ජනාධිපති ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි ඝාතනයේ සිට අඩ සියවසක්

A half-century since the assassination of President John Fitzgerald Kennedy

2013 නොවැම්බර් 22

අවුරුදු පනහකට පෙර අද වැනි දිනක, එනම් 1963 නොවැම්බර් 22වැනිදා, එක්සත් ජනපදයේ 35වැනි ජනාධිපති ජෝන් පිට්ස්ජෙරල්ඩ් කෙනඩි ඝාතනය කරන ලද්දේ, ඔහුගේ රිය පෙරහැර ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් හි ඩිලේ ප්ලාසා අසලින් ඉදිරියට ඇදෙන විට දී ය. ඇමරිකානු ඉතිහාසය පිලිබඳ අනෙකුත් බොහෝ සුලභ වාක්‍ය ඛන්ඩයන්ට වෙනස් ව, දේශපාලනිකව දැනුවත් වීමට ප්‍රමානවත් වයසක සිටි කිසිවෙකුට, “ඩලාස් හිදී ජනාධිපතිගේ රථ පෙරහැරට එල්ල කල වෙඩි ප්‍රහාර තුනේ” ප්‍රවෘත්තිය එක්සත් ජනපදය පුරා හා ලෝකය වටා වේගයෙන් පැතිරුන මොහෝතේ, තමන් සිටියේ කොහි දැ යි සැබවින්ම අමතක නොවනු ඇත යන්න සත්‍යයකි. අඩ-සියවසකට පසු ව පවා, එම සිකුරාදා සවස ක්ෂතිකව සිදුවූ දේ හා එයට පසු පැමිනි දවස්වල සිදුවීම් නිමක් නැති මිලියන ගනනාවකගේ විඤ්ඤානය තුල විවිධාකාරයෙන් තැන්පත්ව ඇත.

මෙම සංවත්සරයේ දී මතුවන පලමු ප්‍රශ්නය, ජෝන් එෆ්. කෙනඩිගේ මරනය අඩසියවසකට පසුව ද ඇමරිකානු ජනතාවගේ විඥානය මත එලෙස රැඳී තිබෙන්නේ මන්ද යන්න යි. ඔහු ඝාතනය කෙරුනු පලමුවැනියා නොව හතරවැනි ඇමරිකානු ජනාධිපතිය. සැබවින් ම, 1865 අප්‍රේල් මාසයේ දී සිදුකල ඒබ්‍රහම් ලින්කන් ඝාතනය ආසන්න වශයෙන් වසර 150ට පසුව පවා ජාතික විඥානය තුල ජීවමානය. එය ඇමරිකානු ඉතිහාසයේ ඉතාමත් ඛේදනීය හා අමිහිරි සිදුවීම්වලින් එකකි. එය තේරුම් ගැනීමට අපහසු නො වේ. සියල්ල අභිබවා ලින්කන් යනු ඇමරිකාවේ ශ්‍රේෂ්ඨත ම ජනාධිපතිය. වහල් සේවය අවසන් කල සිවිල් යුද්ධයක දී එක්සත් ජනපදය මෙහෙය වූ ලෝක ඉතිහාසයේ සෙනෙහෙබර වීරයා ඔහු වීම යුක්ති සහගතය. රටේ ඉතිහාසය තුල ලින්කන්ගේ තැන විශිෂ්ට වන අතර ඔහුගේ ඝාතනය ඇමරිකානු අත්දැකීම්වල අමරනීය මොහොතකි.

1931දී ජේම්ස් ගාර්ෆීල්ඩ් හා 1951දී විලියම් මැකෙන්සි යන, ඝාතකයන් අතින් මියගිය අනෙක් ජනාධිපතීන් දෙදෙනා එම කාලයේ දී සිහිපත් කල ද වහා ම අමතක කෙරුනි. නිශ්චිතව ම 1931දී ගාර්ෆීල්ඩ්ගේ හෝ 1951දී මැකෙන්සිගේ ඝාතන පිලිබඳ අනුස්මරන ගැන සැලකිය යුතු වාර්තා නොමැත. එසේ නම්, කෙනඩි ඝාතනය ජාතික විඤ්ඤානයෙන් මැකී නො ගියේ මන් ද? එක් අනිවාර්ය කරුනක් නම්, කෙනඩි ඝාතනය කෙරුනේ රූපවාහිනී යුගයේ දී වීම ය. ඝාතනය ම ද පටිගත කෙරුනි. චෝදනා ලත් ඔහුගේ ඝාතකයා වූ ලී හාවී ඔස්වල්ඩ් මරා දැමුනු ආකාරය ජාතික රූපවාහිනියේ සජීවි ව විකාශනය විය. ජනාධිපතිගේ අවමංගල්‍යය සැබවින් ම මුළු රට ම නැරඹූ හ. 1963 නොවැම්බර් සිදුවීම්වල වාර්තා ගත කෙරුනු දර්ශනයන් බොහෝකොටම අකාලික සමීපස්ථභාවයක් අත්පත් කර දෙයි.

කෙසේ නමුත්, කෙනඩිගේ මරනය පිලිබඳ චිරස්ථායි දේශපාලනික දෝංකාරය සඳහා වැදගත් හේතු තිබේ. වඩාත් ප්‍රකට කාරනය නම්, ඇමරිකානු ජනතාවගේ අති විශාල බහුතරය වොරන් වාර්තාව තුල ඉදිරිපත් කරන ලද ඝාතනය පිලිබඳ නිල අදහස් කිසි දා පිලිගත්තේ නැත යන්නයි: ජනාධිපතිගේ ඝාතනය හුදකලා තුවක්කුකරුවෙකුගේ, එනම් ලී හාර්වී ඔස්වල්ඩ්ගේ ක්‍රියාවක් විය. ඔහු වඩා පුළුල් දේශපාලන කුමන්ත්‍රනයක කොටසක් නොවී ය.

වොරන් වාර්තාවේ විවේචකයින් "කුමන්ත්‍රන න්‍යායවාදීන්” ලෙස හෙලාදකින සියලු ම මාධ්‍ය උත්සාහයන් නොතකා ඇමරිකානු මහජනතාව, මේ පිලිබඳව සිය විනිශ්චය ඉදිරිපත් කර ඇත. 1964 එය ප්‍රකාශයට පත් කෙරුනු දවසේ සිට ම වාගේ වොරන් වාර්තාව දකිනු ලැබ ඇත්තේ දේශපාලන වසංකිරීමක් ලෙස ය. සත්තකින් ම එය එසේ විය. කෙනඩි කුමන්ත්‍රනයක ගොදුරක් වූ බව සිය දේශපාලන හිතෛයිෂීන්ට පැවසූ ජනාධිපති ලින්ඩන් බී ජොන්සන්, වාර්තාව අනුමත කලේ, නිවරදිවම සැකයෙන් පිරුනු ජනතාවකගේ සැක දුරුකිරීමේ උත්සාහයක් ලෙසය.

වොරන් කොමිසමේ සංස්ථාපිතය, ඝාතනය පිලිබඳ මොනයම් හෝ බැරෑරුම් සෝදිසි කිරීමක් බැහර කලහ. හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ ඇලන් ඩ්යුලස් (කියුබාවේ බේ ඔෆ් පිග්ස් ආසාර්ථක ආක්‍රමනයෙන් පසුව කෙනඩි ඔහු තනතුරෙන් පහකර තිබුනි) හා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වූ ඉතාමත් ආනුභාවසම්පන්න හා බලගතු “ඥානවන්ත මිනිසුන්” අතර සිටි, ඩුලස්ගේ පැරනි මිතුරෙකු වූ ජෝන් මැක්ලෝයි වැනි රාජ්‍ය රහස්‍යභාවයේ ඉහල මට්ටමේ ආරක්ෂකයින් එහි සාමාජිකයෝ වූහ. තනි තුවක්කු කරුවෙකු සිදුකල ඝාතනයක් පිලිබඳ න්‍යාය සැක කල අය, ඔවුන්ගේ විසම්මතික අදහස ඔවුන්ට ම තියාගෙන, ජනාධිපති ඝාතනයේ දී ලී හාවි ඔස්වල්ඩ් තනිවම ක්‍රියා කර තිබුනි යන ඒකමතික නිගමනය ඔස්සේ ඉදිරියට යාමට පෙලඹවීමේ දී මැක්ලෝයි තීරනාත්මක භූමිකාවක් රඟ දැක්වී ය.

කොමිසමේ සාමාජිකයින්ගෙන් එක් අයෙකු වූ, මන්ත්‍රී මන්ඬල බහුතරයේ නායකයා වීමට නියමිතව සිටි කොන්ග්‍රස් සභික හේල් බොග්ස් පසුව, කුප්‍රකට "තනි උන්ඩ” න්‍යාය පිලිබඳව තමන්ට සැක සාංකා පැවති බව පිලිගත්තේය. එම න්‍යාය අවධාරනය කලේ එක ම උන්ඩය කෙනඩි හා ටෙක්සාස් ආන්ඩුකාර ජෝන් කොනලි යන දෙදෙනො ම පසාරු කර ගෙන ගිය බව යි. වාර්තාවී ඇති පරිදි 1972දී ඔහුගේ පෞද්ගලික ගුවන් යානය ඇලැස්කාවේ දී කඩා වැටුනු අවස්ථාවේ බොග්ස් මිය ගියේ ය. ඔහුගේ දේහය හෝ යානය කිසි දිනෙක සොයා නො ගැනුනි.

වොරන් කොමිසමේ ආරක්ෂකයින් දශක ගනනාවක් තිස්සේ "කුමන්ත්‍රන න්‍යාය” නම් යෙදුම පාවිච්චි කරන ලද්දේ ඇමරිකානු ජනාධිපතිවරයෙකු ඝාතනය කිරීම පිලිබඳ දේශපාලන හේතුවක් අඟවන සියලු සාක්ෂි හා තර්ක හෙලාදැකීමේ පරිහාස වදනක් ලෙස ය. ඊට වෙනස් ව ඝාතනය දැකිය යුතු ව තිබුනේ ඇමරිකානු සමාජයට හා දේශපාලනයට අසම්බන්ධ මුග්ධ හා අර්ථ විරහිත සිදුවීමක් ලෙස ය. කිසි ම තත්වයක් යටතේ දී වත් ජනාධිපතිවරයාගේ ඝාතනය, ආන්ඩුව තුල ගැටුම් හා අර්බුදයේ ලේවැකි ප්‍රතිඵලයක් ලෙස දැකිය නො හැකි විය. එය ඇමරිකානු රාජ්‍යයේ අතිශය දුෂ්ඨ හා කුනු වූ යමක් විය. නිල වසන්කිරීම අරමුනුකර ගත්තේය.

එක්සත් ජනපදය බොහෝ අඳුරු රහස් සහිත රටකි. කෙනඩි ඝාතනය කලේ කවුරුන් විසින් දැයි ඇමරිකානු ජනතාව කිසි දිනක දැන නොගැනීමට හේතුව එය විය හැකිය. එහෙත් කෙනඩි ඝාතනයේ ගැඹුරු හේතු පැහදිලි කල හැක. එක් බියකරු මොහොතක හදිසියේ ම කෙනඩි ඝාතනය කිරීම, එක්සත් ජනපදයේ උග්‍ර අභ්‍යන්තර සමාජ පරස්පරවිරෝධයන් සහ ලෝකයේ ප්‍රධානත ම අධිරාජ්‍යවාදී බලවතා ලෙස එහි පශ්චාත් යුද්ධ අවධියේ ප්‍රතිගාමී හා නරුම භූමිකාව අතර අන්තර්ක්‍රියාකාරිත්වයේ අනපේක්ෂිත හා පිපිරෙනසුළු ප්‍රතිවිපාක සමගින් ඇමරිකානුවන් හමුවට පැමිනවීය.

ජෝන් එෆ්. කෙනඩි ධවල මන්දිරයට අවතීර්නය වූයේ 1961 ජනවාරියේ දී ය. ඒ වන විට දෙවැනි ලෝක යුද්ධය අවසානයේ සිට ගෙවී ගොස් තිබුනේ අවුරුදු 16ක් පමනී.1945 අගෝස්තුවේ දී ටෘමන් පාලනාධිකාරය, සෝවියට් සංගමය සමග එලඹෙන අරගලය පූර්වාපේක්ෂාවෙන් හිරොෂිමා හා නාගසාකි යන ජපන් නගර දෙක මත පරමානු බෝම්බ දැමීමේ කෘර තීරනය ගත්තේ, එක්සත් ජනපදයේ සාර්වබලධාරිත්වය හා නිර්දය බව පෙන්වීමට ය. පරමානු බෝම්බ දෙක මිලිටරි අවශ්‍යතාවකට වඩා දේශපාලන ආයුධයක් විය.

ඇමරිකානු ඉතිහාසඥ ගේබ්‍රියල් ජැක්සන් පසුව පැවසූ පරිදි: "1945 අගෝස්තුවේ විශේෂිත වාතාවරනයන් යටතේ පරමානු බෝම්බය යොදා ගැනීම පෙන්නුම් කලේ, මනෝවිද්‍යාත්මකව බොහෝ සම්මත හා ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගත් ප්‍රධාන විධායකයාට, නාසි ඒකාධිපතියා පාවිච්චි කිරීමට ඉඩ තිබූ ආකාරයට එය පාවිච්චි කල හැකි වූ බව යි. මේ ආකාරයෙන් එක්සත් ජනපදය —එකිනෙකට වෙනස් ආන්ඩුවල හැසිරීම තුල සදාචාරමය විශිෂ්ටතාව පිලිබඳ උත්සුක වන ඕනෑ ම අයෙකුට — ෆැසිස්ට්වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර වෙනස බොඳකර දැමී ය.” [Civilization and Barbarity in 20th-Century Europe (New York: Humanity Books, 1999), pp. 176-77]

ලෝකයේ ප්‍රමුඛ ධනේශ්වර බලවතා හැටියට එක්සත් ජනපදය යුද්ධයෙන් මතුව ආවේ ය. යුද්ධය මගින් බ්‍රිතාන්‍ය බංකොලොත් කර තිබුන අතර එහි මුල් අධිරාජ්‍යවාදී ශ්‍රී විභූතියේ සිට එහි දීර්ග නින්දා සහගත පසුබෑම හොඳින් ම ප්‍රදර්ශනය කල අතර එය නතර කල නො හැකි විය. තම අධිරාජ්‍යයේ එල්ලී සිටීමට ප්‍රන්ස ධනේශ්වරය දැරූ උත්සාහය, පලමුව වියට්නාමයේ දී හා දෙවනුව ඇලිජීරියාවේ දී ඇදී ගියේ විනාසය කරා ය. සිය කාලය පැමින ඇති බව ඇමරිකානු පලාක පන්තිය විශ්වාස කලේ ය. පැහදිලිවම අසීමිත කාර්මික බලය, නව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුල ඩොලරයේ ප්‍රමුඛ භුමිකාව, හා පරමානු බෝම්බයේ තනි අයිතිය, එලඹෙන දශක ගනනාවකට සිය ආධිපත්‍ය සහතික කරනු ඇතැ යි ඇමරිකානු පාලක පන්තිය ගනන් බැලී ය. අභිමානයේ පැතිරීමත් සමග එය, 1900 ගනන් තමන් වෙනුවෙන් ම නැවත නම් කලේ එයට “ඇමරිකානු සියවස” යනුවෙන් පවා කියා ගනිමිනි.

කෙනඩි පදවිප්‍රාප්ත කෙරෙනු කාලය වන විට, පශ්චාත් යුද කාලීන ඉතිහාසයේ ගමන් මග විසින් ඇමරිකානු පාලක ප්‍රභූවේ මිත්‍යාවන් හා ස්වයං-විශ්වාසය යන දෙකෙහි ම පතුල හාරා තිබුනි. අධිරාජ්‍ය-විරෝධී විප්ලවයේ මහජන උදම්රල පෙර 15ස් වසර තුල සීඝ්‍රෙයන් වර්ධනය වී තිබුනි. චීන විප්ලවය අධිරජ්‍ය ගැති චියෑන්ග් කායි -ෂෙක් තන්ත්‍රය බලයෙන් නෙරපා හැර තිබුනි. චීන ආන්ඩුවේ පමනක් නො ව සෝවියට් ආන්ඩුවේ පවා මිලිටරි “පසුබැස්වීමක්” එක්සත් ජනපදයට අත් කර ගත හැකි යැයි ජෙනරල් මැක්ආතර් හා පෙන්ටගනයේ අනෙකුත් පිස්සන් හා දේශපාලන සංස්ථාපිතයේ කන්ඩායම් විසින් කාවද්දන ලද සිහින, කොරියන් යුද්ධයේ විනාසය තුල සුනු විසුනු කෙරුනි. එහෙත් “පසුබැස්වීමක” සිට සීමා පැනවීමකට මාරුවීම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලික ප්‍රතිවිප්ලවවාදී තල්ලුව වෙනස් නො කලේ ය.

සෝවියට් සංගමය හා චීනය සමග මුහුනට මුහුන ලා කෙරෙන මිලිටරි ගැටුමක් වෙනුවට කොමියුනිස්ට් විරෝධී “සීමායන” මූලෝපාය, වෛරයට පාත්‍ර වූ ඇමරිකානු ගැති රූකඩ තන්ත්‍ර පිම්බීමට එල්ල වූ මර්ධනකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ත්‍රස්තවිරෝධී මෙහෙයුම්වල අවසානයක් නැති පඹගාලක එක්සත් ජනපදය පැටලවීය. ලෝකයේ කිසියම් හෝ විදේශ ආන්ඩුවක් අධිරාජ්‍ය විරෝධී සහනුකම්පාවන් දරන්නේ යැයි එක්සත් ජනපදය විසින් හඳුනා ගනු ලැබී නම් එය කඩාකප්පල් කිරීමට සුදුසු වූ අතර එහි නායකයින් ඝාතනය සඳහා ඉලක්ක කරගත්තේය. සමාජවාදී සහනුකම්පාවන් දැරීම ගැන කියනුම කවරේ ද?

1947දී ටෘමන් ආන්ඩුව විසින් ස්ථාපිත කරන ලද මධ්‍යම ඔත්තු සේවය (සීඅයි ඒ) එහි නිසි තැන ලැබුවේ 1950ස් ගනන් වල අයිසන් හවර් යටතේ ය. එක්සත් ජනපදයේ ගෝලීය උත්සුකතාවන්ට තර්ජනයක් වනු ඇතැයි පෙනුනු තන්ත්‍රයන්ට එරෙහිව එක්සත් ජනපද අනුග්‍රහය ලත් කුමන්ත්‍රනකාරී රාජ්‍ය පෙරලීම් —ඉතාමත් කුප්‍රකට ලෙස ගෝතමාලාවේ හා ඉරානයේ — හා අවසානයක් නැති කුමන්ත්‍රනවල දශකයක් වූයේ මෙය යි. බලගතු සංගත උත්සුකයන්, දැවන්ත මිලිටරි සංස්ථාපිතය හා ඉහල ම රහස් ඔත්තු සේවා ඒජන්සි පෙලක් මත පදනම්වූ “ජාතික ආරක්ෂක රාජ්‍ය” ලෙස සඳහන් කරන ලද පර්යාය, එක්සත් ජනපදය තුල ප්‍රජාතන්ත්‍රවාදයේ සම්ප්‍රදායානුකූල රූපාකාරයන් පවත්වාගෙන යාම සමග සමහන් කල නො හැකි පරිමාවක් අත්කර ගත්තේ ය. වර්ධනය වීමට සමහර විට ඔහුම අනුබල දි තිබූ රකුසාට බිය වී, විශ්‍රාම ගැනීමට දින කීපයකට පෙර ජනාධිපති අයිසන් හවර්, රූපවාහිනී ගතකල “සමු ගැනීමේ දේශනයක් ” පැවත් වූ අතර එහි දී ඔහු, “ මිලිටරි -කාර්මික සංකීර්නයක” වැඩීම, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවත්මට දැවන්ත තර්ජනයක් එල්ල කරන බවට.ඇමරිකානු මහජනතාවට අනතුරු ඇඟවීය.

1961 ජනවාරි 20දා සිය පදවිප්‍රාප්ත කතාවේ දී කෙනඩි, පුලුල් අධිෂ්ඨානවත් හඬක් ආරූඩ කර ගැනීමට උත්සාහ කලේය. මහත් පුරාජේරු බසකින් යුත් ඡේදයක් තුල ඔහු පැවසුවේ, එක්සත් ජනපදයේ ගෝලීය උත්සුකයන් ආරක්ෂා කිරීම සඳහා, “ඕනෑ ම මිලක් ගෙවීමට, ඕනෑ ම බරක් දැරීමට, ඕනෑ ම දුෂ්කරතාවකට මුහුනදීමට, ඕනෑ ම මිතුරෙකුට උදව් කිරීමට හා ඕනෑ ම පසමිතුරෙකුට විරුද්ධවීමට” කැමති වනු ඇති “ඇමරිකානුවන්ගේ නව පරම්පරාවකට ගිනිසිලුව පිලිගන්වා ඇත” යනුවෙනි. කෙසේ නමුත්, සියලු ඝෝෂාකාරී කයිවාරු වෙනුවට කෙනඩිගේ කතාව, පාලක ප්‍රභූව මුහුන දෙන අභියෝගයන්ට ප්‍රකාශනයක් ලබා දුන්නේ ය. වඩා නිරව්‍යාජ ඡේදයක දී ඔහු, එක්සත් ජනපදයට “දුප්පත් බොහෝ දෙනාට උදව් කල නොහැකි නම්, පොහොසත් කීප දෙනා බේරා ගත නො හැකි” යයි අනතුරු ඇඟවීය.

මැකාති යුගයේ මර්දනය හා අප්‍රිකානු - ඇමරිකානුවන්ගේ මූලික ප්‍රජා අයිතීන් ම්ලේච්ඡ ආකාරයෙන් මැඬීම මගින් ඒ වන විටත් ලෝකයාගේ ඇස් පනාපිට බෙහෙවින් අපකීර්තියට පත්ව තිබූ එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී මවාපෑම්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අන පැනවීම් සමග කයිවාරු මගින් එකලස් කිරීමේ උත්සාහයකි කෙනඩිගේ කතාව. එම කයිවාරු ගැසීමේ ව්‍යායමය, කෙනඩි පාලනාධිකාරයේ ජනතාවාදී පෙනුම හැඩගැස්වීම පිනිස උපයෝගී කර ගෙන තිබුනි.

එහෙත් මතු පිටට යටින්, වඩා අප්‍රසන්න යතාර්ථය පැවතුනි. පදවි ප්‍රාප්තියෙන් මාස තුනක් ඉක්ම යාමටත් පෙර, සීඅයිඒ සංවිධානය විසින් නිර්මානය කර තිබූ කස්ත්‍රෝ විරෝධී හමුදාවක්, කියුබාව තුල ප්‍රතිවප්ලවවාදී ආක්‍රමනයක් දියත් කිරීම සඳහා යොදාගැනීමට කෙනඩි සිය අවසන් අනුමැතිය ලබා දුන්නේ ය. ඔවුන් කියුබාවට ගොඩ බැස්ස විට ආක්‍රමනිකයන් විමුක්ති දායකයන් ලෙස පිලිගනු ඇතැයි යන අදහස නව ජනාධිපතිට ලබාදී තිබුනි. එවැනි නැගිටීමක් සිදුවන්නට ඉඩක් නොතිබුනු බව සීඅයිඒ දැන සිටි නමුත් ආක්‍රමනය ඇරඹී තිබෙන තතු හමුවේ, ඇමරිකාව අනුග්‍රහය දැක්වූ එම මෙහෙයුමේ පරාජය වලක්වා ගැනීමට එක්සත් ජනපද හමුදා යෙදවීම සඳහා කෙනඩිට බල කෙරෙනු ඇති බව උපකල්පනය කරන ලදී. කෙසේ නමුත්, බර්ලිනය තුල සෝවියට් ප්‍රතිප්‍රහාරයක් පිලිබඳ බිය නිසා කෙනඩි, කස්ත්‍රෝ විරෝධී කුලී හමුදාවන්ට සහායදීමට මැදිහත්වීම ප්‍රතික්ෂේප කලේ ය. පැය 72කටත් අඩු කාලයක දී ආක්‍රමනය පරාජය කරන ලද අතර කුලී භටයින් 1000ට වඩා අත්අඬංඟුවට ගැනුනි. මෙම “පාවාදීම“ සඳහා සීඅයිඒ සංවිධානය කිසි දිනක කෙනඩිට සමාව නොදුන්නේ ය.

බේ ඔෆ් පිග්ස් විනාසයෙන් කෙනඩි මෙල්ල වෙන්නට ඉඩ ඇති නමුත් සීඅයිඒ හා එක්සත් ජනපද මිලිටරිය විසින් ඔහුට දෙන ලද අසත්‍ය සහතික පිලිබඳ කෙනඩි තුල පැවති කෝපය රහසක් නො වී ය. එහෙත් 1961 අප්‍රේල් පරාජය, අක්‍රමනකාරී මෙහෙයුම්වලට කෙනඩිගේ කැපවීම අවසන් නො කලේ ය. ඝාතන කුමන්ත්‍රන, විශේෂයෙන් ම කස්ත්‍රෝට එරෙහිව, ඔහුගේ මෙන් ම ඔහුගේ සහෝදරයා වන රොබට් තුල ද පැවති මෝහනය, බොහෝ සරලව වාර්තා ගත කෙරී ඇත. අවසානයේදී මෙම කුමන්ත්‍රන, මාෆියා මැරයින් බඳවා ගැනීමේ අවශ්‍යතාවය මතු කල අතර කෙනඩි පාලනාධිකාරය, සාපරාධී පාතාලය සමග ස්වයං-විනාසකාරී සම්බන්ධතාවන්ට ඇද දමනු ලැබිනි.

1960 ගනන්වල අවසානයේ එක්සත් ජනපදය තුල, පිපිරීමට නියමිත වූ සමාජ ආතතීන් කෙනඩි පාලන අවධිය වන විටත් පැහදිලි ව දක්නට ලැබුනි. සිය ප්‍රජා අයිතීන් පාවිච්චි කිරීමට අප්‍රිකානු -ඇමරිකානුවන්ට පැවති අධිෂ්ඨානය, 1954 අධ්‍යාපන මන්ඩලයට එරෙහිව බ්‍රවුන් පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවට අභියෝග කල ප්‍රාන්ත ආන්ඩුවල ප්‍රචන්ඩත්වයට මුහුන දුන්නේ ය. තව ද, වෘත්තීය සමිති නිලධරය විසින් ද උද්යෝගයෙන් අනුබල දුන්, රාජ්‍යයේ හා මාධ්‍යවල නිර්දය ප්‍රති-කොමියුනිස්ට්වාදී ප්‍රචාරයන් නො සලකා ජීවන තත්වයන්ගේ හා සමාජ සුභසාදනයේ සැලකිය යුතු වැඩි දියුනුවක් සඳහා කම්කරු පන්තිය නොකඩවා බලපෑම් කලහ. තමා නිව් ඩීල් ප්‍රතිසංස්කරනවාදී සම්ප්‍රදායන්ගේ නියෝජිතයෙකැ යි කියා ගත් කෙනඩි, තමන් ඝාතනය කිරීමට පෙර ඉදිරිපත් කල ව්‍යවස්ථාදායක න්‍යායපත්‍රය, ඔහු ඝාතනය කිරීමෙන් පසුව ස්ථාපිත කල වෛද්‍යාරක්ෂාව පිලිබඳ නීතියකට මග පෑදීය.

ජනාධිපති ධුරයේ අවසන් වසරේ දී ජාත්‍යන්තර ප්‍රතිපත්තිවල තීරනාත්මක ප්‍රශ්න මත පාලක පන්තිය තුල දේශපාලන බෙදීම් වඩාත් තීව්‍ර විය. 1962 ඔක්තෝබරයේ මිසයිල අර්බුදයේ දී කියුබාව ආක්‍රමනය නොකිරීමේ කෙනඩිගේ තීරනයට ඒකාබද්ධ හමුදා නායක මන්ඬලය විරුද්ධ විය. එක්සත් ජනපදය හා සෝවියට් සංගමය න්‍යෂ්ඨික යුද්ධයක ආසන්නයට ගෙන ආ එම ඛේදජනක අර්බුදය පිලිබඳ යෝජනාවෙන් පසුව කෙනඩි, න්‍යෂ්ඨික පරීක්ෂන තහනම් කිරීමේ වගන්තියක් වෙනුවෙන් පෙනී සිටි අතර පසුව එය සම්මත කර ගත්තේ ය.

මෙම පියවර මගින් කෙනඩි, සීතල යුද්ධ න්‍යාය පත්‍රය අතහැර තිබුනු බවක් ඇඟවුම් නො කලේ ය. සැබවින් ම ජනාධිපති ධුරයේ අවසාන මාස තුන තුල ඔහු පූර්වනියුක්ත කෙරුනේ, වියට්නාමයේ තීව්‍රවුන අර්බුදය සමගය. ජීවත් ව සිටියා නම් කෙනඩි වියට්නාමයේ දී කුමන ක්‍රියාමාර්ගය තෝරා ගැනීමට ඉඩ තිබුනා දැ යි නීර්නය කිරීමට නො හැකි වුවත්, එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීමට ඔහු පක්ෂපාත වනු ඇති බව ට සහායක් ඓතිහාසික වාර්තාවෙන් නම් ලැබෙන්නේ නැත. දකුනු වියට්නාම් ජනාධිපති ඩින් ඩියෙම් බලයෙන් පහ කිරීමට කෙනඩි අනුමැතිය දුන් අතර ප්‍රතිඵලය වූයේ 1963 නොවැම්බර් 01දා ඩියෙම් ඝාතනය කිරීම යි. කුමන්ත්‍රනයේ අරමුන වූයේ ඩියම්ට වඩා කාර්යක්ෂම ලෙස ජාතික විමුක්ති පෙරමුනට එරෙහිව යුද්ධය ගෙන යා හැකි නව කොමියුනිස්ට් විරෝධී තන්ත්‍රයක් ස්ථාපිත කිරීම යි. සති තුනකට පසු ඩලාස් හි දී කෙනඩි ඝාතනය කෙරුනි.

ජනාධිපති කෙනඩි ඝාතනය, නූතන එක්සත් ජනපද ඉතිහාසයේ තීරනාත්මක සන්ධිස්ථානයක් සලකුනු කලේය. කෙනඩිගේ මරනයට අඩ සියවසකට පෙර 1913දී, එක්සත් ජනපදයේ 28වැනි ජනාධිපති ලෙස වුඩ්රෝ විල්සන් පදවි ප්‍රාප්ත කෙරුනි. ඔහුගේ පාලන කාලය තුල 1917දී එක්සත් ජනපදය පලමු ලෝක යුද්ධයට අවතීරනය වූයේ “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ලෝකය සුරක්ෂිත කිරීමට” පොරොන්දු වෙමිනි. ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ විල්සන්ගේ කුහක කැඳවුම රැගත් ධජය යටතේ එක්සත් ජනපදය පලමු වරට ප්‍රධාන අධිරජ්‍යවාදී බලවතා ලෙස මතුවිය. ෆ්‍රැන්කලීන් ඩී.රූස්වල්ට් ගේ ජනාධිපති ධුර කාලයේ දී එම තත්වය තහවුරු කෙරින. ඔහු උත්සාහ කලේ නව ගිවිසුමේ (නිව් ඩීල්) සමාජ ප්‍රතිසංස්කරන තුලින් එක්සත් ජනපද ධනවාදයට මහජන පදනමක් සුරක්ෂිතකිරීමට ය. දෙවැනි ලෝක යුද්ධය තුල එක්සත් ජනපදයේ මැදිහත්වීම, ෆැසිස්ට්වාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටනක් ලෙස නිරූපනය කිරීමට මෙම ප්‍රතිසංස්කරන මගින් රූස්වෙල්ට් පාලනාධිකාරයට හැකියාව ලබා දුන්නේ ය.

කෙනඩි පාලනාධිකාරය එම යුගය අවසානයකට ගෙන ආවේ ය. අර්ථාන්විත ලෙස කෙනඩි පාලනාධිකාරය බලයට පැමින තිබුනේ, හරියට ම අර්ථශ්‍රාස්ත්‍රඥයින් ඇමරිකානු ධනවාදයේ ගෝලීය තත්වයෙහි ඛාදනයේ සැලකිය යුතු සංඥාවන් හඳුනාගැනීමට පටන් ගත් ලක්ෂයේ දී ය. පලමුව යුරෝපීය හා දෙවනුව ජපාන ධනවාදය දෙවැනි ලෝක යුද්ධයේ විනාශයෙන් ගොඩ ඒමත් සමග එක්සත් ජනපදයේ ආර්ථික ආධිපත්‍යය ප්‍රශ්නයට ලක්වුනි. කෙනඩිගේ ඝාතනයෙන් යන්තම් වසර අටකට පසු, ජාත්‍යන්තර වෙලඳාම හා ගෙවීම් තුලනයේ නාටකාකාර වෙනස සලකුනු කරමින් ඩොලර්-රත්‍රන් ද්‍රවශීලිතාව පිලිබඳ ‍බ්‍රෙට්න් වුඩ්ස් පද්ධතිය බිඳ වැටුනි. එක්සත් ජනපදය නිශ්චිතව ම දිග්ගැස්සුන පරිහානියේ යුගයකට අවතීර්න වී තිබුනි.

මහජන මතය තුලදීවත්, එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සමග සිය පාලනාධිකාරය සම්බන්ධ කිරීමට සමත් වූ අවසාන ජනාධිපති වූයේ ජෝන් එෆ්.කෙනඩි ය. එහෙත් ඔහුගේ ජනාධිපති ධුරයේ දේශපාලනික හා සාදාචාරාත්මක පදනම්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරිනාමය මගින් ඒ වන විටත් මාරාන්තික ලෙස ඛාදනය කෙරී තිබුනි. ඇමරිකානු ජනතාවගේ අතිමහත් බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ හා අභිලාෂ කොතරම් අවංක වුවත් එක්සත් ජනපදය දෙවැනි ලෝක යුද්ධයට අවතීර්නව වූයේ ඇමරිකානු ධනවාදයේ ගෝලීය උත්සුකතාවන් ආරක්ෂා කිරීමට ය. යුද්ධයට පසු වසරවල එහි ප්‍රතිපත්ති ඊටත් වඩා සාපරාධී ස්වභාවයක් ගත්තේ ය. ප්‍රජාතන්ත්‍රවායේ වාගාලාප යාතිකාව හා ඇමරිකානු ප්‍රතිපත්තිවල ම්ලේච්ඡ යතාර්ථය අතර හිදැස ජාත්‍යන්තර ව හෝ එක්සත් ජනපදය තුල හෝ වසන් කල නොහැක. විශේෂයෙන් ම කෙනඩිගේ මරනින් පසු, ඔහුගේ උද්යෝගිමත් අනුගමිකයින්, ඔහුගේ පාලනාධිකාරය හැඳින් වූයේ “Camelot.” (ශුභවාදයේ හා ආදරයේ දීප්තිමත් මන්දිරය) ලෙස ය. එය“කාන්තිමත් හා දිලිසෙන බොරුවක්” ලෙස විස්තර කිරීම වඩාත් සුදුසු ය.

ඩේවිඩ් නෝර්ත්

Share this article: