ගාල්ල බෝගහගොඩ ප‍්‍රදේශයේ පිලිකා රෝගීන් සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩිවීමක්

නන්දන නන්නෙත්ති විසිනි, 2013 නොවැම්බර් 26

ගෙවී ගිය වසර විස්සකට ආසන්න කාලය තුල, ගාල්ල, බෝගහගොඩ අවට ප‍්‍රදේශවල පිලිකා හා ශ්වසන රෝගීන්ගේ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති අතර වැලිකොන්ද හා දොරපේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාස වල පවුල් ඒකක 12කට එක් අයෙකු පිලිකා රෝගයට ගොදුරුවන බව සොයා ගෙන ඇත. මෙය, ශ‍්‍රී ලංකාවේ පිලිකා රෝගීන්ගේ සාමාන්‍ය අනුපාතය මෙන් විසිපස් ගුනයකි. ආන්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2005 වසරේ ශ‍්‍රී ලංකාවේ පිලිකා රෝගීන්ගේ අනුපාතය මිනිසුන් ලක්ෂයට 67.9 කි. එහෙත් එය මෙම ප‍්‍රදේශයේදී ලක්ෂයකට 1666 ආසන්න අගයක් ගනී.

1985 සහ 2005 අතර වසර 20 තුල මෙරට පිලිකා රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට 31.7 සිට 67.9 දක්වා දෙගුනයකටත් වඩා ඉහල ගොස් ඇත. 2011 වසරේ අලුතින් 15,000ක් පිලිකා රෝගීන් ලියා පදිංචි වී ඇති අතර 2013දී එය 20,000ට නැගුනි. වසංගත රෝග පාලනය හා වැලැක්වීමේ මධ්‍යස්ථානයට (සීඩීසී) අනුව පිලිකා නිසා ලෝක ජනග‍්‍රහනයෙන් මිලියන 7.6ක් අවුරුදු පතා මියැදෙති. ලෝකයේ පිලිකා රෝගවලින් සියයට 70ක්ම වාර්තා වන්නේ ද ශ‍්‍රී ලංකාව වැනි අඩු දියුනු රටවලිනි.

බෝගහගොඩ ප‍්‍රදේශයේ පිලිකා රෝගින් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස වර්ධනයවීම සම්බන්ධයෙන් එහි පිහිටුවා ඇති ඩීඑස්අයි රබර් භාන්ඩ කම්හල් දෙකෙන් බල පෑමක් සිදු වී ඇතැයි ප‍්‍රදේශවාසීහු සැක කරති. එහෙත් පසු ගිය සඳුදා (18) ගාල්ල මහ ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් ගනනාවක් සහභාගී වූ රැස්වීමකදී මධ්‍යම පරිසර අධිකාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිසර දූෂන පාලන) ප‍්‍රකාශ කලේ ඉහත සැකය සනාථ කිරීමට සාක්ෂි නොමැති බවයි.

මෙම අසාමාන්‍ය තත්වය පාලනය කිරීම පිලිබඳව කවර හෝ පියවරක් එහිදී නොගැනුනු අතර ප‍්‍රදේශවාසීන්ගේ මූලික ඉල්ලීමක් වන භාවිතයට ගන්නා ජලය පරික්ෂා කිරීම ද නොතකා හරින ලදී. මෙම රැස්වීමට සහභාගී වූවත් අතර අක්මීමන හා ඉමදුව ප‍්‍රාදේශීය සභාවල සභාපතිවරු, දකුනු පලාත් මහලේකම්, පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, අදාල සෞඛ්‍ය නිලධාරීහු, බෝගහගොඩ දොරපේ මහා විද්‍යාලයේ විදුහල්පති, පොලිස් නිලධරයෝ ඇතුලු ප‍්‍රදේශයේ පරිසර සංවිධානවල නියෝජිතයෝ වූහ. එකකට රු. 25,000 බැගින් ජල සාම්පල් 10ක් පරීක්ෂා කිරීමට රු. 250,000 ක මුදලක් අයිටීඅයි ආයතනයට ගෙවිය යුතු වන නමුත් ප‍්‍රකාශයට පත් වූයේ සාකච්ඡාවට සහභාගී වූ අදාල රාජ්‍ය ආයතන එකකවත් ඒ සඳහා මුදල් නොමැති බව ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් ප‍්‍රදේශයේ කල මැදිහත් වීමක දී දැන ගැනීමට ලැබුනු පරිදි ප‍්‍රදේශවාසීන් බොහෝ දෙනාගේ මතය වන්නේ ඩීඑස්අයි සමාගමට අයත් කම්හල් පිහිටුවාලීමෙන් පසු මෙම රෝගී තත්වය වේගයෙන් වර්ධනය වී ඇති බවයි.

තනි ගමක් හැටියට ගත් කල මෙතරම් ප‍්‍රමානයක් පිලිකා රෝගීන් සිටීම බරපතල ප‍්‍රශ්නයක් බව සඳහන් කරමින් එම්.කේ.ආශා කියාසිටියේ ෆැක්ටරිය ගමේ බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය වන නිසා එය අවශ්‍ය බවත් එහෙත් මිනිසුන්ට අහිතකර දෙයක් ඇත්නම් ඊට පිලියමක් යෙදිය යුතු බවත් ය. ඩීඑස්අයි ආයතනයේ සේවකයකු වන ඇගේ සැමියාගේ පියා ද පිලිකාරෝගයෙන් පෙලෙන්නෙකි.

ඇගේ දියනිය සාවිත‍්‍රි ඩීඑස්අයි රීක්ලේම් කම්හලට යාබද ඉඩමේ පිහිටි දොරපේ මහා විද්‍යාලයේ 6 වසර ශිෂ්‍යාවකි. විද්‍යාලයේ සිසුන් නිතර නිතර රෝගාබාධ වලට ගොදුරු වීමත් ප‍්‍රදේශයේ පැතිරෙන රෝග බියත් නිසා තැති ගෙන සිටින ඇය වෙනත් පාසලකට යවන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. තම දරුවන් මෙම අනතුරට මුහුන දී සිටීම ගැන බියපත් ව සිටින දෙමාපියෝ ප‍්‍රදේශය හැර ගොස් හෝ ජීවත් වීමට තරම් ආර්ථික හැකියාවක් නොමැති කමෙන් තැවෙති.

වැලිකොන්ද මහවත්තේ පිහිටි ඇගේ නිවස ඉදිරිපස නිවසේ පදිංචිව සිටි එන්.පී.ටී සොපි නෝනා පසු ගිය සැප්තැම්බර් 25 දා උගුරේ පිලිකාවකින් මිය ගොස් ඇත. ඊට ආසන්න කාලයේ ම අසල්වාසී තිදරු මවක් වන තුසිරාත් ගම්වාසී තවත් කාන්තාවක් වන රංජනීත් එකම දිනයේ මිය ගියේ ද පිලිකා රෝගයෙනි. මේ අතර බෝගහගොඩ නගරයේ ව්‍යාපාරිකයකු වු සරත්ගේ ජීවිතය ද පිලිකා වකින් අවසන් කෙරුනි.

ප‍්‍රදේශයේ පිහිටා ඇති රීක්ලේම් කම්හල ඉවතලන ටයර් භාවිතයෙන් බී2 වර්ගයේ පිලිකාකාරකයක් ලෙස සැලකෙන කාබන් බ්ලැක් නිපදවන අතර අදාල රාජ්‍ය අංශ එය ශ‍්‍රී ලංකාවේ නියමිත ප‍්‍රමිතීන්ට අනුව කටයුතු කරන බව සහතික කර ඇත. එක්සත් ජනපද ඊඒපී ආයතනය කාබන් බ්ලැක් පිලිකාකාරකයක් බව ප‍්‍රකාශ කරන අතරම එමගින් මිනිසුන්ට කරන බල පෑම ගැන සාක්ෂි නොමැති බව සහතික කරයි. නමුත් මෙම කම්හල අවට ජනයා මුහුන දී සිටින තත්වය සොයා බැලීමේ හදිසිභාවය එයින් අවලංගු වන්නේ නැත.

කම්හල තුලින් ගලා එන දුර්ගන්ධය හා දුමාරය අවට පැතිරෙන අතර, මේ තත්වය පරික්ෂා කල යුතු බව ගාල්ලේ පැවති සාකච්ඡාවට සහභාගීවූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද පිලිගෙන ඇත. රබර් භාන්ඩ නිෂ්පාදනයට අවශ්‍ය උකුකිරි දියකිරීම හා සෙසු කි‍්‍රයාවලදී භාවිතා කරන රසායනික පරෙස්සමින් භාවිත නොකලහොත් පරිසරයට බරපතල හානි සිදු කරන බව ප‍්‍රකට කරුනකි. ඒවා අතර පිලිකාකාරක බොහොමයක් වෙයි. මෙම ද්‍රව්‍යයන් ප‍්‍රදේශයේ ජලයට හා පසට මිශ‍්‍ර වී අතැයි ප‍්‍රදේශවාසීහු විශ්වාස කරති. එම දූෂිත දේ භාවිත කිරීමට ඔවුනට බල කෙරී ඇත.

සිව්දරු මවක් වන එච්.පී.ටී. චන්ද්‍රවතී අප සමග කියා සිටියේ ලිංවල ජලය භාවිතයට බිය නිසා බොහෝ දෙනා නල ජලය ලබා ගන්නා නමුත් තමන්ට ඒ සඳහා මුදල් නොමැති බව ය. ජල සැපයුම් සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රු. 25,000කි. ඇය පවසන පරිදි ගස් ඉරීමේ රැකියාවේ නිරත සැමියාට දැනට උසස් පෙල සඳහා ඉගෙන ගන්නා තම දරුවාගේ වියදම් සොයා ගැනීම පවා අසීරුය. එක් විෂයකට රු. 800 බැගින් ගෙවා විෂයයන් තුනම පුද්ගලික පන්තිවලින් ඉගෙනීමට සිදුව ඇති අතර ගමන් වියදම ලෙස දිනකට රු. 100 බැගින් සතියකට දින හයක් මුදල් වෙන් කල යුතු ය.

ඩීඑස්අයි කම්හලේ සේවය කරන බොහෝ ගම්වාසී කම්කරුවන්ට මෙම ප‍්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම පවා තහනම් ය. එසේ කල හොත් රැකියාවලින් පලවා හැරෙනු ඇත. කම්හලේ බොහෝ අංශ කොන්ත‍්‍රාත් පදනමේ සිදු කෙරෙන අතර වසර 15ක් කොන්ත‍්‍රාත් පදනමේ සිට රැකියාවෙන් ඉවත්ව සිටින ජී. අනුලාවතී නිෂ්පාදිත රබර් භාන්ඩ දූවිලි ඉවත් කර පෙට්ටිවල ඇසිරීමේ කාර්යයේ නිරත වූයේ එක් පෙට්ටියකට රු. 50ක වැටුපකට වන අතර දිනකට රු. 300ට අඩු ආදායමක් ලැබුවා ය.

වැලිකොන්ද කම්හල ආශි‍්‍රතව කුඩා කඩහිමියකු වන ටී.ජී. විපුලරත්න හා ඔහුගේ බිරිඳ අනුලාවතී ශ්වසන රෝගවලින් පෙලෙති. ගමට රැකියාවක් ලැබෙන ව්‍යාපාරයක් ලෙස ඩීඑස්අයි ෆැක්ටරිය ආරම්භයේ දී තමන් සැලකූ නමුත් දැන් "මහ පොලොවේ වලක් හාරාගෙන බීපු පිරිසිදු වතුර ටිකත් නැති වීම” ගැන තමා තැවෙන බව විපුලරත්න කිය යි. රතුපස්වල ජනයා මෙන් ම තමුන් ද යෙදී සිටින්නේ පිරිසිදු ජලය සඳහා සටනක ය යි පැවසූ ඔහු මේවා මර්දනය කිරීම සඳහා එල්ල කෙරෙන පොලිස් මිලිටරි ප‍්‍රහාරයන් හෙලා දුටුවේ ය.

උතුරේ යුද්ධයට වඩා දකුනේ යුද්ධය දරුනු වන බවත් දැනටමත් සිදු කෙරෙන අත් අඩංගුවට ගැනීම් හා සිරගත කිරීම් වලින් ආන්ඩුව ඊට සූදානම් වන හැටි තමන්ට වටහා ගත හැකි බවත් අනුලාවතී කියා සිටියාය. දිගින් දිගටම සිදු කල පාවා දීම නිසා පවත්නා දේශපාලන පක්ෂ කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත් ආන්ඩුවේ ප‍්‍රහාර නතර කිරීමට "හොඳ නායකත්වයක්” හා "හොඳ වැඩ පිලිවෙලක්” තිබිය යුතු බවත් ඇය පැවසුවාය.

මෙම කම්හල් වලින් මහජනයාට කෙබඳු අහිතකර බලපෑමක් සිදු කලත් කම්හල් හිමි ධනපති සමාගම් වලට සියලු සහන සලසා දී ඔවුනගේ ලාභ තර කර දීම පිලිවෙත කරගත් රාජපක්ෂ ආන්ඩුව කවර හේතුවක් නිසාවත් මේ පිලිබඳ සාධාරන පරීක්ෂනයක් සිදු කිරීමට සූදානම් නැති බව ඉතා පැහැදිලිය. රතුපස්වල සිද්ධියෙන් ආන්ඩුවේ මෙම පිලිවෙත වඩාත් විශද විය.

වෙනිග්‍රොස් කම්හලෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් රතුපස්වල ප‍්‍රදේශයේ භූගත ජලය දූෂිත වී ඇතැයි චෝදනා කරමින් පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කල මහජනතාවට ආන්ඩුව පිලිතුරු දුන්නේ මිලිටරි තුවක්කුවෙනි. නිරායුද මහජනයාට ම්ලේච්ඡ ලෙස පහරදුන් මිලිටරිය තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කලේය. පැන නැගි දැවැන්ත මහජන විරෝධය හමුවේ ජනාධිපති රාජපක්ෂ ප‍්‍රදේශයේ භූගත ජලය පිලිබඳ පරීක්ෂනයක් පැවැත්වීමට ජාතික විද්‍යා හා තාක්ෂනික ආතනයට විධාන කල නමුත් එවන් පරීක්ෂන වාර්තාවක් මෙතෙක් ප‍්‍රසිද්ධ කෙරී නොමැති අතර කම්හල හිමි හේලීස් සමාගමේ අවශ්‍යතාව මත ආන්ඩුව විසින් පරීක්ෂනය යට ගසා ඇති බවට සියලු සැක මතු වෙමින් පවතී.

මෙම තතු යටතේ රතුපස්වල භූගත ජලයේ දූෂිතවීමට බල පෑ ඇති හේතුව ඇතුලු කරුනු රැසක් අනාවරනය කර ගැනීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ මූලිකත්වය යටතේ ආරම්භ කෙරී ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනයට ප‍්‍රදේශවාසීන්ගේ ද අවශේෂ කම්කරු පීඩිත මහජනයාගේ ද බුද්ධිමතුන්ගේ ද සහයෝගය පල වෙමින් පවතී. රතුපස්වල ආරම්භ කෙරී ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනයට බෝගහගොඩ ප‍්‍රදේශයේ මහජනතාව තම පූර්න සහයෝගය ලබා දිය යුතුය. එවන් පරීක්ෂනයක් තමා මුහුන දී සිටින පරිසර තත්වයන්ගේ මූලය හා එයට විසඳුම් සොයා ගැනීම සඳහා බලගතු පිටුවහලක් වනු ඇත.

Share this article: