ගාල්ල බෝගහගොඩ පරිසර සංවිධානයට එරෙහි පොලිස් දඩයමක්

නන්දන නන්නෙත්ති විසිනි, 2013 නොවැම්බර් 11

මහජනතාවට එරෙහිව ආන්ඩුව ගෙන යන සියලූ මර්දනකාරී පියවර පිටුපසින් පවතින්නේ අතලොස්සක් ධනපතියන්ගේ ලාභ අවශ්‍යතාවන්ය.

ගාල්ල, අගුලුගහ, දොරපේ, මහගොඩ වත්ත නමැති ඉඩමේ කෙසෙල් ගසක් මුල තිබී ටී-56 ගිනි අවි සඳහා යොදා ගැනෙන ජීව උන්ඩ 52 ක් තමන් විසින් සොයා ගැනුනේ යයි පවසමින් හබරාදූව පොලිසිය එම නිවසේ පදිංචි බෝගහගොඩ පරිසර සංවිධානයේ කි‍්‍රයාකාරී තරුනයකු වන එස්.එච්. නුවන් සමීර අත් අඩංගුවට ගත්තේ ය. මෙම අත් අඩංගුවට ගැනීම සඳහා හබරාදූව පොලිස් ස්ථානාධිපති සමග 10කට ආසන්න පොලිස් භටකායක් නොවැම්බර 5 දා අලුයම 12.30 ට පමන එම නිවසට කඩා වැදී ඇත.

මෙය බෝගහගොඩ පරිසර සංවිධානයට එරෙහිව පොලිසිය කල දෙවන අත් අඩංගුවට ගැනීමයි. සති දෙකකට පෙර එම සංවිධානයේ තවත් කි‍්‍රයාකාරිකයෙක් වන කේ. නෝබට් සිල්වා අත් අඩංගුවට ගත් කොලඹ ත‍්‍රස්ත විමර්ශන අංශය, විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බයක් හා මි.මි 8.5 වර්ගයේ ආරක්ෂක අංශවල පුහුනුව සඳහා යොදා ගන්නා ජීව උන්ඩ 36 ක් සැකකරු පදිංචිව සිටි නිවස සහිත භූමියේ, යතුරු පැදිය නවතා තිබූ මඩුවේ තිබී සොයා ගත් බව සඳහන් කරමින් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ බලතල යටතේ ඔහුට විරුද්ධව චෝදනා ගොනු කලේ ය.

නෝබට් ගේ බිරිඳ හා දරු තිදෙනා පීඩනයට ගොදුරු කරමින් සිදුකල මෙම මර්දන කි‍්‍රයාව ප‍්‍රදේශවාසින්ගේ බලගතු විරුද්ධත්වයට ලක්විය. නොවැම්බර් 5 දා ඔහුට විරුද්ධ පැමිනිල්ල විභාගයට ගත් අවස්ථාවේ, නීති විරෝධී භාන්ඩ සංතකයේ තබා ගත් බවට සාක්ෂි නැතැයි උසාවියට තීන්දු කිරීමට සිදුවුයේ අත්අඩංගුවට ගැනීම බොරු චෝදනා මත සිදුවූ බව පෙන්නුම් කරමිනි. නෝබට් සිල්වා නිදොස් කොට නිදහස් කෙරුනු නමුත් එදින ම නුවන් සමීර කොටු කිරීමේ මෙහෙයුම කි‍්‍රයාවට දැමුනි. සිල්වා ව්‍යාජ වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙකි.

මෑතක සිට ප‍්‍රදේශයේ පැතිරෙන පිලිකා රෝග සහ තවත් රෝගාබාධයන්ට හේතුව, ප‍්‍රදේශයේ පිහිටි ඩී. සැම්සන් සමාගමට අයත් කම්හල් මගින් පරිසරයට කෙරෙන බලපෑම දැයි සොයා බැලෙන පරීක්ෂනයක් ඉල්ලා සිටීම සඳහා ගොඩ නැගුනු බෝගහගොඩ පරිසර සංවිධානය මැඩ පැවැත්වීම සඳහා මේ පොලිස් දඩයම උසිගන්වා ඇතැයි එම සංවිධානය හා ප‍්‍රදේශවාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැවසූහ. මෙහි ඩීඑස්අයි සමාගමට අයත් රබර් භාන්ඩ කම්හලක් හා ඉවතලන ටයර් භාවිතයෙන් කාබන් බ්ලැක් නිපදවන නිෂ්පාදනාගාරයක් පිහිටා ඇත.

සමීර උසස් පෙල විභාගයෙන් පසු සාගර විශ්ව විද්‍යාලයේ ජීවිතාරක්ෂක පාඨමාලාවක් හදාරා සිටින රැකියා විරහිත තරුනයෙකි. පොලිසිය විසින් තමන් කොටු කිරීමට දැරෙන උත්සාහය ගම්බද ජනයා ගේ ජීවිත ධනපති සමාගම්වල උවමනාවන් වෙනුවෙන් බිලි දීම සඳහා ක‍්‍රියාකිරීමක් බව සමීර පවසයි. තමන් කිසිම පක්ෂයක සාමාජිකයෙකු නො වන බවත් කුමන හෝ වර්ගයක කුමන්ත‍්‍රනයකට හෝ කඩාකප්පල් කි‍්‍රයාවකට සම්බන්ධ නැති බවත් පැවසූ ඔහු මෙවැනි අසාධාරනයන්ට එරෙහිව සටන් නො කර සිටින්නේ කෙසේ දැයි ප‍්‍රශ්න කලේ ය.

රටේ කර්මාන්ත කඩා වට්ටවන්න, ආර්ථික සංවර්ධනය නතර කරන්න නොයෙක් ආයතන කි‍්‍රයාත්මක වන බව පවසමින් ජනාධිපති රාජපක්ෂ පසු ගිය දා අගලවත්ත රබර් පර්යේෂන ආයතනයේ දී කල කථාව ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ මේ ප‍්‍රකාශය රතුපස්වල හා පිලියන්දල වැනි තැන්වලින් මතු වූ සටන්වලට විරුද්ධව කල එකක් බව යි. කම්කරුවන් තරුනයන් සහ සෙසු පීඩිත ජනයා වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක නො වන බව සඳහන් කල ඔහු, තමන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඊට එරෙහිව නීතිමය කරුනු ඉදිරිපත් කල, නීතිඥවරියක් වන තම සොහොයුරියට පොලිස් ස්ථානාධිපති අපහාසාත්මක ලෙස කතා කල බව සඳහන් කලේ ය.

පොලිස් මර්දනයට ගොදුරු වූ තම සගයා ගැන සොයා බැලීම සඳහා ගම්වාසීන් 20 ක් පමන තමන් අත් අඩංගුවට ගත් මොහොතේ ම පොලිසියට පැමින රැකගෙන සිටි අයුරු ඔහු විස්තර කලේ ය. එදින දහවල් සමීර උසාවියට ඉදිරිපත් කල අවස්ථාවේදී ගම්වාසී 300 කට ආසන්න ජනකායක් ඔහු වෙනුවෙන් උසාවි භූමියේ රැඳී සිටි අතර අධිකරනයේ සියලු නීතිඥයන් (40කට ආසන්න) පැමිනිල්ලට එරෙහිව සමීර වෙනුවෙන් පෙනී සිටීම සඳහා නැගී සිටියහ. නඩුව දෙසැම්බර් 12 දිනට කල් දැමූ අතර රු. 100,000 ශරීර ඇපයක් හා රු. 5,000 මුදල් ඇපයක් මත ඔහු මුදා හැරුනි.

තම සංගමයේ සාමාජිකයන් මේ අන්දමින් අනාරක්ෂිත තත්වයකට ගොදුරු වීම සම්බන්ධයෙන් පරිසර සංගමයේ ලේකම් පී.ඩබ්ලිව්. දීප්ති නිශාන්ත පොලිසියට පැමිනිලි කර ඇත. පොලිස් අධිකාරි කාර්යාලයට ද ගොස් මේ පිලිබඳ සාකච්ඡාවක් කල බව ඔහු කීවේය. ඔහු තවදුරටත් වෙබි අඩවියට කියා සිටියේ මහා මිනිස් ඝාතන සිදු වූ 1989 - 90 දී වත් තම ප‍්‍රදේශයේ ආයුධ ගෙනත් දමා අත් අඩංගුවට ගැනීමක් සිදු නො වූ බව යි. ඔහු පවසන පරිදි ප‍්‍රහාරයට ලක් ව ඇත්තේ ආන්ඩුවට ඡන්දය දුන් මිනිසුන් ම ය.

පසු ගිය වසර 5ක පමන කාලය තුල, ආසන්න වැලිකන්ද ගම්මානයේ පමනක් පිලිකා රෝගීන් 20ක් සොයා ගෙන ඇති අතර මෑත වසර දෙක තුල පිලිකා රෝගය නිසා මිය ගිය ගනන නමයකි. වැලිකන්ද සහ දොරපේ ග‍්‍රාමසේවා වසම් දෙක තුල පමනක් සෑම පවුල් ඒකක 12කට ම එක් පිලිකා රෝගියෙක් සිටින බව සොයාගෙන ඇතැයි පරිසර සංවිධානය කියයි. දැනට මාස 3කට පමන පෙර බෝගහගොඩ පරිසර සංවිධානය ගොඩ නැගුනේ මේ රෝගී තත්වයන් ගැන ගම්මුන්ගේ විරෝධයක් පැන නැගුන තතු තුලයි.

මෙම සංවිධානය විසින් පොලිස් නිලධාරීන්, අදාල ෆැක්ටරියේ නිලධාරින්, රජයේ සෞඛ්‍ය අංශය, පරිසර අංශය, ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා හිනිදුම හා හබරාදූව ප‍්‍රාදේශීය සභාවල සභාපතිවරුන් කැඳවා සාකච්ඡා දෙකක් පවත්වා ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන් ද මුලිකත්වයක් ගන්නා මේ සංවිධානය ආන්ඩුව හා රාජ්‍ය සංස්ථාපිතයේ කොටස්වලට කනිපින්දම් කීමෙන් ප‍්‍රශ්න විසඳා ගත හැකිය යන මිත්‍යාව ගෙනයයි.

මහජනතාවගේ පැත්තෙන් මතු වන සෑම ඉල්ලීමක්ම විදේශ කුමන්ත‍්‍රන, රටේ සංවර්ධනය අඩපන කිරීම, ත‍්‍රස්තවාදයට සහය දීම ලෙස නම් කර තලා දැමීම, උතුරු නැගෙනහිර යුද්ධය තුල දී ම, වෘත්තීය සමිති නායකයන්, ව්‍යාජ වමේ පක්ෂ හා ඊනියා බුද්ධිමතුන්ගේ සහය ඇතිව දියත් කල පිලිවෙතකි. 1971 සිට දිගේලි කර පැවති හදිසි නීතිය 2011 අගෝස්තුවේ දී ඉවත් කෙරුනේ මෘග ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මිනිසුන් පැහැරගෙන ගොස් නඩු නො අසා ඝාතනය කිරීම වැනි ම්ලේච්ඡ කි‍්‍රයාවන්ට මොවුන් විසින් පුදනු ලැබූ අනුග‍්‍රහය යටතේ ය.

නෝබට් සිල්වා අත් අඩංගුවට ගැනීමට යොදා ගත් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන්, සැකකරුවකු මාස 18ක් එක දිගට රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යවරයාට පවරා දෙන අතර සාක්ෂි නොමැතිව අත් අඩංගුවට ගැනීමට බලය ද පොලිසියට ලබා දී ඇත.

මහජනතාවට එරෙහි මෙම සියලු මර්දනකාරී පියවර පිටුපසින් අතලොස්සක් ධනපතීන්ගේ උවමනාවන් සැපිරීමේ සැලසුම් රාජපක්ෂ ආන්ඩුව විසින් පෙරට දමා ඇත. දැනට එලි දක්වා ඇති විසර්ජන පනත අනුව මෙම වසරේ මෙන්ම එලැඹෙන 2014 දීත් රජයේ වියදමින් වැඩිම මුදල් ප‍්‍රමානයක් යෙදවෙන්නේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයට ය. එය රු. බිලියන 253කි. නීතිය සහ සාමය සඳහා තවත් රු. බිලියන 51ක් වෙන් කර ඇත. රටේ ජනයාගෙන් බහුතරය නියැලී සිටින කෘෂිකර්මාන්තය සඳහා බිලියන 53කි. සෞඛ්‍ය සේවාව සඳහා බිලියන 117.6කි. රටේ නය හා පොලිය ආදායම ඉක්මවා ගිය තතු තුල අය වැය හිඟය පියවීම සඳහා ආන්ඩුව කි‍්‍රයාවට දමා ඇත්තේ පන්ති යුද්ධයේ සැලසුම් ය.

Share this article: