ශ්‍රී ලංකා ආන්ඩුව පොදු රාජ්‍ය මන්ඩල සමුලුවට සැරසෙයි

Sri Lankan government prepares for Commonwealth summit

නන්ද වික්‍රමසිංහ විසිනි , 2013 ඔක්තෝබර් 26

ලෝක කරලියේ සිය ප්‍රතිරූපය නඟා සිටුවීමේ උත්සාහයක නිරත වෙමින් ආන්ඩුව, නොවැම්බර් 15-17 දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මන්ඬල රාජ්‍ය නායක රැස්වීමේ (චෝගම්) සත්කාරකයා ලෙස දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් අරඹා තිබේ.

සමුලුවේ සමස්ත පිරිවැය කෙතරම් දැයි විමසූ කල විදේශ කටයුතු ඇමති ජී.එල්, පීරිස් මාධ්‍යයට මෙසේ පැවසීය. "සමුලුවට අප වියදම් කරන්නේ කොතෙක් දැයි නොඅසන්න. මෙම පිරිවැය තව තවත් විදේශ අරමුදල් ගලා ඒමට මඟ පාදන ආයෝජනයක් ලෙස දැකගත යුතුය."

චෝගම් රැස්වීමෙන් අනතුරුව, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි දෙවසර සඳහා පොදු රාජ්‍ය මන්ඬලයේ සභාපති බවට පත්වන්නේය. පැරනි බ්‍රිතාන්‍ය යටත් විජිත 52ක රාජ්‍ය නායකයින් සමග ඒවායේ පැරනි ස්වාමියා ද සහභාගි වන සමුලුව, මෙරට මානව අයිතීන් කඩ කිරීම පිලිබඳව එක්සත් ජනපදයෙන් (එජ) හා එහි සහචරයන්ගෙන් නැඟෙන පීඩනය ලිහිල්කර ගැනීමට උපකාරී වනු ඇතැයි ඔහු ගනන් බලයි. එසේම ඔහු, එමගින් විදේශ ආයෝජන වැඩිවනු ඇතැයි ද කම්කරු පන්තියට එරෙහිව සිය අත් ශක්තිමත් කරනු ඇතැයි ද බලාපොරොත්තු වේ.

රාජපක්ෂ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය අවධියේදී මිලිටරිය විසින් සිදුකරන ලද යුද අපරාධ පිලිබඳ ප්‍රශ්නය මතු වීම වලක්වා ගැනීමට ද උත්සාහ කරයි. එක්සත් ජාතීන්ගේ මන්ඬලයක් විසින් ගනන් බලා ඇති ආකාරයට, 2009 මැයි මාසයේ නිමා කෙරුනු යුද්ධයේ අවසන් මාසවල මිලිටරිය විසින් බෙහෝ කොටම සිවිල් වැසියන් ඇතුලුව අඩු තරමින් 40,000ක් දෙනා මරා දමා ඇත. එතැන් පටන් ආන්ඩුව, උතුරු හා නැඟෙනහිර පලාත්වල දැවැන්ත මිලිටරි ග්‍රහනයක් පවත්වාගෙන යන අතර ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව වැඩකරන ජනතාව හා තරුනයින්ගෙන් රට පුරා එල්ලවන විරෝධය මැඬීමට පොලිස් රාජ්‍ය ක්‍රමෝපායන් යොදා ගනියි.

බ්‍රිතන්‍ය, කැනඩාව, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව ඇතුලු පොදුරාජ්‍ය මන්ඬලයේ රටවල්, රාජපක්ෂගේ යුද්ධයට පූර්න පිටුබලය ලබා දුන්නේය. මෙම රටවල් එල්ටීටීඊය තහනම් කර එහි අරමුදල් අවහිර කලේය. බ්‍රිතාන්‍ය හා ඉන්දියාව රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරයන්ට මිලිටරි හා ක්‍රමෝපායික ආධාර ලබා දුන්නේය. දැන් ඔවුහු විවේචන ඉදිරිපත් කරති. එසේම මේ වසරේ මුල මෙරට මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ සීමිත පරීක්ෂනයක් සඳහා එජා මානව හිමිකම් කවුන්සිලයට එජ අනුග්‍රහයෙන් ඉදිරිපත් කල යෝජනාවට ඡන්දය දුන්නේය.

එජ හා මෙම රටවල කනස්සල්ල, දෙමල සුලුතරය ද ඇතුලු මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබඳව හෝ යුද්ධය අවධියේ මිලිටරිය විසින් සිදුකල අපරාධ පිලිබඳව හෝ නො වේ. ඔවුහු මෙම ප්‍රශ්නය චීනය සමග සබඳතා සීමා කරන ලෙස රාජපක්ෂ ආන්ඩුවට බල කිරීම සඳහා නරුම ලෙස ගසා කති. එජ හා ඉන්දියාව, ශ්‍රී ලංකාව තුලත් පුලුල් ආසියානු කලාපය තුලත් චීනයේ වර්ධනය වන අනුහස තමන්ගේ ආර්ථික හා මූලෝපායික අවශ්‍යතාවන්ට තර්ජනයක් ලෙස සලකති.

ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රශ්නයට අවධානය යොමු කර නැති නිසා තමන් චෝගම් සමුලුවට සහභාගී නොවන බව කැනඩාවේ අගමැති ස්ටෙෆන් හාපර් නරුම ලෙස කියා සිටියේය. නේටෝව හා ඇමරිකානු මිලිටරිය විසින් නිතිපතා මානව හිමිකම් උල්ලංඝනය හා යුද අපරාධ සිදුකරන ඇෆ්ගනිස්ථානය තුල, එජ මෙන්ම කැනඩාව ද නව විජිතවාදී ග්‍රහනයක් පවත්වාගෙන යාමේ පංඟුකාරයෙකි.

රාජපක්ෂට පීඩනය යෙදීමට දරන වොෂින්ටනයේ උත්සාහය සමග පෙල ගැසෙමින් හියුමන් රයිට්ස් වොච් හා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා ආයතනය) වැනි සංවිධාන, තමන් ගෙනයන වර්ජන ව්‍යාපාරය නඟාසිටුවීමට හාපර්ගේ නොපැමිනීම උපයෝගී කර ගනියි. විදේශගත විවිධ දෙමල සංවිධාන ද වර්ජනය සඳහා කැඳවුම් කරති. දෙමල ප්‍රභූ පැලැන්තියට වරප්‍රසාද සහතික කර ගැනීමේ ලා ඔවුහු, යුද්ධය සඳහා “දේශපාලන විසඳුමකට" ජාත්‍යන්තර සහාය අපේක්ෂා කරති.

තමන් චෝගම් සමුලුවට සහභාගිවී එය ආන්ඩුව තුල මානව හිමිකම් පිලිබඳ ප්‍රශ්නය මතු කිරීම පිනිස උපයෝගීකර ගන්නා බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේය. යථාර්තයේදී බ්‍රිතාන්‍යයේ අපේක්ෂාව, කොලඹ හා දකුනු ආසියාව තුල සිය දේශපාලන අනුහස හා ව්‍යාපාරික අවස්ථා නඟාසිටුවීම පිනිස සමුලුව යොදාගැනීමයි.

ජනාධිපති රාජපක්ෂ ඉන්දීය අගමැති මන්මෝහන් සිං සමුලුවට කැඳවා ගැනීම සඳහා මංමුලා සහගත උත්සාහයක නිරතව සිටියි. ඔහුගේ නොපැමිනීම දැනටමත් නරක අතට හැරී තිබෙන කොලඹ හා නවදිල්ලිය අතර සම්බන්ධතා තවදුරටත් පලුදු කරනු ඇත. මෙරට ප්‍රධාන දෙමල ධනපති පක්ෂය වන දෙමල ජාතික සංධානය සමග බලය බෙදාගැනීමේ එකඟත්වයක් සඳහා සිං ආන්ඩුවට බලපෑම් කරයි. මෙරට දෙමල ජනතාවට සලකන ආකාරය පිලිබඳව මහජන කෝපය දැල්වී ඇති දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පක්ෂ වෙතින් චෝගම් සමුලුව වර්ජනය කරන ලෙසට සිං වෙත බලපෑම් එල්ල වෙමින් තිබේ. "ඔබගේ පක්ෂය හා දෙමල ජනතාවගේ මතය ඇතුලු සියලු අදාල කාරනා සැලකිල්ලට ගැනීමෙන් පසුව පමනක්, චෝගම් සමුලුවට මගේ සහභාගිත්වය පිලිබඳ ප්‍රශ්නයට" අවධානය යොමුකරන බව සිං මෑතකදී ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායක එම්.කරුනානිධි සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කලේය.

ඉන්දියාවේ අවශ්‍යතා ඉදිරියට ගැනීමට මෙම අවස්ථාව යොදාගැනීම පිනිස ඊට සහභාගී වන ලෙස ඉන්දියානු සංස්ථාපිතයේ සමහර කොටස් සිංට බල කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසූ බව සඳහන් කරමින් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත, මෙසේ පවසීය. සහභාගිත්වය, "දිවයිනේ දෙමල සුලුතර ප්‍රජාව ද ඇතුලු ජාතියට සිය කැපවීම ප්‍රකාශයට පත්කරන කලාපීය බලවතෙකු ලෙස ඉන්දියාවේ තත්වය ශක්තිමත් කරනු ඇත."

ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් ද සමුලුවට සහභාගි වන්නේය. බලයට පත්වූ එරට ලේබර් හා සභාග ආන්ඩු, ඕස්ට්‍රේලියාවේ රැකවරන පැතීමට ඇති ප්‍රජාතන්ත්‍ර අයිතිය ක්‍රියාවට නඟමින් දිවයිනෙන් පලායන සංක්‍රමනිකයින්ට වැට බැඳීම පිනිස මෙරට ආන්ඩුව හා ආරක්ෂක හමුදා සමග සමීප සම්බන්ධයක් පවත්වාගෙන යයි.

චීනයට එරෙහිව ඉලක්ක කරමින් ආසියාවේ මිලිටරි බලය ගොඩනැඟීමේ ඔබාමා පාලනාධිකාරයේ ආක්‍රමනකාරී පිලිවෙතට වත්මන් සභාග ආන්ඩුව මුලුමනින්ම කැපවී සිටියි. පෙර පැවති ලේබර් ආන්ඩුව යටතේ එජ මිලිටරිය, ඕස්ට්‍රේලියානු කඳවුරු වෙත පුලුල් ප්‍රවිෂ්ටයක් හිමිකරගෙන සිටියි. නිසැකයෙන්ම ඇබට්, චීනයෙන් දුරස්ත වන ලෙසට රාජපක්ෂ වෙත බලපෑම් කිරීමට මෙම අවස්ථාව යොදාගනු ඇත.

මෙරටට විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට මංමුලාසහගතව සිටින රාජපක්ෂ ආන්ඩුව, ආයෝජකයින්ට ප්‍රධානය කෙරෙන බදු සහන පිලිබඳව පෙන්වා දීම සඳහා සමුලු වාතාවරනය තුල, ව්‍යාපාරික සංසද මාලාවක් සැලසුම් කරමින් සිටියි. 2013 සඳහා ඩොලර් බිලියන 2ක ආයෝජන සඳහා ආන්ඩුව සැලසුම් කරන නමුදු, වසරේ පලමු මාස හය සඳහා ලැබී ඇත්තේ මිලියන 537ක් පමනි.

පොදුරාජ්‍ය මන්ඬලයට ඇතුලත් අප්‍රිකාවේ හා ආසියාවේ විවිධ රටවල මිලියන සිය ගනන් දුගී ජනතාවගේ පීඩාවන් ගැන කටින් බතලකොල හිටවනු නිසැක ය. එහෙත් බ්‍රිතාන්‍යයන් නිල වශයෙන් නිදහස ලබා දශක ගනනාවකට පසුව ද මෙම රටවල පාලක පන්තීන්, දුප්පත්කම හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයේ යටත් විජිත උරුමයෙන් මිදී ගැනීමට මුලුමනින්ම අසමත් බව ඔප්පුකර තිබේ.

කම්කරුවන් හා පීඩිතයින්ගේ ජීවන කොන්දේසි තුලට ගැඹුරින්ම කාවැදී ඇති ආන්ඩුවේ පිලිවෙත් කෙරෙහි වැඩෙන කෝපය හා විරුද්ධත්වය අවමංගත කිරීමේ තවත් ව්‍යායාමයක් ලෙස සමුලුව යොදාගැනීමට රාජපක්ෂ වෑයම් කරයි. රූපවාහිනියේ පෙනීසිටිමින් "අපගේ රටේ රාජ්‍ය නායකයා පොදුරාජ්‍ය මන්ඬලයේ නායකයා බවට පත්වන දිනය අපට කෙතරම් අබිමානයක් දැයි" පැවසීමට ජනප්‍රිය නලු නිලියන් ජනාධිපති විසින් පෙල ගස්වා ඇත.

ඉඳ හිට පුහු අධිරාජ්‍ය විරෝධී රඟපෑමේ යෙදුන ද රාජපක්ෂ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මෙම නෂ්ඨාවශේෂයෙහි නායකත්වය දැරීමට කිසිදු පැකිලීමක් නොදක්වයි.

Share this article: