ශ‍්‍රී ලාංකික අර්ථශාස්ත‍්‍රඥයෝ රාජපක්ෂ ආන්ඩුවට අනතුරු අඟවති

සමන් ගුනදාස විසිනි, 2013 නොවැම්බර් 23

ලංකාව් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශී‍්‍ර ලංකා මහ බැංකුව රටේ ආර්ථික සංවර්ධනය ගැන ගසන කයිවාරුවල පල්ල යන ප‍්‍රකාශ පසුගිය දා පැවති ශී‍්‍ර ලංකා අර්ථශාස්ත‍්‍රඥයන්ගේ සංවිධානයේ ආර්ථික විද්‍යාඥයන් කීපදෙනෙකුගෙන් ම ප‍්‍රකාශයට පත් විය. පසුගිය ඔක්තෝබර් 25 - 26 දින වල පැවැති එම සංවිධානයේ වාර්ෂික සම්මේලනයේ දී ලාංකික ආර්ථිකය මුහුන දී ඇති තීරනාත්මක අර්බුදයේ ස්වභාවය ද උග‍්‍ර වන ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ ආර්ථික බංකොලොත් භාවයකට රට පත්වීමේ අනතුර පිලිබදව ද එහි මූලික දේශන පැවැත්වූ ඒ.ඞී.වී. ද එස්. ඉන්ද්‍රරත්න හා ජී. උස්වැටආරච්චි කනස්සල්ල පල කලහ.

"තිරසාර වර්ධනය කරා ඉදිරි මාවත" යන මැයෙන් සභාපතිගේ දේශනය පැවැත්වූ ඒ.ඞී.වී. ද එස්. ඉන්ද්‍රරත්න ලංකාව පසුගිය වසර වල ඉහල වර්ධන වේගයක් අත්කර ගත්තේ අධික නය ගැනීම් මගින් වන බැවින් එය තිරසාර වර්ධනයක් නොවූ අතර 2010 හා 2011 වසර වල පැවැති සියයට 8ක වර්ධන වේගය 2012 වනවිට සියයට 6.4 දක්වා පහත වැටුනු බව කියා සිටියේය.

අධික නය ගැනීම් නිසා ජංගම ගිනුමේ හිඟය තවත් පුලුල් වුනු අතර ආනයන හා වෙලද හිඟය ඉහල යාමට එය තුඩු දුන් බව ඔහු කියා සිටියේය.

"තිරසාර වර්ධනයකට ඇති උපද්‍රව” මැයෙන් සම්මේලනයේ ප‍්‍රධාන දේශනය පැවැත්වූ කේම්බි‍්‍රජ් අර්ථශාස්ත‍්‍රඥයෙකු වන ජී. උස්වැටආරච්චි ශ‍්‍රී ලංකාව ඇතුලු නොදියුනු රටවල් විශාල වශයෙන් නය ගනිමින් එම නය නොවැදගත් ක්ෂේත‍්‍ර වලට යොදවා සුදු අලින් තනන බැවින් එමගින් ගොඩ නැගෙන බුබුලූ පුපුරා ගොස් ආර්ථික අර්බුදයන්ට මග පාදන බව කියා සිටියේය. නය දෙන්නන් පොලී රේට්ටු වල කුඩා වෙනස් වීමකට පවා ආලෝකයේ වේගයෙන් ප‍්‍රතිචාර දනවන බැවින් කෙටිකාලීන නය මත පදනම්ව විදේශ සංචිත පවත්වා ගෙන යන රටවල් තම ආර්ථිකය හැසිරවීම පිලිබඳව ප‍්‍රවේසම් විය යුතු බව ඔහු කියා සිටියේය. ඔහු මෙහිදී සඳහන් කරනු ලැබුවේ වානිජ නය මත විශාල වශයෙන් පදනම් වී සිටින ශ‍්‍රී ලංකා ආර්ථිකය පිලිබඳවය.

ශ‍්‍රී ලංකාවේ ඉහල උද්ධමන රේට්ටුව එක්සත් ජනපදයේ හා යුරෝපීය සංගමයේ පවතින සියයට 1.5 ක උද්ධමන රේට්ටුවට වඩා ඉහල බැවින් භාන්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සඳහා කෙටි කාලීන අස්ථාවර විදේශ මුදල් ලැබෙන බැවින් ඒ මත ආන්ඩුව වාරුවී ඇති බව ඔහු කියා සිටියේය.

ආන්ඩුව හෝ සංගත නය ආපසු ගෙවීමේ හැකියාව නොතකා කෙටිකාලී නය ගැනීම මතම යැපෙන කල නය දෙන්නාගේ විශ්වාසය බිඳී ඔවුන් වේදිකාවෙන් අතුරුදහන් වනු ඇතැයි උස්වැටආරච්චි විස්තර කලේය. ඉන්ද්‍රරත්නගේ හා උස්වැටආරච්චිගේ ප‍්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන්නේ ධනපති පන්තියේ සැලකිය යුතු කොටසක් අතර ආන්ඩුවේ ප‍්‍රතිපත්ති නිසා වැඩෙන අන්තරායන් පිලිබඳව මතුවී ඇති සාංකා හා නොසතුටයි.

ස්වාධීන ධනේශ්වර අර්ථශාස්ත‍්‍රඥයන් වන මොවුන් මෙම තීරනාත්මක ආර්ථික අර්බුදයට ඉදිරිපත් කරන්නාවූ "විසඳුම” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ අධිරාජ්‍යවාදී බැංකුකරුවන්ගේ නිර්දේශ වලට පිටස්තර වූ කිසිවක් නො වේ. එනම් මෙම අර්බුදය වැඩ කරන ජනතාව මත පැටවීම ඉලක්ක කරගත් නිර්දේශයන් ඔවුහු පුන පුනා සඳහන් කලහ.

කෙතරම් මහජන අප‍්‍රසාදයට ලක් වුවද විධිමත් ආර්ථික ප‍්‍රතිසංස්කරන සිදුකල යුතුව ඇතැයි උස්වැටආරච්චි කියා සිටියේය. වියදම් ඉහල දැමීමට පෙර ආදායම ඉහල දමාගත යුතු බවත් අද සිදු වන්නේ අනිටු විපාක පිලිබඳව නොතකමින් බාහිර වානිජ වෙලඳ පල වලින් නය ගනිමින් වියදම් කිරීම බව ඔහු කියා සිටියේය. වැඩ කරන ජනයා මත තව තවත් බදු බර පැටවිය යුතු බව මෙම නිර්දේශයේ අර්ථයයි.

මහාචාර්ය ඉන්ද්‍රරත්න ගේ නිර්දේශයට අනුව රාජ්‍ය අංශයේ ආයතනයන්ගේ කලමනාකාරිත්වය වර්ධනය කර කාර්යක්ෂමතාව ඉහල දමා නාස්තිය, දූෂනය හා ව්‍යාජ ඔප දැමීම් නතර කල යුතුය. විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා සාමය පමනක් නොසෑහෙන අතර යහ පාලනය, නීතියේ ආධිපත්‍යය, තොරතුරු සඳහා අයිතිය, කාර්යක්ෂම, අවංක හා ස්වාධීන රාජ්‍ය ආයතන ද නිදහස් ජන මාධ්‍ය හා සරල රේගු හා ආගමන විගමන රෙගුලාසි ද අවශ්‍ය බව ඔහු පැවසීය. නීතිය හා සාමය රැකීම දුර්වල වීම විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට බාධකයක් වන බව උස්වැටආරච්චි කියා සිටියේය.

කාර්යක්ෂමතාව ඉහල දැමීම මුවාවෙන් මූර්ත වැටුප් ඉහල නොදමමින් සූරා කෑම උග‍්‍ර කල යුතු බවට මෙම අර්ථශාස්තඥයන් නිර්දේශ කරයි.

සූරා කෑම උග‍්‍ර කිරීමට එරෙහිව නැගී සිටින වැඩ කරන ජනයා මර්දනය කිරීමට රාජපක්ෂ ආන්ඩුව අටවමින් සිටින මිලිටරි පොලිස් ආඥාදායක පාලනයේ අවශ්‍යතාවය සමග ඉන්ද්‍රරත්න හා උස්වැටආරච්ච් නිර්දේශ කරන නීතිය හා සාමය රැකීම, යහ පාලනය හා නීතියේ ආධිපත්‍ය ඍජුව ගැටේ. තමන්ට පක්ෂ අග‍්‍ර විනිශ්චයකාරවරයෙකු ද මුදුනට දමා ගනිමින් අධිකරනය මුලූමනින්ම වාගේ ආන්ඩුවේ උපකරනයක් කර ගනිමින් රාජපක්ෂ ආන්ඩුව වැඩ කරන ජනයා මැඞීමට ක‍්‍රියාත්මක වෙයි. දූෂනය හා නාස්තිය එහි ඓන්ද්‍රීය කොටසක් වන අතර නිදහස් ජන මාධ්‍ය හා ස්වාධීන රාජ්‍ය ආයතන මෙම පසුබිම තුල පැවැතිය නොහැකිය. එබැවින් රාජපක්ෂ ආන්ඩුව සම්බන්ධව ද පොදුවේ ධනපති ක‍්‍රමය මුහුනදී ඇති තියුනු අර්බුදය පිලිබඳව ද ගත්කල උස්වැටආරච්චිගේ හා ඉන්ද්‍රරත්නගේ නිර්දේශයන් පරස්පරය. කෙටියෙන් කිවහොත් අර්බුදග‍්‍රස්ත ධනේශ්වර පාලනයක් "යහ පාලනයක්” වීමට අසමත්ය.

Share this article: