ඇඩොල්ෆ් ජොෆේගේ දිවි නසාගැනීම ගැන තරික් අලිගේ සාවද්‍ය වාර්තාව

Tariq Ali’s false account of the suicide of Adolf Joffe

ජුලී හයිලන්ඩ් විසිනි, 2013 සැප්තැම්බර් 4

1927දී රුසියානු විප්ලවවාදියෙකු වූ ඇබ්‍රෙමොවිච් ජොෆේගේ සිය දිවි නසාගැනීම පිලිබඳව තරික් අලිගේ විවේචනයක් අගෝස්තු 21වැනිදා ගාර්ඩියන් පත්‍රයේ පලවුනි.

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 73වැනි සංවත්සරය සමග සම්පාත වෙමින් ගාර්ඩියන් පුවත්පතේ පලවූ තරික් අලිගේ විවේචනය නො පිලිගත්තා වුවත් පුවත්පත, රුසියානු විප්ලවයේ සමනායකයාට මඩගැසීම අරමුනු කර ගනියි.

ජොෆේ වැදගත් නායකයෙකි - ඔහු 1917 ඔක්තෝබරයේ දී සෝවියට් පාලනය ස්ථාපිත කල මිලිටරි විප්ලවවාදී කමිටුවේ සාමාජිකයින් පස්දෙනාගෙන් අයෙකු ද, දෙවනුව 1918 බ්‍රෙස්ට් ලිටොව්ස්ක් සාම සාකච්ඡාවල රුසියානු නියෝජිත කන්ඩායමේ සාමාජිකයෙකු ද විය. ඊට යන්තම් දශකයකට පසුව, 1927 නොවැම්බරයේ දී ඔහු සිය ජීවිතය නැතිකර ගත්තේය.

අවුරුදු 40කට පෙර තමන් කියවා ඇති විෂයක් පිලිබඳව හිටි අඩියේ ලිවීමට තීරනය කල බවට හැඟීමක් අලි ඇති කර යි. "දශක හතරකට පෙර” ඔහු කිය වූ "දයාබර ලෙව් ඩෙවිඩෝවිච් (ලියොන් ට්‍රොට්ස්කි)” යනුවෙන් අමතන ලද ජොෆේගේ දිවි නසා ගැනීමේ ලිපිය අඩංගු අත් පත්‍රිකාවක් ගැන අලි සඳහන් කරයි.

සැබවින් ම, නො පිලිගත්තා වුව ද , ලිපියේ කාලය නීර්නය කෙරුනේ ජීපීයූ ඔත්තුකරුවෙකු වන රේමන් මර්කේඩර් විසින් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ 73වැනි සංවත්සරයට සම්පාත වෙමිනි. විශේෂයෙන් ම එහි අරමුනු වූයේ ප්‍රෝඩාකාරී හා නරුම ආකාරයකින් රුසියානු විප්ලවයේ සම-නායකයාට මඩගැසීම ය.

අලිගේ දීර්ග හා ගර්හිත චර්යාව තුලට පිවිසීමට මෙහි අවකාශ නොමැත. ඔහු තමන්ගේ ම අභාවෘද්ධිය පතන, කිසි ප්‍රතිපත්තියක් නැති මිනිසෙකු යයි පැවසීම ප්‍රමානවත් ය.

ඔහු බොහෝ කාලයක් පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ බ්‍රිතාන්‍ය ශාඛාව වන ජාත්‍යන්තර මාක්ස්වාදී කන්ඩායමේ නායකයා විය. ට්‍රොට්ස්කිවාදයට එරෙහිව එම කන්ඩායමේ අති මූලික විරුද්ධත්වය කේන්ද්‍රගත වූයේ, නිලධාරී තන්ත්‍රයට ප්‍රගතිශීලී දේශපාලන හැකියාවක් ආරෝපනය කරනවා වෙනුවට, ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී කාර්යභාරය හා සෝවියට් සංගමය තුල දේශපාලන විප්ලවයක අවශ්‍යතාව ට්‍රොට්ස්කිවාදය විසින් අවධාරනය කිරීම මතය.

ස්ටැලින්වාදය සමග අලිගේ මෝහනය කොතරම් ද යත්, 1988දී රුසියාව තුල දේශපාලන විප්ලවයට නායකත්වය දෙන බව පවසමින් ජනාධිපති බොරිස් යෙල්ට්සින්ට සිය පොතක් කැප කිරීමට ඔහු පවා ඉදිරිපත් විය.

අලි සිතන්නේ බොහෝ දෙනෙක් ඔහුගේ ඉතිහාසය පිලිබඳව කිසිවක් දැන නොගනු ඇතැ යි කියාය. දෙන ලද ඕනෑ ම කාලයක ඔහු තම අරමුනුවලට ගැලපෙන කුමක් හෝ ප්‍රසිද්ධ කරමින් පාඨකයින් අඳුරේ තැබීමට ගාඩියන් පත්‍රයේ හා කොහේ හරි ඔහුගේ මිත්‍රයන් මත ඔහුට වාරු විය හැක.

මෙම කාරනයේ දී අලිගේ අරමුනු "අප අමතක නොකල යුතු දේශපාලන සන්තාප ප්‍රදර්ශනය කෙරෙන ට්‍රොට්ස්කිට යොමුකල දිවි නසා ගැනීමේ සටහනක්” යන ශීර්ෂ පාඨයෙන් නිෂ්ප්‍රභා කෙරෙයි..

"ඇඩොල්ෆ් ජොෆේ වැනි පුද්ගලයන්ට නිශ්ශබ්දව සහ ස්ටැලින්වාදී ප්‍රතිපත්තිවලට හා භාවිතයන්ට යටත් ව පැවතිය නො හැක - එසේ කල බවට ඔහු ට්‍රොට්ස්කි විවේචනය කරයි.”

ජොෆේ ට්‍රොට්ස්කි විවේචනය කලේ "ස්ටැලින්වාදී ප්‍රතිපත්ති හා භාවිතයන්” කෙරෙහි දැක්වූ ට්‍රොට්ස්කිගේ නිහඬතාවය හා යටත්වීම නිසා බව ඉන් අදහස් කෙරේ.

මෙය පරිපූර්න බොරුවකි. 1923 හා 1927 අතරතුර ස්ටැලින්වාදී ප්‍රතිපත්තිවලට එරෙහිව ට්‍රොට්ස්කි අසාමාන්‍ය අරගලයක් මෙහෙය වී ය. The New Course (නව පිලිවෙත), Lessons of October (ඔක්තෝබරයේ පාඩම්) හා ස්ටැලින්වාදී ප්‍රතිපත්තිවල ඵලයක් වශයෙන් 1927 විප්ලවය පාවාදීම පිලිබඳ ව සාකච්ඡා කරන Problems of the Chinese Revolution (චීන විප්ලවයේ ගැටලු) යන උත්කෘෂ්ට කෘති ඇතුලත් වෙලුම් ගනනාවක මෙම අරගල වාර්තා වේ. අවසානයට සඳහන් කෘතිය තුල ස්ටැලින්වාදී ප්‍රතිපත්ති වල ප්‍රතිපල වශයෙන් 1927 විප්ලවය පාවාදීම පිලිබඳ විශ්ලේෂනයක් අඩංඟු වෙයි.

1927දී පලමුව සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ද, දෙවනුව මාසයකට පසුව පක්ෂයෙන් ම ද නෙරපා හැරීමට, ට්‍රොට්ස්කි වෙහෙස නොතකා හා අධිෂ්ඨානශීලීව ගෙන ගිය මෙම අරගලය හේතු කාරක විය. 1928 ජනවාරියේ දී ඔහු කසක්ස්ථානයේ අල්මා අටා වෙත ද 1929 ෆෙබරවාරියේ දී සෝවියට් සංගමයෙන් ද පිටුවහල් කෙරෙයි. ස්ටැලින්ගේ නියෝග මත මෙක්සිකෝවේ දී ඔහුගේ ඝාතනයෙන් අවසන් වන දීර්ග කාලීන බලහත්කාරී පිටුවහලේ ආරම්භය එය යි.

මෙම ඓතිහාසික වාර්තාව ප්‍රතික්ෂේප කරනුයේ, ට්‍රොට්ස්කි ස්ටැලින්වාදී ප්‍රතිපත්ති අනුමත කලේ ය යන බොරුව පමනක් නො වේ. ජොෆේ එවැනි විවේචනයක් නො කල බව හා එය ඔහුගේ ලිපියේ අන්තර්ගතය නො වන බව ද එමගින් පිලිකෙව් කරයි.

වැදගත් හා කම්පනකාරී ලියවිල්ලක් වන ජොෆේගේ ජීවිතයේ අවසාන ප්‍රකාශය ට්‍රොට්ස්කිට යොමු කෙරුනේ අහම්බයෙන් නො වේ.

ට්‍රොට්ස්කිගේ කිට්ටු මිතුරන්ගෙන් අයෙකු වන ඔහු, 1923 ඔක්තෝබර් 23වැනි දින සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන බියුරෝවට යොමු කෙරුනු "46දෙනාගේ ප්‍රකාශයට” අත්සන් කල අයෙකි. මෙම ලියවිල්ල නැගී එන ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයට එරෙහිව ට්‍රොට්ස්කි නායකත්වය දුන් වාම විරුද්ධ පාර්ශ්වය නමින් ප්‍රසිද්ධ කන්ඩායමේ පලමු ලියවිල්ල යි.

වාම විපාර්ශ්වයේ සියල්ලන් මෙන් ම ජොෆේ ද ඔහු ගත් ආස්ථානය නිසා පීඩා වින්දේ ය. 1927 වන විට දීර්ගකාලීන අසනීප තත්වය, වේදනාව හා වැඩක් කිරීමට නොහැකි තත්වයට ඔහු දුබල කෙරුනි. විශේෂයෙන් ම, ඔහුට ඉතා හදිසියේ අවශ්‍ය වූ ප්‍රතිකාර ලැබා ගැනීම ස්ටැලින්ගේ කන්ඩායම කුරිරු ලෙස අවහිර කල තත්වයන් යටතේ, සුවපත් වීමට මාර්ගයක් නොමැති බව වෛද්‍යවරයෙකු ලෙස ඔහු හොඳින් දැන සිටියේ ය.

පාලක කන්ඩායම ට්‍රොට්ස්කිට කරන ලද කෙනහිලිකම් ඔහුගේ මනස්තාපය වැඩි කලේය.

ට්‍රොට්ස්කි කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා හැර යන්තම් දින හතරකට පසු ජොෆේ සිය ජීවිතය නැති කර ගත්තේ ය. නිලධාරී තන්ත්‍රයට එරෙහිව දේශපාලන අරගලයයට සහභාගීවීමේ මාධ්‍යයන්ගෙන් වියෝවුනු ඔහුගේ දිවි නසාගැනීම අභිප්‍රේරිත විරෝධය දැක්වීමේ ක්‍රියාවකි. ජොෆේ ඔහුගේ ලිපියේ සඳහන් කල පරිදි, "එතරම් නිර්ලජ්ජිත ක්‍රියාවකට (ට්‍රොට්ස්කි පිටුවහල් කිරීම) මුහුන දිය හැකි වෙනත් මාර්ගයක් නොමැති, තෙරපන ලද සටන්කරුවෙකුගේ විරෝධයයි මේ."

ජොෆේගේ වැන්දඹුව වන මරියා හා One Long Night (එක් දීර්ග රාත්‍රියක්) නම් ඇගේ පොත ගැන අලි සඳහන් කරයි. ජොෆේගේ දියනිය වන නදෙෂ්දාගේ වඩාත් දේශපාලනික වූ ද, වැදගත් කමින් අඩු නො වූ ද Back in Time: My Life, My Fate, My Epoch (කාලය දි‍ගේ ආපස්සට: මගේ ජීවිතය, මගේ ඉරනම, මගේ යුගය) නම් කෘතිය ගැන ඔහු සඳහන් නොකිරීම සැලකිය යුතු ය. වාම විරුද්ධ පාර්ශ්වයේ සාමාජිකයෙකු විසින් පශ්චාත් සෝවියට් සංගමය තුල ලියන ලද එකම ආත්ම චරිතාපදානය වන නදෙෂ්දා ජොෆේගේ පොතෙහි, විශේෂයෙන් ම ඇය බොහෝ සේ ගරු කල ට්‍රොට්ස්කිට පරිච්ඡේදයක් කැප කරමින් ඇගේ පියාගේ දිවි නසාගැනීමේ ලිපිය සම්පූර්නයෙන් උපුටා දක්වන අතර අදාල ප්‍රශ්නය ගැන බලගතු විස්තරයක් සපය යි.

ජොෆේගේ ලිපියේ වැදගත්කම හා අන්තර්ගතය සැලකිය යුතු තරමින් මුසාකරනයේදී අලි නැවතත් බලපොරොත්තු තබන්නේ ජනතාවගේ ඓතිහාසික දැනුම පහත මට්ටමක තිබීම මත ය.

ට්‍රොට්ස්කි නොනවතින විප්ලවයේ න්‍යාය විස්තාරනය කල 1905 පටන් ඔහු ප්‍රකාශ කර තිබූ "මාවතේ නිවරදි බව” අවධාරනය කිරීමෙන් පසු ජොෆේ ඔහුගේ ලිපිය තුල මෙසේ ද සඳහන් කලේ ය: "එකඟත්වයක් හෝ සම්මුතියක් උදෙසා ඔබ බොහෝ විට ඔබගේ පෞද්ගලික නිරවද්‍යතාව අතහැර දැම්මේය. එය වැරද්දකි.”

අලි මෙම කොටස උපුටා දක්වන නමුත් පසුව සඳහන් දෑ අතහැර දම යි: එනම්, "මා නැවතත් කියන්නේ දේශපාලනිකව ඔබ නිවැරදිව සිටි අතර දැන් ඔබ වෙන කවරදාටත් වඩා නිවැරදි ය. යම් දිනක පක්ෂය මෙය තේරුම් ගන්නවා ඇත. ඉතිහාසය නිසැකව ම සැබෑ තක්සේරුවක් කරනු ඇත.” යන ජොෆේගේ අවධාරනය අතහැර දමා ඇත.

අතහැර දැමුනේ හිතාමතා ය. ජොෆේ ලිව්වේ දයාබර මිතුරෙකු හා පාක්ෂිකයෙකු ලෙස ය. ඔහුගේ සටහන ට්‍රොට්ස්කි සමග වූ දේශපාලනික, සදාචාරාත්මක හා පෞද්ගලික සහයෝගයේ ප්‍රකාශනයකි. එය, ඔක්තෝබර් විප්ලවය හා ස්ටැලින්වාදයට විරුද්ධ අරගලය තුල ට්‍රොට්ස්කිගේ කේන්ද්‍රීය කාර්යභාරය පිලිගැනීමක් විය.

කෙසේ නමුත් අලිගේ ප්‍රකාශය, ජොෆේගේ ප්‍රකාශයේ සම්පූර්න ස්වරය වෙනස් කරන අතර එය පටලව යි.

"විරුද්ධ පාර්ශ්වය සාකච්ඡා කරනවා, සම්මුති ගසනවා හා හරි හෝ වැරදි වුවත් පක්ෂයේ තීරන පිලිගන්නවා යයි ජොෆේ නිරීක්ෂනය කර තිබුනි. එම අවස්ථාවේ දී ට්‍රොට්ස්කි ඔහුගේ සහකරුවන්ගෙන් අයෙකු ඉදිරිපත් කල අදහස පිලි නොගත්තේය: එනම් ස්ටැලින්ගේ කන්ඩායමෙන් සම්පූර්නයෙන් වෙන්වී නව පක්ෂයක් ප්‍රකාශයට පත්කිරීමේ අදහසයි.”

මෙය මුසාවකි. සිය විවේචනය යොමුකලේ කුමකට දැ යි ජොෆේ විශේෂයෙන් සඳහන් කලේ නැත, නමුත් එය නිශ්චිතව ම නව පක්ෂයක් ගොඩනැගීම පිලිබඳ ප්‍රශ්නය ගැන නම් නොවීය. එහෙම නොවේ ය යි අලි ඉඟිකර තිබුනා වුවත්, 1927දී ජොෆේවත් ට්‍රොට්ස්කිවත් එම අදහසට පක්ෂ වූයේ නැත. වාම විරුද්ධ පාර්ශ්වය, කොමියුනිස්ට් පක්ෂයේ හා ලෝකය වටා මිලියන ගනනාවක් පක්ෂපාතිත්වය පල කල කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දේශපාලන ගමන් මාර්ගය වෙනස් කිරීමේ මොනයම් හෝ හැකියාවක් ඇති තාක් දුරට, ඒ තුල අරගලය අතහැරීමට සූදානම් නොවීය.

1933 ජර්මනිය තුල, විරුද්ධව එක ද වෙඩිල්ලක්වත් පත්තු නොකරම හිට්ලර්ට බලයට ඒමට හැකි වූ, ලෝකය කම්පාවට පත් කල සිදුවීම් දක්වාම, ට්‍රොට්ස්කි එම තීරනයට පැමිනියේ නැත. ස්ටැලින්ගේ ප්‍රතිපත්තිවල විනාසකාරී ප්‍රතිවිපාක පිලිබඳව කිසි දු සාකච්ඡාවක් කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් ප්‍රතික්ෂේප කල තත්වය යටතේ, විප්ලවයේ අරමුනු සඳහා එය බල රහිතවී (මියගොස්) ඇතැයි හෙලා දුටු ට්‍රොට්ස්කි, නව ජාත්‍යන්තරයක්, එනම් හතරවැනි ජාත්‍යන්තරය සඳහා කැඳවුම නිකුත් කලේ ය.

ස්ටැලින්ට විරුද්ධව ඒකාබද්ධ (බොල්ෂෙවික්-ලෙනින්වාදී) විපක්ෂය ගොඩ නැඟීමට 1926දී ග්‍රෙගරි සිනොවියෙව් නායකත්වය දුන් සැලකිය යුතු කන්ඩායමක් වෙත වාම විපාර්ශවය "ප්‍රතිපත්තිසහගත සහන” සැලසීම ගැන තමන් ලිවූ වාර්තාවක ට්‍රොට්ස්කි සඳහන් කලේ ය.

"අවසර දිය නොහැකි යයි මා සැලකූ හා තවමත් සලකන” මෙම සහන සැලසුවේ, "මගේ කැමත්තට පටහැනිව ය” යනුවෙන් ට්‍රොට්ස්කි In Defence of Marxism හි (මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා) සඳහන් කලේ ය. එම අවස්ථාවේ දී තමන් විවෘතව විරෝධය නොදැක්වීම "වරදකි” යි ට්‍රොට්ස්කි තවදුරටත් පැවසූ නමුත් එය සිදු කරන ලද අවස්ථාවේදී "විරෝධතාවන්ට විශාල ඉඩක් තිබුනේ නැත - අප වැඩ කරමින් සිටියේ නීති විරෝධීව ය.” යනුවෙන් ද සඳහන් කලේය.

මෙය තීරනාත්මක ලක්ෂ්‍යයක් වන අතර අලිට නම් එය වැදගැම්මකට නැති කාරනයකි. ජාත්‍යන්තර වශයෙන් ස්ටැලින්ගේ ප්‍රතිපත්ති, 1923 ජර්මන් විප්ලවයේ පරාජයට, 1926 බ්‍රිතාන්‍යයේ මහා වැඩවර්ජනයේ පරාජයට හා 1927 චීන විප්ලවය කුඩුකර දැමීමට මග පෑදී ය. ලෝක විප්ලවයේ මෙම බරපතල පසුබැසීම් ආචීර්නකල්පික සෝවියට් නිලධාරී තන්ත්‍රය ශක්තිමත් කලේ ය.

රාජ්‍ය මර්දනය තීව්‍ර කෙරෙමින් පැවතුන, අත්‍යන්තයෙන් ම දුෂ්කර කොන්දේසි යටතේ වැඩ කරමින් සිටි ප්‍රවනතාවක නායකයා වශයෙන්, තමන් දැඩි ලෙස එකඟ නො වූ දේවලට ඇතැම් උපායාත්මක සහන සැලසීමට බලකෙරෙතැ යි ට්‍රොට්ස්කිට සිතුන අවස්ථා තිබුනි.

මෙම සහනයන්ගෙන් එකක හෝ තවත් එකක යෝග්‍ය බව හෝ නැති බව ඉතිහාසඥයින් අතර සම්මත විවාදයක විෂය විය හැක. කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නො ව, ජාත්‍යන්තර සමාජවාදී කම්කරු ව්‍යාපාරයේ අනාගතය ද ගැන පැවති ට්‍රොට්ස්කිගේ ගැඹුරු හා ප්‍රගාඪ උත්සුකය මගින් ඒවා පොලඹවන ලද බව ප්‍රතික්ෂේප කල නොහැක. දේශපාලන පැහැදිලි කමේ තීරනාත්මක කර්තව්‍යය අඛන්ඩව ඉදිරියට ගෙන යාමට හැකිවේය යන බලාපොරොත්තුව ඔහුට තිබුනි.

ජොෆේ මෙය මැනවින් හඳුනා ගත්තේය. ට්‍රොට්ස්කි නියැලුනු ජීවිතයත් මරනයත් අතර අරගලයේ ස්වභාවය අවධාරනය කිරීමට මෙන් ජොෆේ තම ලිපිය තුල ලෙනින් හා ඔහුගේ "නො නැමෙන හා දෘඪතර ස්වභාවය” ට්‍රොට්ස්කි උදාහරනයට ගත යුතුව තිබුනා යයි සඳහන් කරන්නේ, ට්‍රොට්ස්කිගේ මාවතේ නිවරැදි බව යලි තහවුරු කිරීමේ සන්දර්භය තුල ය.

අලිගේ විකෘතියේ පරිමාව අවබෝධ කර ගැනීමට යමෙකු කල යුත්තේ ජොෆේගේ ලිපිය සම්බන්ධයෙන් අලිගේ ප්‍රතිචාරය, අයිසැක් ඩොයිස්චර් විසින් කරන ලද ඇගයීම සමග සසඳා බැලීම යි.

ඩොයිස්චර් ජොෆේගේ සටහනේ එම කොටස ම ට්‍රොට්ස්කිගේ ජීවිතය පිලිබඳ ඔහුගේ චරිතාපදාන ත්‍රිත්වයේ The Prophet Unarmed (නිරායුද අනාගත වක්තෘ) නම් දෙවැනි කොටස තුල උපුටා දක්වන නමුත්, එය ඉදිරිපත් කරන්නේ අලිට මුළුමනින් ම ප්‍රතිවාදී තර්කනයකිනි.

ඔහු මෙසේ ලිය යි: "එබැවින් ඔහුගේ අන්තිම වචන තුල ඔහු අපේක්ෂා කලේ ප්‍රමාද වුවත් අනිවාර්ය ජයග්‍රහනය සඳහා ඔවුන්ගේ පොදු ගමන් මගට සහාය වනු ඇති ‘දෘඪතර ශක්තිය’ ට්‍රොට්ස්කි තමන් තුල ම සොයා ගත යුතුව තිබුනි.”

"මියයමින් සිටින මිතුරෙකුගේ ගැඹුරුම භක්තිය හා ආදරය තුලින් එන විවේචනය, ට්‍රොට්ස්කිට පෙලඹවීමක් හා බලපෑමක් ඇති කලේ ය: ජීවිතයේ ඉතිරි කාලය තුල ඔහුට "නො නැමෙන හා දෘඪතරව” නැගී සිටීමට සිදුවූයේ තට්ට තනියම ය.”

අලිගේ ලිපිය දේශපාලන වංචනිකයෙකු තෙමේම හෙලිදරව් වන ප්‍රෝඩාකාරී පිලිගැන්වීමකි.

සාපරාධී ට්‍රොට්ස්කි ඝාතනය, ජොෆේ ගේ දිවි නසා ගැනීම පිලිබඳ වංචනික වාර්තාවක් සමග සසඳන්නේ මන් ද? කාරනය ට්‍රොට්ස්කිම පෙර දුටුවේය.

සිය කෘතිය තුල නදෙෂ්දා ජොෆේ, තම පියාගේ මරනය පිලිබඳව ට්‍රොට්ස්කි දක්වන විස්තරය සඳහන් කර යි. ඔහුගේ මරනය හා ට්‍රොට්ස්කි අමතා ලියන ලද ඔහුගේ ලිපිය පිලිබඳව නිර්නාමික ලෙස ට්‍රොට්ස්කිට දැනුම් දෙනු ලද විගස ඔහු ජොෆේ ගේ නිවසට ගියේ ය. ලිපිය අතුරුදහන් වී තිබුනි. එය හොරකම් කිරීම ගැන ට්‍රොට්ස්කි මොස්කව් නුවර පුරා සිය විරෝධය පතල කිරීමෙන් පසුව අවසානයේ දී ඔහුට මුල් ලිපියේ ඡායාස්ථ පිටපතක් දෙන ලදී.

මෙය මෙසේ සිදු වූයේ ඇයි දැයි "පැහදිලි කිරීමට උත්සාහ කිරීම පවා මට කල නො හැකිවී” යයි ට්‍රොට්ස්කි සඳහන් කලේ ය. "ලිපිය සමස්ත ලෝකයෙන් ම වසන් කිරීමට අසමත් වීමෙන් පසු නරුම හතුරා උත්සාහ කලේ, ප්‍රසිද්ධියට පත් නොකිරීම සඳහා ලියන ලද වැකි සිය අරමුනු සඳහා කොල්ල කෑමට ය.”

මෙය තරික් අලි හා ඔහුගේ අභිප්‍රායන් පිලිබඳ යථා තත්‍ය විස්තරයකි.

Share this article: