එජාප නායකයා කොලඹ නිවැසියන්ගේ විරෝධය ගසා කෑමේ උත්සාහයක

විලානි පීරිස් විසිනි , 2013 නොවැම්බර් 22

මහින්ද රාජපක්ෂ ආන්ඩුව කොලඹ නගරයේ දුගී පවුල් 70,000කට වැඩි ප‍්‍රමානයක් සිය නිවාසවලින් පලවා හරිමින් නගරය ආසියාකරයේ ප‍්‍රධාන වෙලඳ මධ්‍යස්ථානය බවට පත්කිරීමට ක‍්‍රියාකරන තත්වයේදී එම නිවැසියන්ගෙන් නැගෙන විරෝධය ගසාකෑමේ තැතක එක්සත් ජාතික පක්ෂය (එජාප) යෙදී සිටී.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් කොම්පඤ්ඤවීදියේ නිවාසවලින් පලවා හැරි ජනයා අසීරු තත්වයකට පත්ව ඇතැයි කියා සිටියේ ය. එහෙත් ඔහු දෙස්විදෙස් ආයෝජකයන්ට ලාභ ලැබීම සඳහා කොන්දේසි සපයමින් කොලඹ නගරය වානිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ආන්ඩුවේ "නගර සංවර්ධන” පිලිවෙතටත් එය යටතේ දුගී ජනයා නිවාසවලින් පලවා හැරීමටත් පක්ෂපාතීය. ඔහු කියා සිටින්නේ එම "කි‍්‍රයාවලියේ දී නගරවාසීන් මොන යම් හෝ දඬුවමකට ලක් කිරීමක් හෝ ඔවුන්ගේ ජීවන රටාවන් කඩාකප්පල් කිරීමක් සිදු නොකල යුතු” බව හා "ඔවුන්ගේ අනාගතය සුරැකිය යුතු” බවයි.

"නගරය සංවර්ධනය කල යුතුය” යනුවෙන් ආන්ඩුවේ වැඩපිලිවෙලට එකඟතාව ප‍්‍රකාශ කරන වික‍්‍රමසිංහගේ විවේචනය පවතින්නේ කොම්පඤ්ඤවීදියේ නිවාසවලින් පලවා හැරිය ජනතාවට නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) උසාවියේ දී දුන් පොරොන්දු ඉටු නොකිරීම පිලිබඳවය. ”එවන් කඩ කල පොරොන්දු මගින් මහජන විශ්වාසය බිඳීම පිලිබඳ වාර්තාවක් නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඇත” යයි ඔහු පැවසීය.

වික‍්‍රමසිංහ යෙදී සිටින්නේ ආන්ඩුවේ ප‍්‍රයත්නය නගරය සංවර්ධනය කිරීමක් ය යන එහි තර්කය ම තොරොම්බල් කරමින් යම් වන්දියක් ලබාගෙන නිවාසයන්ගෙන් ඉවත්වියයුතු බව එම නිවැසියන්ට ඒත්තු ගැන්වීමේ ප‍්‍රයත්නයකය. ඔවුන්ගේ ජීවිත "කඩාකප්පල්” නොකලයුතු බවට ද, ඔවුන්ගේ අනාගතය "සුරැකිය” යුතු බවට ද ඔහු කරන ප‍්‍රකාශ ප්‍රෝඩාකාරීය. ඉඩම්වලින් නිවැසියන් ඉවත් කර ඒවා අයෝජකයන්ට පැවරීමට වික‍්‍රමසිංහ විරුද්ධ නැත.

දැනටමත් කොම්පඤ්ඤවීදියේ අක්කර 7ක් ඉන්දියාවේ ටාටා නිවාස සංවර්ධන සමාගමට ද අක්කර 5ක් පකිස්ථාන සමාගමකට ද ගාලු මුවදොර පිටිය ඉදිරිපිට තවත් අක්කර 5ක් ෂැරටන් සුපිරි හෝටලය සෑදීම සඳහා ද පවරා ඇත. කොම්පඤ්ඤවීදියේ තවත් නිවාස ඉවත් කරමින් කි‍්‍රයාවට දැමෙන "බැස්ටියන් මාවත ව්‍යාපෘතිය” යටතේ බේරේ වැවේ පාවෙන වෙලඳ සංකීර්නයක් ද ඉදිකෙරෙමින් පවතී. නාසඅ ව්‍යාපෘතියක් වන මෙහි එල්ලය විදේශීය සංචාරකයන් අද්දා ගැනීම ය. ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රකෝටිපතියෙකු වන ජේම්ස් පැකර් අවුරුදු 10ක පූර්න බදු සහන ඇතිව කොලඹ නගරය මධ්‍යයේ කැසිනෝ සූදු පොලක් හෝටල් සහ සාප්පු ඇතුලු දැවැන්ත සංකීර්නයක් ඉදි කිරීමට ද නියමිත ය.

කොම්පඤ්ඤවීදියේ ග්ලෙනී වීදිය, දුම්රිය මාවත යනාදි ප‍්‍රදේශවලින් 2008 දී පලවා හරින ලද නිවැසියන් 76කට නිවාස නොදී තවමත් වැලිගොඩදාන වත්තේ පදිංචිව සිටීම හා කොම්පඤ්ඤවීදියේ ම මිව් වීදියෙන් 2010දී පලවා හරින ලද පවුල්වලට වසර තුනක් ගතවී ඇතත් කිසිදු වන්දියක් නොගෙවීම ගැන ඔහු සඳහන් කර ඇත. සිය "නගර සංවර්ධන” වැඩපිලිවෙල යටතේ කොලඹ නගරයේ නිවාසවලින් ඉවත් කෙරෙන සියල්ලන්ටම සියලු පහසුකම් සහිත නිවාස සපයන බවට ආන්ඩුව කියාසිටියත් 2008 මෙන්ම 2010, 2011 පලවා හරින ලද නිවැසියන් මේ වන තෙක් පදිංචිව සිටින්නේ වැලිගොඩදාන වත්තේ කිසිදු පහසුකමකින් තොර පේලි නිවාසයන්හි ය. ඔවුනට පහසුකම් සහිත නිවාස ලබාදීමට ආන්ඩුවට හෝ වික‍්‍රමසිංහට කිසිදු වැඩපිලිවලක් නැත. ඔවුන් උනන්දු වන්නේ ආයෝජකයන් ගෙන්වාගැනීම පිලිබඳව පමනි.

කොම්පඤ්ඤවීදියේ ටාටා සමාගමට පවරා දී ඇති අක්කර 7 භූමිභාගයට අයත් ජාවා පටුමග ග්ලෙනී වීදිය, ලීච්මන් පටුමග, අක්බාර් පටුමග සහ ද සොයිසා වීදිය යන ප‍්‍රදේශවල නිවාස 455ක් හා ව්‍යාපාරික ස්ථාන 99ක් ඉවත් කිරීමට දී ඇති නියෝගය ගැන ද වික‍්‍රමසිංහ සඳහන් කලේය. එජාපය මැදිහත් වූයේ තමන් ඉවත් කිරීමට එරෙහි මෙම නිවැසියන්ගේ විරෝධය උසාවියේ නඩුවකට කොටු කිරීමටයි. ඔවුන් වෙනුවෙන් එජාප මන්තී‍්‍රවරයකු වන නීතිඥ සුජීව සේනසිංහ ගොනු කල නඩුව ජනයා නිවාසවලින් පලවා හැරීමට අභියෝග නොකල අතර එය ඉල්ලා සිටියේ ඔවුන්ට ගෙවන වන්දිය වැඩිකර ගැනීම පමනි. එහෙත් නිවැසියන්ගේ විරෝධය එල්ල වන්නේ බලහත්කාරයෙන් ඔවුන් නිවාසයන්ගෙන් පලවා හැර ඉඩම් ආයෝජකයන්ට පැවරීම සම්බන්ධව ම ය.

එම නඩුව විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනයේ නියෝග අනුව දැන් දැන් ඔවුන් දෙසැම්බර් 31 දා වන විට සිය නිවාස හා ව්‍යාපාරික ස්ථානවලින් ඉවත් විය යුතුය. වසර දෙකක් යන තෙක් සිය භූමි ප‍්‍රමානයන් අනුව නිර්නය කෙරෙන මාසික කුලියක් ද ඉන් පසුව ප‍්‍රදේශයේ ඉදිකෙරෙන මහල් නිවාස සංකීර්නයකින් නිවාස ද එම නිවැසියන්ට ලබා දෙන ලෙස අධිකරනය නාසඅ වෙත නියෝග කර ඇත. එහෙත් මීට පෙර ඉවත් කෙරුනු ජනයා මුහුන දී ඇති අත්දැකීම් හමුවේ එලෙස නිවාස ලබාදීමේ පොරොන්දු ගැන කිසිදු විශ්වාසයක් ඔවුනට නැත.

එජාපය 2011 දී පලාත් පාලන මැතිවරනයේදී ඡන්ද ගරාගැනීමේ එල්ලයෙන් යුක්තව තමන් කොලඹ නිවාස ඉවත්කිරීමට එරෙහි බවට මවාපෑමක යෙදුනේය. 2011 ඔක්තෝබර් 14 දා පැවති රැස්වීමක දී වික‍්‍රමසිංහ මෙසේ පාරම්බෑවේය: "ආන්ඩුව ජනයා නිවාසවලින් ඉවත් කිරීම නතර කලේ නැත්නම් හැමෝම එක්සත් වෙන්න ඕන. අපි වීදි බහින්න ඕන.” එහෙත් කොලඹ නගරාධිපති බවට තේරී පත්වූ එජාපයේ මුසම්මිල් නගර සංවර්ධනය සඳහා වන ආන්ඩුවේ වැඩපිලිවෙලට සම්පූර්න පක්ෂපාතීත්වය ප‍්‍රකාශ කරමින් එය සමග සහයෝගීව වැඩ කිරීම අරඹා ඇත.

එජාපයට කොලඹ නගරයේ නිවාස ඉවත්කිරීම පිලිබඳ වාර්තාවක් ඇත. ලංකාව තුල ප‍්‍රථමයෙන්ම ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා වූ නිදහස් වෙලඳපොල ආර්ථිකය ආරම්භ කරන ලද්දේ 1977 දී එජාප විසිනි. එජාප නායක ජේ.ආර්. ජයවර්ධන කොලඹ නගරය වෙලඳ නගරයක් බවට පත්කිරීම සඳහා ප‍්‍රයත්න දරමින් වෙනම පරිපාලන අගනුවරක් ලෙස ජයවර්ධනපුර ගොඩනැගීම ආරම්භ කලේය. එම වැඩපිලිවෙල අනුව 1977 සිට 1994 දක්වා පාලන සමයේදී නිවාස ඉවත් කිරීමට එජාප ආන්ඩු පියවර ගත්තේය. 2001 සිට 2004 එජාප පාලන සමයේදී එවක අගමැති වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ ඉදිරිපත් කල ‘යලි පුබුදමු ශ‍්‍රී ලංකා' වැඩපිලිවෙල කොලඹ "මූල්‍ය, ව්‍යාපාරික, ප‍්‍රවාහන හා පරිපාලනමය මධ්‍යස්ථානයක්” බවට පත් කිරීමට යෝජනා කලේය.

කොලඹ නගරය වානිජ පුරවරයක් කරන ගමන් ම රටේ තවත් ප‍්‍රධාන නගර ගනනාවක් ම වානිජ නගර බවට පත් කර දේශීය හා විදේශීය ආයෝජකයින්ට විවෘත කර දීම ආන්ඩුවේ ප‍්‍රතිපත්තිවලට ඇතුලත් ය. නාගරික සංවර්ධන අධිකාරිය කොලඹ හැර දැනට ව්‍යාපෘති 5ක් නම් කර ඇත. එනම්, හම්බන්තොට, කුරුනෑගල, දඹුල්ල, අනුරාධපුරය, නුවර-එලිය යන ව්‍යාපෘති ය. දැනටමත් දඹුල්ල ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කර නිවසක් ලබාදීමේ පොරොන්දුවකින් පවා තොරව සිය ගනනක් නිවැසියන් හමුදාව යොදවා පලවා හැර ඇත.

මෙම ඊනියා සංවර්ධන වැඩපිලිවෙල ලෝක බැංකුවේ යෝජනාවකි. ලංකාවට පමනක් නොව මෙම කලාපයේ අනෙකුත් රටවල ද සංවර්ධනය මුවාවෙන් වෙලඳ නගර ගොඩනගමින් දුගීන් නගර තුලින් පලවා හැරීමේ හා අයෝජකයන් කැඳවීමේ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාවට දමන ලෙසට ලෝක බැංකුව නිර්දේශ කර ඇත. තමන් බලයේ සිටි කාලය තුල දී අතිශය රුදුරු ලෙස ලෝක බැංකු යෝජනා කි‍්‍රයාවට දැමූ එජාපයට සහ එහි නායක වික‍්‍රමසිංහට ආන්ඩුවේ එම නගර සංවර්ධන වැඩපිලිවෙල සමග කිසිදු මූලික මතභේදයක් නැත. ඔවුන් යලි බලයට පත් වූව හොත් ඉදිරියට ගෙනයන්නේ ද එම වැඩපිලිවෙලමය.

Share this article: