සිරියාවට එරෙහි යුද්ධය සඳහා කඩතුරාව ලෙස වොෂින්ටනය රසායනික අවි පිලිබඳ පච ගොතයි

Washington fabricates chemical weapons pretext for war against Syria

බිල් වෑන් ඕකන් විසිනි, 2013 අපේ‍්‍රල් 27

ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආන්ඩුව පෙරලා දැමීමේ සෘජු හමුදා මැදිහත්වීමකට පාර කැපීමේ ප‍්‍රයත්නයක යෙදෙමින් වොෂින්ටනය, එහි නැටෝ අනුචරයන්, ඊස්රායලය හා කටාර් යන සියල්ලෝම මෑත දිනවල දී සිරියාව රසායනික අවි භාවිතා කොට ඇතැයි යන පබන්ධයට පුලුල් ප්‍රචාරයක් දී ඇත්තා හ.

කොන්ග‍්‍රස් මන්ඩල සාමාජිකයන්ට පසුගිය අපේ‍්‍රල් 25දා ලිපියක් යවමින් ධවල මන්දිරය මෙසේ නිවේදනය කලේය: "සිරියානු රජය එරට තුල කුඩා පරිමානයකින් රසායනික අවි භාවිතා කර ඇතැයි එක්සත් ජනපද රහස් ඔත්තු සේවා ප‍්‍රජාව, යම් තරමකට අනුමාන විශ්වාසයෙන් යුතුව තක්සේරු කරයි.”

මැද පෙරදිග සංචාරයක් මධ්‍යයේ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චක් හෙගල් රසායනික අවි භාවිතය හෙලා දුටුවේ, එය "යුද්ධයේ සෑම සම්මුතියක් ම උල්ලංඝනය කරතැ”යි පවසමිනි. "මේ ආයුධ කොහෙන් ලැබුනාදැයි තහවුරු කිරීමට” තමන් අසමත් බව පිලිගත් හේ, "එහෙත් ඒවා අසාද් පාලන තන්ත‍්‍රය සමග බැඳී ඇතැයි බොහෝ දුරට සිතිය හැකියල යනුවෙන් පැවසීය. ඉරානයට එරෙහිව එල්ල කරනු වස් ඊස්රායලයට හා දක්ෂිනාංශික අරාබි රාජාන්ඩුවලට, නවීන ආයුධ ලබා ගැනීම වෙනුවෙන් ඩොලර් බිලියන 10ක ගනුදෙනුවක් පිලියෙල කිරීම ඔහුගේ සංචාරයේ අරමුනයි.

මෙ ලෙසින් ම, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ද සිරියාවට "යුද අපරාධ”යක චෝදනා එල්ල කරමින් මෙසේ පවසා ඇත: "එය සීමිත සාක්ෂ්‍යයකි. එහෙත් රජය විසින් කරන ලදැයි සිතිය හැකි රසායනික අවි භාවිතය පිලිබඳ වැඩිවැඩියෙන් සාක්ෂි ලැබෙමින් පවතී.”

මේ පැටැලිලි සහගත ප‍්‍රකාශ සියල්ලෙන් - එනම්, "යම් තරමකට අනුමාන විශ්වාසයෙන් යුතුව,” "සීමිත සාක්ෂි,” හා "රජය විසින් කරන ලදැයි සිතිය හැකි” ආදියෙන් - අවධාරනය කෙරෙන්නේ මේ චෝදනාවන් හි ඇති වංචාකාරී ස්වභාවයයි.

අසාද් රජය රසායනික අවි භාවිත කල බවට කිසිදු සාක්ෂියක් ඇත්තේ නැත. පසුගිය මාර්තුවේ අලෙප්පෝ අසල ඛාන් අල්-අසල් ග‍්‍රාමයේ දී විෂ වායු ප‍්‍රහාරයක් එල්ල කල බවට සිරියානු රජය විසින් කැරලිකරුවන්ට එරෙහි ව චෝදනා කොට ඇත. තමන් සතුව එවැනි අවි පවතින බවටත්, ඒවා පාවිච්චි කිරීමට තමන් සූදානම් බවටත් එකී කැරලිකරුවෝ කලින් පුරසාරම් දොඩා ඇත්තාහ. එක්සත් ජනපද සහය ලබන මේ කැරලිකරුවන්ගේ ආධිපත්‍යය උසුලන්නේ අල් කයිඩාව හා සම්බන්ධ කොටස් ය.

සිරියානු හමුදාවට අනුව, කැරලිකරුවන් පාවිච්චි කර ඇත්තේ ක්ලෝරීන් වායුව රැගෙන යන රොකට් අවියකි. එය කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප‍්‍රදේශයක සිට රජයේ පාලනය පවතින ප‍්‍රදේශයක හමුදා මුර කපොල්ලක් වෙත යවා ඇත. ඊට ගොදුරුවූවන් අතර සොල්දාදුවෝ ගනනාවක් වෙති.

සිද්ධිය පිලිබඳ ව විමර්ශනය කිරීමට පරීක්ෂකයන් කන්ඩායමක් එවන ලෙස අසාද් රජය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටි නමුත් එවනු ලබන ඕනෑම කන්ඩායමකට මුලු මහත් රටට ම හා සියලු සිරියානු හමුදා කඳවුරුවලට නිර්බාධිත ප‍්‍රවේශයක් ලබා දිය යුතු යැයි එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය හා ප‍්‍රන්සය ඉල්ලා සිටියෝය. මෙ මගින් එක්සත් ජනපදය ඉරාක ආක‍්‍රමනය සූදානම් කිරීම සඳහා භාවිතා කල වර්ගයේ ම පිරික්සුම් තන්ත‍්‍රයක් නිර්මානය කරනු හැකිව තිබිනි.

චෝදනා ඔප්පු කිරීමට තමන්ට නොහැකි බව දන්නා හෙයින් ද, පවත්නා සාක්ෂි අල් කයිඩාවට අනුබද්ධවූ හා තම සහාය ලබාගත්තාවූ කොටස් වෙත ඇඟිල්ල දිගු කෙරෙන හෙයින් ද එක්සත් ජනපදය හා එහි අනුචරයෝ, කෙසේ වෙතත් තවත් යුද්ධයක් මහජනයාට විකිනීම සඳහා රසායනික අවි පිලිබඳ චෝදනා උපයෝගී කර ගැනීමට අධිෂ්ඨානශීලී ව සිටිති.

විවෘත ඇමරිකානු හමුදා මැදිහත්වීමක් උසිගන්වා ගැනීමට අධිෂ්ඨාන කොට සිටින එක්සත් ජනපද පාලක පන්තියේ බලගතු කොටස්, විෂ වායු පිලිබඳ ව්‍යාජ හේතුව ගසාකන්නේ, ඉන් ගත හැකි කිසියම් හෝ පලක් වේ නම් එය ලබා ගනු පිනිස ය. සංස්ථාපිත මාධ්‍යයන්ගෙන් බොහොමයක්, සිරියාවේ රසායනික අවි භාවිතය "රතු ඉර පැනීමක්” සහ "උපායයන්ගේ වෙනසක් ඉල්ලා සිටින්නක්” ලෙස සලකන බවට ඔබාමා පරිපාලනය කල තර්ජනය කි‍්‍රයාවට නැංවිය යුතු යැයි ඉල්ලා සිටිති.

එහෙත් මේ කාරනයේ දී "රතු ඉර” ගැසීමට සදාචාරාත්මක අධිකාරයක් එක්සත් ජනපදයට කෙසේ නම් හිමි වේ ද? ඉරාකය සමග වසර නවයකට ආසන්න කාලයක් කල යුද්ධයේ දී එක්සත් ජනපද හමුදාවෝ විනාශකාරී ප‍්‍රතිඵල දනවන පරිද්දෙන් රසායනික අවි භාවිතා කලෝය. ෆලූජා නගරය ම්ලේච්ඡ ආකාරයකින් වටලා සිටිය දී පිරිමින්, කාන්තාවන් හා ලමුන් පන පිටින් දවා ලීමට ඔවුහු සුදු පොස්පරස් ෂෙල් වෙඩි හා වැඩි දියුනු ආකාරයක නාපාම් ද භාවිතා කලහ. මේ රසායන දෙකම ජාත්‍යන්තර සම්මුතීන් මගින් තහනම් කල ඒවාය.

මේ ආයුධවල උරුමය, ලමා ලියුකේමියාවේ හා පිලිකාවන්හි විශාල ඉහල යෑම් ලෙස ද, ෆලූජා, බස්රා හා එක්සත් ජනපද හමුදා විසින් වටලනු ලැබ සිටි අනෙකුත් නගරයන් හි බියකරු උත්පත්ති විකලතාවයන් ලෙස ද දිගින්දිගට ම ඉරාක ජනතාවට ව්‍යසන පමුනුවයි.

මැද පෙරදිගට රසායනික යුදකර්මය හඳුන්වා දුන්නේ, සිය යටත්විජිත පාලනයට එරෙහි වූ ඉරාක ගෝත‍්‍ර මත මස්ටඩ් වායු බෝම්බ හෙලූ බි‍්‍රතාන්‍යයන් විසිනැයි යන්න ද මෙහිලා සිහිපත් කල යුතුය. එ කල යුද හා ගුවන් කටයුතු පිලිබඳ රාජ්‍ය ලේකම්වරයා වූ වින්ස්ටන් චර්චිල් ඒ අවස්ථාවේ දී ප‍්‍රකාශ කලේ මෙසේය: "භීතිය වේගයෙන් පතුරුවන (පරිදි ... ශිෂ්ටාචාර නොවූ ගෝත‍්‍රවලට එරෙහි ව විෂ වායු පාවිච්චි කිරීමට මම තරයේ එකඟ වෙමි.”

ඕනෑ ම රසායනික ප‍්‍රහාරයකට න්‍යෂ්ටික ආයුධ මගින් ප‍්‍රතිචාර දැක්වීමේ අයිතිය තමාට තබා ගන්නා අතර ම වොෂින්ටනය, දිගින් දිගට තමන්ගේ ම "සමූල ඝාතක අවි” දැවැන්ත සංචිතයන් පවත්වා ගෙන යාම වෙනුවෙන් පෙනී සිටියි.

විවෘත හමුදා මැදිහත්වීම සඳහා ව්‍යාජ හේතුවක් ලෙස රසායනික අවි කථාන්තරය පෙරට ගැනීමේ හදිසි උපාමාරුව පසුපසින් පවතින්නේ, අසාද් රජය පෙරලීමෙහි ලා කිසිත් ප‍්‍රගතියක් පෙන්වීමට සිරියාව තුල ස්වකීය රූකඩ බලඇනි අසමත්වීම පිලිබඳව එක්සත් ජනපදයේ හා එහි යුරෝපීය අනුචරයන්ගේ වැඩෙන අපේක්ෂා භංගත්වයයි.

මෙකී අසමත්වීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ සිරියානු ආන්ඩුව මහජන පදනමක් රැක ගෙන තිබීම හා, රජය කෙරෙහි කලකිරුනු බොහෝ දෙනා පවා එම රජය විස්ථාපනය කර බලයට පත්වීමට තැත් කරන, මුස්ලිම් සහෝදරත්වයේ සිට අල් කයිඩාව දක්වා වූ, ඉස්ලාම්වාදීන් කෙරේ වෛරයක් හා භීතියක් දැක්වීමයි.

සිය අනුග‍්‍රහයෙන් ප‍්‍රවර්ධනය කෙරුනු නිකායවාදී සිවිල් යුද්ධය "අතේ පත්තුවීමට" ඇති ඉඩකඩ පිලිබඳ ව එක්සත් ජනපදය හා එහි අනුචරයෝමත්, වඩවඩාත් පරීක්ෂාකාරී වෙති. අල් කයිඩා කොටස් හා එක්වීමට සිය ගනන් ඉස්ලාම්වාදීන් තම රටවල් හැර දා සිරියාවට පැමිනීමෙහි ගැබ් වී ඇති අවදානම පිලිබඳ ව අනතුරු හඟවමින් බි‍්‍රතාන්‍යයේ හා ජර්මනියේ ආන්ඩු මෙන්ම යුරෝපා සංගමය ද පසුගිය සතියේ නිවේදන නිකුත් කලෝය.

එක්සත් ජනපදය හා යුරෝපය පාලනය කරන බෙලි කපන්නන් තමන් මානව අයිතීන් හා සිරියානු ජීවිත පිලිබඳ ව සැලැකිලිමත් වන්නේයැයි බොරුවට අඟවන නමුත් යථාර්ථය වන්නේ, ඔවුන් සිරියාවේ මරන සංඛ්‍යාව විශ්මයජනක අයුරින් ඉහල යැවෙන පරිදි බෝම්බ හෙලීම්, කෲස් මිසයිල හා පි‍්‍රඬේටර් ඩ්‍රෝන් යාත‍්‍රා භාවිතා කිරීම් මෙන් ම ඇතැම්විට සිදු කෙරෙනු ඇති ගොඩ බිම් ආක‍්‍රමනයක් ද සූදානම් කරමින් සිටින බවයි.

එ බඳු යුද්ධයක් යටින් පවත්නා අභිප‍්‍රායයන්ට රසායනික අවි පිලිබඳ මනස්තාපයන් සමග මොන ම සම්බන්ධයක්වත් නැත, ඒ වෙනුවට ඒවායේ සැලැකිල්ලට යොමු වී ඇත්තේ නිශ්චිත භූ-මූලෝපායික උත්සුකයන් පිලිබඳවය.

මැද පෙරදිග බලශක්ති විශේෂඥවරියක හා ඉරාක්ඔයිල්ෆෝරම්ඩොට්කොම් (IraqOilForum.com) හි සංස්කාරකවරිය වන රුබා හුසාරි විසින් ලියන ලදුව, මේ වසරේ මුල් භාගයේ කානගී මිඩ්ල් ඊස්ට් සෙන්ටර් හි පල වූ, "සිරියාව හා වෙනස් වන මැද පෙරදිග බලශක්ති සිතියම” යන මැයෙන් යුත් ලිපියක්, විවෘත එක්සත් ජනපද - නැටෝ මැදිහත්වීමක් සඳහා ඉහල නැංවෙමින් පවත්නා පීඩනයේ සැබෑ හේතූන් පිලිබඳ ක්ෂනමාත‍්‍ර දැක්මක් සපයයි.

"සිරියාව මැද පෙරදිග ප‍්‍රධාන පෙලේ තෙල් හෝ ගෑස් නිෂ්පාදකයෙක් නොවනු විය හැකිය. එහෙත්, සිරියානු නැගිටීමේ අවසාන ප‍්‍රතිඵලය මත අනාගත කලාපීය බලශක්ති සිතියමේ හැඩතල තීරනය වන්නට පුලුවනැ”යි ඇය ලියයි. "එම රටෙහි භූගෝලීය පිහිටීම අනුව ඊට, සිය හයිඩ්‍රොකාබන (ඉන්ධන) සඳහා වෙලඳ පොලවල් සොයන සාගර ප්‍රවිෂ්ටය අහිමි සමාගම්වලට ද, තුර්කිය හරහා නොගොස් යුරෝපයට පිවිසීමට මං සොයන රටවලට ද මධ්‍යධරනී මුහුදට ප‍්‍රවිෂ්ටයක් ලබා දිය හැකිය. වත්මන් සිරියානු රජය විසින් කලාපයේ බොහෝ දෙනෙකුට ලබා දී ඇති අවස්ථාවන් පශ්චාත්-අර්බුද සිරියාවක් තුල අහිමි ව යා හැක. වෙනත් අයවලුන්ට, නව සිරියානු රජයක් යටතේ නව අවස්ථා හිමි වනු ඇත.”

පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා වන සාර්ථක යුද්ධයක ප‍්‍රධාන පරාජිතයන් වනු ඇත්තේ ඉරානයයි. ඉරානය මෑතක දී සිරියාව හා ඉරාකය සමග, එක්සත් ජනපදයේ බලවත් විරෝධයට පාත‍්‍ර වූ ප‍්‍රධාන පෙලේ නල මාර්ග ගනුදෙනුවකට අත්සන් තැබූ අතර, එහි අවසාන ඉලක්කය වනුයේ ඉරාන ගෑස් මධ්‍යධරනී මුහුද කරා රැගෙන යාමයි. රුසියාව ද කලාපයේ බලශක්ති සංවර්ධනය කෙරේ තමන්ගේ ම බලපෑම ප‍්‍රසාරනය කර ගැනීමට යත්න දරා ඇත.

ප‍්‍රධාන ජයග‍්‍රාහකයන් වනු ඇත්තේ එක්සත් ජනපදය, එහි අනුචරයන් සහ එක්සත් ජනපදයේ හා බටහිර යුරෝපයේ පදනම් වී ඇති බලශක්ති සංගතය.

සිරියාව තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හා එහි නැටෝ අනුචරයන්ගේ අවසාන ඉලක්කය වනුයේ ඉරානය හුදෙකලා කොට, සිරියාවට එරෙහි යුද්ධයට වඩා දැවැන්ත යුද්ධයක්, ඉරානයට එරෙහිව සූදානම් කිරීමයි. පර්සියානු මුහුදු බොක්කේ සිට කැස්පියන් ද්‍රෝනිය දක්වා වූ අතිවිශාල බලශක්ති උත්පාදන කලාපය මත නව යටත්විජිතවාදී පාලනයක් පැටවීම එහි අරමුනයි.

මෙම ගැටුම සම්බන්ධ සැබෑ ප‍්‍රස්තුතය වනුයේ සිරියානු රජයේ ස්වභාවය නොව, පලමු හා දෙවන ලෝක යුද්ධ නිර්මානය කල අය මෙන් යලිත් වරක් ලෝකය කොල්ලකාරී ලෙස කැබලි කර ගැනීමට වැඩට බැස සිටින එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්සය හා ජර්මනිය පාලනය කරන තන්ත‍්‍රයන්හි ස්වභාවයයි.

Share this article: