"රැකියාත් රැකෙන ජල ප‍්‍රශ්නෙත් විසඳෙන වැඩපිලිවෙලක් අපිට ඕනෑ” යි වැලිවේරිය කම්කරුවන් පවසයි

රොහාන්ත ද සිල්වා විසිනි , 2013 නොවැම්බර් 7

ජනතා සුභසාධනය සඳහා කැපවෙතැයි කෙතරම් පූච්චානම් දෙඩවූව ද, ජනාධිපති රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිස) ආන්ඩුව මූලික වශයෙන් කැපව සිටින්නේ ධනපති ලාභ අවශ්‍යතා ආරක්ෂා කිරීමට බව, පිරිසිදු ජලය ඉල්ලා ගම්පහ, වැලිවේරිය ප‍්‍රදේශවාසීන් ගෙන යන උද්ඝෝෂනය මධ්‍යයේ වඩවඩාත් හෙලිදරව් වෙමින් පවතී. වැලිවේරිය, රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් ඩිප් ප්‍රොඩක්ට්ස් කම්හල හේතුවෙන් ප‍්‍රදේශයේ භූගත ජලය අපවිත‍්‍රව ඇතැයි චෝදනා කරමින් එම කම්හල ඉවත් කරන ලෙස ප‍්‍රදේශවාසීන් ගෙන යන උද්ඝෝෂනයට මාස තුනක් ගතව ඇත. එනමුදු, ආන්ඩුවේ මූලික එල්ලය මහජනතාවගේ ජල ප‍්‍රශ්නය විසඳීම නොව, උද්ඝෝෂනය හේතුවෙන් වසා දමා ඇති කම්හල කෙසේ හෝ යලි විවෘත කොට කම්හල හිමි හේලීස් සමූහ ව්‍යාපාරයේ ලාභ තර කර දීමයි.

එජනිසයෙන් පාලනය කෙරෙන බස්නාහිර පලාත් සභාවේ මහ ඇමති ප‍්‍රසන්න රනතුංග පසුගිය 26 දා කැඳවූ මහජන හමුවෙන් ආන්ඩුවේ මෙම අරමුන වඩාත් විශද විය. "ප‍්‍රශ්නය විසඳාගැනීමට කිසි උනන්දුවක් නැත”යි මහජනතාවට චෝදනා කල රනතුංග, උද්ඝෝෂනයේ යෙදුනු මහජනයාට වෙඩි තබා හමුදාව විසින් සිදුකල ඝාතනයන්හි වගකීම මහජනතාව මතම පැටවීමට උත්සාහ කලේය. කම්හල නැවත විවෘත කිරීම සඳහා ඔහු දැරූ ප‍්‍රයත්නයට එරෙහිව පැන නැගි දැඩි මහජන විරෝධය මධ්‍යයේ රනතුංගට පසුබා යෑමට සිදු විය.

මේ අතර, ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් ජේ.ජේ. රත්නසිරි මාධ්‍යවේදීන් අමතා පසුගිය 16 දා සඳහන් කලේ, "තමන් වෙත ලැබුනු වාර්තාවලට අනුව” ජල දූෂනයට හේතුව මෙම කර්මාන්තශාලාව නොවන බවයි. ඔහු තවදුරටත් කියා සිටියේ දිස්ති‍්‍රක්කයේ අධික කර්මාන්ත ශාලා හා ජන ඝනත්වය, වැසිකිලි අපද්‍රව්‍ය හා තවත් ස්වාභාවික හේතූන් මෙයට බලපා ඇති බවයි. දිස්ත‍්‍රික් ලේකම් මෙසේ ප‍්‍රකාශ කලද, ප‍්‍රදේශයේ භූගත ජලයේ ආම්ලිකතාව වැඩිවීම සම්බන්ධයෙන් කරන ලද විධිමත් පරීක්ෂනයක වාර්තාවක් මෙතෙක් ප‍්‍රසිද්ධියට පත් කෙරී නොමැත.

මහජන විරෝධය වැඩෙත්ම, ජනාධිපති රාජපක්ෂ, පරීක්ෂන වාර්තාවක් සපයන ලෙස රජයට අයත් කාර්මික තාක්ෂන ආයතනයට (අයිටීඅයි) නියෝග කලේය. එනමුදු, ආයතන සභාපතිවරයා ආරම්භයේ දී කල සැඳහුම් වලින් පසු පරීක්ෂනය සම්බන්ධයෙන් දක්වන දැඩි නිහඬතාව පිටුපසින්, එවන් පරීක්ෂනයක් යට ගැසීම සඳහා වන ප‍්‍රයත්නයක් වෙතැයි යන සැකය දැඩි ලෙස මතුව ඇත. මෙම තතු තුල එවන් වාර්තාවක් ප‍්‍රකාශයට පත් වුවද එහි ස්වාධීනත්වය පිලිබඳ කවර හෝ විශ්වාසයක් තැබිය නොහැක.

මිලිටරි ප‍්‍රහාරයකින් පසුව පවා මහජන උද්ඝෝෂනය නතර කිරීමට අසමත් වූ ආන්ඩුව, ආරම්භයේදී උද්ඝෝෂනයට සහයෝගය දුන් තෙරිපැහැ සිරිධම්ම නම් බෞද්ධ භික්ෂුව සමග රහසේ ඇති කර ගත් එකඟතාවක් මගින් උද්ඝෝෂනය නතර කොට කම්හල නැවත විවෘත කිරීමට සැලසුම් කලද ප‍්‍රදේශවාසීන්ගේ බලගතු විරෝධතාව හේතුවෙන් එම ප‍්‍රයත්නය ද ව්‍යර්ථ විය.

මේ අතර, කම්හල වසා දැමීම හේතුවෙන් අගෝස්තු මාසයේ සිට වැටුප් අහිමි ව සිටින දහසකට ආසන්න කම්කරුවන් මුහුන දී සිටින දුෂ්කර තත්වය සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් වගකිවයුතුයැයි පවසමින් කම්කරුවන් සහ ප‍්‍රදේශවාසීන් එකිනෙකාට එරෙහිව පිහිටුවීමේ ප‍්‍රයත්නයක ද ආන්ඩුව හා හාම්පුතුන් මුල සිටම යෙදී ගත්හ.

ආන්ඩුවට සහ කම්හලේ පාලකයන්ට එරෙහිව වැඩෙන මහජන විරෝධය ගසා කෑමේ අරමුනෙන් උද්ඝෝෂනය මැදට පැන සිටින විපක්ෂ එක්සත් ජාතික පක්ෂය (යූඑන්පී) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), කම්කරුවන් මුහුන දෙන තත්වය මුලුමනින්ම නොතකා හැරෙන දිශාවකට උද්ඝෝෂනය යොමු කරමින්් ආන්ඩුවේ ඉහත ප‍්‍රයත්නයට පිටුබලය සපයති.

යූඑන්පීයේ ප‍්‍රාදේශිය සභා මන්තී‍්‍රවරයෙකු වන ප‍්‍රමිත හෙට්ටිආරච්චිගේ නායකත්වයෙන් යුත් "සියනෑ ජලය සුරැකීමේ සංවිධානය” මෙහි මූලික කි‍්‍රයා කලාපය ඉටු කරන අතර, එය හා සන්ධාන ගතව සිටින නව සමසමාජ පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිති ද, මෙම ප‍්‍රතිගාමී වැඩපිලිවෙලේ සෘජු කොටස්කරුවෝ වෙති.

ලක්බිම ඉරිදා සංග‍්‍රහයට දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඉදිරි කි‍්‍රයාමාර්ග ගැන කතා කරමින් හෙට්ටිආරච්චි සඳහන් කලේ, කර්මාන්තශාලාවට එරෙහිව අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ ද, හා "ජන ජීවිතය අඩාලවීම” හා ඝාතනයන් සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුවක් ද පැවරිය හැකි බවය.

අධිකරනය මගින් මහජන අයිතීන් ආරක්ෂා කර ගත හැකි යයි සඳහන් කිරීමමත් ප්‍රෝඩාවකි. කොම්පඤ්ඤ වීදියේ පවුල් සිය ගනනක් බලහත්කාරයෙන් ඉවත් කිරීමට එරෙහි අරගලය ද යූඑන්පීය විසින් මෙලෙස අධිකරන කි‍්‍රයාමාර්ගයක සිරකර කඩාකප්පල් කරන ලදී. නඩුව විභාග කල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ලේ සභාපති අගවිනිසුරු මොහාන් පීරිස් පවුල් ඉවත් කිරීම් අනුමත කරමින් සඳහන් කලේ "සිදුකෙරෙමින් තිබෙන සංවර්ධන කටයුතු වලට කිසිවෙකුත් බාධා නොකල යුතු” බවයි.

යූඑන්පීය විසින්් අධිකරන කි‍්‍රයාමාර්ගයන් තුල අරගලය කොටුකිරීමට තැත් කිරීම අහම්බයක් නො වේ. රාජපක්ෂ ආන්ඩුව විසින් කි‍්‍රියාවට දමන වෙලඳ පොල ආර්ථික ප‍්‍රතිසංස්කරන පිලිවෙත මිස අන් පිලිවෙතක් එජාපයට නැත. 1996 දී, නිවස්නා ප‍්‍රදේශයක් වූ වැලිවේරියේ පිහිටවූ වෙනිග්‍රොස් කම්හලට එරෙහිව කවර හෝ ක‍්‍රියාමාර්ගයක් රනිල් වික‍්‍රමසිංහගේ යූඑන්පී ආන්ඩුව විසින් නොගත්තේ එබැවිනි.

මෙම තතු යටතේ, නිවැසියන්ගේ ජල අයිතිය ද කම්කරුවන්ගේ රැකියා අයිතිය ද තහවුරු කෙරෙන කි‍්‍රයාමාර්ගයක් යටතේ කම්කරුවන් සහ ප‍්‍රදේශවාසීන් එකමුතුවීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ පසුගිය දා වැලිවේරිය, රතුපස්වල ප‍්‍රදේශයේ උද්ඝෝෂනයක යෙදුනි. ධනපති ව්‍යවසායකයන්ගේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කෙරෙන ධනේශ්වර ක‍්‍රමය යටතේ තම අයිතීන් තහවුරු කරගත නොහැකි බවත් ඒ සඳහා ධනේශ්වර සංවිධාන සහ ඔවුන්ගේ කි‍්‍රයාමාර්ග වලින් බිඳී ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදිය යුතු බවත් උද්ඝෝෂකයෝ මහජනතාවට පැහැදිලි කලහ.

සංවාදයට එක් වූ එක් ති‍්‍ර-රෝද රථ රියැදුරෙක් මෙසේ සඳහන් කලේය: "ඊයෙ මහ ඇමති ප‍්‍රසන්න රනතුංග ආව. එයා ආවෙ අපේ වතුර ප‍්‍රශ්නෙ ගැන කතා කරන්න නෙවෙයි. කතා කරලා හොඳ විදිහකට ෆැක්ටරිය අරිමුයි කියන්න. මිනිස්සු හූ කියන්න ගත්තම හෙමින් සැරේ යන්න ගියා. මීට පස්සෙ ඡන්දෙ ඉල්ලන්නවත් එන්න එපා කියලයි අපි ඒගොල්ලන්ට කියන්නේ.”

එක් නිවැසියකු පැවසුවේ, බීමට බෝතල් ජලය පාවිව්චි කිරීමට සිදුවීම නිසා ප‍්‍රදේශවාසීන්ට අමතර වියදමක් දැරීමට සිදුව ඇති බවයි. ලොකු වතුර බෝතලයක් රුපියල් 150 ක් වන බවත් එය සෑහෙනුයේ දින දෙකකට පමනක් බවත් ඔහු පැවසීය.

කම්හල වසා දැමූ පසු ජලයේ ආම්ලිකතාව පහල බැස ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති. එක් ගෘහනියක් පැවසුවේ, ආසන්න නිවෙසක ලිං ජලය පරීක්ෂා කර බැලූ විට එහි ආම්ලිකතාව අඩුවී තිබූ බවයි. "වතුර ප‍්‍රශ්නෙ නිසා දැන් මෙහේ ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නෙ. ඒත් අපි මේ ගෙවල් අතහැරල කොහේ යන්නද? වතුරවල ඇසිඩ් නිසා දැන් කවුරුවත් මේ ඉඩම් ගන්නේ නෑ.”

ප‍්‍රදේශයේ සෑම නිවෙසකම පාහේ ලිඳක් ඇතිතතු යටතේ මුදලට ජලය ලබා දීමට විරෝධය පල කිරීමක් වශයෙන් නව ජල නල සම්බන්ධතා නොගැනීමට ප‍්‍රදේශවාසීන් තීරනය කර ඇති බව ද ඇය පැවසුවාය.

මිලිටරි ඝාතනයන් සමඟ මතුවූ දැඩි විරෝධතාවය සමනය කිරීමට මහර හා ගම්පහ ප‍්‍රාදේශීය සභා විසින් ප්ලාස්ටික් ජල ටැංකි ප‍්‍රදේශය පුරා තැනින් තැන තබා ඇති නමුත් ඒවාට ජලය සැපයුම නිසියාකාරව සිදු නොකෙරේ. සමහර ටැංකිවලට කිසිසේත්ම ජලය නොසැපයෙන අතර, අනෙක්වාට ද ජලය සැපයෙන්නේ දින කිහිපයකට වරකි. "අපි දැන් ඇසිඩ්ගතිය අඩු ලිඳකින් වතුර ගන්නවා” යයි එක් ගෘහනියක් පැවසුවාය.

වෙනිග්‍රොස් කම්හලේ සේවය කල, අගෝස්තු මස සිට වැටුප් අහිමිව සිටින කම්කරු කාන්තාවක් පැවසුවේ ඇය ඇතුලු හය සීයකට ආසන්න කොන්ත‍්‍රාත් පදනමේ කම්කරු පිරිසකට වැටුප් අහිමිව ඉතා දුෂ්කර තත්වයක පසුවන බවයි. "අපි ඕටීත් කරල මාසෙකට කොහොම හරි රුපියල් 20,000 ක් විතර හොයා ගත්ත. දැන් ඒ මුලු ආදායමම නැති වෙලා. දරුවොත් එක්ක මහපාරට තමයි බහින්න වෙලා තියෙන්නෙ. අපිත් වතුර වල ඇසිඩ් ප‍්‍රශ්නයට මුහුන දෙනව. අපේ රැකියාත් රැකෙන ජල ප‍්‍රශ්නෙත් විසඳෙන වැඩපිලිවෙලක් තමයි අපිට ඕන. ඒත් දැන් උද්ඝෝෂනය ගෙන යන සංවිධාන අපේ රැකියා ගැන තඹේකට තකන්නෙ නෑ. ඔවුන් කරන්නෙ කම්කරුවොයි, අනෙක් ගම්මුයි භේද කරන එක. කොටින්ම දැන් අපේ අම්මයි, මායි මේ ප‍්‍රශ්නෙ උඩ විරසක වෙලා. ඔය ගොල්ලො (සසප) විතරයි අපි දෙගොල්ල එකමුතු කරල ප‍්‍රශ්න දෙකම විසඳන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නෙ.”

Share this article: