ශ‍්‍රී ලංකාවේ අය වැයෙන් බරපතල කප්පාදු පියවර පැටවේ

Sri Lankan budget imposes deeper austerity measures

සමන් ගුනදාස විසිනි, 2013 නොවැම්බර් 28

ශ‍්‍රී ලංකාවේ ජනාධිපති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ නොවැම්බර් 21 දා ලබන වසරේ අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් විදේශ ආයෝජකයන් හා සුපිරි පොහොසතුන්ට සහන සලසන අතර වැඩ කරන ජනයාගේ ජීවන කොන්දේසි තලා දමන තවත් ප‍්‍රහාර මාලාවක් නිවේදනය කලේය.

ආර්ථිකය වර්ධනය කිරීම මගින් කම්කරු ජනයාගේ සමාජ කොන්දේසි වැඩිදියුනු කිරීමට අය වැය යොමු වී ඇති බවට රාජපක්ෂ බොරුවක් දෙසාබෑවේය. ඒ වෙනුවට, සිදු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දේශ මත අය වැය හිඟය තව දුරටත් කපා හරින ආන්ඩුව ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුප්පතුන් මත පැටවීමය.

මෙම වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 5.8ක් වන මූල්‍ය හිඟය ලබන වසරේ සියයට 5.2 දක්වා ද 2015 දී හා 2016 දී ප ිලිවෙලින් 4.5 හා 3.8 දක්වා ද කපා හරිනු ලැබේ. 2009දී ගෙවුම් ශේෂ අර්බුදයෙන් ගැලවීමට ඇ. ඩොලර් බිලියන 2.6 ක නය මුදලක් ලබාදීමට නම් සියයට 10 මට්ටමේ පැවති අය වැය හිඟය ඉන් අඩක් දක්වා අඩු කල යුතු බව ජාමූඅ අවධාරනය කලේය.

ආනයනික සාමාන්‍ය ආහාර ද්‍රව්‍ය කිලෝග‍්‍රෑමයක් මත රුපියල් 2 සිට 27 දක්වා විශේෂ වෙලඳ  භාන්ඩ බද්දක් අය වැය මගින් පැනවිනි. ලූනු, සීනි, කරවල, එලවලු තෙල්, පරිප්පු, කඩල, මුං ඇට, පැස්ටා, ධාන්‍ය, සුප්, යෝගට්, බටර් හා මාගරීන් මෙම දීර්ග ලැයිස්තුවට අයත්ය.මෙම වැඩි කිරීම් රට තුල නිෂ්පාදනය උනන්දු කරවීමට සිදු කරන බව රාජපක්ෂ නරුම ලෙස කියා සිටිය ද මේවායින් ප‍්‍රධාන කොටම සිදු වන්නේ මිල ඉහල දැමීමය. අය වැයට පෙරාතුව ප‍්‍රවාහන ගාස්තු සියයට 7න් ඉහල දැමිනි.

සිමෙන්ති, ඇලුමිනියම් හා වානේ භාන්ඩ ඇතුලු ගොඩනැගිලි ද්‍රව්‍ය වල මිලද ඉහල දැමිනි. දුරකථන පාවිච්චිකරන්නන් මත විදුලි සංදේශ බද්ද සියයට 25 තරම් ඉහලට දමනු ලැබිනි. සුපිරි වෙලඳ සැල් මත සියයට 15ක විශේෂිත වැට් (එකතු කල අගය මත) බද්දක් පැනවිනි.

මෙම මිල ඉහලදැමීම් පනවන අතරවාරයේදී වසර හතක් තිස්සේ පවත්වා ගෙන යන රාජ්‍ය අංශයේ වැටුප් කැටි කිරීම දිගටම පවත්වා ගැනීමට රාජපක්ෂ වග බලා ගත්තේය. කම්කරුවන්ගේ මාසික ජීවන වියදම් දීමනාව ඉහල යන්නේ සොච්චම් රුපියල් 1200කින් පමනි. විශ‍්‍රාමිකයින්ගේ දීමනාව වැඩිකර ඇත්තේ යන්තම් රුපියල් 400 සිට 600 දක්වා ගනන්වලින් ය. පුද්ගලික අංශයේ සේවාදායකයින්ට ද මෙම වැඩි කිරීම කරන ලෙස ජනාධිපති ඉල්ලා සිටිය ද ඉහතදී මෙන්ම මෙම ඉල්ලීම මෙවර ද නොතකා හරිනු ලැබීමට නියමිතය.

ආන්ඩුවට ගම්බද සහයෝගය පවත්වා ගැනීම ඉලක්ක කර ගනිමින් ගොවීන් සඳහා දායක (මුදල් ගෙවීමේ) විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් රාජපක්ෂ නිවේදනය කලේය. සහනදායී බවක් නොපෙනුනු තතු තුල බොහෝ ගොවීන් සිය වාරික මුදල් ගෙවීම් නැවැත්වූ බැවින් පෙර ක‍්‍රියාත්මකවූ දායක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය කඩා වැටිනි. පොහොර සහනාධාරයෙන් කිලෝග‍්‍රෑමයකින් රුපියල් 5ක් බැගින් කපා වක‍්‍රව ගොවීන් මත මෙම මුදල පැටවීමට දැන් උත්සාහ දැරේ.

අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 68ක් හා 117 ක් ලෙස යම්තමින් වැඩි කර මුදල් වෙන් කර ඇති නමුත් පසුගිය වසරේ මෙන්ම, මෙම මුදල පවා සම්පූර්නයෙන් නිදහස් කෙරේද යන්න අවිනිශ්චිතය. රටෙහි පැවැති දිග් ගැස්සුනු සිවිල් යුද්ධය 2009දී අවසන් වුවද රුපියල් බිලියන 253ක වැඩිම මුදල් වෙන් කිරීම කර ඇත්තේ මිලිටරියටයි. ආන්ඩුව උතුරු හා නැගෙනහිර ප්‍රෙද්ශ වල මිලිටරිය යෙදවීම තව තවත් පුලුල් කරන අතර සිය කුරිරු ජීවන මට්ටම් කප්පාදු කිරීමේ වැඩ පිලිවෙලට ප්‍රතිරෝධය දක්වන වැඩකරන ජනයාට එරෙහිව කඩා පැනීම සදහා සූදානම් වෙයි.

අයවැය හිඟය වන රුපියල් බිලියන 516 නව නය ගැනීම් මගින් පියවා ගැනීමට නියමිත අතර දැනටමත් රුපියල් ට්‍රිලියන 6.63ක් එනම් දදේනි න් සියයට 80ක් වන සමස්ත නය ගැනීම් වලට එය එකතු වනු ඇත. මුදල් හිඟයෙන් පෙලෙන ආන්ඩුව වරින්වර ඉහල පොලියට ගන්නා දේශීය හා විදේශීය නය ආපසු ගෙවීම සිදු කරන්නේ කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට තවත් පහර එල්ල කරමිනි.

මේ මස කොලඹට පැමිනි ජාමූඅහි නියෝජ්‍ය කලමනාකාර අධ්‍යක්ෂ න ඕයුකි ෂිනොහාරා ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙලට සහයෝගය දුන් අතරම ගෝලීය ආර්ථිකයේ අර්බුදය හා එක්සත් ජනපදයේ මුදල් අච්චු ගැසීමේ පිලිවෙත් නතර කිරීම නිසා ශ‍්‍රී ලාංකික ආර්ථිකය ප‍්‍රහාරයට ලක් වනු ඇතැයි අනතුරු ඇගවීය. මෙම වසරේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 7.5ක් වෙතැයි මහ බැංකුව ගනන් බැලුව ද ෂිනොහාරා එය සියයට 6.4 දක්වා පහත දැමීය. ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ලංකාවේ අපනයනයන්ගේ වර්ධනය සියයට 0.3ක් පමනි.

කම්කරු පන්තිය හා දුප්පත් ජනයා මත බරපතල නව මිල ඉහල දැමීම් පටවන අතරතුරේ රාජපක්ෂ විසින් ව්‍යාපාරවලට හා පොහොසතුන්ට නව වටයකින් පහසුකම් නිවේදනය කෙරිනි. උසස් තත්වයෙන් යුතු පෑන්, ටයි පටි හා බෝ ටයි පටි සඳහාත් ශීත කල මාලු ඇම හා නාවික ධාවන එන්ජින් ඇතුලු මාලූ ඇල්ලීමේ උපකරන සදහාත් වැට් බදු ඉවත් කර තිබේ. ඉහල පොහොසතුන් සඳහා සන්තෝෂමක් ලෙසට පසුගිය වසරේ අයවැයෙන් අධිවේගී මෝටර් රථ සඳහා පැවති සියයට 300 බදු ඉවත් කෙරිනි. මෙම අයවැයෙන් කොලඹ කොටස් වෙලඳ පලට එක්වන සමාගම්වලට වසර තුනක් සඳහා සියයට 50ක බදු විරාමයක් ප‍්‍රකාශයට පත් කෙරිනි.

ගැඹුරු වන සමාජ විභේධනයේ දේශපාලන ඇඟවීම් පිලිබඳව පාලක ප‍්‍රභූවේ නොසන්සුන් බව ප‍්‍රකාශයට පත් කරමින් පසුගිය සිකුරාදා අයිලන්ඩ් පුවත්පතේ කතුවැකිය මෙසේ ප‍්‍රකාශ කලේය. "මහ මග ගමන් කරන සුපිරි සුඛෝපභෝගී මෝටර් රථ ගනන ද සමහරුන් විසින් උන්මාදනීය ලෙස ප‍්‍රදර්ශනය කෙරෙන ධන සම්භාරයන් ද, ගත් විට ආන්ඩුව සාමාන්‍ය ජනයාගේ වියදමෙන්, අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා මගින් උකහා ගන්නා වක‍්‍ර බදු මත යැපෙන්නේ ඇයි දැයි සිතාගත නොහැකි තරම් ය.”

එවන් මනස්තාපයක් නොදැක්වූ ලංකා වානිජ මන්ඩලය "2014 අය වැයෙන් ප‍්‍රදර්ශනය කෙරෙන මූල්‍ය ශික්ෂනය පිලිබඳව දිගටම පවතින කැපවීම අගය කරන බව” කියා සිටියේය. ශ‍්‍රී ලංකාවේ ජාතික වානිජ මන්ඩලය ප‍්‍රකාශ කලේ "බොහෝ සෙයින් ම අය වැය ප‍්‍රගතිශීලී ලියවිල්ලක්” බවයි.

රාජපක්ෂ පාර්ලිමේන්තුව සතු ආන්ඩුවේ මූල්‍ය පාලනය කිරීමේ බලය අයුතු ලෙස තමන්ට පවරා ගත්තේය. අයවැය බෙදා හැරීමේ ලියවිල්ල තුලට ඇතුල් කර ඇති වගන්ති මගින් භාන්ඩාගාර ලේකම් හට පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මුදල් එහා මෙහා කිරීමට බලය පවරා තිබේ. මෙම ක‍්‍රියාදාමයේ ව්‍යවස්ථානුකූල භාවය මහාධිකරනය තුල අභියෝගයට ලක් කෙරුනු නමුත් ජනාධිපති විසින් පත් කෙරුනු විශ්වාසවන්තයෙකු වන අග විනිසුරු විසින් එය නිෂ්ප‍්‍රභා කෙරිනි.

විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති විසින් අය වැය පිලිබඳව කෙරෙන විවේචනයන් අතිශයෙන්ම කුහක ය. සියලුම වෘත්තීය සමිති නායකයන් පාහේ රාජපක්ෂට යෝජනා ලබා දෙමින් ආන්ඩුව ආදායම වැඩිකොට ජීවත්විය හැකි වැටුපක් ලබා දීමට යන්නේය යන මුසාව පැතිරවීය. කිසි දිනක ඉටු නොවන්නාවූ ඔවුන්ගේ ”ඉල්ලීම්” නොතකා හැරියේයැයි දැන් මෙම නායකයෝ දෙස් දෙවොල් නගති.

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික‍්‍රමසිංහ පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මෙසේ ප‍්‍රකාශ කලේය. "ආන්ඩුවේ 2014 අය වැය ජනගහනයේ වැඩකටනැති සියයට 1ක සුපිරි පොහොසතුන් තර කිරීමට දායක වන අතර ජනගහනයේ සියයට 99ක් දරිද්‍රතාවට ඇද දමයි.” මෙම දක්ෂිනාංශික මහා ව්‍යාපාරික පක්ෂය බලය ගතහොත්, කරනු ඇත්තේද මෙයමය. 2002-04 දක්වා අගමැති ලෙස වික‍්‍රමසිංහ බලයේ සිටින විට එජාපයේ වෙලඳපල-හිතැති ක‍්‍රියාමාර්ගය වු "යලි පුබුදමු ශ‍්‍රී ලංකා” ක‍්‍රියාවට දමමින් ජීවන මට්ටම් ගැඹුරු ලෙස කපා දැමීම වික‍්‍රමසිංහගේ අධීක්ෂනය යටතේ සිදුවිය.

කොලඹ හා රට පුරා අය වැයට විරුද්ධව විරෝධතා පවත්වන බව ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ප‍්‍රකාශ කර තිබේ. අය වැයට පෙරාතුව ජවිපෙ වෘත්තීය සමිති නායකයන් ආන්ඩුව සමග සාකච්ඡා වලට සම්බන්ධ වෙමින් සිය සාමාජිකත්වයෙන් එල්ල විය හැකිව තිබූ විරෝධය යටපත් කලේය. දැන් ඔවුන් ඒ කාර්යය සඳහා ම විරෝධතා කැඳවන්නේ එහි සැර බාල කර ආන්ඩුවට හා එහි ජීවන මට්ටම් කප්පාදු කිරීමේ අය වැයට එරෙහි දේශපාලන අරගලයක් යටපත් කිරීමට ය. 2004දී ජාමූඅහි වෙලඳ පල ලැදි විධානයන් පැනවූ රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාග ආන්ඩුවේ කොටසක් ලෙස ජවිපෙ සිටියේය.

ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බර වැඩ කරන ජනයා මතට පැටවීමට සමස්ත දේශපාලන සංස්ථාපිතයම කැපවී සිටියි. කම්කරුවන්ට තම අයිතීන් රැක ගැනීමට සමාජවාදී ක‍්‍රියාමාර්ගයෙන් සන්නද්ධ වූ නව විප්ලවාදී නායකත්වයක් අවශ්‍යය. ජාත්‍යන්තර සමාජවාදය සදහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩ නැගීමේ සටන සඳහා ඔවුන් සෑම ධනපති පක්ෂයකින්මත් වෘත්තිය සමිති හා ඒවායින් යැපෙන්නන්ගෙනුත් ස්වාධීනව සංවිධානය විය යුතුය. මෙම ඉදිරි දර්ශනය සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.

Share this article: