යසර් අරෆත් ඝාතනය

The assassination of Yasser Arafat

2013 නොවැම්බර් 16

ප්‍රන්ස මිලිටරි රෝහලකදී 2004 නොවැම්බර් 11දා යසර් අරෆත් මියගොස් නව වසරකට පසුව, ස්විස් විෂ විද්‍යාඥයින් කන්ඬායමක් විසින් ඔහුගේ ගොඩගන්නා ලද ශරීර කොටස් තුල මෙන්ම මිනී වැස්ම හා සොහොනේ පස් අතර ද විකිරනශීලී සමස්ථානිකය පොලෝනියම්-210 අඬංඟු බවට සාක්ෂි සොයාගන්නා ලදී.

ෆටා සංවිධානයේ නායකයා වූ ද පලස්තීන අධිකාරියේ තෝරා පත්කරගත් ජනාධිපති වූ ද අරෆත්ගේ ශරීරය තුල පොලෝනියම් විස අඬංඟු බවට සාක්ෂි, රුසියානු කන්ඩායමක් විසින් ද සොයාගන්නා ලදී. හිටපු පලස්තීන නායකයාට විස ශරීරගත කල බවට සියයට 83ක හැකියාවක් ඇතැයි ස්විස් විද්‍යාඥයෝ කියා සිටියහ.

අරෆත්ගේ මරනය ගැන ප්‍රන්ස බලධාරීන් පැවැත්වූ පුලුල් පරීක්ෂනයක කොටසක් වන මෙම සොයාගැනීම්, පලස්තීන නායකයා ඝාතනය කර ඇති බව සනාථ කරයි.

මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවූ අරෆත්, 2004 ඔක්තෝබර් මාසයේදී රමාලාහි සිය නිවසේදී රෝගී වූ වහාම, ඔහුට වස දී ඇති බවට සැක පැතිර ගියේය. එය එසේමදැයි නිගමනය කිරීමට නොහැකිවූ බව තහවුරු විය. පලස්තීනයේදී හා ප්‍රන්සයේදී ඔහුට ප්‍රතිකාර කල වෛද්‍යවරුන් කිසිවෙකුත් ඔහුගේ රෝගී තත්වයට හේතුව අනාවරනය කර ගැනීමට සමත් වූයේ නැත. එය වනාහි අභ්‍යන්තර ප්‍රදාහයේ, කාමලාවේ හා විස්තෘත අන්තහ් වාහිනික කැටිවීම ලෙස හඳුනාගෙන ඇති රුධිර තත්වයේ සංකලනයක් විය.

අරෆත් සමඟ මිතු දමක් ගොඩනඟාගෙන සිටි, හිටපු එක්සත් ජනපද ඔත්තු සේවයේ ආරක්ෂකයෙකු වූ විමර්ෂනාත්මක මාධ්‍යෙව්දී ක්ලේටන් ස්විෂර් අරෆත්ගේ මරනය පිලිබඳ සිය සැකය මතුකල තතු හමුවේ, කටාර්හි ප්‍රවෘති නාලිකාවක් වන අල් ජසීරාව පරීක්ෂනයක් දියත් කලේය. පලස්තීන අධිකාරියට විරුද්ධ, ගාසා තීරය පාලනය කරන, මුස්ලිම් සහෝදරත්වයේ අංකුරයක් වන, පිටුවහලේ සිටින හමාස් සංවිධානයේ නායකත්වයට හා කලෙඩ් මෂාල්හි අනුග්‍රාහකයා ද රැකවරනය සපයන්නා ද වී ඇත්තේ කටාර් රාජ්‍යයයි.

අල් ජසීරාවේ පරීක්ෂනයෙන් අරෆත්ගේ සිරුරේ පොලෝනියම් අන්තර්ගත බවට සාක්ෂි සොයාගත් අතර ප්‍රන්සයෙහි අපරාධ පරීක්ෂනයක් ඇරඹීමටත් ඔහුගේ මෘත ශරීරය ගොඩ ගැනීමටත් එය තුඩු දුන්නේය. අරෆත්ගේ බිරිඳ හා පලස්තීන අධිකාරය අතර ආතතිය ප්‍රකාශයට පත් කරමින් ඇය, සිරුරේ කොටස් ස්විට්සර්ලන්තයටත්, පලස්තීන අධිකාරය සිරුරු කොටස් රුසියාවටත් යැවූහ.

අරෆත්ගේ සමීපතම සහකරුවා වූ අබු ජිහාඩ් ද ඇතුලු නොයෙකුත් පලස්තීන නායකයින් ඝාතනය කර තිබීමේ තතු හමුවේ වහාම, අරෆත්ගේ මරනය පිලිබඳව වගකිවයුත්තා බවට යුක්තිසහගත ලෙස ඊස්රායලයට චෝදනා එල්ල විය.

අරෆත් මරාදැමීමට අසාර්ථක උත්සාහයක් දරා ඇති බව හිටපු ඊස්රායල් අගමැති ඒරියල් ෂැරොන් ප්‍රසිද්ධියේම පිලිගත්තේය. පලස්තීන අධිකාරියේ නායකයා ඝාතනය කිරීම ඊස්රායලයේ රාජ්‍ය පිලිවෙත බවට පත්ව තිබුනි.

නියෝජ්‍ය අගමැති ඒහුඩ් ඔල්මර්ට්, 2003 සැප්තැම්බරයේදී, "සාමයට බාධාකාරී අරෆත් ඉවත් කිරීමට තීරනයක්“ යනුවෙන් අරෆත් කම්මුතු කිරීමට කැබිනට් මන්ඬල තීරනයක් ඇති බව කියා සිටිමින්, පලස්තීන ජනාධිපති මරාදැමීමට ඊස්රායල් ආන්ඩුව අදිටන්කරගෙන සිටින බව ප්‍රසිද්ධියේ කියා සිටියේය.

දෙවන ඉන්ටිෆාඩාව 2000 සැප්තැම්බරයේ ආරම්භවූ තැන් පටන් අරෆත්, පලස්තීනුවන්ගේ ජීවිතය කෙරෙහි අවම බලපෑමකට වැඩි දෙයක් කිරීමට නොහැකි වන පරිදි බෝම්බ හෙලා සුන්බුන් කල ඔහුගේ රමල්ලාහි කාර්යාලයේ සිරකරුවෙක් බවට පත්කර තිබුනි. යසර් අරෆත් කම්මුතු කිරීමේ ඊස්රායල් තීරනය හෙලා දකින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬල යෝජනාවට එරෙහිව නිෂේධ බලය යොදමින් බුෂ් පාලනාධිකාරය ඊස්රායලයට පූර්න සහාය පල කලේය.

ඊස්රායල් කිසිවිටෙකත් තීරනය ප්‍රතික්ෂේප කලේ නැත. අරෆත් අවසන් වශයෙන් රොගාතුරවූ අවධියට යන්තම් සති කිහිපයකට පෙර ෂැරොන්, ඔහු මරා දැමීමේ තර්ජනය අලුත් කලේය.

1990 ගනන්වල පටන්ම අරෆත්, 1993 ඔස්ලෝ සම්මුතිය යටතේ පලස්තීන ජාතික අධිකාරියක් නිර්මානය කිරීමට එකඟව සිටි අතර ඊස්රායලය හා එක්සත් ජනපදය සමග සම්මුතියකට එලඹීමට යලි යලිත් උත්සාහ කර තිබුනි. ඊට හිලව් වශයෙන්, සිය නායකයින් ඉමහත් ලෙස ධනවත් වන තතු හමුවේ, දුගී පලස්තීනුවන්ට සත්‍ය වශයෙන්ම හිර කඳවුරක් තුල කොටුවී සිටීමට සිදුවූ අතර ඔවුන්ගේ පොලිස්කාරකම අරෆත් වෙත පැවරුනි.

සිය විප්ලවවාදී ජාතිකවාදී අතීතයට අරෆත්ගේ උරුමයක් තිබුන තතු හමුවේ, තමන්ගේම ජනතාවට එරෙහිව සිවිල් යුද්ධයක් දියත් කිරීමට සමානවූ, අල් අක්සා මාටියර්ස් බ්‍රිගේඩ් හා හමාස් සංවිධානය ඊස්රායලය කෙරෙහි ගෙන ගිය සටන්කාමී විරුද්ධත්වය මැඬීම පිනිස පලස්තීන අධිකාරය යොදාගැනීමේදී එය ඒ සඳහා හරහට සිටියේය.

ඔහුගේ මරනය එම බාධකය ඉවත්කොට, මාමුඩ් අබ්බාස් යටතේ වඩා කීකරු නායකත්වයක් ස්ථාපිත කිරීම සඳහා මඟ හෙලි කලේය.

ඊස්රායල් ප්‍රකාශකයින් වසර ගනනාවක් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසුව අවසානයේදී ඊස්රායල් ජනාධිපති එය සත්‍යය බව පිලිගත්තේය. පසුගිය සතිය වන තෙක් පල නොකර තිබූ, මාස කිහිපයකට පෙර නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී පෙරේස්, අරෆත් ඝාතනය නොකල යුතුව තිබුනු බවත්, ඔහු මරා දැමීමේ ප්‍රතිපත්තියට තමන් විරුද්ධව සිටි බවත් කියා සිටියේය. "අරෆත්ගේ ජීවිතයට හානි කිරීමේ කුමන්ත්‍රන ගනනාවකින් තමන් අරෆත් රැකගත් බව“ ඔහු පැවසීය.

අරෆත්ගේ ඝාතනය, වොෂින්ටනය හා එහි සහචරයින් අනුගමනය කරන පිලිවෙතේ අමු සාපරාධී ස්වභාවය පිලිබඳ සාක්ෂියකි. මෙය සිදුවූයේ, 9/11 ත්‍රස්ත ප්‍රහාර කඩතුරාව කර ගනිමින්, ඉරාකයේ ජන ඝාතක අවි පිලිබඳ බොරු උපයෝගී කරගෙන, ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයට එරෙහිව යටත් විජිත ආධිපත්‍ය හා ආක්‍රමනකාරී යුද්ධ දියත් කිරීමෙන් පසුවය. අරෆත්ගේ ඝාතනයෙන් පසුව, වඩාත් විවෘතව කිවහොත් "ඉලක්ක කල ඝාතන“ යන ඩ්‍රෝන් ඝාතන, එජ මෙන්ම ඊස්රායලයේ ද නිල රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් අරෆත් ඝාතනයේ වගකීම වොෂින්ටනයෙන් හා ටෙල් අවීව් වලින් අවසන් නොවේ. රමල්ලාහි අරෆත්ගේ පරිවාරකයින් අතරින් යමෙක් වස දීමේ ක්‍රියාව පරිපාලනය කල තත්වය තුල, ඔහුගේ මරනයේ ස්වභාවය පලස්තීන නායකත්වයේ කොටස් අතර පවතින පාප සහායකත්වය කෙරෙහි යොමු වෙයි.

සත්‍යය හෙලිවීම වැලැක්වීම සඳහා අබ්බාස්ගේ නායකත්වයෙන් යුත් නව පලස්තීන නායකත්වය තමන්ට කල හැකි සියල්ල කිරීමේ හේතුව නිසා මරනයට හේතුව හඳුනාගැනීමට වසර නවයක් ගතව තිබේ. අරෆත්ගේ මරනය පිලිබඳව සොයාබැලීම සඳහා පලස්තීන අධිකාරය කිසිවක් කර ඇත්තේ නැත. එය මරන පරීක්ෂනයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කලේය. තවත් වෛද්‍ය තොරතුරු සඳහා එය ප්‍රන්ස බලධාරීගෙන් ලිඛිතව ඉල්ලා සිටියේ 2009 වසරේදීය. වෝහාරික සාක්ෂි ලෙස පාවිච්චි කල හැකි ද්‍රව්‍ය සපයන ලෙස ඔවුන් අරෆත්ගේ බිරිඳගෙන් ඉල්ලුවේ නැත.

අරාබි ලීගයේ අයෙකු හෝ සිරියාව ඉලක්ක කරගෙන පැවැත්වූ ලෙබනන් නායක රාෆික් හරීරි ඝාතනය පිලිබඳ එක්සත් ජාතින්ගේ පරීක්ෂනය වැන්නක් කැඳවුම් කරමින් පලස්තීන අධිකාරය මෘත දේහය ගොඩගැනීමට අදි මදි කලේය.

තමන්ගේම පාලක පන්තිය ද අධිරාජ්‍යවාදය ද විසින් ගෙන යන සූරාකෑමට විකල්පයක් ඉදිරිපත් කිරීමෙන් කම්කරු පන්තිය වලක්වන ලද ජාතිකවාදී ඉදිරිදර්ශනයේ අවෘත අන්තරය අරෆත් ඝාතනයෙන් මුලුමනින්ම ප්‍රකාශයට පත් වෙයි. රාජ්‍යයක් සඳහා ගෙන ගිය අරගලයට සමීපයෙන්ම බැඳී සිටි පුද්ගලයා, ඔහුම නිර්මානය කල සංවිධානයේ නායකත්වය ලෙස මතුව ආ බිලියනපතියන් කල්ලියකගේ අධිකාරය යටතේ මරා දැමුනේය යන අවබෝධය පලස්තීන කම්කරු පන්තිය හමුවේ එලිමහනට පමුනුවා තිබේ.

ඒ අර්ථයෙන් ගත් කල අවශ්‍ය‍යන්ම, පලස්තීනය අවශේෂ මැද පෙරදිගින් වෙනස් වන්නේ නැත. එහිදී ද තුච්ඡ ජාතිකවාදී නායකයෝ, තමන්ගේම වැඩකරන ජනතාවගේ වියදමෙන් තෙල් සමාගම් හා බැංකු වල අවශ්‍යතා වෙනුවෙන් සේවය කරති. පෞද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතා සන්තර්පනය කිරීමේ පදනම මත, ධනවාදය විසින් නිර්මානය කරන ලද නිෂ්පාදන බලවේග ගෝලීයව සංවිධානය කිරීමේ පාලනය සියතට ගන්නා කම්කරු පන්තියේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනය පමනක්, ආර්ථික අගහිඟකම, මර්දනය හා යුද්ධයට ප්‍රගතිශීලී විකල්පයක් සම්පාදනය කරනු ඇත.

ඊස්රායල්/පලස්තීන කම්කරුවන්ට සමාජවාදය සාක්ෂාත් කල හැක්කේ, ආගම, නිකාය හෝ වාර්ගිකත්වයට ඉහලින් සමස්ත මැද පෙරදිග වැඩකරන ජනතාව, කලාපීය පාලක පන්තීන්ට හා එක්සත් ජනපදයේ ද යුරෝපයේ ද ඔවුන්ගේ හාම්පුතුන්ට එරෙහි පොදු අරගලයක් තුලට ඒකාබද්ධ කිරීමෙන් පමනකි.

ජීන් ෂෝල්

Share this article: