විදුලි බිලට දුන් ඊනියා සහනය ජනාධිපති රාජපක්ෂගේ දේශපාලන උපාමාරුවක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2013 මැයි 7

වැඩිකල විදුලි බිල අඩුකර, ජනතාවට "සහනයක්" ලබා දෙන බව ආන්ඩුවේ මැයි රැලියේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනය කලේ ය. රාජපක්ෂගේ ඊනියා සහනය වැඩිකල විදුලි බිලට එරෙහිව පුලුල්ව වර්ධනය වන විරෝධය යටපත් කර ගැනීමේ ඇස්බැන්දුමකි.

දෙසතියකට පෙර ආන්ඩුව සියයට 60 ඉක්මවා විදුලි බිල වැඩි කලේ ය. නව සංශෝධනයට අනුව ඒකක 60 දක්වා ගාස්තු වැඩිවීමක් සිදු නොවන නමුත්, ඉන් එහාට කර ඇත්තේ ප්‍රෝඩාවකි. ඒකක 60 සිට 180 දක්වා රුපියල් 10න් ඉන්ධන ගැලපුම් ගාස්තුව අඩු කිරීමත් 60, 90 ආදී වසයෙන් පවතින කඩඉම් සීමාව ඉක්මවන ඒකක 5ක් දක්වා මිල සහනයක් හැර වැඩිකල ගාස්තුවල අඩු කිරීමක් සිදු වී නැත. ඒකක 180න් එහාට වැඩිකල ගාස්තු ඒ ආකාරයට ම ක්‍රියාත්මක වෙයි.

විදුලි බිල වැඩි කිරීමෙන් සිදුවන නිෂ්පාදන වියදම ඉහලයාම හා පහත වැටෙන ලාබ පියවා ගැනීම සඳහා කර්මාන්තකරුවන් හා ව්‍යාපාරිකයන් විසින් රැකියා, වැටුප් හා සේවක ප්‍රතිලාභ කප්පාදුව හා භාන්ඩ හා සේවා මිල ඉහල දැමීම සිදු කරනු ඇත. ඒ නිසා පොදුවේ ගත්කල මොනම සහනයක් වත් රාජපක්ෂගේ විදුලි බිල අඩු කිරීමෙන් කම්කරු පන්තියට නොලැබෙනු ඇත.

විදුලි බිල වැඩි කලේ "ආර්ථික කඩා වැටීමකින්" රට බේරා ගැනීමට බව අප්‍රේල් 22 මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවක දී රාජපක්ෂ ප්‍රකාශ කලේ ය. රටේ "වේගවත් ආර්ථික සංවර්ධනයක්" ගැන දිගටම පම්පෝරි ගහන තත්වයක් තුල ආර්ථික කඩා වැටීමක් ගැන රාජපක්ෂ හදිසියේ ම කතා කිරීමෙහි නිශ්චිත අර්ථයක් ඇත: එනම් රට ලොකු අර්බුදයකට වැටී ඇති නිසා කම්කරු පන්තිය ප්‍රමුඛ වැඩකරන ජනයා එහි බරට කර ගසමින් භාන්ඩ හා සේවා මිල ඉහල දැමීම, පඩි වැඩි නොකිරීම, සමාජ සහනාධාර කැපීම ඇතුලු ආන්ඩුවේ ආර්ථික කප්පාදු පිලිවෙත් පිලිගත යුතු බව අවධාරනය කිරීම ය.

සංවර්ධනය ගැන රෝස පාට පින්තූරයක් මවා පාමින් අර්බුදයක් නැතැයි පෙන්වීමට තතනන නමුත්, රාජපක්ෂ ආන්ඩුව බරපතල ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින බව සැබෑවකි. එහෙත් ඊට කම්කරු පන්තිය වගකිව යුතු නැත. ලංකාව වෙලාගෙන ඇත්තේ ලෝක ධනවාදී පද්ධතියේ ගැඹුරුවන අර්බුදය යි. එහි බර කම්කරු පන්තිය මත පැටවීමට රාජපක්ෂ ආන්ඩුවත්, ලෝකයේ සෙසු ධනපති පාලක පන්තීනුත් සිය ආර්ථික පිලිවෙත බවට පත් කරගෙන තිබේ.

ආන්ඩුව දැවැන්ත නය කන්දරාවකට කර ගසා සිටින අතර රාජ්‍ය ආයතනවල අලාබය ඉහල යාමට පටන් ගෙන ඇත. ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම), තෙල් සංස්ථාව, ආන්ඩුවේ බස් සමාගම් හා ගුවන් සමාගම් එසේ අලාබ ලබන ප්‍රධාන ආයතන වේ. ලංවිම සහ තෙල් සංස්ථාවේ අලාබ පියවෙන ආකාරයට තෙල් මිල සහ විදුලි බිල "ස්වයංක්‍රීයව සැකසෙන මිල සූත්‍රයක්" සකසන ලෙස පෙබරවාරි මාසයේ ලංකාවට පැමිනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝජිත කන්ඩායමේ ප්‍රධානී ජෝන් නෙල්ම්ස් ආන්ඩුවට උපදෙස් දුන්නේ ය. පාඩු පියවා ගැනීම සඳහා මෙම ආයතන කඩිනමින් ප්‍රතිව්‍යුහගත කල යුතු බව එම නියෝජිත පිරිස යලි අවධාරනය කර තිබේ.

පුද්ගලීකරනය හා ප්‍රතිව්‍යූහකරනය පසුගිය දශක දෙක තුල රාජ්‍ය ආයතනවල අර්බුදය වඩාත් උග්‍ර කලේ ය. විදුලි උත්පාදනය පුද්ගලික නිෂ්පාදකයන්ට දීම ඇරැඹුනේ 1990 දශකයේ ය. ලංවිම පුද්ගලීකරන පනත එජාප ආන්ඩුව විසින් 2002 දී ගෙන ආ නමුත් සේවක විරෝධය නිසා තාවකාලිකව පසෙක තැබීය. රාජපක්ෂ ආන්ඩුව, 2009 අප්‍රේල් මාසයේ දී ලංවිම වෘත්තීය සමිතිවල ද සහයෝගය ඇතිව පනත සම්මත කර ගත්තේ ය. පුහු විරෝධතාවකට කම්කරුවන් කොටුකල ලංවිම සමිති නායකයෝ පනත සම්මත වූ පසු එය ද අතහැර දැමූහ.

ලංවිම අංශ පුද්ගලීකරනය යටතේ ජනතාව මත පැටවෙන බර වැඩි වී ධනපතියන්ගේ ලාබ මඩි වඩ වඩා තරවීමට පටන් ගෙන ඇත. එල්ටීඅයි හෝල්ඩින්ග් කම්පනි, එල්ටීඅයි ට්‍රාන්ස්පෝමර්ස්, එල්ටීඅයි ගැල්වනයිස්, ලංකා ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට්ස් සහ එල්ටීඅයි එනර්ජි ඇතුලු ලංවිමට විවිධ සේවාවන් හා විදුලිය සපයන පුද්ගලික සමාගම් 14ක් දැනට තිබේ. ලංවිම අධ්‍යක්ෂවරු මේ සමාගම්වල ද අධ්‍යක්ෂ තනතුරු දරන අතර සේවාවන් හා සැපයීම් මිල දී ගැනීමේ දී සමාගම් නියම කරන මිලට ඒවා ගැනීමට තීන්දු කරන්නේ ද ඔවුන් ම ය.

ආර්ඒඑම් රේටින් ආයතනය 2012 අගෝස්තු නිකුත් කල වාර්තාවට අනුව, 2011 දෙසැම්බර් වන විට මෙරට ඇති පුද්ගලික විදුලි උත්පාදන බලාගාර ගනන 115කි. 2000 වසරේ රටේ විදුලි උත්පාදනයෙන් පුද්ගලික අංශයේ පංගුව සියයට 10ක් විය. 2012 දී සියයට එය සියයට 43 දක්වා ඉහල නැගුනි. මෙයින් බහුතරයක් ඛනිජ තෙල් උපයෝගි කරගනිමින් විදුලිබලය උත්පාදනය කරන නිසා විදුලි ඒකකයක නිෂ්පාදන මිල බෙහෙවින් ඉහල ය. ආන්ඩුව කියන විදිහට මොවුන්ගෙන් මිල දී ගන්නා විදුලි ඒකකයක මිල රුපියල් 24 කි. විදුලිය මිල දී ගැනීම සදහා ලංවිම 2012 වසරේ දී රුපියල් බිලියන 110ක් වැය කර තිබේ.

විදුලි බිල "යම් ප්‍රමානයකට හෝ අඩු කිරීමට" ආන්ඩුවට සිදු වුයේ තම උද්ඝෝෂන නිසා ය යි එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පුරසාරම් දොඩයි.

"විදුලි බිල වැඩි කිරීමට එරෙහි හොඳින් සංගෘහිත, සාධක සහිත, තර්කානුකූල හේතු දැක්වීම්වලට ආන්ඩුව යටත් වී ඇත" යි එජාප මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියා ඇත. "ආන්ඩුවේ හිතුවක්කාර තීන්දු වෙනස් කිරීමට ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස එජාපයට පවතින හැකියාව පිලිබඳ මෙය තවත් එක උදාහරනයක්" බව ඔහු වැඩි දුරටත් කියා තිබේ.

විදුලි බිල පෙර පැවති තත්වයට පහත හෙලන තුරු "අරගලය" පෙරට ගෙන යන බව වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුව (වෘසසක) ප්‍රකාශ කර ඇත. වැඩිකල විදුලි බිල මුලුමනින් ම අහෝසි නොකොලොත් මැයි 21ට යෝජිත සංකේත මහවර්ජනය අනිවාර්යයෙන් ම කරන බව වෘසසක නායකයෙකු වන වසන්ත සමරසිංහ බදාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කලේ ය. මෙම වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුව, ජවිපෙ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජාවෘසම) හා ඇන්ටන් මාකස්ගේ නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය ඇතුලු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එකතුවකි.

කෙසේ වුව ද, එදින ම පැවති තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ "වැඩවර්ජන ක්‍රියාමාර්ගය විදුලි බිල සංශෝධනය කරන ආකාරය විමර්ශනය කිරීමෙන් පසුව" තීන්දු කරන බව ය.

හර්ෂ ද සිල්වාගේ මෙන් ම අනුර කුමාර දිසානායකගේ කතාවලින් පැහැදිලි වන්නේ ආන්ඩුවේ "සහනය" පිලිගැනීමට පක්ෂ දෙකේ ම ඇති සූදානම යි. එය අහම්බයක් නො වේ. ඔවුන්ගේ උද්ඝෝෂනයේ එල්ලය වුයේ කම්කරු පන්තියේ විරෝධය යටපත් කිරීම ය.

රාජපක්ෂගේ දේශපාලන උපාමාරුව දැනුවත්ව ම වහංගු කරන විරුද්ධ පක්ෂ සහ වෘත්තීය සමිති, ආන්ඩුවට වඩ වඩා පීඩනය යෙදීමෙන් එහි ඕනෑම තීන්දුවක් වෙනස් කල හැකි ය යි වැඩකරන ජනතාව අතර මාරක මිත්‍යාවක් වැපිරීමට ද තැත් කරති.

පසුගිය වසර කිහිපයේ අත්දැකීම් යලි මතකයට නගා ගත්තොත්, විරුද්ධ පක්ෂවල සහ වෘත්තීය සමිතිවල කෙරුවාව තේරුම් ගැනීම අපහසු නැත. අයවැය ආසන්න වෙද්දී බඩුමිල වැඩි කිරීමට එරෙහිව හා වැටුප් ඉල්ලීම් ඉදිරිපත් කරමින් මේ පක්ෂ සහ වෘත්තීය සමිති විවිධ උද්ඝෝෂන ගෙන ගියහ. ඉල්ලීම් නොදුන්නොත්, මහා වැඩවර්ජන කරන බවට වෘත්තීය සමිති ආන්ඩුවට තර්ජනය කලහ. ආන්ඩුව ඉල්ලීම් කුනු කූඩයට දමා අයවැය සම්මත කල විට ඔවුන්ගේ උද්ඝෝෂන ද නතර විය.

එජාපෙට හා ජවිපෙට ආන්ඩුවේ ආර්ථික පිලිවෙත සම්බන්ධයෙන් මුලික මතභේදයක් නැත. රාජපක්ෂ ආන්ඩුව ඊනියා මහින්ද චින්තනය යටතේ ක්‍රියාවට දමමින් සිටින්නේ ද ලෝක බැංකුවේ සහ ජාමූඅ නිර්දේශවලට අනුව ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ උත්සුකතාවන් රැකෙන පරිදි සකස් කල එජාපයේ "යලිපුබුදමු ශ්‍රී ලංකා" වැඩපිලිවෙලේ දිගුවකි. ජවිපෙ, රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමටත් ඔහුගේ "මහින්ද චින්තන" වැඩපිලිවෙලටත් සහයෝගය දුන්නේය. දැන් මේ පක්ෂ උත්සාහ කරන්නේ, තම ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර නිසා රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩකරන ජනයා අතර වර්ධනය වන අතෘප්තිය තම දේශපාලන වාසියට ගසාකෑමට ය.

විදුලි බිල වැඩි කිරීම හුදෙක් ආන්ඩුවේ හා ලංවිම බලධාරීන්ගේ නාස්තිය හා දූෂන නිසා සිදු වූවක් යයි වැඩකරන ජනයා තුල මතයක් ඇති කිරීමට මේ විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති මෙන් ම ධනපති ජනමාධ්‍ය ද නොමඳ වෙහෙසක් දරති. නාස්තිය, දූෂනය පිටු දැක, "මනා ආර්ථික කලමනාකාරිත්වයක්" ඇති කලොත් රටේ පවතින වර්තමාන ආර්ථික අර්බුදය සමනය කල හැකි ය යි ඔවුහු කියති. අතීසාරයට අමුඩ ගහන ක්‍රමයට ඉදිරිපත් කරන මේ යෝජනාවල නිස්සාරකම ඔවුන් නොදන්නවා නො වේ. ඔවුන්ගේ දැනුවත් භූමිකාව වන්නේ කම්කරු පන්තිය නොමග යවා ධනපති රාජ්‍ය ආරක්ෂා කිරීම යි.

රාජපක්ෂ දේශපාලන උපාමාරුවක යෙදුනේ විරුද්ධ පක්ෂවල සහ වෘත්තීය සමිතිවල ඊනියා උද්ඝෝෂන නිසා නො වේ; ජීවන වියදම ඉහල යාම නිසා ආන්ඩුව කෙරෙහි බරපතල අතෘප්තියෙන් පෙලෙන කම්කරු පන්තියේ අරගලයක් කිසියම් ආකාරයකින් පුපුරා ගියොත්, එවැන්නක් මේ විරුද්ධ පක්ෂ සහ වෘත්තීය සමිතිවල පාලනයෙන් පිට පැනීමට ඇති හැකියාව කෙරෙහි ඔහුත් ආන්ඩුවත් ගනන් බැලුවා නිසැක ය.

ටියුනීසියාවේ, ඊජිප්තුවේ සහ ලිබියාවේ ඇති වූ ආකාරයේ මහජන පිපිරීමක අන්තරාය ගැන ලංකාවේ ධනපති පාලක පන්තිය දැනුවත් ය.

කෙසේ වුව ද, සෙසු රටවල ධනපති පාලක පන්තීන්ට මෙන් ම ශ්‍රී ලංකාවේ පාලක පන්තියට ද අර්බුදයේ බර වැඩකරන ජනතාවගේ කරපිට පැටවීමේ ආර්ථික කප්පාදු කිරීම් සහ බඩු මිල වැඩි කිරීම හා බදු පැනවීමෙන් වැලැකී සිටීමට පුලුවන්කමක් නැත.

එනිසා, ජවිපෙ සහ වෘත්තීය සමිති කියන විදිහට ඔවුන්ගේ උද්ඝෝෂනයට බියෙන් රාජපක්ෂ "අඩියක් පස්සට ගත්තා" හෝ හර්ෂ ද සිල්වාගේ "හේතු දැක්වීම්වලට" ආන්ඩුව යටත් වූවා ද නො වේ; රාජපක්ෂ කලේ ඇස්වලට වැලි ගැසීමකි.

විපක්ෂය දැන් ආන්ඩුවේ ප්‍රචාරය කර තබාගෙන එය තොරොම්බල් කරයි. විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිතිවල කයිවාරුවලින් වැඩකරන ජනතාව නොමග නො යා යුතු ය. කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩෙමින් තිබෙන විරෝධය රුදුරු ලෙස මැඩීම සදහා යුද්ධය තුල වර්ධනය කල පොලිස් රාජ්‍ය විධික්‍රම තදුරටත් මුවහත් කරමින් ආන්ඩුව සූදානම් වන්නේ වැඩකරන ජනතාවට එරෙහි පන්ති යුද්ධයට ය.

"දැනටමත් වීදි විරෝධතා බිඳීම සඳහා පෙලපාලි මර්දනය කිරීමේ විශේෂ පොලිස් කන්ඩායම් පුහුනු කරනු ලබමින් සිටින අතර ඒ සඳහා අවශ්‍ය උපකරන ඇනවුම් කර ඇත" යි අප්‍රේල් 28 සන්ඩේ ටයිම්ස් කතුවැකිය කල එලිදරව්ව ඊට මනා සාක්ෂියකි.

Share this article: