ශ‍්‍රී ලංකාවේ සසප වැලිවේරිය ජල දූෂනය පිලිබඳ කම්කරු පරීක්ෂනය නිවේදනය කරයි

Sri Lankan SEP announces workers’ inquiry into Weliweriya water pollution

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2013 නොවැම්බර් 19

සමාජවාදී සමානතා පක්ෂය (සසප) විනිග්‍රොස් ඩිප්ඩ් ප‍්‍රඩක්ට් සමාගම විසින් වැලිවේරිය, රතුපස්වල ප‍්‍රදේශයේ ජල සැපයුම දූෂනය කිරීම මුල්කරගෙන කම්කරු පරීක්ෂනයක් දියත් කරයි.

ජල දූෂනයට එරෙහිව වැලිවේරිය ප‍්‍රදේශයේ ගම්වාසින් විසින් පවත්වාගෙන ගිය විරෝධතා මැඞීම පිනිස අගෝස්තු 01දා ආන්ඩුව පොලීසිය හා හමුදාව යෙදවීය. මර්දනයේදී සිසුන් දෙදෙනෙක් හා තරුන කම්කරුවෙක් මියගිය අතර තවත් දුසිම් ගනනක් තුවාල ලැබූහ.

ඝාතනය පලල් මහජන කෝපයක් ඇවිලවූ තතු තුල ප‍්‍රදේශයේ භූගත ජලයෙහි ඉහල ආම්ලිකතාව ගැන පරීක්ෂන පවත්වන බවට පොරොන්දු දීමටත්, මරන පිලිබඳ පරීක්ෂා කිරීමට මිලිටරි උසාවියක් පිහිටුවීමටත් ආන්ඩුවට බල කෙරුනි. මේ අන් කිසිවක් නොව මහජන කෝපය දියකර හැරීමටත්, විනිග්‍රොස් සමාගමට කාලය ලබා දීමටත් ආරක්ෂක හමුදාවල ක‍්‍රියාව යටපත් කිරීමටත් සැලසුම් කරන ලද ප්‍රෝඩාවකි.

ජනාධිපති රාජපක්ෂ අගෝස්තු මාසයේදී ම, ප‍්‍රදේශයේ ජල සැපයුම පරීක්ෂා කිරීම, රජයේ රස පරීක්ෂක වෙත පවරා ඇති බව ප‍්‍රදේශවාසීන්ට පැවසී ය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කාර්මික තාක්ෂනික ආයතනය (අයිටීඅයි) ද ඇතුලු රජයේ ආයතන වල විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් වතුර සාම්පල් පරීක්ෂා කරනු ඇති බවට සහතික විය.

කම්හල පිහිටි ප‍්‍රදේශයේ ජලයෙහි ඉහල ආම්ලිකතාවක් පවතින බව තමන් හඳුනාගත් බව අයිටීඅයි නිවේදනය කල නමුත් එහි මූලාශ‍්‍රය හෙලි නොකලේ ය. පොරොන්දුවූ කිසිදු වාර්තාවක් ප‍්‍රසිද්ධයට පත්කර නැත.

හමුදා උසාවියේ පරීක්ෂනයෙහි ප‍්‍රතිපලය කුමක් වේදැයි දැනටමත් පැහැදිලිය. අගෝස්තු 01දා ප‍්‍රචන්ඩ ප‍්‍රහාරයට නියෝග දුන් ආන්ඩුවේ ක‍්‍රියාකලාපයට සුදුහුනු ගෑම සඳහා තනි තනි නිලධාරීන් හා සෙබලුන් වරදකරුවන් ලෙස හංවඩු ගැසීමක් සිදුවෙමන් පවතී.

මෙම යටගැසීම්වලට විරුද්ධව සසප, පහත සඳහන් කාරනා විමර්ෂනය කිරීමට කම්කරු පරීක්ෂනයක් කැඳවයි

x විනිග්‍රොස් සමාගම ප‍්‍රදේශයේ ජල සැපයුම දූෂනය කිරීම හා ගම්වාසීන්ගේ හා කම්කරුවන්ගේ සෞඛ්‍ය කෙරෙහි ඉන් මතු කෙරෙන තර්ජනය

x කම්හලේ වැඩකරන කම්කරුවන් මුහුනපා සිටින සූරාකෑමේ සේවා කොන්දේසි

x අගෝස්තු 01දා ඝාතනයන්ට වගකිවයුත්තෝ කවරහු ද?

x ප‍්‍රදේශවාසින්ගේ මෙන්ම කම්කරුවන්ගේ ද සෞඛ්‍යයට තර්ජනයක්ව ඇති කාර්මික දූෂනයේ පීඩාවට විසඳුම කුමක් ද?

වාචික හා ලිඛිත සාක්ෂි රැස් කිරීම සඳහා සසප විමර්ෂන කමිටුවක් පිහිටුවා ඇති අතර එය, තමන්ගේම ස්වාධීන පරීක්ෂනයන් පවත්වනු ඇත. කම්කරුවන් හා ප‍්‍රදේශවාසීන් මෙන්ම විද්‍යාඥයින් හා තාක්ෂනවේදීන් ද මෙම කරුනු පිලිබඳ දැනුමක් ඇති ඕනෑම අයෙකුට ද ඉදිරිපත් වන ලෙස අපි ඉල්ලා සිටිමු.

විනිග්‍රොස් කම්කරුවන් ද වැලිවේරිය ප‍්‍රදේශවාසීන් ද තමන් අතර භේදයක් නිර්මානය කිරීම සඳහා දරන සියලු උත්සාහයන් ප‍්‍රතික්ෂේප කල යුතු යයි සසප ඉල්ලා සිටියි.

විනිග්‍රොස් සමාගම ද එහි ශාඛාවන් වන රෝයල් එන්ටප‍්‍රයිස් හා ඔල්ගා එන්ටප‍්‍රයිස් වැනි සමාගම් ද විරෝධතා හමුවේ සිය කර්මාන්තශාලා වසාදමා ඇත. ඒවායේ කොන්ත‍්‍රාත් කම්කරුවන් 600කට පමන අගෝස්තුවෙන් පසු වැටුප් ලැබී නැත. ස්ථිර කම්කරුවන් 60කට පමන ලැබෙන්නේ තම මූලික වැටුප පමනි.

කම්කරුවන්ගේ රැකියාවලට තර්ජනය එල්ල වී ඇත්තේ ගම්වාසීන්ගෙන් යයි චෝදනා කරමින් ආන්ඩුව හා සමාගම ඔවුන්ට විරුද්ධව සතුරුකම් ඇවිස්සීමේ ප‍්‍රයත්නයක නිරතව සිටියි. එහෙත් ජල දූෂනය නතර කිරීමට කිසිදු පියවරක් ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නේ ආන්ඩුවේ ආධාරය හා ආරක්ෂාව ලබන විනිග්‍රොස් සමාගමයි.

සමාගම සිය කම්කරුවන්ට මෙන්ම ප‍්‍රදේශවාසීන්ට ද සලකන්නේ පිලිකුලෙනි. වෛද්‍ය නොවන රබර් අත් වැසුම් නිපදවන කම්හලෙන් දිනකට අප ජලය ලීටර් 15,000ක් පමන බැහැර කෙරෙයි. කම්හලෙහි කම්කරුවන් බොහෝ දෙනෙක් සේවයේ යොදවා ඇත්තේ අඩු වැටුප් ගෙවන කොන්ත‍්‍රාත් පදනමකින් ය. මාර්තුවේදී විනිග්‍රොස්, සිය වැටුප් හා සේවා කොන්දේසි නංවා ගැනීමේ අරමුනෙන් වෘත්තීය සමිතියක් පිහිටුවාගැනීම නිසා, කම්කරුවන් 120ක් පමන සේවයෙන් පහ කලේය.

එහෙත් සමාගම දැවැන්ත ලාභ උපයයි. 2012 මාර්තුවෙන් අවසන් මුදල් වර්ෂයට සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 2.38ක් විය. එය පෙර වර්ෂයට වඩා තුන් ගුනයක වැඩිවීමකි. 2012-13 කාලයේ ද එම ප‍්‍රවනතාව ඉදිරියට ගිය අතර බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 2.1කි.

රාජපක්ෂ ආන්ඩුව විනිග්‍රොස් සමාගම ආරක්ෂා කිරීමට මුලුමනින්ම යොමුවී සිටියි. මෙරටට ද බලපා ඇති ධනේශ්වර ගෝලීය අර්බුදය නරක අතට හැරෙද්දී ආන්ඩුවට අවශ්‍යව ඇත්තේ, මහා ව්‍යාපාරිකයින්ගේ හා විදේශ ආයෝජකයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට තමන් ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටින්නේය යන පනිවිඩය ඔවුන් වෙත යැවීමට ය. අගෝස්තු 01දා ප‍්‍රහාරය, වැඩකරන ජනතාවගේ කුමන හෝ ප‍්‍රතිරෝධයක් තලාදැමීම සඳහා 26 වසරක සිවිල් යුද්ධයේ අවධිය තුල වර්ධනය කරන ලද මර්දන ක‍්‍රමෝපායන් යොදාගන්නා බවට කෙරුනු අනතුරු ඇඟවීමකි.

විපක්ෂයේ යූඇන්පිය, ලබන වසරේ මුල පැවැත්වෙන බව නිවේදනය කර ඇති පලාත් සභා මැතිවරනයේදී වාසි ලබා ගැනීම පිනිස වැලිවේරිය විරෝධාතා තුලට එල්බීගෙන සිටී. යූඑන්පියට එහි ව්‍යාජ වාම අනුචරයින් වන නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) සහාය ලැබෙයි. ඔවුහු මෙම දක්ෂිනාංශික ධනපති පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා සාමාන්‍ය වැඩකරන ජනතාවගේ ආරක්ෂකයෙක් ලෙස පුම්බති.

වැලිවේරිය ප‍්‍රදේශයේ යූඇන්පී, නසසප හා යූඇන්පීයේ ප‍්‍රාදේශීය සංවිධායකයෙක් විසින් නායකත්වය දෙනු ලබන සියනෑ ජලය සුරැකීමේ ව්‍යාපාරය එක්ව, වෙනත් කම්කරුවන්ගේ හා ප‍්‍රදේශවාසින්ගේ සෞඛ්‍යයට හානි පැමිනවිය හැකි ආකාරයට කම්හල වෙනත් ප‍්‍රදේශයකට ගෙන යා යුතුය යන අතිශයින්ම ප‍්‍රාදේශීයවාදී ඉල්ලීම් ඉදිරිපත් කරති.

වැලිවේරියේ ජල දූෂනය අයිස් කුට්ටියේ තුඩ පමනි. අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ රජයට අයත් ආයතනයක ටැංකියක ක්ලෝරීන් බටය පුපුරා යාම නිසා ඔක්තෝබර් 09දා, වතු කම්කරුවන් සිය ගනනක් රෝහල්ගත කිරීමට සිදු විය. කැස්බෑවේ එස් ඇන්ඩ් ඞී කම්හලෙන් ඇමෝනියා වායුව කාන්දු වීමක් නිසා ඔක්තෝබර් 21දා, ගම්වාසීන් 350ක් පමන විපතට පත් විය.

කාර්මික දූෂනය හේතුවෙන් ලොව පුරා වැඩකරන ජනතාවගේ ජීවිත විපතට පත්ව ඇත. චීනය, පකිස්ථානය, ඉන්දියාව හා බංග්ලාදේශය වැනි රටවල එවන් සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වේ. ඒවා ගෝලීය සංගතවල ප‍්‍රධාන ලාභ ශ‍්‍රම වේදිකාවන් ය. මෙය වනාහි නිරන්තරව ලාභය හඹා යාමේ ව්‍යායාමය වෙනුවෙන් වැඩකරන ජනතාවගේ මූලික අයිතීන් බිල්ලට දී ඇති සමාජ පර්යායක නිමැවුමකි.

රාජපක්ෂ ආන්ඩුවේ ආරක්ෂාව ඇතිව සිටින විනිග්‍රොස් සමාගමේ කටයුතු හෙලිදරව් කරන කම්කරු විමර්ෂනයක් පැවැත්වීම, සියල්ලන් සඳහා යහපත් ජීවන තත්වයන් ද හොඳ රැකියා ද සහතික කිරීමේ හා කාර්මික දූෂනය අවසන් කිරීමේ අරගලයෙහි පලමු වැදගත් පියවරක් වනු ඇත. මෙම පරීක්ෂනය ගොඩනැගීම සඳහා ගෙන යන උද්ඝෝෂනයට සහභාගී වන ලෙස කම්කරුවන්ගෙන්, ගම්වැසියන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන්, තරුනයින්ගෙන් හා වෘත්තිකයින්ගෙන් සසප ඉල්ලා සිටියි.

Share this article: