වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන් සේවයෙන් නෙරපීමට එරෙහි ඇන්සල් ලංකා වර්ජනය මාසය ඉක්මවයි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2013 නොවැම්බර් 12

සේවයෙන් නෙරපීමට හා වැඩ ඉලක්කයන් ඉහල දැමීමට එරෙහිව ඇන්සල් ලංකා වර්ජනය

වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන් 11 දෙනෙකු සේවයන් නෙරපීමට හා වැඩ ඉලක්කයන් ඉහල දැමීමට එරෙහිව බියගම නිදහස් වෙලඳ කලාපයේ ඇන්සල් ලංකා සේවකයන් විසින් ඔක්තෝබර් 11 දා ආරම්භ කල වර්ජනයට මාසයක් ගත වී ඇත. කාර්ය මන්ඩල සේවකයන් හා කොන්ත‍්‍රාත් පදනමේ අනියම් සේවකයන් හැර දහසකට අධික සෙසු සියලුම සේවකයෝ වර්ජනයට සහභාගී වී සිටිති. වර්ජනයට සම්බන්ධ සේවකයෝ ඇන්ටන් මාකස් නායකත්වය දරන නිදහස් වෙලඳකලාප සහ පොදුසේවා කම්කරු සංගමයේ (නිවෙක සහ පොසේස) සාමාජිකයෝ වෙති.

නිවෙක සහ පොසේසයේ ඇන්සල් ලංකා ශාඛාවේ සභාපති, උප සභාපති, ලේකම් හා උප ලේකම් ඇතුලු සමිති ක‍්‍රියාකාරීන් 11 දෙනෙකු සේවයෙන් නෙරපා ඇත්තේ අනෙකුත් සේවකයින් බියවද්දා වැඩ වේගවත් කිරීමේ වැඩපිලිවෙලට එරෙහිව ඔවුන් අතර වර්ධනය වන විරෝධය මර්දනය කිරීම පිනිස ය. නෙරපා ඇති ශාඛා සමිති නායකයන්ට පොදුවේ එල්ල වී ඇති චෝදනාව වන්නේ සේවකයන් උසිගැන්වීමයි.

වර්ජිත සේවකයන් ඇන්සල් ලංකා පරිශ‍්‍රය තුල රැස්වීම වැලැක්වීම සඳහා පාලනාධිකාරය විසින් අධිකරන නියෝගයක් ලබාගෙන ඇත. සේවක ඉල්ලීම් සම්බන්ධව කම්කරු ඇමති ගාමිනි ලොකුගේ සහ කම්කරු කොමසාරිස්ගේ මැදිහත්වීමෙන් වෘත්තීය සමිතිය සහ පාලනාධිකාරය අතර සාකච්ඡා වට කිහිපයක් පැවතී ඇතත් විසඳුමක් ලැබී නැත. නිෂ්පාදන ඉලක්කයන් පෙර තත්වයෙන් පවත්වාගෙන යන ලෙස කම්කරු කොමසාරිස් කර ඇති නියෝගය ක‍්‍රියාවට දැමීම ද සමාගම විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. කොන්ත‍්‍රාත් සේවකයන් යොදාගෙන වර්ජනය බිඳීමේ දුෂ්ට තැතක ද සමාගම් පාලනාධිකාරය යෙදී සිටී.

වෘත්තීය සමිතිය පිහිටුවා ඇත්තේ 2008 වසරේ වුවද නිලවශයෙන් එය පිලිගැනීම ඇන්සල් ලංකා පාලකයන් විසින් දිගට ම ප‍්‍රතික්ෂේප කර ඇත. සමිති ක‍්‍රියාකාරීන් දඩයම් කිරීම මගින් ඇඟවුම් කෙරෙන්නේ ලාබ සුරා කෑම තීව‍්‍ර කිරීමට එරෙහිව සේවකයන් ගේ මොන ම විරුද්ධත්වයක්වත් ඉවසීමට ඇන්සල් පාලකයන් නුසූදානම් බව ය.

නිෂ්පාදන ඵලදායිතාව ඉහල දමා ගැනීමේ කොටසක් ලෙස, වෛද්‍ය අත්වැසුම් අංශයේ වැඩ ඉලක්කය විනාඩියකට අත්වැසුම් යුගල 60 සිට 70 දක්වා ඉහල දමා ඇත. සෙසු අංශවල ද වැඩ ඉලක්කයන් ඉහල දැමීමට හා සේවක සංඛ්‍යාව අඩු කිරීමට පාලනාධිකාරය සැලසුම් කර ඇති බව සේවකයෝ පවසති. නව වැඩ ඉලක්කයන් නිසා සේවකයන්ගේ නිෂ්පාදන දිරිදීමනාව රුපියල් 4000-5000 ත් අතර ප‍්‍රමානයක් කප්පාදු වී සේවකයන් අතට ලැබෙන්නේ රුපියල් 2500-3000 පමනවූ දිරි දීමනාවකි

ජීවන වියම් දීමනා, ඉරිදා හා සෙනසුරාදා දිනවලට අතිකාල දීමනා හෝ සෙසු කඩඉම් දීමනා මෙම කම්කරුවන්ට අහිමිය. මේ අතර නිවාඩු ගන්නා එක් දිනකට මාසික දිරි දීමනාවෙන් සියයට 25 ක් අහිමි වන අතර දින හතරක් නිවාඩු ගතහොත් සමස්ත මාසික දිරි දීමනාව ම ඔවුන්ට අහිමි වෙයි. සාමූහික ගිවිසුම්වලට අනුව පසුගිය වසරවල සියයට 12-13 බැගින් වාර්ෂික වැටුප් වැඩිවීම් ලැබුන ද, 2012 වසරේ එය සියයට 11.5 දක්වා කප්පාදු කර තිබේ.

ඊට අමතරව රුපියල් 5 ක ට ලබාදුන් උදේ ආහාරය රුපියල් 10 කර තිබේ. සේවකයන් සඳහා පැවති වාර්ෂික වෛද්‍ය පරීක්ෂන අත්හිටුවා ඇත. ස්ථීර සේවක සංඛ්‍යාව ක‍්‍රමානුකුලව අඩුකරමින් මිනිස්බල සමාගම් සපයන කොන්ත‍්‍රාත් සේවකයන් බඳවා ගැනීම ඉහල දමා ඇති අතර සමාගමේ සේවක සංඛ්‍යාවෙන් සියයට 50 වඩා කොන්ත‍්‍රාත් සේවකයන් සිටින බව ස්ථීර සේවකයෝ පවසති. කොන්ත‍්‍රාත් සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 700-900 වේ. නිෂ්පාදන දිරිගැන්වීමේ නිශ්චිත දීමනාවක් ඔවුන්ට ගෙවනු නො ලබයි. වසර 20-22 ක සේවාකාලයක් සහිත ස්ථීර කම්කරුවෙකුගේ මාසික ඒකාබද්ධ වැටුප රුපියල් 30,000-40,000 ක් පමන වන නමුත් අඩු කිරීම් වලින් පසුව අතට ලැබෙන්නේ රුපියල් 12,000-13,000 පමන වන අතර වත්මන් ජීවන වියදමට එය කිසිසේත් නො සරිලන මුදලකි.

විස රසායනික ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් (250 පමන) නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන බවත් ඒ නිසා හෘද රෝග, පෙනහලු රෝග, සහ පිලිකා වැනි දරුනු රෝග වැලඳෙන බව ද එනමුදු පාලකයින් ඒ ගැන සැලකිල්ලක් නො දක්වන බව ද සේවකයෝ පවසති. ලියුකේමියා රෝගය වැලඳුන කාන්තාවකගේ වෛද්‍ය වාර්තාව පාලනාධිකාරය විසින් යට ගැසීම නිසා රෝගය අසාධ්‍ය වනතුරු ඇයට ප‍්‍රතිකාර ගැනීමට නොහැකි වී ඇත. ඉතා අධික මුදලක් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මාසිකව අවශ්‍ය බව ඇය පැවසීය. සහෝදර සේවකයන්ගේ උපකාර හැර සමාගමෙන් කිසිදු උපකාරයක් තමන්ට නො ලැබෙන බව ද ඇය කීවා ය. කෙසේ වුව ද රෝගී තත්වය නොසලකා නියමිත වැඩ ඉලක්කයන් ඇය විසින් සැපිරිය යුතුව ඇත. සේවකයන් ගනනාවක් මෑත කාලයේ මිය ගොස් ඇති අතර ඔවුන්ගේ මරනයට හේතු පවා අනාවරනය කර ගැනීමට නොහැකි වූ බවත් රසායනික විස නිසා එම මරන සිදු වෙන්නට ඇති බවට තමන් සැක කරන බවත් සේවකයෝ කීහ.

සිය ඉල්ලීම් ජය ගන්නා තුරු අරගලය පෙරට ගෙන යාමේ දැඩි අධිෂ්ටානයක් වර්ජිත ඇන්සල් ලංකා කම්කරුවන් තුල ඇතත් අන්ටන් මාකස් ඇතුලු නිවෙක සහ පොසේසයේ නායකයන් නිරතව සිටින්නේ සමාගම් පාලකයන්ට බලපෑම් දැමීමේ නිරර්ථක උද්ඝෝෂන වල කම්කරුවන් කොටු කිරීමෙන් හා නිදහස් වෙලඳ කලාප සහ පුද්ගලික හා රාජ්‍ය අංශයේ සෙසු කම්කරුවන්ගෙන් ඔවුන්ව හුදකලා කිරීමෙන් අරගලය පාවාදීමේ තැතක බව අපි කම්කරුවන්ට අනතුරු අඟවමු.

වැඩ වේගවත් කිරීම් සහ සේවක අයිතීන් කප්පාදුව හුදෙක් වර්තමාන පාලනාධිකාරයේ අත්තනෝමතික කි‍්‍රයාවක් ලෙස හුවා දක්වන සමිති නායකයන් ඕස්ටේ‍්‍රලියාවේ මව් සමාගමට, ඕස්ටේ‍්‍රලියානු සහ ඇමරිකානු ආන්ඩුවලට හා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු ආන්ඩුවේ නායකයන්ට කන්නලව් කිරීමෙන් ඇන්සල් ලංකා පාලකයන් නම්මවා ගත හැකි වෙතැයි මාරක මිථ්‍යාවක් ද කම්කරුවන් තුල වගා දිගා කර ඇත.

ඇමරිකාවේ ඒඑෆ්එල්-සීඅයි ඕ වැනි ප‍්‍රතිගාමී වෘත්තීය සමිති සංවිධාන සමග වන සමීප සබඳතා හා අධිරාජ්‍යවාදී රටවල් සමග පවත්වන රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා සම්බන්ධයෙන් කුප‍්‍රකට ඇන්ටන් මාකස් ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස්ට හා ඇමරිකානු තානාපතිට ලියු ලිපි දෙකකකින් ඇන්සල් ලංකා ආරාවුල විසදීමට මැදිහත් වන ලෙස ඉල්ලා ඇත.

උක්ත ලිපි ගැන අයිලන්ඩ් පත‍්‍රයේ පලවූ වාර්තාවකට ප‍්‍රතිචාර ලෙස නිකුත් කල ප‍්‍රකාශයක් මගින් ආරවුල පිලිබඳව වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන්ට චෝදනා කර ඇති ඇන්සල් ලංකා පාලකයෝ තත්වය පාලනය කර ගත නොහැකි නම් සිය ආයෝජන මව් සමාගම විසින් ලංකාවෙන් ඉවත් කර ගැනීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

ඇන්ටන් මාකස් විසින් 2013. 10. 14 දින ජනාධිපති රාජපක්ෂට හා ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂට යොමුකල ලිපියකින් පාලනාධිකාරය "කිසිදු සාකච්ඡාවක් කිරීමටවත් නම්‍යශීලී නොවී ක‍්‍රියා කරමින්” සිටින නිසා "අපගේ මෙම රැකියා ප‍්‍රශ්නයට විසඳුමක් ලබා දෙන මෙන් ඉතාමත් කරුනාවෙන්” ඉල්ලා ඇත.

ඇන්සල් ලංකා සමාගම වෛද්‍ය, කාර්මික, කෘෂිකාර්මික අත්වැසුම් හා උපත්පාලන කොපු නිෂ්පාදනය කරන ඕස්ටේ‍්‍රලියානු අන්තර් ජාතික සංගතයක ලංකා ශාඛාව ය. ඇමරිකාව, යුරෝපා රටවල් ඇතුලුව රටවල් 42 ක නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන එහි වර්තමාන මුලූ සේවක සංඛ්‍යාව 11,000 වඩා වැඩිය.

මෙම සමාගම ක‍්‍රියාවට දමන වැඩ වේගවත් කිරීම සහ කප්පාදු පිලිවෙත් හුදෙක් එහි වර්තමාන පාලකයින්ගේ පිලිවෙතක් පමනක් නො වේ. එය සමස්තයක් ලෙස ඇන්සල් අන්තර්ජාතික සංගතය විසින් ක‍්‍රියාවට දමනු ලබන පිලිවෙතේ කොටසකි. එහි වෙබ් අඩවියට අනුව ලෝක වෙලඳ පොලේ "තරඟකාරීත්වය” තුල "නිෂ්පාදන වියදම සහ පාඩුව” අවම කිරීම ඇන්සල් අන්තර්ජාතික සංගතයේ පොදු පිලිවෙතයි. එහෙයින් ඇන්සල් ලංකා වර්තමාන පාලනාධිකාරය විසින් ක‍්‍රියාවට දමන වැඩ වේගවත් කිරීම සහ සේවක අයිතීන් කප්පාදුව මව් සමාගමට කන්නලව් කර වෙනස් කල නොහැකි ය.

එමෙන් ම ජනාධිපති රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවේ පිලිවෙත වන්නේ ද දේශීය සහ විදේශීය ආයෝජකයන් ආරක්ෂා කිරීම මිස කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම නො වේ. එහෙයින් රාජපක්ෂ ආන්ඩුව වඩ වඩා නැඹුරුවෙමින් සිටින්නේ විදේශීය ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම සඳහා කලාපයේ සෙසු රටවලට වඩා අඩු මට්ටමක වැටුප් ලංකාව තුල පවත්වාගෙන යාමේ හා පවතින කම්කරු නීති පවා දේශීය සහ විදේශීය ව්‍යාපාරිකයන්ට හිතකර වන ආකාරයට ලිහිල් කිරීමේ සහ කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් තව තවත් මර්දනය කිරීමේ පිලිවෙතකට ය. කටුනායක රොෂාන් චානක ඝාතනය සහ මෑතදී වැලිවේරියේ සිදුකල ඝාතන මගින් රාජපක්ෂ ආන්ඩුව වැඩකරන ජනතාවට එරෙහි තම මෘග පිලිවෙත මැනවින් ප‍්‍රදර්ශනය කර තිබේ. ඇන්සල් කම්කරුවන් සම්බන්ධයෙන් ද රාජපක්ෂ ආන්ඩුව අනුගමනය කරනු ඇත්තේ ඊට වඩා වෙනස් පිලිවෙතක් නො වේ.

Share this article: