අන්තවාදී බොදුබල සේනා සංවිධානය එජාප ප‍්‍රදර්ශනයකට කඩා වදියි

වසන්ත රූපසිංහ විසිනි, 2013 නොවැම්බර් 25

මෑත දී අන්තවාදී බෞද්ධ භික්ෂූන් විසින් නායකත්වය දෙන බොදු බල සේනා (බොබසේ) සංවිධානය, ආන්ඩුව විසින් පිටුබලය ලත් දාමරික කල්ලි සමග එක්ව එක්සත් ජාතික පක්ෂයට (එජාප) එරෙහිව ප‍්‍රකෝපකාරී උද්ඝෝෂන කීපයක් පැවැත්වූයේ ය.

මෙම සිද්ධීන් පෙන්නුම් කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව බොබසේ වැනි ෆැසිස්ට් පන්නයේ සංවිධානවල පිටුබලය ඇතිව දේශපාලන විරුද්ධවාදීන් නිහඬ කිරීමට දරන තැතකි.

මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හුවා දක්වමින් එජාපයේ මූලිකත්වයෙන් ව්‍යාජ වාම නව සමසමාජ පක්ෂය (නසසප) ඇතුලු රාජ්‍ය නොවන සංවිධාන ගනනාවක් එක්ව එජාප පක්ෂ මූලස්ථානය වන සිරිකොත තුල නොවැම්බර් 13-14 දෙදින තුල සංවිධානය කර තිබූ මානව හිමිකම් උලෙලක් හා ප‍්‍රදර්ශනයක් කඩාකප්පල් කිරීම මෙම උද්ඝෝෂනවල එල්ලය වී තිබිනි.

ආන්ඩුව විසින් මහත් උත්කර්ෂයෙන් මහජන මුදල් කාබාසිනියා කරමින් ජාත්‍යන්තරව සිය ප‍්‍රතිරූපය නංවා ගැනීමට පැවැත් වූ පොදුරාජ්‍ය මන්ඩල රාජ්‍ය නායක සමුලුවට (චෝගම් සමුලුවට) විකල්පයක් ලෙස හඳුන්වමින් එජාපයේ මූලිකත්වයෙන් මෑතදී අටවා ගත් "සමගි බලවේගය” නම් සංවිධානය විසින් මෙම උලෙල සංවිධානය කර තිබින. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂමේ යෝජනා ක‍්‍රියාවට නැංවීම හා පොදුරාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කරන ලෙසට ආන්ඩුවට බලපෑම් කිරීම මෙහි අරමුන වූ බැව් එජාපය මාධ්‍යයට කීවේ ය.

වැලිවේරිය වෙඩි තැබීම, කටුනායක නිදහස් වෙලඳ කලාපයේදී කම්කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරනයට පත් කිරීම යනාදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාල ඡායාරූප එහිදී ප‍්‍රදර්ශනයට තබා තිබූ බව එජාප මන්ත‍්‍රී මංගල සමරවීර දි සන්ඬේ ටයිම්ස් පුවත්පතට ප‍්‍රකාශ කලේ ය. අතුරුදහන් වූවන්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනය කිරීම සඳහා ද එහි කොටසක් වෙන් කර තිබිනි. උලෙලට සහභාගි වීම සඳහා මුලතිව්, මන්නාරම හා කිලිනොච්චියේ සිට බස්රථ තුනකින් පැමිනි පිරිස් යුද හමුදාව විසින් වව්නියාවේ දී ආපසු හරවා යවා ඇත.

බලයේ සිටිය දී යුද්ධය නිල වසයෙන් ආරම්භ කල පක්ෂය ලෙසත් මහජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් තලා දැමීම පිලිබඳව ප‍්‍රධාන වසයෙන් වගකිව යුතු ලංකාවේ දක්ෂිනාංශික ධනපති පක්ෂයක් ලෙසත් එජාපයට සිංහල, දෙමල, මුස්ලිම් වැඩ කරන ජනතාවගේ අයිතීන් පිලිබඳ මොනම කැක්කුමක් වත් නැත. එජාපයේ මූලිකත්වයෙන් ප‍්‍රදර්ශනය සංවිධානය කෙරුනේ අරමුනු දෙකක් ඇතිව ය: පලමුවැන්න ආන්ඩුවේ මර්දනකාරී පාලනයට එරෙහි මහජන විරෝධය ගසාකෑමයි; දෙවැන්න, යුද්ධයට සහාය දුන් නමුත් එහි දී යුද අපරාධ තමන්ගේ මූලෝපායක උවමනාකම් මත ආන්ඩුවට බලපෑම් දැමීමට යොදාගන්නා ඇමරිකාව ඇතුලු බටහිර රටවල් සමග එජාපය ද ඒ වටා සිටින නසසප ඇතුලු සංවිධාන ද සිටින බවට සංඥා කිරීම යි.

තම මර්දනකාරී පාලනය ගැන මොනම විවේචනයක්වත් ඉවසීමට නුසූදානම් ආන්ඩුවේ පිටුබලය ලත් දාමරිකයන් සිය ගනනක් ප‍්‍රදර්ශනය ඇරඹුන දින ම එජාප විරෝධී සටන් පාඨ කියමින් හා පොලු මුගුරු ගෙන සිරිකොත වටලා එයට ගල්මුල් ප‍්‍රහාර එල්ල කලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ය. චෝගම් සමුලුව පැවැත්වෙන දිනවලදී කොලඹ නගරයේ කිසිදු උද්ඝෝෂනයක් පැවැත්වීම ආන්ඩුව විසින් තහනම් කර තිබූ තත්වයක් තුල ඇති කෙරුනු මෙම සිද්ධීන් පෙන්නුම් කලේ, එකී තහනම මූලිකවම එල්ල කර තිබුනේ දේශපාලන විරුද්ධවාදීන්ට පමනක් බවයි.

මැරයෝ සිරිකොත වෙත පැමිනෙමින් සිටි එජාප හා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහගේ නිල වාහනයට පහර දී ඔහු නිල රථයෙන් එලියට ඇද ජීවිතයට තර්ජනයක් කිරීමට වෑයම් කල බව වාර්තා වේ. ධනපති පන්තියේ ම තවත් නායකයෙකුට හා පක්ෂයකට එල්ල කර සිදුකෙරුනු මෙම ප‍්‍රකෝපකාරිත්වය පෙන්නුම් කලේ, කම්කරු පීඩිත මහජනයාගේ විරුද්ධත්වය මැඩීමට කෙතරම් රුදුරු අන්දමින් ආන්ඩුව ක‍්‍රියාත්මක වෙනු ඇත්ද යන්නයි.

පසු දින ආන්ඩුවට සම්බන්ධ බවට එජාපය විසින් චෝදනා කෙරුනු මැරයන් පිරිසක් ද කැටුව බොබසේ ලේකම් ගලගොඩඅත්තේ ඤානසාර ඇතුලු භික්ෂු කල්ලියක් සිරිකොත තුලට ගොඩනැගිලි භූමියට ඇතුලූ වී ඇත. බොබසේ "ආගමික ත‍්‍රස්තවාදය ක‍්‍රියාත්මක කරනවා යැයි මෙම පාහරයින් ජාත්‍යන්තරයට ප‍්‍රකාශ නිකුත් කරන කොට මොකක්ද අපේ තත්වය?” විමසමින් සිරිකොතට ඇතුලුවන ගේට්ටුව බලාත්කාරයෙන් ඇරවාගත් ඤානසාර ඇතුලු දාමරික භික්ෂු කන්ඩායම සිරිකොත ගොඩනැගිල්ලට ඇතුලුවීම කර ඇත.

මෙහිදී කතාකරමින් ඤානසාර කීවේ, "සමගි බලවේගය” විසින් සංවිධානය කර ඇති ඡායාරූප ප‍්‍රදර්ශනය හරහා බොබසේ ගෙනා හලාල් විරෝධය මෙන් ම මුස්ලිම් පල්ලිවලට පහර දුන්නාය කරුනු හුවා දක්වා දකුනේ ආගමික ත‍්‍රස්තවාදයක් ක‍්‍රියාත්මක කන්ඩායම් ලෙස තම සංවිධානය හඳුන්වා දී තිබෙන බවත් එහි ඇත්ත නැත්ත සියැසින් බලා ගැනීමට අවශ්‍ය වූ නිසාවෙන් මෙසේ පැමිනි බවත් ය.

කලින් දින උද්ඝෝෂනයේ දී තමන්ට පහර දුන් බවට චෝදනා කරමින් ඊට එජාප නායකයන් සමාව ගත යුතු බවට තර්ජනය කිරීමට නෙවැම්බර් 18 දා ඤානසාර භික්ෂුව බොබසේ කන්ඩායමක් සමග තවත් ප‍්‍රකෝපකාරී මැදිහත් වීමක් සංවිධානය කර තිබුනි. එදින එජාප නායකයන් වන රවි කරුනානායක, රුවන් විජේවර්ධන හා දයා ගමගේ භික්ෂුන්ගෙන් සමාව ගෙන ඇත.

සිංහල වර්ගවාදය ද බෞද්ධාගම ද කම්කරු පන්තිය බෙදීමේ විසකුරු අවියක් ලෙස යොදා ගන්නා එජාප බොබසේ සමග සමාදාන වීම අරුමයක් නොවේ. බොබසේ ද තමන්ගෙන් එජාපය සමාව ගත් නිසා ප‍්‍රශ්නය දුරදිග ගෙන නොයන බව ප‍්‍රකාශ කර තිබේ.

නොවැම්බර් 21 දින දි අයිලන්ඩ් කතුවැකිය බොබසේ "නීතිය අතට ගෙන කි‍්‍රයා කිරීම” ගැන මෙසේ සඳහන් කර තබුනි: "බොබසේ හෝ ජනවාර්ගික - ආගමික න්‍යාය පත‍්‍රයක් ඇති අනෙකුත් කල්ලි තමන්ට නීතියට උඩින් සිටිය නොහැකි බව ගැන කල්පනාකාරී විය යුතුය. කොටින් කියතොත් එහි [බොබසේ] බියගැන්වීමේ කි‍්‍රයා පිලිකුල් කට යුතු ය. එහි හෙලා දැකිය යුතු ඍජු කි‍්‍රයා මෙරට දී අවඥාවට ලක්ව ඇතිවා පමනක් නොව මේ රටේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපයට ද කැලැල් කර තිබේ.”

ආන්ඩුවේ ප‍්‍රතිගාමී වැඩ පිලිවෙලට සහයෝගය දෙන මෙම ධනපති පුවත්පතේ කනස්සල්ල අන්තවාදී සංවිධානවල ෆැසිස්ට් පන්නයේ ප‍්‍රකෝපකරනයන් කම්කරුවන් හා හිතන මතන කොටස් අතර හෙලිදරව් වීමත් ජාත්‍යන්තරව ප‍්‍රධාන බලයන් එම කි‍්‍රයා ආන්ඩුවට බලපෑම් සඳහා යොදා ගැනීම පිලිබඳවත් ය.

මෑත වසරවල බොදු බල සේනා, රාවනා බලය ආදී බෞද්ධ අන්තවාදී කන්ඩායම් පැන නැගීම හා ඒවා වඩවඩාත් නිදැල්ලේ ප‍්‍රචන්ඩ ලෙස කි‍්‍රයා කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ පිටුබලය ඇතිව සිදුවන්නකි. ජනාධිපති රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම සංවිධානවල වැඩ කටයුතුවලට උල්පන්දම් දෙති. බෞද්ධාගමේ නමින් කෙරෙන ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවලට ආරක්ෂක අමාත්‍යංශයේ බැකිම කෙලින්ම ලබා ගැනීමේ ඉලක්කයෙන් එම අමාත්‍යංශය යටතට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පත් කරන ලෙස බොබසේ මෑතක දී ඉල්ලා තිබුනි.

ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් දැවෙන රාජපක්ෂ ආන්ඩුව එක් අතකින් පොලිස් රාජ්‍ය පාලන ක‍්‍රම තද කරන අතරම සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී සංවිධාන පෝෂනය කරන්නේ කම්කරු පන්තිය බෙදා දැමීමට පමනක් නො ව තලා දැමීමට ෆැසිස්ට් පන්නයේ මෙහෙයුම් කිරීම සඳහා ය. ධනපති එජාපයට එරෙහිව කෙරුනු කඩා පැනීම පිටුපසින් තමන්ට එරෙහිව කෙරෙන මැර සූදානම ගැන දැනුවත් වෙමින් කම්කරු පන්තිය ඊට එරෙහිව දේශපාලනිකව සූදානම් විය යුතු ය.

Share this article: