ඇන්සල් ලංකා අරගලය වටා කම්කරු පන්තියේ සහාය බලමුලු ගන්වනු!

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි , 2013 නොවැම්බර් 22

වෘත්තීය සමිතිය මර්දනය කිරීමට හා අසාධාරන වැඩ වේගවත් කිරීමේ සැලසුම් වලට එරෙහිව දහසකට අධික ඇන්සල් ලංකා කම්කරුවන් විසින් ඔක්තෝබර් 12 ආරම්භ ලද වැඩවර්ජනයට මේවනවිට සති පහකට වැඩිකාලයක් ගත වී ඇත. අරගලය බිඳ සේවකයන් ආපසු වැඩට තල්ලු කිරීමට ඇන්සල් ලංකා පාලකයෝ, ආන්ඩුව, කම්කරු ඇමති සහ අමාත්‍යංශ නිලධරය ඒකාබද්ධව ක්‍රියාත්මක වී සිටිති. මෙම ප්‍රයත්නය පරාජය කරමින් වර්ජනය පෙරට ගෙනයාමේ උවමනාවක් සහ දැඩි අධිෂ්ටානයක් වර්ජිත කම්කරුවන් තුල ඇත.

එහෙත්, වර්ජනය කැඳවුම් කල ඇන්ටන් මාකස් නායකත්වය දරන නිදහස් වෙලඳ කලාප සහ පොදුසේවා සේවක සංගමය (නිවෙක සහ පොසේසේ සංගමය) නිරතව සිටින්නේ එය හුදකලා කොට, කම්කරුවන්ගේ දිරිය බිඳ අරගලය පාවා දීමේ දැනුවත් ව්‍යායාමයක ය. සමිති නිලධරයේ මෙම ප්‍රතිගාමී ක්‍රියා කලාපය පරාජය කිරීමෙන් තොරව වර්ජිත කම්කරුවන්ට තම අයිතීන් සඳහා අරගලය පෙරට ගෙන යා නොහැකි ය.

ඇන්සල් ලංකා වෘත්තීය සමිතියට එරෙහි මර්දනය සේවකයන්ගේ මුලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකට එල්ල කල ප්‍රහාරයකි. එය ආරම්භ කෙරෙන්නේ කම්කරුවන් ප්‍රකාශ කරන ආකාරයට අප්‍රේල් 10 වෙනිදා නිවෙක හා පොසේසේ සංගමයේ ඇන්සල් ලංකා ශාඛාවේ සභාපති අතුල කමල්ට එල්ල කරන මැර ප්‍රහාරයකිනි. අනතුරුව ඔක්තෝබර් මාසයේ ඔහු ඇතුලු සමිති ක්‍රියාකාරීන් 11 දෙනෙකුගේ සේවය අත්හිටුවනු ලැබුනි.. ඇන්සල් ලංකා පාලකයන් විසින් සමිති ක්‍රියාකාරීන්ට එරෙහිව මෙම දඩයම දියත් කෙරුනේ වැඩ වේගවත් කිරීමේ සැලසුම් සහ වැටුප් හා සෙසු අයිතීන් කප්පාදු කිරීම කෙරෙහි සේවකයන් තුල වැඩෙමින් තිබු විරෝධය යටපත් කිරීමේ දුෂ්ට අරමුන ඇති ව ය.

2008 සමිතිය ආරම්භ කලතැන් පටන් ම එය පිලි ගැනීම අන්සල් ලංකා පාලකයන් විසින් ප්‍රක්ෂේප කිරීම හා වසරක පමන සිට සේවක අයිතීන් කප්පාදුව හා වැඩ වේගවත් කිරීමේ සැලසුම් ක්‍රියාවට දමමින් තිබුනත්, මාකස් ඇතුලු සමිති නිලධරය ඊට එරෙහිව අරගලයක් සංවිධානය කිරීම මග හැර සිටියහ. සමිති නායකයන්ට වර්ජනයක් කැඳවීමට බල කෙරුනේ සමිති ක්‍රියාකාරීන්ට එරෙහි දඩයම දියත් කිරීමෙන් පසු කම්කරුවන් අතර විරෝධය වඩා උත්සන්න වන තතු තුල ය.

සේවය අත්හිටවූ සමිති ක්‍රියාකාරීන් නැවත සේවයේ පිහිටුවීම ප්‍රතික්ෂේප කරන ඇන්සල් ලංකා පාලකයෝ වර්ජනය බිඳීම සදහා හැම අතින් ම වැඩට බස ඇත. වර්ජකයන් කම්හල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමේ හා වර්ජනයට සහභාගී වී නැති කම්කරුවන්ට "පෙලඹවීම් සහ බලපෑම්” කිරීම වලකන අධිකරන නියෝගයක් ඔවුන් විසින් ලබාගෙන ඇත. කොන්ත්‍රාත් කම්කරුවන්ට අඩන්තේට්ටම් කිරීමේ චෝදනා මත සමිති ක්‍රියාකාරීන්ට එරෙහිව පොලිස් දඩයමක් උසිගැන්වීමේ තැතක යෙදී සිටින පාලකයෝ තත්වය පාලනය කිරීමට (අරගලය නතර කිරීමට) අසමත් වන්නේ නම් මව් සමාගම් විසින් සිය ආයෝජන ලංකාවෙන් ඉවත් කර ගෙන යනු ඇතැයි තර්ජනය කර ඇත. එය කම්කරුවන්ට මෙන් ම අරගලය මර්දනය කර "තත්වය පාලනය " කිරීමට තවමත් අසමත් වී ඇති රාජපක්ෂ ආන්ඩුවට ද කල තර්ජනයකි.

එහි ආර්ථික කප්පාදු කෙරෙහි බරපතල නොසන්සුන්කමක් සහ විරුද්ධත්වයක් කම්කරු පන්තිය තුල වර්ධනය වන තතුතුල එවන් ප්‍රහාරයකින් කම්කරු පන්තිය තුල උද්ගත වියහැකි තත්වය ගැන ගනන් බැලීමක් හා සමිති නිලධරයේ උදව්වෙන් අරගලය ගබ්සාකර දැමීමේ කල්යල් බැලීමකය . ලෝක ධනවාදයේ ගැඹුරුවන ආර්ථික ආර්බුදය තුල ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම සඳහා කලාපයේ සෙසු රටවල් සමග උග්‍රවන තරගයක යෙදී සිටින රාජපක්ෂ ආන්ඩුව, සමිතිය මගින් "තත්වය පාලනය” කර ගැනීමට අසමත් වුවොත් වර්ජනයේ යෙදී සිටින කම්කරුවන් සියලුදෙනා දොට්ට දමා රිසිසේ ශ්‍රම සුරාකෑම කරගෙන යාමේ මර්දන කාරිත්වයක් කම්හල තුල තහවුරු කර ගැනීමට සහාය දෙනු ඇත.

එබැවින් සමිති නිලධරය දැනුවත්ව ම යෙදී සිටින්නේ මෙම වැඩෙන අන්තරාය ඉදිරියේ ඇන්සල් ලංකා කම්කරුවන් නිරායුධ කර අරගලය පාවා දීමේ තැතක ය. ඇන්සල් ලංකා අරගලය වටා බියගම සහ සෙසු නිදහස් වෙලඳ කලාප කම්කරුවන් ඇතුලුව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට ඇන්ටන් මාකස් ඉඳුරාම සතුරු ය. ඒ වෙනුවට ඔහු යෙදී සිටින්නේ ඇන්සල් ලංකා මව් සමාගමට, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්ට, ඇමරිකානු තානාපතිට සහ ජනාධිපති රාජපක්ෂට ද ආන්ඩුවේ මැති ඇමතියන්ට ද කන්නලව් කිරීම හා "මාරාන්තික" උපවාස මගින් කම්කරුවන්ට සිය අයිතීන් දිනා ගත හැකිය යන මිත්‍යාවක් ඔස්සේ කම්කරුවන් ව මෙහෙය වීමයි.

ඇන්සල් ලංකා සමාගම විසින් නව වැඩ ඉල්ලක්කයන් ක්‍රියාවට දැමීම සහ ස්ථීර සේවකයන් වෙනුවට අඩු වැටුපට කොන්ත්‍රාත් කම්කරුවන් බඳවා ගැනීම වර්තමාන ලෝක ආර්ථික අර්බුදය තුල ජාත්‍යන්තර වෙලඳපොලේ උග්‍රවන තරගය හමුවේ සිය ලාබ රැක ගැනීම සඳහා මව් සමාගම විසින් ගෙන ඇති තීන්දුවකි. එය සමස්තයක් ලෙස අන්තර්ජාතික ප්‍රාග්ධනය සහ දේශීය ධනපති ආයෝජකයන් විසින් ශ්‍රම සුරාකෑම උග්‍ර කිරීම සඳහා දැන් ක්‍රියාවට දමන පිලිවෙතේ කොටසකි. ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී පාලක පන්තීන් මෙන් ම ලංකාව ඇතුලු සෙසු ධනපති පාලක පන්තීන්ගේ ආර්ථික දේශපාලන පිලිවෙත් සැකසෙන්නේ ද මෙම ධනපති ප්‍රාග්ධන හිමියන්ගේ ලාබ අවශ්‍යතාවයන් රැකීම සඳහා මිස කම්කරු පන්තියේ අවශ්‍යතාවයන් රැකීම සඳහා නො වේ.

එහෙයින් වර්ජිත ඇන්සල් ලංකා සේවකයන් අරගලය ගැටෙන්නේ මෙම ධනපති ප්‍රාග්ධන හිමියන්ගේ සහ ඔවුන්ගේ ආරක්ෂකයා වන රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත් සමග ය. කම්කරුවන් මුහුන දෙන මෙම සබෑ අභියෝගය ඇන්ටන් මාකස් ඇතුලු සමිති නිලධරය වර්ජිත කම්කරුවන්ගෙන් වසන් කරනු ලබයි. කම්කරු අරගල පාවාදීම සහ ධනපති රාජ්‍යයේ සහ අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයේ උවමනාවන්ට කම්කරුවන් යටත්කිරීම සම්බන්ධයෙන් ඇන්ටන් මාකස් කුප්‍රකට ය. 2008 සැප්තැම්බර් මාසයේ ලෝක කොටස් වෙලඳපොලේ බිදවැටීමත් සමග තීව්‍ර වූ ලෝක ආර්ථික අර්බුදයේ බර මෙරට කම්කරු පන්තිය මතට පැටවීමට ධනපති කර්මාන්තකරුවන්ට ඉඩසලසා දීම සඳහා රාජපක්ෂ ආන්ඩුව විසින් යලි ක්‍රියාත්මක කල ජාතික කම්කරු උපදේශක සභාව හරහා ක්‍රියාවට දැමුනු කම්හල් තාවකාලිකව වසා දැමීම, වැටුප් සහ සෙසු දීමනා කප්පාදු කිරීම ඇතුලු ප්‍රහාරවලට නිවෙක කම්කරුවන් යටත් කිරීමේ දී නිවෙක සෙසු සමිති සමග එකාබද්ධව ඇන්ටන් මාකස් ප්‍රධාන භුමිකාවක නිරත විය.

තම අයිතීන් දිනීමට දැඩි උවමනාව සහ අධිෂ්ටානය වර්ජකයන් තුල තිබියේ වුව ද, ඊට එරෙහිව ක්‍රියාත්මක වන මෙම වෘත්තීය සමිති තිරිංගය නො බිඳ ඔවුන්ට ඉදිරියට යා නොහැකි ය. සමිති ක්‍රියාකාරීන් දඩයම් කිරීමට එරෙහිව සහ ලාබ සුරාකෑම තීව්‍ර කිරීමේ සැලසුම් පරාජය කිරීම සදහා අරගලය පෙරට ගෙන යාමේ දී ඇන්සල් ලංකා කම්කරුවන් මුලික පියවර දෙකක් ගතයුතුව ඇත: වෘත්තීය සමිතියෙන් බිඳී කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගා ගැනීම හා එමගින් තම අරගලය වටා නිවෙක සහ අවසේස කම්කරු පන්තිය බලමුලු ගන්වා ගැනීමට පියවර ගත යුතුය. ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ අධිරාජ්‍යවාදී ආන්ඩුවලට කන්නලව් කිරීමේ සමිති නිලධරයේ ප්‍රතිගාමී පිලිවෙත ප්‍රතික්ෂේප කර, සුරාකෑම තීව්‍ර කිරීමේ නව සැලසුම්වලට එරෙහිව ඇන්සල් අන්තර්ජාතික සංගතයේ කම්හල් පිහිටුවා ඇති සැම රටකම කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමටත් ඒ සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය දිනා ගැනීමටත් පියවර ගත යුතු ය.

ඇන්සල් ලංකා කම්කරුවන් ආරාක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස බියගම, කටුනායක, කොග්ගල ඇතුලු නිවෙක කම්කරුවන්ගෙන් සහ අවශේෂ කම්කරුවන්ගෙන් සමාජාවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී.

සේවය අත්හිටවූ කම්කරුවන් කොන්දෙසි විරහිතව යලි සේවයේ පිහිටුවීම, නව වැඩ ඉල්ලක්කයන් මුලුමනින් ම ඉවත්කිරීම, දීමනා සහ සෙසු කප්පාදු කිරීම් වහාම නතර කිරීම, කම්හලේ භාවිතාකරන රසායනික විස සේවකයන්ට බලපෑම පිලිබඳ පුර්න පරීක්ෂනයක් කිරීම සහ රසායනික විස නිසා දැනට රෝගී වී සිටින සියලු කම්කරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා වියදම් සම්පුර්නයෙන් ම කම්හල විසින් දැරීම හා රෝගීන්ට ප්‍රමානවත් වන්දියක් ගෙවීම ඇතුලු ඉල්ලීම් මූලික ඉල්ලීම් ලෙස ඉදිරිපත් කර ගත යුතු ය.

ධනේශ්වර ලාබ පද්ධතිය පෙරලා දැමීමකින් තොරව කම්කරු පන්තියට තම අයිතීන් තව දුරටත් රැක ගත නොහැක. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ දැවෙන අවශ්‍යතාවය සෑම රටකම කම්කරුවන් ඉදිරියේ තියුනු ලෙස මතු කරනු ලැබ ඇත. ලංකාවේ දී එය ප්‍රාග්ධන හිමියන්ගේ උවමනාවන් ආරක්ෂා කරන රාජපක්ෂ ආන්ඩුව වෙනුවට කම්කරු පන්තියේ සහ බහුතර මහජනතාවගේ අයිතීන් රකින සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරගලය සමග බැදී ඇත. මෙම ඉදිරිදර්ශනය සඳහා සටන්වදින සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එය කම්කරු පන්තියේ විප්ලවාදී පක්ෂය ලෙස ගොඩනැගීමට එක්වන්න.

Share this article: