විදේශීය සංචාරකයන් පිලිබඳ පොලිස් සෝදිසි තර කෙරේ

පානිනී විජේසිරිවර්දන විසිනි, 2013 මැයි 8

ශී‍්‍ර ලංකාවේ සංචාරක හෝටල් වල සහ නිවාඩු නිකේතනයන්හි නවාතැන් ගෙන සිටින විදේශීය සංචාරකයන් පිලිබඳ තොරතුරු සහිත වාර්තාවන් නිරතුරුව පොලීසියට ලබා දෙන ලෙස එම ආයතන කලමනාකාරිත්වයන්ට පොලීසිය විසින් පසුගිය දා නියෝග කෙරින. මෙම නියෝගය මගින් තරු පන්තියේ හෝටල් වල සිට කුඩා ලැගුම් හල් දක්වා සියලු සංචාරක නවාතැන්, "පොලිස් ප‍්‍රදේශ තුල විදේශිකයන් අධීක්ෂනය කිරීම” නමින් හඳුන්වන දත්ත පති‍්‍රකාවක් අදාල ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයට සතිපතා ලබා දිය යුතුය. සෑම සංචාරක අමුත්තෙකුගේම සම්පූර්න නම, රට, ජාතිකත්වය, වෘත්තිය, පාස්පෝට් අංකය, වීසා ලබා දී ඇති කාල පරාසය (දින වකවානු සහිතව) සහ නවාතැනට පැමිනි හා පිටවූ දින ඇතුලු සියලු තොරතුරු මෙම පති‍්‍රකාවට ඇතුලත්වේ.

වර්ෂ 1866 දී, එනම් ශී‍්‍ර ලංකාව මහා බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති සමයේ, ස්ථාපිත කෙරුනු පොලිස් ආඥ පනතේ 76 වන පරිච්ෙඡ්දය යටතේ වත්මන් පොලිස්පති විසින් මෙම නියෝගය නිකුත් කෙරුනු අතර මෙම රුදුරු අනපනත් බි‍්‍රතාන්‍ය කිරීටයට එරෙහි ඔත්තුකරුවන් අධීක්ෂනය කිරීමට හා ඔවුනගේ වැඩ කටයුතු සීමා කිරීම සඳහා එවකට යොදා ගැනින.

සිවිල් යුද සමයේ තම දිවි ගලවා ගැනීම සඳහා කොලඹට පැමිනි උතුරු හා නැගෙනහිර පලාත්වල දෙමල කතා කරන මහජනතාවට ආසන්න පොලිස් ස්ථානයේ ලියා පදිංචි වීමටත්, එම ලියා පදිංචි සහතිකය නිරතුරුව ලඟ තබා ගැනීමටත් පනවන ලද අනාඥාවන් මෙම පියවර මගින් යලි මතකයට නංවයි.

සංචාරකයන්ගේ පුද්ගලික නිදහසට බාධා කෙරෙන සහ ඔවුන් බිය වද්දන මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවර නිවේදනය කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක බුද්ධික සිරිවර්ධන අපේ‍්‍රල් 16 දින මාධ්‍යයට ප‍්‍රකාශ කලේ "සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට” මෙම තීන්දුව ගනු ලැබූ බවයි. මෙම තීන්දුව ගැනීමට පසුගිය කාල පරිච්ෙඡ්දයේ සංචාරකයන්ට එරෙහිව සිදුවුනු ඝාතනයන් සහ ලිංගික හිංසනයන් ඇතුලු අපරාධ හේතු වූ බව ඔහු තවදුරටත් ප‍්‍රකාශ කලේය.

නමුත් ආන්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක, ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මෙයට මුලුමනින්ම පරස්පර විරෝධී අදහසක් ප‍්‍රකාශ කරමින් වෙනත් මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කලේ "ජාතික ආරක්ෂාව” සලකා මෙම පියවර ගත් බවයි. "සංචාරකයන් සම්බන්ධයෙන් ගතහොත්, රටේ ආරක්ෂාවට හානිකර නිශ්චිත කොටස් සිටී”යැයි ඔහු ප‍්‍රකාශ කලේය.

මානව හිමිකම් කඩ කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව එල්ල වී ඇති චෝදනා හමුවේ අර්බුදයට පත්ව ඇති රාජපක්ෂ ආන්ඩුව රට තුල සැබෑ තත්වය ජාත්‍යන්තරයට හෙලි වීම වැලැක්වීම මෙම පියවර යටින් පවත්නා අති මූලික හේතුවයි. විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ගේ සහ මානව හිමිකම් සංවිධානයන්හි වැඩ කටයුතු ඉතා සමීපව නිරීක්ෂනය කරමින් එම වැඩ කටයුතු සීමා කිරීමට මෙමගින් ආන්ඩුව බලාපොරොත්තු වේ.

ජනාධිපති රාජපක්ෂ විසින් 2006 දී සිවිල් යුද්ධය නව වටයකින් ආරම්භ කිරීමෙන් අනතුරුව උතුරු සහ නැගෙනහිර පලාත් හි සිදු කෙරුනු රුදුරු අපරාධ වසන් කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර මාධ්‍යවේදීන්, මානව හිමිකම් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධානයන් (එන්ජී ඕ) සිදු කල වැඩ කටයුතු වලට බාධා හා තහංචි පැනවූ රාජපක්ෂ ආන්ඩුව යුද්ධයේ අවසන් භාගයේ දී එම ප‍්‍රදේශය ඉහත කී කන්ඩායම් සඳහා තහනම් කලාපයක් බවටම පත් කෙරින.

"ජාතික ආරක්ෂාව”, "රටේ ආරක්ෂාව” වැනි පද පාලකයන් විසින් නිරතුරුව යොදා ගනු ලබන්නේ ව්‍යාජ සතුරන් සහ ව්‍යාජ භීතීන් නිර්මානය කොට තම පොලිස් රාජ්‍ය සැලසුම් ඉදිරියට දැමීමටයි. රාජපක්ෂ ආන්ඩුව විසින් මෑතදී ගනු ලැබූ මෙවන් පියවර මාලාවක් මගින් පොලීසියේ අත ශක්තිමත් කෙරින. පොලිස් අත් අඩංගුවට ගත් තැනැත්තකු අධිකරනයට චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව රඳවා තබා ගැනීමේ කාලය පැය 24 සිට 48 දක්වා දීර්ඝ කිරීම ඉන් එක් පියවරකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත රාජපක්ෂ ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව වර්ධනය වන කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල මර්දනය කිරීම මෙම පොලිස් රාජ්‍ය සැලසුම් වල සැබෑ එල්ලයයි.

අනෙක් අතට තම පාලනයට එරෙහිව වැඩෙමින් පවතින මහජන මනෝ ගතිය වෙනතක හැරවීම සඳහා මෙම "ජාතික ආරක්ෂාවට එරෙහි තර්ජනය” නමැති සූත‍්‍රය ආන්ඩුව විසින් යහමින් යොදා ගනිමින් පවතී. මේ සඳහා අවශ්‍ය දෘෂ්ටිවාදාත්මක පදනම සම්පාදනය කිරීමේ වාහකය ලෙස ඊනියා බටහිර අධිරාජ්‍ය විරෝධය භාවිතා කරන ආන්ඩුව තම සහායට බොදුබල සේනා වැනි ෆැසිස්ට් සංවිධානයන් ද කැඳවා ගෙන ඇත.

බෙයිජින් සහ කොලඹ අතර වැඩෙන සබඳතාව, "ආසියාවට හැරීම” නම් වූ තම මූලෝපායට එරෙහිව පිහිටන බැවින් එක්සත් ජනපදය අනෙකුත් බටහිර බලයන් ද මෙහෙයවා ගෙන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුවට එල්ල කරන පීඩනය දඩමීමා කර ගනිමින් මෙම ඊනියා බටහිර විරෝධී උන්මාදය මුදා හැර ඇත.

බටහිර විරෝධී උන්මාදය ට අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී කොලඹ ආන්ඩුවට එරෙහිව ගෙන එන ලද යෝජනාවන්ට පක්ෂව ඉන්දියාව දෙන ලද ඡන්දය ද දෙමල ජනයා බහුතරයක් වෙසෙන දකුනු ඉන්දියාවෙන් කොලඹ ආන්ඩුවට යෙදෙන පීඩනය ද පදනම් කරගෙන වගා දිගා කරගත් "ඉන්දියානු විරෝධය” ක් ද මෙම ජාතික ස්වෝත්තමවාදය තුල ගැලතී ඇත.

කෙසේ වුවද, මෙම බටහිර විරෝධී සහ ඉන්දියානු විරෝධී උන්මාදය මෙන්ම "පොලිස් ප‍්‍රදේශ තුල විදේශිකයන් අධීක්ෂනය කිරීමේ” පියවර රාජපක්ෂ ආන්ඩුවේම ආර්ථික මූලෝපායික සැලසුම් වලට එරෙහිව පිහිටයි. සංචාරක කර්මාන්තය ආර්ථිකයේ සුවිසල් අංගයක් ලෙස වර්ධනය කිරීම එම සැලසුම් වල අත්‍යන්ත අංගයකි. ශී‍්‍ර ලංකාවට පැමිනෙන විදේශීය සංචාරකයන්ගෙන් බහුතරය ඉන්දියානුවන් සහ මහා බි‍්‍රතාන්‍යයන් වන තතු තුල මෙම බටහිර සහ ඉන්දියානු විරෝධය සංචාරක කර්මාන්තය කෙරෙහි ඍජුව බලපානු ඇත.

සංචාරකයන් සම්බන්ධයෙන් කෙරෙන මෙම දැඩි සෝදිසි ඔවුනගේ නිදහසට කෙරෙන බාධාවක් ලෙස දැක ගැනීම හේතුවෙන් සංචාරකයන් ශී‍්‍ර ලංකාවට පැමිනීමට මැලි වෙතැයි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් දැනටමත් ප‍්‍රකාශ කර ඇත. මේ අතර ශී‍්‍ර ලංකා හෝටල් සංගමයේ සභාපති ජයන්තිස්ස කෙහෙල්පන්නල සන්ඬේ ටයිම්ස් පුවත් පතට පවසා ඇත්තේ මෙම දත්ත සතිපතා සම්පාදනය කිරීම ප‍්‍රායෝගික නොවන බව හා එම දත්ත රැස් කිරීමේ අරමුන පැහැදිලි නොමැති බවයි. "ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් සංචාරකයන්ගේ පැමිනීම වාර්තා කර ගන්නා තතු තුල මෙම චක‍්‍රලේඛයේ සහ එහි අන්තර්ගතයේ අරමුන කුමක්දැයි පැහැදිලි කර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හමුවීමට සංගමය බලාපොරොත්තු වෙන” බව ඔහු පවසයි.

එක් අර්බුදයකින් ගොඩ ඒමට ගනු ලබන පියවරක් තවත් අර්බුදයක් ජනිත කිරීම මගින් පෙන්නුම් කරනු ලබන්නේමත් රාජපක්ෂ ආන්ඩුව ගිලී සිටින්නා වූ ආර්ථික හා දේශපාලන අර්බුදයේ ගැඹුර හා පරිමාවයි.

Share this article: