ශ‍්‍රී ලංකාවේ තරුන විරැකියාව "ලොව ඉහල මට්ටමක” පවතින බව ලෝක බැංකුව පවසයි

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2013 මැයි 10

2013 ලෝක බැංකු "සංවර්ධන වාර්තාව” ශී‍්‍ර ලංකාවේ තරුන විරැකියාව "ලොව ඉහල මට්ටමක” පවතින බව හෙලිදරව් කරයි. 2010 සංඛ්‍යා ලේඛන මත පාදක වන එම වාර්තාව, ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුන ජනයාගේ විරැකියාව සාමාන්‍ය විරැකියාව මෙන් හතර ගුනයක් බවත් එම අනුපාතය ලොව ඉහල තරුන විරැකියා මට්ටමක් පවතින රටවල් අතරට අයත් වන බවත් පෙන්වා දෙයි.

ලෝක බැංකු වාර්තාවෙන් ඉදිරිපත් කරන දත්ත මගින් යලි සනාථ කෙරෙන්නේ, 2008 සිට පුපුරා ගොස් ඇති ලෝක ආර්ථික අර්බුදය හමුවේ ලෝකයේ අන් සෑම රටක මෙන්ම ලංකාවේ රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත ද මහජනතාවගේ රැකියා අවස්ථා පුලුල් කරන හා ජීවන තත්වයන් ඉහල දමන එකක් නොවන බවයි.

2010 දී ලංකාවේ සමස්ත විරැකියා ප‍්‍රතිශතය සියයට 3.5 ක් වන බවත්, ශ‍්‍රම බලකායෙන් පහෙන් පංගුවක් වන අවුරුදු 16-24 ත් අතර තරුන ජනයාගේ විරැකියාව එමෙන් හතර ගුනයක් වන බවත් වාර්තාව පෙන්වා දෙයි.

ලෝක බැංකු වාර්තාවට අනුව, 2010 දී වයස අවුරුදු 15-24 ත් අතර පිරිමින්ගෙන් සියයට 50ක් ශ‍්‍රමබලකායට සහභාගීවී ඇති අතර එම වයස් කාන්ඩයේ ස්ත‍්‍රීන්ගේ සහභාගීත්වය සියයට 28ක් වේ. අවුරුදු 25-64 අතර වයස් කාන්ඩයේ පිරිමි හා ස්ත‍්‍රී සහභාගීත්වය පිලිවෙලින් සියයට 90 හා 43 කි. පසුගාමිත්වය හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ ස්තී‍්‍රන්ට මුහුන දීමට සිදු වන වෙනස්කම් හා දරුනු සූරාකෑමේ කොන්දේසි හේතුවෙන් කාන්තා විරැකියාව ඉහල අගයක් ද ශ‍්‍රමබලකා සහභාගීත්වය අඩු අගයක් ද ගෙන තිබේ.

"තරුන ස්ත‍්‍රීන්ට අවශ්‍ය රැකියා අවස්ථා වැඩි වර්ධනය කිරීම ශ‍්‍රී ලංකාව මුහුන දෙන ප‍්‍රධානතම අභියෝගවලින් එකක්” බව ලංකාවේ විරැකියාව පිලිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් ලෝක බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු හා සංවර්ධන වාර්තාවේ සම කර්තෘවරයෙකු වන ජෙස්කෝ හෙන්ස්චෙල් පසුගිය දා ප‍්‍රකාශ කලේ ය. රැකියා අවස්ථා සඳහා "සමාජමය කුසලතාවන්” වර්ධනය වී තිබීම අත්‍යාවශ්‍ය කරුනක් බවත් එම හැකියාවන් වර්ධනය කල යුතු රටකට උදාහරනයක් ලෙස ශ‍්‍රී ලංකාව හඳුන්වා දිය හැකි බවත් ඔහු තව දුරටත් පැවසීය. කාන්තා කම්කරුවන් සම්බන්ධයෙන් ගත් කල ඔවුනගේ රැකියා කොන්දේසි හා වැටුප් පිලිබඳව කිසිදු සඳහනක් නොමැතිව ඔහු කියා සිටියේ "ලොව පුරා කම්කරු ස්තී‍්‍රන් තම රැකියාවෙන් උපයන ආදායමට එහා ගිය සංවර්ධනයේ ප‍්‍රතිලාභ යථා වශයෙන් අත් විඳිමින් සිටින බව” යි.

මේ අතර, අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්ධන පසුගිය දා මාධ්‍යයට ප‍්‍රකාශ කර සිටියේ "ලංකාවේ අධ්‍යාපනය මුහුන දී තිබෙන ප‍්‍රධාන අභියෝගය වන්නේ රැකියා වෙලඳපල ඉලක්ක කරවීම” බවයි. උපාධිධාරීන් ඇතුලු උසස් අධ්‍යාපනය ලැබූවන්ට අපහාස කරමින් ඔහු එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කලේ "විවිධ ක්ෂේත‍්‍රවල රැකියා පවතින නමුත් ඊනියා උගතුන් සඳහා රැකියා නොමැති” බවයි. "තරුනයන් ගේ සමාජ කුසලතා වර්ධනය කිරීම” හා "අධ්‍යාපනය ශ‍්‍රම වෙලඳපලට ඉලක්ක කිරීම” වැනි තර්කයන් ධනවාදයේ අර්බූදය වසං කිරීමට, තවදුර සූරාකෑම උග‍්‍ර කිරීමට හා නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට ගොතන කුතර්කයන් පමනි.

ශ‍්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2011 තුන්වන කාර්තුවේ දත්තවලට අනුව තරුන විරැකියාව 2010 මට්ටම ද ඉක්මවා ගොස් තිබෙන අතර එය ලෝක තරුන විරැකියාවේ සාමාන්‍යය ද පරයා සිටී. වයස අවුරුදු 15ත් 24 ත් අතර තරුන විරැකියාව සියයට 17ක් වන අතර එම වයසේ පිරිමින් හා ස්ත‍්‍රීන් ගේ විරැකියාව පිලිවෙලින් සියයට 11.6ක් 27.1ක් වේ. මෙම සංඛ්‍යා හා දත්ත විරැකියාවේ සැබෑ තත්වය හෙලිදරව් නොකෙරෙන අතර තිස් අවුරුදු යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ තොරතුරු කිසිවක් අඩංගු නොවේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (අයිඑල් ඕ) 2012 ගෝලීය රැකියා ප‍්‍රවනතා වාර්තාවට අනුව ලෝක තරුන විරැකියාව සියයට 12.7 කි. ලොව පුරා මිලියන 200 ක් ජනයා විරැකියාවෙන් පෙලෙන බවත් ඉන් මිලියන 78.1 ක් වයස අවුරුදු 15-24 සීමාවේ තරුනයන් බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

අඩු වැටුප් හා දරුනු සූරාකෑමේ කොන්දේසි යටතේ රැකියාවක නිරතවීමට තරුන තරුනියන් නො පෙලඹෙන තත්වයක් යටතේ උසස් අධ්‍යාපනය ලැබු අය අතර තරුන විරැකියාව ඉහල අගයක් ගෙන තිබේ. ලංකාවේ උසස් පෙල හා ඉන් ඉහලට අධ්‍යාපනය ලැබූවන්ගේ විරැකියාව සියයට 9.3ක් බවත් එම කාන්ඩයේ කාන්තාවන්ගේ විරැකියාව සියයට 13.7ක් බවත් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ලොව පුරා කාන්තා ශ‍්‍රමබලකා සහභාගීත්වය ඉහල යෑමට එක් හේතුවක් වන්නේ ධනවාදයේ අර්බූදය මධ්‍යයේ ඉහල යන ජීවන වියදමට මුහුන දීමට පවුලක සාමාජිකයන් කිහිප දෙනෙක් විශේෂයෙන් කාන්තාවන්ට ද රැකියාවන්හි නිරත වීමට සිදුවීමයි. අනෙක් අතට පිරිමින්ට සාපේක්ෂව කාන්තා ශ‍්‍රමය සඳහා පිරිවැය අඩු මට්ටමක පවතින තතු යටතේ කාන්තා ශ‍්‍රමය සඳහා මහා ව්‍යාපාරික ඉල්ලුම වැඩි වී තිබේ.

ලෝක බැංකු වාර්තාවේ සම කර්තෘ හෙන්ස්චෙල් තව දුරටත් කියා සිටින්නේ භුගෝලීය පිහිටීම හා ජන සංයුතිය අනුව ශ‍්‍රී ලංකාවට ගුනාත්මක රැකියා නිර්මානය කරගත හැකි බවයි. ලංකාව ඇතුලු සංවර්ධනය වෙමින් පවතින රටවල විරැකියා ප‍්‍රශ්නය ජය ගැනීමේ විසඳුම් ලෙස අදියර තුනක ක‍්‍රියාමාර්ගයක් වාර්තාවෙන් යෝජනා කරයි. එම යෝජනා අතර ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම, ව්‍යාපාරික හිතැති පරිසරයක් ගොඩනැගීම, රැකියා උත්පාදනය සඳහා කම්කරු නීති බාධාවක් කර නොගැනීම හා පුද්ගලික ව්‍යාවසායන්ට ආයෝජන සඳහා පවතින බාධාවන් ඉවත් කිරීම ප‍්‍රධාන තැනක් ගනී.

වාර්තාවේ ප‍්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ, ලාභ ශ‍්‍රමය සඳහා තරගයට මුහුන දීමේ දී බාධකයක්ව පවතින, මෙතෙකුදු ඉතුරුව පවත්නා යම් කම්කරු අයිතියක් හා වරප‍්‍රසාදයක් තිබේද එය ද අතුගා දැමීමයි. පුද්ගලික අංශයේ රැකියා උත්පාදනයේ සැබෑ ස්වභාවය ලංකාව, බංග්ලාදේශය ඇතුලු ඉන්දියානු උපමහාද්වීපීය කලාපයේ ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා කොන්දේසි මගින් පැහැදිලි වෙයි. නිති ප‍්‍රමිතියෙන් තොරව හුදෙක් උපරිම ලාභය ගරා ගැනීම සඳහා අටවා ඇති මෙම කම්හල්වල මරනීය ස්වභාවය ලොවටම හෙලි කරමින් සති දෙකකට පෙර බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල් ගොඩනැගිල්ලක් කඩාවැටී බිලිගත් කම්කරුවන් සංඛ්‍යාව දහසකට ආසන්න විය.

විශ‍්‍රාම වැටුප් ඇතුලු අනෙකුත් දීමනා අහිමි තාවකාලික රැකියාවල වර්ධනය ඉන්දියාව තුල සීඝ‍්‍ර ලෙස ඉහල ගොස් තිබෙන අතර වාර්තාවට අනුව රැකියා ඒජන්සි මගින් බඳවා ගැනුනු තාවකාලික කම්කරු සංඛ්‍යාව 2009 දී සියයට 10 කින් ද 2010 දී සියයට 18 කින් ද ඉහල ගොස් ඇත.

එසේම, ඊනියා සංවර්ධනය වෙමින් පවතින රටවලට පමනක් විරැකියාව සීමා වී නොමැත. ලොව පුරා මිලියන 900ක් කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් දිනකට ඩොලර් 2 ට අඩු අදායමකින් ජීවත්වන බවත් ඉන් හරි අඩක් දිනකට ඩොලර් 1.25 ට අඩු ආදායමකින් අන්ත දරිද්‍රතාවයේ ජීවත්වන බවත් ලෝක බැංකු වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

යුරෝපයේ විරැකියාව සම්බන්ධව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පසුගිය සතියේ පල කල ලිපියක සඳහන් වන පරිදි, යුරෝපා සංගමයේ සංඛ්‍යා ලේඛන කාර්යාලයේ වාර්තාවන්ට අනුව, යුරෝ කලාපයේ සාමාජික රටවල් 17 ක නිල විරැකියාව සියයට 12.1කි. එය 1995 සිට වාර්තාවන ඉහලම අගය බවත් විරැකියාවේ වර්ධනය අඛන්ඩව මාස 23 ක් පුරා සිදුවන බවත් එය යුරෝපය වෙලා ගෙන තිබෙන ආර්ථික හා සමාජ ඛේදවාචකයේ නිමක් නොවන ප‍්‍රකාශනයක් බව ලිපිය පෙන්වා දී තිබේ.

එසේම, එක්සත් ජනපදයට රැකියා අර්බූදයෙන් ගොඩ ඒමට මසකට නව රැකියා 250,000 ට වැඩි ප‍්‍රමානයක් උත්පාදනය විය යුතු වූවත් රැකියා උත්පාදනය ඊට බෙහෙවින් අඩු මට්ටමක පවතින තත්වයක දී දරිද්‍රතා වැටුප් සහිත සේවා අංශයේ රැකියා හා අනෙකුත් ක්ෂේත‍්‍රවල අර්ධ කාලීන රැකියා පමනක් උත්පාදනය වෙමින් පවතී.

ඉදිරි දශයකය තුල ධනේශ්වර පද්ධතියේ මේඅයුරින් හෝ පවත්වාගෙන යෑමට නම් නව රැකියා මිලියන 900 ක් නිපදවිය යුතු බවත් ඉන් බහුතරයක් අවශ්‍ය වී ඇත්තේ උතුරු අප‍්‍රිකානු සහරා කලාපයේ සහ ආසියානු කලාපයට බව වාර්තාව පෙන්වා දෙයි.

විද්‍යාවේ තාක්ෂනයේ දියුනුව උපයෝගි කොට ගනිමින් පසුගිය දශක තුන ඇතුලත ලොව ප‍්‍රධාන කාර්මික නිෂ්පාදන වැඩි ප‍්‍රමානයක් ආසියාවේ ලාභ ශ‍්‍රමය පවතින චීනය ඇතුලු රටවලට මාරු කිරීම යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ විරැකියාවේ මූලය බවට පත් වූ අතර දැන් නිර්මානය කෙරී ඇති අර්බූදය වන්නේ ආසියාවේ අපනයන සඳහා වෙලඳපල සීඝ‍්‍රයෙන් හැකිලී යෑමයි. එම තත්වය ලොව පුරා විරැකියාව ඉහල නගිමින් තිබෙන අතර ධනපති ආන්ඩු විසින් ගෙන එනු ලබන කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරුවෝ අරගලයන්ට පිවිස සිටිති.

ලංකාව තුල හා ජාත්‍යන්තරව හෙන්සචෙල් යෝජනා කරන ආකාරයේ නව රැකියා නිර්මානයක් සිදු නොවේ. 2008 සිට ආරම්භ වී අවපාතයක් දිසාවට වර්ධනය වන ලෝක ධනේශ්වර අර්බූදයේ කොන්දේසි යටතේ ගිය වසරේ ලංකාවේ අපනයන සියයට 7.4 න් පහත වැටුනු අතර 2012 වසර සඳහා ආන්ඩුව බලාපොරොත්තු වූ සෘජු විදේශ අයෝජන අඩකින් පහත වැටුනි. ඇඟලුම් ක්ෂේත‍්‍රයේ, වතුකරයේ රැකියා කප්පාදුව හා වැටුප් කප්පාදුව එක දිගට සිදු වෙමින් පවතියි. වෙරිටේ පර්යේෂන පුද්ගලික සමාගම මෑතක දී එලි දක්වා ඇති පර්යේෂන වාර්තාවකින් පෙන්වා දෙන්නේ පසු ගිය හය වසර තුල දජානියේ වර්ධනය සියයට 40ක් වුව ද ශී‍්‍ර ලංකාව "රැකියා රහිත වර්ධනයක්” දෙසට ගමන් කරමින් සිටින බවයි.

විරැකියාව ලංකාව තුල තරුන නැගිටීම්වල ප‍්‍රධාන මූලයක් වූ අතර කම්කරු පන්තිය බෙදාලීම සඳහා ගෙන ගිය තිස් අවුරුදු යුද්ධයෙන් පසුව රාජපක්ෂ ආන්ඩුවේ ඊනියා සංවර්ධනය යොමු වී ඇත්තේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන කප්පාදු පිලිවෙත් වේගවත්ව ක‍්‍රියාවට නැංවීමටයි.

ලොව පුරා කම්කරුවන් හා තරුනයන් විරැකියාවට ඇද දැමීම සම්බන්ධව මූලික වශයෙන් වගකිව යුතු ලෝක මූල්‍ය ප‍්‍රාග්ධනයේ අති මූලික උපරනයක් වන ලෝක බැංකුවේ උත්සුකය කවර ආකාරයකින් හෝ විරැකියාවෙන් හා දරිද්‍රතා වැටුප් වලින් බැටකන කම්කරු පන්තික තරුන තරුනියන් කෙරෙහි යොමුවූවක් නොවේ. ඔවුන් උත්සුක වන්නේ, නිදහස් වෙලඳපොල පිලිවෙත් යහමින් ක‍්‍රියාත්මක කිරීම මත ඊජිප්තුවේ හා ටියුනීසියාවේ ඒකාධිපති පාලන පෙරලා දැමීමට මුල් වු තරුන විරැකියාව ලංකාව ඇතුලු මෙම කලාපයේ රටවල සිදු කල හැකි බලපෑම සම්බන්ධවයි. රැකියා උත්පාදනය මගින් "තරුන ප‍්‍රචන්ඩත්වයට විකල්පයක්”සම්පාදනය කල හැකි බැව් ලෝක බැංකු සංවර්ධන වාර්තාව පවසන්නේ එබැවිනි.

Share this article: