පොදුරාජ්‍ය මන්ඩල සමුලුව රාජපක්ෂ ආන්ඩුවට යොදන බටහිර බලපෑම් උත්සන්න කරයි

Commonwealth summit heightens Western pressure on Rajapakse government

දීපාල් ජයසේකර විසිනි, 2013 නොවැම්බර් 18

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සත්කාරක ආන්ඩුවට බටහිර බලවතුන් යොදමින් ඇති පීඩනය, නොවැම්බර් 15-17 දිනවල කොලඹදී පැවති පොදුරාජ්‍ය මන්ඬල රාජ්‍ය නායක සමුලුව හෙවත් චෝගම් රැස්වීම මගින් සලකුනු කෙරින. ඒ, ප්‍රකටව ඇති පරිදි මිලිටරිය විසින් 2009දී සමූහ වශයෙන් සිදු කල දෙමල සිවිල් වැසියන් ඝාතනය කිරීම හා සිදුවෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීම මුල්කරගෙනය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිවී ගෙන ගිය යුද්ධයේ අවසන් අදියරයන්හිදී ආන්ඩුව චීනය සමග සමීප සම්බන්ධතා ගොඩනඟා ගත් අතර වොෂින්ටනය හා එහි අනුචරයින් මෙන්ම ඉන්දියාව ද චීනයෙන් ඈත්ව සිටිය යුතු බව අවධාරනය කිරීම පිනිස මානව අයිතීන් පිලිබඳ ප්‍රශ්නය ගසාකමින් ගෙන යන ව්‍යාපාරය යටපත් කිරීම පිනිස චෝගම් සමුලුව යොදාගැනීමට ජනාධිපතිට අවශ්‍යව තිබුනි.

සමාජ නොසංසුන්තාවක් ඇතිවීම වැලැක්වීමේ උත්සාහයක නිරත වෙමින් ආන්ඩුව, සමුලුව පැවැත්වෙන කාලය තුල සියලු විරෝධතා තහනම් කලේය. බ්‍රිතාන්‍යයේ චැනල් 4 මාධ්‍යවේදීන්, යුද්ධයෙන් විපතට පත් උතුරු ප්‍රදේශයට දුම්රියෙන් ගමන් කරමින් සිටියදී ආන්ඩු ගැති මැර කල්ලි අනුරාධපුර දුම්රිය ස්ථානය අවහිර කරමින් ඔවුන්ගේ ගමන කඩාකප්පල් කලහ. මැරයෝ අනුරාධපුරයේ සිට කිලිනොච්චිය දක්වා සියලු දුම්රිය ස්ථාන ද අවහිර කලහ.

කෙසේ වෙතත් ඉන්දියානු අගමැති මන්මෝහන් සිං හා කැනේඩියානු අගමැති ස්ටෙෆන් හාපර්, සමුලුව වර්ජනය කිරීමට තීන්දු කිරීම රාජපක්ෂගේ උත්සාහයට ප්‍රබල පහරක් විය. මෙම තත්වය, මොරිෂස් අගමැති නවින් රම්ගූලන් වර්ජනයට එක්වීම හා සහභාගී වුවත්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එම අවස්ථාව, මානව හිමිකම් හා යුද අපරාධ පිලිබඳ ප්‍රශ්න මතු කිරීමට උපයෝගී කර ගැනීම නිසා උග්‍ර අතට හැරුනි.

තමන් සමුලුවට සහභාගී නොවන්නේ ආන්ඩුව විශේෂයෙන්ම දෙමල ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝනය කිරීමේ හේතුව නිසා බව හාපර් හා රම්ගූලම් යන දෙදෙනාම කියා තිබුනි. ඉන්දියානු අගමැති මන්මෝහන් සිං, නිශ්චිත හේතුවක් නොදක්වා "විවිධ හේතු" නිසා චෝගම් රැස්වීමට සහභාගී වීමට නොහැකිවීම ගැන කනගාටුව පල කරන ලිපියක් රාජපක්ෂ වෙත යොමුකර තිබුනි. කෙසේ වෙතත් ඔහුගේ තීරනය, දකුනු ඉන්දියාවේ තමිල්නාඩු දේශපාලන පක්ෂ හා තම කොන්ග්‍රස් පක්ෂයේ සමහර ඇමතිවරු සතුටු කිරීමේ වෑයමකි. තමිල්නාඩුවේ පක්ෂ, ආන්ඩුවේ යුද අපරාධ හා උතුරේ දෙමල ප්‍රභූ කොටස් සමග බලය බෙදාගැනීමේ ගිවිසුමක් ඇතිකර ගැනීමට ආන්ඩුව අසමත්වී ඇති බව කියා සිටිමින්, ඉන්දියාව සමුලුව වර්ජනය කල යුතු බව පැවසූහ.

කලාපීයව හා ජාත්‍යන්තරව සිය ප්‍රතිරූපය නංවා ගැනීමේ අරමුනින්, ප්‍රධාන කලාපීය බලවතා ලෙස සිංගේ සහභාගිත්වය සහතික කර ගැනීමට ආන්ඩුව දැඩි වෙහෙසක් දැරීය. සිං පැමිනියහොත්, ආන්ඩුව දෙමල ජනතාවට සලකන ආකාරය ගැන බටහිරෙන් එල්ල වන විවේචන පසුබැස්සවිය හැකි යයි ආන්ඩුව ගනන් බැලීය.

සිං, හාපර්, රම්ගූලාම් හා කැමරන්ගේ කටයුතු, මෙරට දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රිය අයිතීන් ආරක්ෂා කිරීමට මෙලොව සම්බන්ධයක් නැත. චීනයේ වැඩෙන අනුහස පසුබැස්වීම සඳහා ඉන්දු-පැසිෆික් කලාපයට "හැරීමේ" ඔබාමා පාලනාධිකාරයේ පිලිවෙතෙහි කොටසක් ලෙස, රාජපක්ෂට බලපැම් කිරීම පිනිස මානව අයිතීන් පිලිබඳ ප්‍රශ්නය යොදාගැනීමේදී එක්සත් ජනපදය සමග පෙලගැසීමට හාපර් තීරනය කලේය. ආන්ඩුවේ මැතිවරන කටයුතුවලදී කැනඩාවේ සිටින විශාල දෙමල පිටුවහල් ප්‍රජාවගේ සහාය ගොනුකර ගැනීමට ද හාපර් බලාපොරොත්තු විය.

ආන්ඩුවට විශාල හිසරදයක් බවට පත්වූ කැමරන්ගේ මැදිහත්වීම ද සිදුවූයේ, ඒ හා සමාන එජ ගැති මූලෝපායික ගනන් බැලීම් මතය. 15දා පැවති චෝගම් ආරම්භක සැසියෙන් පසුව කැමරන් යාපනයේ සංචාරයක නිරතවූ අතර සිය ඥාතීන් මෙරට පාලක බලධාරීන් විසින් ඝාතනය කල බව කියා සිටි 250ක් පමන දෙමල විරෝධතාකරුවෝ ඔහු වටකර ගත්හ.

යාපනයේ සිටින කාලය තුල කැමරන්, ගිනිතැබීම් ද කාර්ය මන්ඬලය මරා දැමීම ද ඇතුලු ආන්ඩු ගැති මැරයින් විසින් සිදු කල ප්‍රචන්ඬ ප්‍රහාර ගනනාවකට මුහුනපෑ උදයන් යන දෙමල දිනපතා පුවත්පතේ කාර්යාලයට ද ගියේය. පසුව ඔහු, දෙමල ප්‍රභූ පැලැන්තියේ ප්‍රධාන පක්ෂය වන දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) මහ ඇමති ලෙස මෑතකදී උතුරු පලාත් සභාවට පත්වූ සී.වී. විග්නේශ්වරන් හමු විය. කැමරන් සමග චැනල් 4, බීබීසී, ටීටීවී ඇතුලු බ්‍රිතාන්‍ය මාධ්‍ය ජාලයන්හි මාධ්‍යවේදීහු ද ගමන් ගත්හ.

2009 වසරේ එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් කාලය තුල මිලිටරිය විසින් සිදු කරන ලද යුද අපරාධ හෙලිදරව් කරන වාර්තා චිත්‍රපට තුනක් චැනල් 4 විකාශනය කලේය. චෝගම් සමුලුව ආසන්නයේ චැනල් 4 තම අලුත්ම චිත්‍රපටය විකාශනය කල අතර 40,000ක් දෙමල වැසියන් ඝාතනය කර ඇති බව සඳහන් කරන එය, එල්ටීටීඊ රූපවාහිනී නාලිකවේ ඉහල පෙලේ කාන්තා වැඩසටහන් සම්පාදක වරියක් වූ ෂෝභා වෙත් ඉසයිප්‍රියා මිලිටරිය විසින් මරාදැමූ ආකාරය ද විකාශනය කලේය. වීඩියෝ පටය පෙන්වන ආකාරයට ඇය කිසිදු තුවාලයකින් තොරව පන පිටින් අල්ලාගෙන තිබුනි.

මෙම වාර්තාමය වැඩසටහන කැමරන් විස්තර කලේ, වෙඩි මුක්ත කලාපය "ලොමුදැහැ ගන්වන" සුලු ලෙසය. ආඥාපති මේජර් ජෙනරාල් කමල් ගුනරත්න සිදුකල "මෙහෙයුමකදී“ තවත් එල්ටීටීඊ නායකයින් 31 දෙනෙක් සමග ශෝභා ද මිය ගිය බවට ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය පල කල බොරුව ද මෙහිදී හෙලිදරව් විය.

16දා මාධ්‍ය හමුවේදී කැමරන්, "(යුද අපරාධ) චෝදනා පරික්ෂා කිරීමට විශ්වාසනීය යාන්ත්‍රනයක්" අවශ්‍ය බව කියා සිටියේය. එසේම, ශ්‍රී ලංකාව ලබන මාර්තු වන විට ඊට ප්‍රතිචාර දැක්වීමට අසමත් වුවහොත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬලය තුල දරන තැන ද පාවිච්චි කරමින් බ්‍රිතාන්‍ය, "ජාත්‍යන්තර පරීක්ෂනයක්" දියත් කරන ලෙසට එජා මානව හිමිකම් මන්ඬලයට කරුනු දක්වන බවට ඔහු අනතුරු ඇඟවීය. තමන් රාපක්ෂට මෙසේ පැවසූ බව ද ඔහු කියා සිටියේය. "මෙම විශේෂිත කාරනය ඉවත්ව යනු ඇතැයි මම විශ්වාස නොකරමි. එය දැන් ජාත්‍යන්තර විෂය පථයට ඇතුලත්ය."

මෙය නොතකා හරිමින් රාජපක්ෂ මාධ්‍ය සමුලුව අවසානයේදී පැවසුවේ, "ඔහුට තමන් කැමති දෙයක් කීමට පුලුවන. විදුරු කුටි තුල සිටින මිනිසුන් අනෙක් අයට ගල් නොගැසිය යුතුය." යනුවෙනි. කැමරන් ශ්‍රී ලංකාවට පීඩනය යොදන්නේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් රාජපක්ෂ, "පීඩනය දැමීමෙන් කිසිවක් වන්නේ නැත. ඉල්ලීම් කිරීමට හෝ නියෝග පැනවීමට වඩා බලා සිටීම හොඳය"යි පැවසීය.

තමන්ගේම ප්‍රෝඩාකාරී උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමක් පත් කරමින් ආන්ඩුව, පැහැදිලි සාක්ෂි තිබියදීත්, යුද්ධය අවධියේ කිසිදු අයුරකින් සිවිල් වැසියන් මරා දැමූ බව එක දිගටම ප්‍රතික්ෂේප කර ඇත.

ආන්ඩුවේ ආස්ථානයට චෝගම් රැස්වීමේදී ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් විවෘතවම සහාය දැක්වීය. "මෙම පොදුරාජ්‍ය මන්ඬල රැස්වීමේ සත්කාරක රට ලෙස ඉදිරිපත්වීමේදී ශ්‍රී ලංකාව, ප්‍රජාතන්ත්‍රවාදී බහුවිධතාව හා නීතිය මත පදනම්වූ නිදහස කෙරෙහි සිය කැපවීම පෙන්නුම් කර තිබේ. ඊයේට වඩා අද හොඳ වනවාක් මෙන් අදට වඩා හෙට හොඳ බව ද තම පුරවැසියන්ට සහතික කල යුතුය." යි පවසමින් ඔහු සිය සමුලු කථාවේදී රාජපක්ෂ ආන්ඩුව වර්නනා කලේය.

වධදීම් පිලිබඳව ආරක්ෂක හමුදාවලට චෝදනා නැගුනු වාර්තා පිලිබඳව කථා කරමින් ඇබට්, වධදීම් ගැන සමාව දිය යුතු අතර සිය ආන්ඩුව එය "නොඉවසන නමුත් සමහර දුෂ්කර අවස්ථාවලදී කටුක දේ සිදුවන අප පිලිගත යුතු බව පැවසීය. සිය අවසන් මාධ්‍ය සමුලුවේදී රාජපක්ෂ ඇබට් හට ඔහු දැක්වූ සහයෝගය පිලිබඳව ස්තුති කලේය.

ඇබට්ගේ වර්නනාව ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදයේ ආර්ථික අවශ්‍යතා සෘජුවම නියෝජනය කලේය. දේශපාලන රැකවරන පතා බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට යන මෙරට වැසියන් නතර කිරීමට ආන්ඩුව කැන්බරාව සමග සමීප සම්බන්ධතා ඇතිව කටයුතු කර තිබේ. එම "යහපත් හා සමීප සම්බන්ධතාව" තවදුරටත් ශක්තිමත් කිරීමට තමාට අවශ්‍ය බව ඔහු කියා සිටියේය. රැස්වීමේ අවසන් දිනයේදී ඇබට්, "මිනිසුන් හොරට ප්‍රවාහනය කිරීමට" එරෙහිව සටන් වැදීම පිනිස ආන්ඩුව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බවත් නාවික මුර යාත්‍රා දෙකක් මෙරටට ලබාදෙන බවත් සඳහන් කලේය.

කලින් පැවති ඕස්ට්‍රේලියානු කම්කරු ආන්ඩුව ඇතිකරගෙන තිබෙන ඒ හා සමාන ගිවිසුම් වලට පසුව එන මෙම පියවර, ආන්ඩුවේ දඩයමට හා පීඩාවන්ට බියෙන් පලායාමට උත්සාහ දරන දෙමල හා අනෙකුත් ශ්‍රී ලාංකික පුරවැසියන්ද අල්ලා ගැනීම සදහා ආන්ඩුවට ආධාර කිරීමට සමානය.

එසේම චෝගම් රැස්වීමට සම්බන්ධවූ නවසීලන්ත විදේශ ඇමති මරේ මැක් කලි, තම රටේ සත්ව පාලන කර්මාන්තයේ අවශ්‍යතා ඒත්තු ගැන්වීමට උත්සුක විය. නවසීලන්තය යුද අපරාධ චෝදනා පිලිබඳ ස්වාධීන පරීක්ෂනකයකට සහාය නොදෙන බව ඔහු පැවසීය. උතුරට කල සංචාරයක් අතරතුර ඔහු මුලතිව්හි කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානයකට මුල් ගල තැබීය. පසුව ඔහු ඩොලර් මිලියන දෙකක ආයෝජනයක් සහිත සත්ව නිෂ්පාදන සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය.

එක්සත් ජනපද සහචරයින් දෙදෙනෙකුගේ පිටුබලය ලැබුන ද චෝගම්, රාජපක්ෂ ආන්ඩුවට විශාල හිසරදයක් විය. එය රාජපක්ෂ ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන් හා මාධ්‍ය මර්දනයේ පොලිස් රාජ්‍ය ක්‍රමෝපායන්ගේ මෙන්ම ක්‍රමානුකූලව එහි යුද අපරාධ වසං කිරීමට ද දැරූ ප්‍රයත්නයක් විය.

Share this article: