විසිඑක් වන දා වර්ජනයට අඩු සහභාගිත්වය වෘත්තීය සමිති සහ විරුද්ධ පක්ෂ ගැන විශ්වාස භංගත්වය පිලිබිඹු කරයි

Low turnout in Sri Lankan strike reflects no confidence in the unions and opposition

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2013 මැයි 23

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් කෙරෙහි කම්කරුවන් අතර පුලුල්ව වර්ධනය වන විරුද්ධත්වයක් පවතින නමුත් අඟහරුවාදා (21) පැවති එක් දින සංකේත වර්ජනයට සහභාගී වූයේ සීමිත සංඛ්‍යාවක් පමනි. අඩු සහභාගිත්වය මගින් ප‍්‍රකාශයට පත් වූයේ, වර්ජනය කැඳවුම් කල වෘත්තීය සමිති සහ නිල විරුද්ධ පක්ෂ ගැන කම්කරු පන්තියේ පලල් කොටස් තුල පවතින අවිශ්වාසය යි.

සියයට 60 ත් ඉක්මවා විදුලි බිල වැඩි කිරීමේ ආන්ඩුවේ තීරනයට එරෙහි වර්ජනය එක් දින සංකේත විරෝධතාවකට සීමා කරනු ලැබී ය. මෙම දැවැන්ත මිල වැඩි කිරීම කම්කරු පන්තික පවුල් මතට එල්ල කෙරුන ඍජු ප‍්‍රහාරයකි. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නිර්දේශිත ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වල එක කොටසක් පමනි.

සමාජ පිපිරීමක් ගැන ආන්ඩුව පැහැදිලිව ම බියට පත්ව සිටිති. එය වර්ජනයට විරුද්ධව බිය ගැන්වීමේ ව්‍යාපාරයක් මුදා හැරියේය: රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු නීති විරෝධීව අවලංගු කෙරුනි. වර්ජකයන්ගේ නම් ලැයිස්තු සම්පාදනය කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය රාජ්‍ය අංශයේ ආයතන ප‍්‍රධානීන්ට නියෝග කලේ ය. මෙය පෙර නොවූ විරූ පියවරකි. විදුලිබල මන්ඩලයේ කාර්යාලවට පොලීසිය යෙද වූ අතර දෙමටගොඩ දුම්රිය ස්ථානය ඇතුලු ස්ථාන කිහිපයකට හමුදාව යෙද වී ය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) විරුද්ධ යුද්ධය කාල පරිච්චේදයේ දී ආන්ඩුව සියලුම විරුද්ධත්වයන් හෙලා දැක්ක ආකාරයට, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා කැබිනට් ඇමති මෛතී‍්‍රපාල සිරිසේන වර්ජනය "දේශද්‍රෝහී” එකක් ලෙස හංවඩු ගැසුවේ ය. වර්ජනය "රට අස්ථාවර කිරීමේ” උත්සාහයක් බව සිරිසේන ප‍්‍රකාශ කලේ ය.

ඇත්තට ම නම්, එහි සංවිධායකයන් විසින් වර්ජනය කැඳවනු ලැබුවේ, වර්ධනය වන සමාජ නොසන්සුන්කම සමනය කර එය හානිකර නොවන ඇලමංවලට හරවා යැවීමට ය. ඔවුන්ගේ අරමුන වූයේ රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව අරගලයක් සංවිධානය කිරීම නො වේ; ඊට විපරීතව, ඔවුහු ආන්ඩුව සමග මොනයම්ම හෝ ගැටුමක් ඇතිවීම මග හැරීම සඳහා වර්ජකයන්ට නිවෙස්වලට වී සිටින ලෙස උපදෙස් දුන්හ. කොලඹ වරාය සහ ජල සම්පාදන මංඩලය වැනි තැන්වල වර්ජනය අවලංගු කර කෑම පැයේ පිකට් කිරීම් සංවිධානය කලහ.

වර්ජනය සංවිධානය කරනු ලැබුවේ සිංහල වර්ගවාදී හා ධනපති ගැති ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහයවනු ලබන වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුව (වෘසසක) විසිනි. දක්ෂිනාංශික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ප‍්‍රප), දෙමල ජාතික සංධානය (ටීඑන්ඒ), ව්‍යාජ වාම පක්ෂ වන නව සම සමාජ පක්ෂය (නසසප) සහ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වර්ජනයට සහයෝගය දුන්හ. මහ ව්‍යාපාරිකයන්ගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය (එජාප) වර්ජනයට සහයෝගය ප‍්‍රකාශ කල නමුත් එහි වෘත්තීය සමිතිවලට වර්ජනයට සම්බන්ධ වන්නැයි නො කීවේය.

විදුලිබල, ජල සම්පාදන මංඩලය, දුම්රිය හා බස් සේවාවන් සහ රෝහල් ඇතුලු රාජ්‍ය අංශයේ ආයතන වල වර්ජනයට සහභාගී වූයේ කිහිප දහසක් කම්කරුවන් පමනි. ආන්ඩුවේ පාසල්වල, ප‍්‍රධාන වසයෙන් ගම්බද පලාත්වල ගුරුවරු කිහිප දහසක් වර්ජනයට සහභාගී වුහ. ජයවර්ධනපුර, කැලනිය, රුහුනු සහ යාපනේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු දේශනවලට සහභාගී වීමෙන් වැලකී සිටියහ.

පුද්ගලික අංශයේ කර්මාන්තශාලා 200 සේවකයන් වැඩ වර්ජනට සම්බන්ධ වූ බව වෘත්තීය සමිති ප‍්‍රකාශ කලහ. එහෙත් දස ලක්ෂයක් පමන සේවයේ නියුක්ත වතුකරයේ හා නිදහස් වෙලඳ කලාපවල කම්කරුවන්ගේ සැලකිය යුතු සහභාගිත්වයක් නො වී ය. පොලිසිය රත්මලාන කාර්මික කලාපයේ 500ක් පමන කම්කරුවන්ගේ පෙලපාලියක් විසුරවුහ.

වර්ජනය මුලුමනින් ම සාර්ථක වූ බව ජවිපෙ නායකයෙකු හා වෘසසක කැඳවුම්කරු කේ.ඩී. ලාල්කාන්ත අඟහරුවාදා සවස ප‍්‍රකාශ කලේ ය. මෙය අවසන් අරගලය නොවන ද බව ඔහු කීවේය. නමුත් ඔහු සහ මාධ්‍යවලට කතා කල සෙසු වෘත්තීය සමිති නායකයෝ ඊලඟ පියවර කුමක් දැයි නො කීහ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතා කල කම්කරුවෝ අඩු සහභාගිත්වය ගැන වෘත්තීය සමිති නිලධාරීන්ට දෝශාරෝපනය කලහ. නුවර දුම්රිය ස්ථානයේ කම්කරුවෙකු ප‍්‍රකාශ කලේ "කිසි කෙනෙක් මෙහෙට ඇවිල්ල අද වර්ජනය ගැන අපව දැනුවත් කලේ නැහැ” තම සහෝදර සේවකයන් ආන්ඩුවේ පියවරයන්ට විරුද්ධ නමුත් ඔවුන්ට "වෘත්තීය සමිති නායකයන් ගැන විශ්වාසයක් නැති” බව හලාවත රෝහල් සේවකයෙක් පැවසුවේ ය. "ආන්ඩුවේ තර්ජන හා වෘත්තීය සමිති නායකයන්ගේ පිරිහීම නිසා එහි සේවකයන් වර්ජනයට සම්බන්ධ නොවූ” බව ජල සම්පාදන මංඩලයේ සේවකයෙකු කීවේය.

එක පාවාදීමකින් පසු තවත් පාවාදීමක් කරන වෘත්තීය සමිති කම්කරුවන් අතර බෙහෙවින් අපකීර්තියට පත්ව සිටිති. එල්ටීටීඊයට විරුද්ධ යුද්ධය කාලපරිච්චේදයේ දී ආන්ඩුව එම යුද්ධය කම්කරු අරගල මර්දනය කිරීම සඳහා යොදාගත් විට "මව්බිම පලමුව” යනුවෙන් ප‍්‍රකාශකරමින් ජවිපෙ ආන්ඩුවට සහයෝගය දුන්නේය.

එලඹෙන වසරේදී (2014) දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 5.2 දක්වා අයවැය පරතරය අඩු කිරීම අරමුනු කර ගෙන 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව ආන්ඩුව ජාමුඅ කොන්දේසි නිර්දය ලෙස ක‍්‍රියාවට දමන විට කම්කරුවන්ගේ කෝපය සමනය කිරීම සඳහා විරුද්ධ පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති සීමිත විරෝධතා කැඳවුම් කර ඇත. මෙම කප්පාදු වැඩ පිලිවෙල ගෝලීය ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා ක‍්‍රියාවට දමන ගෝලීය වැඩ පිලිවෙලක කොටසකි.

රාජපක්ෂ ආන්ඩුව, එහි කප්පාදු පිලිවෙත් කම්කරු පන්තිය මත පැටවීම සඳහා එය එල්ටීටීඊයට විරුද්ධ යුද්ධය තුල දී වර්ධනය කල පොලිස් රාජ්‍ය බලතල වඩ වඩා උපයෝගී කරගනියි. නමුත් රාජපක්ෂ ආන්ඩුව මෙන්ම මර්දනකාරී වාර්තාවක් ඇති එජාප ට හා එවන් තවත් පක්ෂවලට කම්කරු පන්තිය ගැට ගැසීමට වෘත්තීය සමිති සහ විරුද්ධ පක්ෂ උත්සාහ කරති.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ හා ලංකා ගුරු සංගමයේ මූලිකත්වයෙන් මෙහෙයවෙන තවත් වෘත්තීය පෙරමුනක් විසින් විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පසු ගිය සතියේ සංවිධානය කරන ලද විරෝධතාවකට එජාපට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ආරාධනා කලේ ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මෙහෙයවනු ලබන්නේ සිවිල් යුද්ධයේ අවසන් අධියරවල දී රාජපක්ෂ ආන්ඩුව විසින් කරන ලද දසදහස් ගනනක් සිවිල් වැසියන් ඝාතනය කිරීම අධීක්ෂනය කල හිටපු හමුදා නායක සරත් ෆොන්සේකා විසිනි.

ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන්නෙකු ලෙස එජාපය ප‍්‍රවර්ධනය කිරීමේ පෙරමුනේ ම සිටින්නේ ව්‍යාජ වම්මුන් වන නසසප සහ එසපයයි. විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතාවල දී නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න එජාප වෘත්තීය සමිති වග වර්නනා කලේ ය. එසප රතු තරුව පත්තරය "බෙදී තිබුන වෘත්තීය සමිති පන්ති කි‍්‍රයාවන් සඳහා එකමුතුවීම සුබ ලකුනක්” යයි ලිවීය.

කම්කරු පන්තිය 21 දා පැවති වර්ජනයේ මූලික පාඩම් උකහා ගැනීම අවශ්‍ය වන්නේ ය. එජාප, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සහ ජවිපෙ ඇතුලු පාලක පන්තියේ කිසිදු පක්ෂයක් කෙරෙහි විශ්වාසය තැබිය නො හැකිය. ආන්ඩුවේ ප‍්‍රහාර සහ මර්දනයට එරෙහිව සටන් කල හැක්කේ සමස්ත දේශපාලන සංස්ථාපිතයට හා බංකොලොත් ධනපති ලාභ පද්ධතියට විරුද්ධව කරන දැනුවත් අරගලයක් මගින් පමනි.

කම්කරුවන් පලමුවෙන් ම කල යුත්තේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සහ ඒවාට විරුද්ධව සාමාන්‍ය සාමාජිකයන්ගේ කමිටු පිහිටුවීම මගින් කර්තව්‍ය තමන් අතට ගැනීමයි. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය මත පදනම් වූ සමාජවාදී වැඩපිලිවෙලක් ඒ සඳහා අවශ්‍යය ය. මෙය දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසකි. ඉන් අවධාරනය කෙරෙන්නේ සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමේ අවශ්‍යතාවයයි.

Share this article: