වොෂින්ටනය සිරියානු කැරලිකරුවන් සන්නද්ධ කිරීම ගැන සලකා බලන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් කියයි

US defense secretary says Washington weighs arming of Syrian insurgency

බිල් වෑන් ඕකන් විසිනි , 2013 මැයි 3

එක්සත් ජනපදය, සිරියාවේ ඊනියා කැරලිකරුවන් සෘජුව ම සන්නද්ධ කිරීම සම්බන්ධ සිය පිලිවෙත ගැන "යලි සිතා බලමින් සිටින” බව මැයි 2දා පෙන්ටගනයේ පැවති පවෘත්ති සාකච්ඡාවක දී ආරක්ෂක ලේකම් චක් හෙගල් පැවසීය.

ඇමරිකානු ආරක්ෂක ලේකම් මෙම පුවත් සාකච්ඡාවට සහභාගී වූයේ බි‍්‍රතාන්‍ය ආරක්ෂක ඇමති පිලිප් හැමොන්ඩ් සමග ය. සිරියාව තුල තම ඉත්තන් යොදා පවත්වා ගෙන යන යුද්ධය ගුනාත්මක ව උත්සන්න කිරීමට වොෂින්ටනය සලකා බලමින් සිටින බව පිලිගත් ඔබාමා පරිපාලනයේ ප‍්‍රථම නිලධාරියා හෙගල් ය.

"කැරලිකරුවන් සන්නද්ධ කිරීම එක් විකල්පයකැ”යි ඔහු පැවසීය. පරිපාලනය එවැනි පියවරක් සලකා බලමින් සිටින්නේදැයි සෘජුව විමසූ විට ඔහු, "ඔව්” යැයි පිලිතුරු දුන්නේය.

හෙගල්ගේ ආස්ථානය ප‍්‍රතිරාවය කරමින් හැමොන්ඩ් පැවසුවේ, "අප මෙතෙක් කලක් කැරලිකරුවන්ට අවි කිසිත් සපයා නැති නමුත්, එසේ නොකරන බවක් අපි කිසි දා කියා නැත්තෙමු,” යනුවෙනි. ඔහු වැඩිදුරටත් පැවසූවේ ලන්ඩනය එබඳු පියවරක "නීත්‍යානුකූලභාවය” පිලිබඳව සැලැකිලිමත් වන බව හා දැනට සිරියාව තුල කවර හෝ පාර්ශ්වයකට අවි සැපයීමට එරෙහිව යුරෝපා සංගමය පනවා ඇති තහනමට අනුකූල වන බවයි.

"එම තහනම තවත් සති කිහිපයකින් ඉක්ම ගිය පසු අපි තත්වය පිලිබඳව විමසා බලන්නෙමු”යැයි ආරක්ෂක ඇමතිවරයා පැවසීය. බි‍්‍රතාන්‍යය හා ප‍්‍රන්සය යන දෙරටම, සිරියානු රජයේ හමුදා සමග සටන් වැද සිටින ඉස්ලාම්වාදීන් අධිකාරය දරන මිලීෂියාවන්ට, විවෘතව අවි ආයුධ යැවීමට තමන්ට ඉඩ ලැබෙන පරිදි සම්බාධක තන්ත‍්‍රය සංශෝධනය කරන ලෙස අනෙකුත් යුරෝපීය බලවතුන්ට බලපෑම් කරමින් සිටිති.

යථාර්ථය නම්, එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යය යන දෙරටම ජනාධිපති බෂාර් අල් අසාද් පෙරලා දැමීමට සටන් වැද සිටින හමුදාවන්ට සහාය දීමෙහි ලා දැනටමත් ගැඹුරින්ම සම්බන්ධව සිටින බවයි. තුර්කිය, සවුදි අරාබිය හා පර්සියානු ගල්ෆ් කලාපයේ සෙසු සුන්නි රාජාන්ඩුවලින් එම හමුදාවලට ලැබෙන ආයුධ නෞකා සැපයුම් තොග සම්බන්ධීකරනය කරනු වස් සීඅයිඒ සංවිධානය තුර්කියේ සිරියානු දේශසීමාව අසල රහස් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. මේ අතරතුර, එක්සත් ජනපද හා බි‍්‍රතාන්‍ය හමුදා ජෝර්දානය තුල ඊනියා කැරලිකරුවන් පුහුනු කිරීම භාර ගෙන ඇත.

මේ අධිරාජ්‍යවාදී බලවතුන් දෙදෙනාම, සිරියානු රජය රසායනික අවි භාවිතා කොට ඇතැයි යන බොරුව මත පිහිටමින් සැරසෙන්නේ, එම රට තුල තමන් විසින් ම අවුලුවන ලද නිකායවාදී සිවිල් යුද්ධයට වඩාත් විවෘත ව මැදිහත් වීමට ය.

ඉරාකයට එරෙහි යුද්ධයකට සිය රට ඇදගෙන යාමෙහි ලා භාවිතා කෙරුනු "සමූල නාශක අවි” පිලිබඳ කෙබරයන් හි අමිහිරි මතකය හේතුවෙන් මැද පෙරදිග තවත් යුද්ධයකට රට මැදිහත් කරවීමට බි‍්‍රතාන්‍ය රජයට දුෂ්කරතා පවතින්නේ යයි හැමොන්ඞ් නොවලහා පැවැසීය.

"ඉරාකයේ යුද්ධයට අප මැදිහත් වූයේ, සාවද්‍ය යැයි පසුව සනාථ වූ සාක්ෂි මත ය යන්න පිලිබඳව බලවත් හැඟීමක් එක්සත් රාජධානියේ මහජන මතය තුල පවතිතැ”යි පැවසූ ඔහු, ”බි‍්‍රතාන්‍යයේ දේශපාලන අවකාශය තුල මෙම සාක්ෂි හැඳින්වෙන්නේ කෛරාටික ලේඛන ලෙස යැ”යි ද ප‍්‍රකාශ කලේය.

එහෙත් දැන් යලිත් වරක් සූදානම් කෙරෙන්නේ එබඳු "සාක්ෂි”ම ය.

මේ ආන්ඩු දෙකම සඳහන් කරන ප‍්‍රධාන සිදුවීම, මාර්තුවේ දී ඇලෙප්පෝ නගරයෙන් පිටත සිදුවූවකි. සිරියානුන් චෝදනා කර ඇත්තේ රජයේ පාලන ප‍්‍රදේශ ආසන්නයට පතිත ව රජයේ සෙබලූන් 16 දෙනෙකු හා සිවිල් වැසියන් 10ක් මරා දැමූ කිසියම් ආකාරයක රසායනික අවි භාවිතා කරනු ලැබුවේ බටහිර සහාය ලබන "කැරලිකරුවන්” බවයි.

"රසායනික අවි භාවිතා කිරීම පිලිබඳව නොමැඬිය හැකි, එහෙත් නිශ්චිත නොවන සාක්ෂි පවත්නා බැව් ආන්ඩු දෙක ම පිලිගනිතැ”යි 2 දා පැවැති පෙන්ටගන් ප ‍්‍රවෘත්ති සාකච්ඡාවේ දී හැමොන්ඞ් පැවසීය. එහෙත්, මෙම අවි "භාවිතා කලේ” කවරෙකු විසින් දැයි ඔහු විසින් නොකියා සිටීම අරුත් දනවන සුලූය.

වෝල් ස්ට්රීට් ජර්නලය 2 දා වාර්තා කලේ, "සිරියානු රජයට එරෙහිව වඩාත් සෘජු කි‍්‍රයාමාර්ග ගැනීමට බටහිර රටවල් පෙලඹවීමේ උත්සාහයක් ලෙස, බොහෝ විට අල්-කයිඩාව හා සම්බන්ධ නුස්රා පෙරමුන ද ඇතුලත්, අන්තවාදී කැරලි කන්ඩායම් රසායනික අවි භාවිත කරන්නට ඇතැයි ඇතැම් එක්සත් ජනපද හමුදා නිලධාරීන් විශ්වාස කරන බව” යි.

තමන් විසින් දමස්කස් රජයට එරෙහිව ගොතන ලද චෝදනාවේ හෝ ඉන් ගලා ආ යුතු ප‍්‍රතිපත්තීන්ගේ හෝ තර්කාන්විත ගැලපීම පිලිබඳව එතරම් බැරෑරුම් සැලකිල්ලක් එක්සත් ජනපද හා බි‍්‍රතාන්‍ය යන දෙරටේම නිලධාරීන් විසින් දක්වනු ලැබ නැත.

එක් අතෙකින් මේ ආන්ඩු දෙකම අඟවා ඇත්තේ රසායනික අවි "අන්තවාදීන්” අතට පත්වීම වැලැක්වීම සඳහා මැදිහත්වීමක් අවශ්‍ය විය හැකි බවයි. අනෙක් අතට මේ දෙරටම එම "අන්තවාදීන්” වෙත - එ නම්, අල් කයිඩාව හා අනුබද්ධිත නුස්රා පෙරමුන වැනි ඉස්ලාම්වාදී මිලීෂියාවරුන්ගෙන් මුලූමනින් ම පාහේ සමන්විත වන "කැරලි” හමුදා වෙත - ගලා එන මාරක අවි ප‍්‍රවාහය වැඩි කිරීම සඳහා කවර පියවර ගත යුතු දැයි එලිපිට සාකච්ඡා කරති.

එක්සත් ජනපද හමුදාව, සිරියාවේ මැදිහත්වීමක් කල හැකි ආකාරය පිලිබඳ ව පවත්නා විකල්ප සමාලෝචනය කරමින් සිටින බවට පෙන්ටගනයේ ප‍්‍රකාශක ජෝර්ජ් ලිට්ල් 2 දා කල ප‍්‍රකාශය යූපීඅයි පුවත් සේවය වාර්තා කලේය. "එය අපේ වගකීමයි. ජනාධිපතිවරයා විකල්ප කි‍්‍රයා මාර්ග ගැනීම සඳහා අප වෙත යොමු වුවහොත් ලබා දීම පිනිස විකල්පයන් අපේ රාක්කවල තබා ගැනීම වැදගත් වේයැයි අපි විශ්වාස කරමු,”යි ඔහු පැවසීය.

එක්සත් ජනපද නිලධාරීන්ට අනුව, අසාද්-විරෝධී හමුදා සෘජු ලෙස සන්නද්ධ කිරීම පමනක් නොව, සිරියානු ජීවිත විනාශ කරමින් සිරියාවේ ගුවන්යානා නාශක ආරක්ෂක රැකවල්වලට දරුනු ලෙස බෝම්බ හෙලීම මගින් පූර්ව සූදානම් කෙරෙනු ඇති "පියාසර මුක්ත කලාපය”ක් පැනවීම ද, එක්සත් ජනපද සබ්මැරීන යොදා කෲස් මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම හා සැඟැවී යමින් පහර දෙන බෝම්බ ප‍්‍රහාරක යානා මගින් බෝම්බ හෙලීම ද මෙම "විකල්ප” වලට ඇතුලත් ය. සිරියානු රසායනික අවි සොයා ගැනීමේ ව්‍යාජයෙන් ගොඩබිමින් සෘජු හමුදා මැදිහත් කිරීම පිලිබඳව ද සැලැකිල්ල යොමු වී ඇත. මේ සඳහා 75,000ක භට පිරිසක් යෙදැවීමට සිදු වනු ඇතැයි පෙන්ටගනයේ ඉහල නිලධාරීහු පවසති.

යන පරිදි, විවෘත මැදිහත්වීමක් සම්බන්ධයෙන් ඇමරිකානු හමුදා සෙන්පතීන් අතරම පවතින නො එකඟතාව, ඒකාබද්ධ හමුදාපති මන්ඩලයේ සභාපති ජනරාල් මාර්ටින් ඩෙම්සේගෙන් ප‍්‍රකාශයට පත් වී ඇත. අපේ‍්‍රල් 30 ඔහු පවසා ඇත්තේ පියාසර මුක්ත කලාපය ඉතා වියදම් අධික ව්‍යායාමයක් වනු ඇති අතර, බොහෝ කොටම පාබල හමුදා මගින් සිදු කෙරෙන මෙම සටනේ දී එහි සැබෑ බලපෑම අල්ප වනු ඇති බවයි.

ඕනෑම එක්සත් ජනපද හමුදා මැදිහත්වීමක් සම්බන්ධයෙන් තමා "ප‍්‍රවේශම්කාරී” වන බව පැවසූ ඔහු, එවැන්නකින්, කොන්ග‍්‍රස් මන්ඩල සාමාජිකයන් පමනක් නොව තමා ද ඇතුලු සියලු දෙනාගේ මන දොල පරිදි "ප‍්‍රචන්ඩත්වය කෙලවර වීමක්, පක්ෂ අතර යම් ආකාරයක දේශපාලන එකඟතාවයක් හා ස්ථායී සිරියාවක්” ඇති වෙතැයි සිතිය නොහැකි බවට අනතුරු හැඟවීය.

සිරියානු රජය පෙරලීමේ බටහිර සහාය ලබන යුද්ධය දැන් මුලුමහත් කලාපය ම ගොදුරු කර ගැනීමට තර්ජනය කරයි.

පසු ගිය අපේ‍්‍රල් මාසය, 2008න් පසු ඉරාකය දුටු වඩාත් ම ලේ වැකි මාසයයි. එක්සත් ජනපද හමුදාවන් විසින් නතු කොට ගත් ඉරාක දේශය අපේ‍්‍රල් මාසයේ දී ෂියාවරුන් හා සුන්නිවරුන් අතර නිකායවාදී ගැටුමෙන් වැනසී ගියේය. එක්සත් ජාතීන්ගේ මූලාශ‍්‍රවලට අනුව මාසය තුල අවම වශයෙන් 700ක් ජනයා මරනයට පත් වූහ. සිරියාවේ පවත්නා නිකායවාදී භේදය ම, එහෙත් ජන අනුපාතය ප‍්‍රතිලෝම වන පරිදි, ඉරාකයේ පවතී. එනම්, ඉරාකයේ දී සුන්නිවරු බහුතරය වන අතර ෂියාවරුන් සුලුතරය වෙති.

සිරියාව තුල නුස්රා පෙරමුන පිහිටුවන ලද්දේ ඉරාකයේ අල් කයිඩාවයි. අල් කයිඩාව ඉරාකයේ ෂියා ජනයාට එරෙහිව බෝම්බ පිපිරවීමේ ව්‍යාපාරයෙහි වැඩිවැඩියෙන් කි‍්‍රයාකාරී වී සිටියි. මේ අතර ම, අගමැති නූරි අල් මලිකිගේ ෂියා ආධිපත්‍යයෙන් යුත් රජය ද, සුන්නි විරෝධතාවන්ට මාරක ප‍්‍රචන්ඩත්වයකින් ප‍්‍රතිචාර දක්වා ඇත.

"අප සිවිල් යුද්ධයකට ආසන්නවෙමින් සිටින්නේය යන්න සාවද්‍යය”යි ඉරාක දේශපාලනඥයෙක් බි‍්‍රතාන්‍ය ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත අමතා පැවසීය. "සිවිල් යුද්ධය දැනටමත් ඇරඹී ඇත.”

සිය සගයා වන අසාද් රජය පෙරලා දැමීමට ලෙබනන ෂියා මහජන ව්‍යාපාරය ඉඩ නොදෙනු ඇතැයි හිස්බුල්ලා නායක හසන් නස්රෙල්ලා ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමත් සමග ලෙබනනය ද සිවිල් යුද්ධයකට ඇද වැටෙනු ඇතැයි යන භීතිය මේ සතියේ උත්සන්න වූයේය.

තවද, සිරියාවේ දිගින්දිගට සිදුවන ලේ හැලීම්වලින් වඩවඩාත් උත්සන්න වෙමින් පවත්නා මහජන පිලිකුලක් නිර්මානය වී ඇති තුර්කියේ ද පසුගිය 2 දා සිදුවීමක් වාර්තා විය. සිරියානු කැරලිකරුවන් ලෙස විස්තර කොට ඇති සන්නද්ධ කන්ඩායමක් දේශ සීමා ආරක්ෂක පොලීසිය වෙත වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගිය අතර තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු විය. තුර්කි රජය ඉස්ලාම්වාදී "කැරලිකරුවන්”ට සහාය දී ඇති අතර වඩාත් සෘජු ලෙස මැදිහත් වන මෙන් එහි නැටෝ සහචරයන්ට බලපෑම් ද කොට ඇත.

පිව් පර්යේෂන මධ්‍යස්ථානය පැවැත්වූ නව මත විමසුමකට අනුව, සිරියානු සිවිල් යුද්ධය දේශ සීමාවලින් එපිටට පිටාර යාම පිලිබඳ උත්සුකයන් වැඩිවෙමින් පවතින අතර අසාද්-විරෝධී මිලීෂියාවන්ට බටහිරෙන් ලැබෙන යුද ආධාරවලට එරෙහි විරුද්ධත්වය ඉහවහා ගොස් ඇති බව හෙලිවී ඇත.

මත විමසුම හෙලිකර ඇත්තේ, සිරියාවේ සටන් තම රටට ද පැතිරයතැයි ලෙබනන වාසීන්ගෙන් සියයට 95ක් කලබලයට පත් වී ඇති බවයි. ජෝර්දාන වැසියන්ගෙන් සියයට 80කට ද තුර්කීන්ගෙන් සියයට 62කට ද මෙම බිය පොදුය.

ලෙබනන වැසියන්ගෙන් සියයට 80ක් බටහිර රටවල් විසින් "කැරලිකරුවන්” සන්නද්ධ කරනු ලැබීමට විරුද්ධ ය. එම රටේ සුන්නි ජනගහනයෙන් සියයට 66ක් පවා එබඳු කි‍්‍රයාවකට විරුද්ධත්වය පල කරති. තුර්කි ජාතිකයන් අතර සියයට හැට අටක ප‍්‍රතිශතයක් බටහිර රටවලින් අවි සැපයීමට විරුද්ධ වූ අතර, ටියුනීසියානුවන් සියයට 60ක් ද, ඊජිප්තු ජාතිකයන් සියයට 59ක් ද එපරිද්දෙන්ම විරුද්ධත්වය දැක්වූහ. බටහිර එවැනි කි‍්‍රයා මාර්ගයක් ගැනීම පිලිබඳ ව ජෝර්දානයෙන් පමනක් සියයට 53ක සුලු බහුතරයක සහායක් පල විය.

මේ ජනමත විමසුම පවත්වන ලද්දේ එක්සත් ජනපදය තුල පැවැති මත විමසීමකින් ඉක්බිතිව ය. එහි දී ඇමරිකානු ජනයාගෙන් සියයට 62ක් සිරියාවේ කවර හෝ මැදිහත්වීමකට විරුද්ධ වූ අතර ඊට සහාය දුන්නේ සියයට 25ක් පමනෙකි.

මෙම මත විමසුම් වලින් පෙන්නුම් කෙරෙන්නේ සිරියාව ආශි‍්‍රත කලාපයේ ද, එක්සත් ජනපදයේ ද, මුලු මහත් ලෝකය පුරා ම ද ජනයා අතර යුද්ධයට පවත්නා විරුද්ධත්වයයි. පසුගිය දශකයේ අත්දැකීම් වලින් මිලියන ගනන් ජනයා අවබෝධ කොට ගෙන සිටින්නේ "මානව හිමිකම්”, "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” හා "ත‍්‍රස්තවාදය” පිලිබඳ බොරු මවාපෑම් පසුපස එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි අනුචරයන්, නොවැලැක්විය හැකි පරිදි සමූහ ඝාතනයන්ට පාර කැපෙන කොල්ලකාරී හමුදා ආක‍්‍රමනයන්හි නිරත ව සිටින බවයි.

Share this article: