මාතලේ සමුහ මිනීවල පිලිබඳ නඩුව: අතුරුදහන් වූවන්ගේ ඥාතීන් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කරයි

ගාමිනී කරුනාසේන සහ ඉවාන් වීරසිංහ , 2013 මැයි 22

මාතලේ සමූහ මිනීවල පිලිබඳ නඩුව මැයි 8 මාතලේ උසාවියේ දී යලි විභාගයට ගත් අවස්ථාවේ දී 1988-89 එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් මුදාහල ජන සංහාරයේ දී මාතලේ ප‍්‍රදේශයේ දී ආරක්ෂක හමුදාවන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් පෙත්සම් 13 ක් ඉදිරිපත් කරනු ලැබීය. කේ.ජී. විජේරත්න ප‍්‍රධාන පෙත්සම්කරු වන අතර ඔවුන් වෙනුවෙන් සුනිල් වටවල ඇතුලු නීතිඥ කන්ඩායමක් පෙනී සිටියහ.

පෙත්සම්කරුවන් කියා සිටියේ අතුරුදහන් වූ තම ඥාතීන්ගේ සිරුරු කොටස් සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටසැකිලි අතර තිබිය හැකි බවයි. එම භීෂන කාලය තුල අතුරුදහන් වූ 476 ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කල පෙත්සම් කරුවෝ ඞීඑන්ඒ පරීක්ෂනයක් පවත්වා සත්‍යය තහවුරු කරන ලෙස ද ඉල්ලා සිටියහ.

පෙත්සම් කරුවන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා ඔවුන් කොලඹ රහස් පොලිස් මූලස්ථානය වෙත කැඳවීමට සමූහ මිනීවල පිලිබඳ පරීක්ෂන මෙහෙයවන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පරීක්ෂක වික‍්‍රමසිංහ උසාවියෙන් ඉල්ලා සිටියේ ය. - මෙය පැහැදිලිවම පෙත්සම් කරුවන් බියවැද්දීමට ද පරීක්ෂනය යට ගැසීමට ද කල ඉල්ලීමකි -ඉල්ලීමට විරුද්ධ වූ පෙත්සම් කරුවන්ගේ නීතිඥයෝ රහස් පොලිසියේ දී කරන බිය වැද්දීම් ගැන තමන් ඉතා හොඳින් දන්නා බව උසාවියට කීහ. පෙත්සම්කරුවන් නඩුවේ පාර්ශවකරුවන් ලෙස ඇතුලත් කිරීමට චතුරිකා ද සිල්වා විනිසුරුවරිය අවසර දුන්නීය. සෙසු ඉල්ලීම් ගැන සලකා බැලීම පසුවට කල් තැබුනි.

නඩුව විභාග කෙරුන දිනයේ දී ආයුධ සන්නද්ධ ආරක්ෂක බලකායන් උසාවි භූමිය හා ඒ අවට ප‍්‍රදේශයේ සීරුවෙන් තබා තිබුනි. පොලීසිය උසාවියට ඇතුලු වන්නන් දැඩිව පරීක්ෂා කලහ. වෙනත් දිනවල දී ජංගම දුරකථන කි‍්‍රයා විරහිත කර උසාවිය තුලට ගෙන යාමට අවසර තිබූ නමුත් මෙදින දුරකථන උසාවි භූමිය තුලට ගෙන යාම සම්පූර්නයෙන් ම තහනම් කර තිබුනේ ය.

උසාවි භූමිය තුල ආරක්ෂක විධිවිධාන තර කිරීමට ආන්ඩුව පියවර ගෙන ඇත්තේ සමූහ මිනීවල සම්බන්ධ පරීක්ෂන තුලින් 1988-89 ඝාතන තොරතුරු වඩ වඩා එලිමහනට ඒමත් සමග එකල ඝාතනයට ගොදුරුවූවන්ගේ ඥාතීන් ඇතුලූ මහජනයා අතර විරෝධය යලි වර්ධනය වන තතු තුල ය.

උසාවිය අවට මහ මග රැස්ව සිටි 500ක් පමන ජනයා තම නැති වූ දරුවන් සහ සෙසු ඥාතීන්ගේ පින්තූර ප‍්‍රදර්ශනය කරමින් අතුරුදහන් වූවන් පිලිබඳව සාධාරනය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වූහ.

අප සමග කතාකල කිහිප දෙනෙකු තම ඥාතීන් අතුරුදහන් වූ ආකාරය විස්තර කලේ ඊට වගකිවයුතු ධනපති රාජ්‍යය කෙරෙහි තම කෝපයත් ඥාතීන්ගේ වියෝව ගැන වසර ගනනාවක් පුරා තම සිත් තුල කැටිකරගෙන තිබෙන අසීමිත වේදානාවත් පෙන්නුම් කරමිනි.

ගොවියෙකු වන එම්. විජේරත්නගේ සහෝදරයන් තිදෙනෙකු ම ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන් වූහ. ඔවුන් පිලිබඳව යම් සාධාරනයක් ඉටුවෙතැයි බලාපොරොත්තුවෙන් උසාවියට ආ බව ඔහු කීවේ ය.

"වැඩිමහල් සහෝදරයා කේ.එම්. අබේරත්න. එයා බැංකු ලිපිකරුවෙක්. එතකොට එයාගේ වයස අවුරුදු 33 යි. අත්අඩංගුවට ගත්තේ ගෙදර දී. ඊට පස්සේ අද වෙනකම් කිසිම තොරතුරක් නැහැ. මේවා සහගහන අපරාධ. කේ.එම්. ජයතිලක දෙවෙනියා. පෝස්ටර් අලවමින් ඉඳිද්දි වෙඩි තියල මරලා දැම්ම. එයාට අවරුදු 30 යි. ඒ දෙන්නම විවාහකයෝ,” විජේරත්න සඳහන් කලේ ය.

තව දුරටත් කරුනු දැක්වූ විජේරත්න: "කේ.එම්. සෙනෙවිරත්න බාල සහෝදරයා. අවු 22 යි. විවාහ වෙලා සිටියේ නැහැ. එලවලූ වගාව කලේ. පාන්දර 2 ට විතර ගොවි පොලේ එයා හිටිය පැල හමුදාවෙන් වට කරලා අත්අඩංගුවට ගත්ත. මට මතක තියෙන විදිහට දිනය 1989 මැයි 21 දා. මාතලේ විජය විද්‍යාලයේ කඳවුරට අරගෙන ගියා. ඊට පස්සේ වෙච්ච දෙයක් නැහැ. මේ මිනීවලේ එයාගේ ඇටකටු ඇති කියල අපට විශ්වාසයි. ඒකයි මේ පෙත්සම අපි ඉදිරිපත් කරන්නේ. නැතිවුන අපේ සහෝදරයන්ගේ අඩුව අපට හොඳට දැනෙනවා. මේ සිද්ධියෙන් අපේ පවුලම කඩා වැටුනා. දුක වාවගන්නට අමාරුයි. අපේ හිත් වගේම ශරීරත් වැහැරිලා. අපට කිසිම ආන්ඩුවකින් වැඩක්වුනේ නැහැ”

රත්තොට පල්ලේගම එම්.එම්.එස්.බී. හේරත්: "මගේ මල්ලී තිස්ස හේරත්. ක‍්‍රීඩා ගුරුවරයෙක්. වාහන වලින් ආපු පිරිසක් එයාව අරගෙන ගියා. මතක විදිහට දිනය 1989 අගෝස්තු 29. පසුව දා මල්ලීත් එක්ක හත් දෙනෙක් වෙලන්ගහවත්ත හන්දියේ ටයර් දාලා ගිනි තියලා තිබුනා. මාතලේ සමූහ මිනීවලෙන් සොයා ගත්ත ඇටකටු අතර ඒවාත් ඇති කියල සැකයක් තියෙනවා”

රත්තොට පොල්වත්තෙ පදිංචි ආර්.ජී. පොඩිමැනිකේ. "පවුලේ දරුවෝ හතක් හිටියා. එම්.ටී. ගුනසිරි පුතා 1989 ජුලි 15 හමුදාවෙන් අරගෙන ගියා. එතකොට වයස අවුරුදු 19 යි. මාතලේ විජය විද්‍යාලයේ ඉන්න බව ආරංචි වුනා. අපි බලන්ඩ ගියාට බලන්න ලැබුනේ නැහැ. පුතාගේ ඇටකටුත් මේ මිනීවලේ ඇති.”

තම වැඩිමහල් පුතුන් දෙදෙනා හමුදාවෙන් පැහර ගෙන ගොස් මරා දැමීම ගැන පසු ගිය මාසයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට දීර්ග විස්තරයක් කල කේ.ජී. කමලාවතී යලිවතාවක් අප සමග ඒ ශෝක ජනක කතාව ප‍්‍රකාශ කල අතර මෙම ඝාතන සම්බන්ධයෙන් ප‍්‍රධාන පක්ෂ දෙකේ ම, එනම් එදා බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය හා විරුද්ධ පක්ෂයේ සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කි‍්‍රයා කලාපය හෙලා දැක්කාය. එමෙන් ම ටුඬේ සිලෝන් පත්තරයේ පල කර තිබූ ඇතැම් තොරතුරු අසත්‍ය බව ප‍්‍රකාශ කල ඇය සහ ඇගේ බාල පුතා මාධ්‍යවලින් සත්‍යය එලිදරව් කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කලහ.

උසාවි පරීක්ෂනයෙන් පසු ජනමාධ්‍ය ඇමතු ජවිපෙ නායකයෙකු හා මන්ත‍්‍රීවරයෙකු වන අනුර කුමාර දිසානායක මෙය ලංකාවේ හමු වූ විසාලතම සමූහ මිනීවල බව ද ඇටසකිලිවල හිමිකරුවන්, ඝාතනය කලවුන් සෙවීම හා ඔවුන්ට එරෙහිව පියවර ගැනීම ආන්ඩුවේ වගකීම බව ප‍්‍රකාස කලේ ය. අතුරුදහන් වූවන්ගේ අනෙකුත් ඥාතීන් ට ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටි දිසානායක ප‍්‍රශ්නය යට ගැසීමට ආන්ඩුවට ඉඩ නොදිය යුතු යයි ද ජනමාධ්‍ය හා මූලික අයිතීන් ගැන උනන්දු සෙසු හැම අයෙකුම මහජනයාගේ සිවිල් අයිතීන් රැකීමට ඉදිරිපත් විය යුතු යයි කියා සිටියේ ය.

කෙසේ වුව ද, ජවිපෙ නායකයා ඇත්ත වසන් කරමින් කතා කලේ සමූහ මිනීවල මතුවීමෙන් දේශපාලන වාසියක් පක්ෂයට ලබා ගැනීම සඳහා ය. 1998-99 කාල පරිච්චේදයේ යු.ඇන්.පී. ආන්ඩුවේ රාජ්‍ය භීෂනයෙන් ජවිපෙ නායකයන් හා සාමාජිකයන් ද ගම්බද තරුනයන් 60,000 ක් පමන ද ඝාතනය කිරීමට එම පක්ෂය දේශපාලනිකව වගකිව යුතු බව යට ගැසීමට ජවිපෙ නායකයෝ නරුම උත්සාහයක යෙදෙති.

කොලඹ හා, නව දිල්ලි ආන්ඩු 1987 ජුලි මාසයේ අත්සන් කල ඉන්දු-ලංකා ගිවිසුමෙන් රට බෙදා දෙමල ජනයාට වෙනම රාජ්‍යයක් අටවා ගැනීමට ඉඩ සලසා ඇතැයි ව්‍යාජයක් පතුරුවමින් "මව් බිම රැකීමේ” නමින් දෙමල ජනයාට එරෙහිව සිංහල ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් ඇරඹු ජවිපෙ එම ව්‍යාපාරයට සහයෝගය නොදුන් දේශපාලන විරුද්ධවාදීන් ද කම්කරුවන් හා තරුනයන් ද සිය ගනනක් මරා දමමින් ෆැසිස්ට් ප‍්‍රහාරයක් උසිගැන් වූයේය. ජනාධිපති ජයවර්ධන හා පසුව ජනාධිපති වූ ආර්. පේ‍්‍රමදාස රාජ්‍ය භීෂනය උත්සන්න කිරීමට යොදා ගත්තේ මෙම ප‍්‍රහාර යි.

ජනාධිපති පේ‍්‍රමදාස දේශපේ‍්‍රමියෙකු ලෙස එකල හුවා දැක්වූ ජවිපෙ නායකයන් ගම්බද තරුනයන්ට එරෙහි භීෂනය යද්දී ම ඔහු සමග සම්මුතියකට ඒමේ රහස් කතාවල යෙදුනි.

ඝාතනයෙන් පසු යලි සංවිධානය වූ ජවිපෙ මෙම දේශපාලනය තර්කානුකූල අන්තයක් කරා ගෙන යමින් ධනපති පාලක පන්තියේ එම කොටස් සමග ම - එජාප ය, ශී‍්‍රලනිපය සහ සරත් ෆොන්සේකා ඇතුලූ මිලිටරියේ ඉහල තට්ටු - පෙල ගැසු නි. මෙම පක්ෂය දැන් ධනපති ක‍්‍රමයේ ද රාජ්‍ය යන්ත‍්‍රයේ ද විවෘත ආරක්ෂකයෙකු වී අධිරාජ්‍ය ගැති පක්ෂයක් බවට ද පරිවර්තනය වී ඇත. ඝාතනයට ලක්වූවන්ගේ අයිතීන් රැකීම ගැන දිසානකගේ කතා වංචනික ය.

මාතලේ දිස්ති‍්‍රක්කයේ ජවිපෙ සාමාජිකයෙකු අප සීඅයිඞී එකෙන් යයි බොරු ප‍්‍රචාරයක් කරමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත තොරතුරු ලබාදීම වැලැක්වීමට අසාර්ථක උත්සාහයක යෙදුනේ ය. ධනපති මාධ්‍ය සමග ඉතා කුලූපගව කටයුතු කරන ජවිපෙ ලෝක සමාජවාදී වෙබ් අඩවියට විරුද්ධ වන්නේ මෙම ජනසංහාරය සම්බන්ධයෙන් එහි දේශපාලනික වගකීම අප විසින් එලිදරව් කිරීම කෙරෙහි ඔවුන් දක්වන භීතිය නිසා ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ජවිපෙට එරෙහි මර්දනයට හා ගම්බද ඝාතනවලට එරෙහි වන අතර ම එම පක්ෂයේ වර්ගවාදය හා ධනපති ගැති දේශපාලනය එලිදරව් කිරීමට නිරන්තරයෙන් කි‍්‍රයා කර තිබේ.

Share this article: