියා වැඩ කලේ දඹුල්ල රෝහලේ. අවුරුදු 70කටත් වැඩි කාලයක් අපි මෙහි පදිංචිව සිටිනවා, මම ඉපදුනේත් මේ ගෙදර. රටේ මොන ප‍්‍රශ්න තිබුනත් මෙහි ඉන්න සිංහල, දෙමල හා මුස්ලිම් අය සහයෝගයෙන් ජීවත් වුනා. දැන්වූ විට පන්සලේ පෙරහැරට හා වෙනත් අවස්ථාවල ආවතේවකම් කරන්ටත් අපට යන්ට වෙනවා.”C

ඔහුගේ බිරිඳ පැවසුවේ, දේශපාලකයින් හෝ රජයේ ඉහල නිලධාරීන් ඉඩම් බෙදීමේදී හෝ වන්දි ගෙවීමේදී දෙමල අයට මෙතෙක් කිසිවක් ලබාදී නැති බවයි. "මමත් වැඩ කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ. ඊයේ වැඩ කලා. අද වැඩ නෑ. ඊයෙ දවසට ලැබුන රුපියල් 500න් අදත් ජීවත්වෙන්ට ඕනෑ.”

මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය ගැන අදහස් දැක්වූ එක් අයෙක් මෙසේ පැවසීය. "විහාරයේ හිමිනම මුස්ලිම් විරෝධයක් අවුස්සන නමුත් අපි එයට විරුද්ධයි. මුස්ලිම් අයට තමන්ගේ ආගම ඇදහීමට ඇති අයිතිය අප පිලිගන්නවා. මේ ප‍්‍රශ්නයට අප මුහුන දෙන්නේ ජාති, ආගම් භේදයකින් තොරවයි."

තවත් නිවැසියෙක් මෙසේ පැවසීය. "අපි 1997 වසරේ මේ පලාතට පැමින කඩය කුලියට ගත්තා. පසුව මුදල් ගෙවා ඔප්පුවකින් කඩය පවරා ගත්තා. දැන් කියනවා 1982 ඇතිකල පූජාභූමි පනතෙන් පසුව ලබාගෙන ඇති දේපල අයිතිය නීත්‍යානුකූල නොවන බව. දැන් අපිට සිදුවෙලා තියෙන්නෙ පාරට බහින්නයි.”

ආන්ඩුවේ හෝ විපක්ෂයේ කිසිදු දේශපාලකයෙක් ගැන විශ්වාසයක් නැති බව පැවසූ තරුනයකු කියා සිටියේ ඔවුන් කිසිවෙකුත් තම ප‍්‍රශ්නය ගැන කතා කරවත් නැති බවයි. "අප පැවත්වූ පිකට් උද්ඝෝෂනයෙන් පසුව දෙවතාවක් රහස් පොලිසියේ නිලධාරීන් පැමින ලමුන් ද ඇතුලු නිවැසියන්ගෙන් ප‍්‍රශ්න කර තිබුනා. මෙය පැහැදිලිවම මිනිසුන් බියවැද්දීමක්. ජීවත්වීමට හා ඒ සඳහා උද්ඝෝෂනය කිරීමට සෑම කෙනෙකුටම අයිතියක් තිබෙනවා.”

"මේ දවස්වල පෙරහැර පැවැත්වෙනවා. අපට යමක් සොයාගන්න තියෙන දවස්. කොහොම උනත් දැනට අපට පවසා ඇත්තේ 26 දිනට පෙර ඉවත් විය යුතු බවයි. ඉවත් කරන්න ආවොත් අපි මරාගෙන මැරෙන්න ලෑස්තියි.”

තවත් අයෙක් කියා සිටියේ ජනාධිපති පැමින පන්සලේ නායක හිමිනම හමුවී දින තුනකට පසුව ගෙවල් කැඩීම ආරම්භ කිරීම කුමන්ත‍්‍රනයක් බවයි. ඔහු තවදුරටත් පැවසුවේ "පසුගිය අවුරුද්දේ මෙන්ම මෙවර ද මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයක් ගැන ආරංචි පැතිර ගියා. එවැන්නක් වැලැක්වීම සඳහා නිවාස කඩන බවට ජනාධිපතිගෙන් හාමුදුරුවන් වෙත පොරොන්දුවක් ලැබුනාදැයි සැකයක් මතු වෙන” බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියාවට දමනු ලබන ආයෝජකයන් හා විදේශීය සංචාරකයන් දිවයිනට කැඳවා ගැනීමේ ව්‍යාපෘති ඇතුලු සමස්ත ආර්ථික පිලිවෙතට එරෙහි කිසිදු විකල්ප ආර්ථික වැඩපිලිවෙලක් එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුනට ඇත්තේ නැත. කොලඹ නිවැසියන් පලවා හැරීමට කොලඹ මහ නගර සභාවේ එජාප නගරාධිපති මුසම්මිල්ගේ පූර්න සහයෝගය ලැබී ඇත්තේ ද දඹුල්ල නිවැසියන්ගේ ප‍්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වීමට මෙම පක්ෂ කිසිවක් ඉදිරිපත් නොවුනේ ද එබැවිනි.

Share this article: