සංස්කෘතික විනාශයේ දේශපාලනය: The Rape of Europa යුරෝපය කෙලෙසීම

The politics of cultural destruction: The Rape of Europa

නැන්සි හැනොවර් විසිනි, 2013 සැප්තැම්බර් 27

ඩෙට්රොයිට්හි පොදු කලා කෘතීන් මහා පරිමානව අත්පත් කර ගැනීම සඳහා පෙර නො ඇසූ විරූ ලෙස බංකොලොත්කම තීන්දු කරන උසාවි යොදාගැනීම, ලොව පුරා කම්කරු පන්ති අයිතීන්ට එල්ල කෙරෙන අති මූලික ප‍්‍රහාරයකි.

නගරයේ බැඳුම්කර හිමියෝ - එනම්, වෝල් වීදියේ බැංකු ද ඇතුලු අනවරතව වර්ධනය වන මූල්‍ය කර්මාන්තයේ බැංකු, ආරක්ෂන අරමුදල් හා නයවර රක්ෂනකරුවෝ - සිය ගතමනාව ඉල්ලා සිටිති. ලන්ඩන් නගරය පදනම් කර ගත් වෙන්දේසිකාර ආයතනයක් වන ක‍්‍රිස්ටීස්, ඩෙට්රොයිට් කලායතනයේ ඇති මිල කල නොහෙන කලා කෘති එකතුවේ මිල නියම කරමින් සිටී. බැංකුවලට ගෙවීම සඳහා ඩෙට්රොයිට්හි කලාත්මක හා ඓතිහාසික උරුමය විකුනා දැමීමේ තර්ජනය පටන් ගෙන ඇත්තේ මූල්‍ය ප‍්‍රභූව වෙනුවෙන් පත් කර ගෙන ඇති පාරදෘෂ්‍ය පෙරමුනු කස කරුවෙක් වන, මහජන ඡන්දයෙන් තෝරා පත් කර නොගත්, ආපත්ති කලමනාකරුවෙකි.

මහජනයාට කලාව හා සංස්කෘතිය කරා වන මං අහුරා දමමින්, කලා කෘති ධනවතුන්ගේ පෞද්ගලික සන්තුෂ්ටිය පිනිස අත්පත් කර ගැනීම සඳහා වන මෙම ප‍්‍රයත්නය සිහිපත් කරන්නේ, ඉතිහාසයේ එන විශාලතම කලා කෘති විලෝපනය වන, තමන් යටතේ පැවැති යුරෝපාකරය තුල නාසි පක්ෂයේ නායකයන් විසින් සිදුකල මංකොල්ලය යි. මෙම ඛේදජනක සිදුවීම් පිලිබඳව පලවූ සම්භාව්‍ය කෘතිය වන්නේ, 1994 දී ලින් එච්. නිකොලස් විසින් රචිත The Rape of Europa (යුරෝපය කෙලෙසීම) නම්වූ ග‍්‍රන්ථයයි.

විශේෂයෙන් සඳහන් කෙරුනු අවස්ථාවන්හි දී හැර මෙම විචාරය මුලුමනින් ම සිදු කෙරෙන්නේ නිකොලස්ගේ විස්තීර්න ගවේෂනය පිලිබඳව ය. හද ගැඹුරින්ම කම්පා කරවන සුලු චිත‍්‍රපටයක් ද මෙම The Rape of Europa ග‍්‍රන්ථය මත පදනම් ව 2006 දී නිෂ්පාදනය විය.

* * *

The Rape of Europa ( යුරෝපය කෙලෙසීම) ඇරඹෙන්නේ 1939 දී කි‍්‍රස්ටීස් වෙන්දේසිකරු මියුනිච්, හැම්බර්ග්, මැන්හයිම්, ෆ‍්‍රැන්ක්ෆර්ට්, ඩෙ‍්‍රස්ඩන්, බ්‍රෙමන් හා බර්ලින් හි ජාතික චිත‍්‍ර ප‍්‍රදර්ශනාගාර වලින් අත්පත් කර ගත් අග‍්‍රගන්‍ය කලා කෘතීන් විකුනා දැමීමෙනි. "පරිහානිගත කලාව” ලෙස ෆැසිස්ට්වාදීන් විසින් හෙලා දක්නා ලද මේ කෘතීන්ට පිකාසෝගේ ‘ඇබ්සින්ත් ඩ්රින්කර්’, මියුනිච් නුවරින් ගෙන ආ වැන් ගෝගේ ස්වයං ආලේඛය, චගොල්ගේ ‘මේසන් බ්ලූ’ සහ ගොගින්ගේ ‘තහිටි’ ඇතුලත් විය. වෙන්දේසිය නාසි යුද කර්මාන්තයට විදේශ විනිමය රැස් කර ගැනීම සඳහා ප‍්‍රයෝජනයට ගැනිනි.

හිට්ලර් චාන්සලර්වරයා බවට පත්වීමෙන් කෙටි කලකට පසු නාසීන්ට අනුබද්ධ "ජර්මානු සංස්කෘතිය සඳහා වූ ප‍්‍රහාරක ලීගය”, සංස්කෘතිය සම්බන්ධයෙන් නව රාජ්‍යයේ දැක්ම සනිටුහන් කොට තිබිනි. එය, ඉදිරියට පැමිනීමට නියමිත වූ දේ පිලිබඳ හඟවන සංඥාවක් විය: "ජාතික විප්ලවය හුදු දේශපාලනික හා ආර්ථික විප්ලවයක් පමනෙකැයි සිතීම වරදකි. සියල්ලටමත් වඩා එය සංස්කෘතික විප්ලවයකි. අප සිටින්නේ විප්ලවයේ කැලැඹිලි සහගත මුල් අවධියේ ය. එහෙත් දැනටමත් එය දීර්ඝ කාලයක් සැඟව තුබූ ජර්මානු ජනාචාරයන් අනාවරනය කොට, මේ දක්වා ම, දුඹුරු බලකායයන් අර්ධ අහඹු ආකාරයකින් දැරූ එම නව විඤ්ඤානයට - එනම්, නම් වශයෙන් කිවහොත්, ජීවයේ සියලු ප‍්‍රකාශනයන් යම් සුවිශේෂී රුධිරයකින් ... සුවිශේෂී වාර්ගික පෙලපතකින්! ... පැන නගින්නේය යන්න පිලිබඳ දැනුවත් භාවයට - මාවත් විවර කොට ඇත.... කලාව ජාත්‍යන්තර නොවේ.... යමෙකු මෙසේ ඇසුවොත්: නිදහසෙන් තවදුරටත් ඉතිරිව ඇත්තේ කුමක් ද? ඔහුට ලබා දෙන පිලිතුර මෙයයි: ජර්මානු කලාව දුබල කරන හා එය වනසනවුන්ට කිසිදු නිදහසක් නැත.... අපගේ ප‍්‍රානභූත අංගයන් විනාශ කරමින් සිටින්නේ කුමක් ද, එය උදුරා තලා සුන් කර දැමීමෙහි ලා කිසිත් කනස්සල්ලක් හෝ සංවේගාතිශය භාවයක් පැවැතිය යුතු නො වේ.”

බලය ගැනීමෙන් මාස ගනනක් තුල, කලාවට සම්බන්ධ සියලු දෙනා නියාමනය කිරීම සඳහා රීච් සංස්කෘතික මන්ඩලයක් නිර්මානය කිරීමේ සැලසුම් ප‍්‍රචාරක හා මහජන අවබෝධය පිලිබඳ ඇමති ජෝසෆ් ගොබෙල්ස් විසින් ප‍්‍රකාශයට පත් කරන ලදී. කිසිදු කෞතුකාගාර අධ්‍යක්ෂකවරයකුට, චිත‍්‍ර ශිල්පියෙකුට හෝ චිත‍්‍ර අලෙවිකරුවෙකුට එහි සාමාජිකයකු නොවී වැඩ කිරීමට අවසර නො ලැබිනි. යුදෙව්වෝ, කොමියුනිස්ට්වාදීහු සහ අවසානයේ සිය ශෛලිය නාසි පරමාදර්ශයන් සමග අනනුකූල වූ සියල්ලෝ ද ඊට වැද්ද නොගත් අය අතර වූහ.

රජය සමග සහයෝගයෙන් කටයුතු කල කෞතුකාගාර අධ්‍යක්ෂකවරු ෆැසිස්ට් දෘෂ්ටිවාදය ප‍්‍රවර්ධනය කිරීමෙහි ලා ප‍්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කලෝ ය. The Faustain Bargain: The Art World in Nazi Germany (ෆොස්ටියානු කේවෙල: නාසි ජර්මනිය තුල කලා ලෝකය)නම් සිය කෘතිය තුල ජොනතන් පෙට්රොපෞලස් මෙසේ ලියයි: "රජය වෙනුවෙන් වූ ප‍්‍රචාරක ව්‍යාපාරයේ එක ආකාරයක් වූයේ ප‍්‍රදර්ශනයන් ය. මෙම ප‍්‍රදර්ශන ජාතිකවාදයේ, වාර්ගික කේන්ද්‍රීයතාවාදයේ, වර්ගවාදයේ හා සමානුරූපතාවයේ මතවාදී මූල ප‍්‍රඥප්තීන් එකට ඈඳූ ඒවා විය.”

අනෙක් අතට, වාම නැඹුරුවක් පැවැති හෝ නූතනවාදී කලාකරුවෝ ඔවුන් දරමින් සිටි ගුරු තනතුරුවලින් ද ප‍්‍රසිද්ධ ආයතනයන්හි සාමාජිකත්වයෙන් ද ඉවත් කරනු ලැබූහ. ඩසල්ඩෝෆ්හි පෝල් ක්ලී, බර්ලිනයේ කැත් කොල්විට්ස් හා මැක්ස් බෙක්මාන්, හා ඩෙ‍්‍රස්ඩන්හි ඔටෝ ඩික්ස් ඒ අතර වූහ. "පරිහානිගත” චිත‍්‍ර ශිල්පීන්ට චිත‍්‍ර නිර්මානය සඳහා අවශ්‍ය සැපයුම් මිල දී ගැනීම තහනම් කෙරුනු අතර, ගෙස්ටාපෝව ඔවුන්ගේ නිවෙස්වලට පැමිනි කල, අවටින් ටර්පන්ටයින් ගන්ධය වහනය වීම ඔවුන් අත් අඩංගුවට ගැනීමට ප‍්‍රමානවත් හේතුවක් ලෙස සලකන ලදී.

Ernst Ludwig Kirchner, Self-Portrait as a Soldier (1915). His work was labelled "degenerate" in 1933. In 1937 the Nazis sold or destroyed 600 of his paintings. His first solo show in the US took place at the Detroit Institute of Arts in 1937. He committed suicide in 1938.(අර්න්ස්ට් ලුඩ්විග් කර්ච්නර්, සොල්දාදුවෙක් ලෙස දැක්වෙන චිත්‍රයක් (1915) ඔහුගේ කෘතිය 1933දී “අපගාමී” ලෙස නම්කරනු ලැබිනි. 1937දී නාසීන් ඔහුගේ චිත්‍ර 600ක් විකුනා දැමුවා හෝ විනාශ කරන ලදී. එක්සත් ජනපදය තුල ඔහුගේ පලමු ඒකල දර්ශනය ඩිට්‍රොයිට් කලා අයතනයේදී 1937දී පවත්වන ලදී. ඔහු 1938දී සිය දිවි නසාගත්තේය.)

තහනමට ලක් වූ චිත‍්‍ර ශිල්පී අර්නස්ට් කර්ච්නර්, තම ජීවිත කාලයක කර්තව්‍යයන් ජර්මානු කෞතුකාගාරවලින් පිටමං කෙරෙනු දැක කම්පිත වූයේ, අවසානයේ 1938 ජූනි මස සිය දිවි නසා ගත්තේය.

1937 දී ඩික්ස්, ජෝර්ජ් මෙට්සින්ගර්, විලි බෞමෙස්ටර් හා ලුවිස් කොරින්ත් ඇතුලු චිත‍්‍ර ශිල්පීන් 113 දෙනෙකුගේ කෘති ප‍්‍රදර්ශනය කරමින් පවත්වන ලද හිට්ලර්ගේ කුප‍්‍රකට "පරිහානිගත” චිත‍්‍ර ප‍්‍රදර්ශනයෙන් ඉක්බිති "පරිපූර්න පරිශෝධනය” සැබෑ ලෙසම ඇරඹිනි. පවරා ගැනීමේ නාසි කමිටු ජර්මානු පොදු සංචිතවල පැවති කෘතීන් 16,000කට ආසන්න ප‍්‍රමානයක් ඉවත් කලෝ ය.

මෙවන් කලාත්මක ධන නිධානයන්හි ඇති මුදල් ඉපයීමේ විභවය ඩැහැ ගත් පලමුවැන්නා වූයේ හර්මන් ගෝරිං ය. එම ප‍්‍රදර්ශනයෙන් අනතුරුව සෙසාන්, මන්ච් හා වැන් ගෝ විසින් නිර්මිත චිත‍්‍ර ඔහු තමා සතු කර ගත්තේ ය. මාස ගනනාවකට පසු, නාසි නිලධාරීන් විසින් "රැක බලා ගනු” ලබන කලා කෘතීන්ට වන්දි ගෙවීමේ ඉල්ලීම්වලින් රජය නිදහස් කෙරෙන ආඥාවකට හිට්ලර් අත්සන් තැබී ය. සොරකම හැඳින්වීමට යෙදූ මේ මෘදුක්තිය යුරෝපාකරය පුරා පර්යාය පදයක් බවට පත් වූ අතර, සමස්ත මහාද්වීපය අලලා ගත් කලා කෘති විලෝපනයකට මග විවර කලේ ය.

අනෙකුත් කෘති මුලුමනින් විනාශ කෙරිනි. 1939 මාර්තුවේ පමනක්, ජර්මානු කලා "පරිශෝධනයේ” කොටසක් ලෙස, චිත‍්‍ර හා මූර්ති 1,004ක් ද, දිය සායම් හා රේඛා චිත‍්‍ර 3,825ක් ද පුලුස්සා දැමීමට ගොබෙල්ස් වග බලා ගත්තේය.

කර්මාන්තයක පරිමානයෙන් සිදු කෙරුනු මංකොල්ලය ඇරඹුනේ 1938 මාර්තුවේ, "අන්ශ්ලොස්” ලෙස හැඳින්වුනු, ඔස්ටි‍්‍රයාව ජර්මනියට ඈඳා ගැනීමත් සමග ය. දේශ සීමා අවුරා දමන ලදී. ඉන්පසු පලමුව ඩහෝහි දී ද, පසුව මවුතවුසන්හි දී ද, දහස් සංඛ්‍යාත ඔස්ටි‍්‍රයානු යුදෙව්වෝ එස්එස් හමුදාව විසින් සිරගත කරන ලදහ. වියෙනාහි ප‍්‍රමුඛ පවුල් සතු දේපල මුලින්ම රාජසන්තක කරන ලදී. ඉන් වඩාත් කැපී පෙනෙන සුලු දේපල වූයේ රොත්ස්චයිල්ඩ්වරුන් සතුව තිබූ පුලුල් කලා කෘති එකතුවයි. සියලු යුදෙව්වන් තමන් සතු කවර හෝ දේපලක් ගෙස්ටාපෝවේ ලියාපදිංචි කල යුතු විය. පසුව දේපල පවරා ගැනීම සඳහා භාවිත කෙරුනේ මේ තොරතුරුය.

අසූ දහසක් යුදෙව්වන්ට අවසානයේ ඔස්ටි‍්‍රයාවෙන් පිටවීමට ඉඩ ලැබුනේ දේපල හා තමා සතු සියල්ල ඈවර කිරීමෙන් සිය පිටුවාහල මිල දී ගැනීමෙනි. නාසීහු, නීත්‍යනුකුල භාවයෙන් ඇලලී ගිය සිතැත්තෝ, සියලු දේ මුදා හැරෙන අත්සන අවශ්‍යතාවයක් ලෙස සැලකුහ. යමෙකුට තමන් තඹ සතයකුදු නොමැති තත්වයට පමුනුවා ගනිමින් රටින් පිට වීමේ වීසා පත සඳහා සුදුස්සෙකු වීමට කඩදාසි රීම් ගනනින් යුත් ලිපි ලේඛන කටයුතු ද, නොතාරිස් සහතික කිරීම් හා විවිධ ආයතන කරා යා යුතු විය. සිය කලා කෘති එකතු හා අනෙකුත් වත්කම් සම්බන්ධයෙන් ලිපි ලේඛන සකස් කෙරෙන තුරු ලුවිස් රොත්ස්චයිල්ඩ් සිටුවරයා වසරක් පුරා සිර ගෙයි රඳවා ගන්නා ලදී.

1938 නොවැම්බර් 9-10 දිනවල සිදු කල, කි‍්‍රස්ටල්නාහ්ට් නමින් හඳුන්වන ලද (නාසිවාදී පැරා හමුදා යුදෙව් වෙලඳසැල් හා නිවාස කුඩුපට්ටම් කිරීම මෙයින් කියැවේ) ලේ පිපාසිත ජන සංහාරයෙන් පසු, ජර්මානු යුදෙව්වෝ ද එබඳු ම සමූහ පවරා ගැනීම්වලට මුහුන දුන්හ. එස් එස් හමුදාව, ගෙස්ටාපෝ රහස් පොලිසිය, මුදල් අමාත්‍යාංශය, රිච් සංස්කෘතික මන්ඩලය, ප‍්‍රාදේශීය නාසි සංවිධාන, කෞතුකාගාර හා වෙනත් අය ද වශයෙන් හැම එකෙකුම ගැල් පිටින් බඩු ඇදගන්නා තතු යටතේ සොරකම් කෙරුනු කලා කෘති සියල්ල ලූහුබැඳ යාම සරලව ම කිවහොත් අසීරු කර්තව්‍යයක් විය.

ඊලඟට පැමිනියේ චෙකොස්ලොවැකියාවේ වාරයයි. ඒ අන්ශ්ලොස් වලින් වසරකට පසුව ය. මෙවර නාසීහු ස්ලොවැක් ජනයා ද මිනිසත් බවින් අඩු සත්ව කොට්ඨාශයකැයි සලකමින් සිය මංකොල්ලය යුදෙව්වන්ට පමනක් සීමා නොකිරීමට වග බලා ගත්හ. මෙසේ අත්පත් කර ගත් දෑ අතරට ප‍්‍රාග් සරසවි පුස්තකාලයේ, චෙක් ජාතික කෞතුකාගාරයේ සහ හැප්ස්බර්ග්හි මහාදිපාද ෆ‍්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්, කොලොරේඩෝ සිටුවරයා හා ෂ්වාසෙන්බර්ග් කුමාරයා සතු වූ මාලිගාවල පැවති සම්පත් ද, ලොබ්කොවිට්ස් එකතුවේ තිබි යුද සන්නාහයන් කාසි හා සිතුවම් ද ඇතුලත් විය.

මෙසේ අතපත ගා ගත් කලා කෘතීන් එක් රැස් කොට තැබීමට ස්ථාන අවශ්‍ය විය. හිට්ලර් සිය ලමා විය ගෙවූ ඔස්ටි‍්‍රයාවේ ලින්ස්හි කෞතුකාගාර සංකීර්නයක් සැලසුම් කිරීම ආරම්භ කලේ ය. 1939 දී මේ සඳහා රීච් මාර්ක් මිලියන 10ක මුදලක් වෙන් කරන ලදී. 1944 වන විට විසර්ජනය රිච් මාර්ක් මිලියන 70 දක්වා වැඩිනි.

දෙවන ලෝක යුද්ධය ඇවිල යාමට මග පෑදූ 1939 සැප්තැම්බරයේ නාසි හමුදාවන්හි පෝලන්තය ආක‍්‍රමනය සිදුවුයේ හිට්ලර්ගේ පහත දැක්වෙන ආඥාවෙන් ඉක්බිතිව ය. "පෝලන්තය ආක‍්‍රමනය කොට මූලෝත්පාඨනය” කර දැමීමේ දී, "සාහසික වෙනු... කෲර ලෙස ද නිර්දයව ද කි‍්‍රයා කරනු..... කිසිදු අනුකම්පාවක් හෝ ක්ෂමාවක් නොදක්වා පෝලන්ත පෙලපතින් පැවත එන හෝ එම භාෂාව වහරන සියලු මිනිසුන්, ගැහැනුන් හා ලමුන් මරනු.”

නිකොලස් මෙසේ ලියයි: ”පෝලන්තය මුලුමනින් ම ජර්මනිය සතු සත්වයෙක් බවට පත්වීමට නම්, එහි සංස්කෘතිය හා ජනයා මුලිනුදුරා දමා හිට්ලර්ගේ ‘නව පර්යාය’ මගින් විස්ථාපනය කල යුතුව තිබිනි.” එම පර්යාය පදනම් විය යුතුව තිබුනේ, "පෝලන්තයෝ ශ්‍රේෂ්ඨ ජර්මානු රීචයේ වහලුන් විය යුත්තාහ,” යන සංකල්පය මත ය.

ආක‍්‍රමනය සමග අත්වැල් බැඳගෙන පැමිනියේ පෝලන්ත ස්මාරක වනසා ලීම හා කලා කෘතීන් ඇති ස්ථාන වල සවිස්තරාත්මක සුචීන් සැකසීමයි. ජර්මන් හමුදාවෝ ගම් දනව් පසුකර යන අතරතුර නිවාස කොල්ල කෑහ, බැංකු සුරක්ෂිතාගාර විවර කොට ඒවා හිස් කලහ. පසු කාලයක නාසීහු රාජ්‍ය, පෞද්ගලික හා දේවස්ථාන භාරයේ පැවති "මුලුමහත් පරාසයටම අයත් කලාත්මක වස්තුන්... පොදු අභිලාෂයන් වෙනුවෙන්” රැුගෙන යාමට බලය පවරමින් මෙය නීත්‍යානුකූල කලහ. ඒවා භාරයේ පැවති දෑ සොරකම් කිරීමට පහසු වන පරිදි, පෝලන්තයේ සියලු සරසවි, අධ්‍යාපන ආයතන හා පාසැල් වසා දමා කාර්ය මන්ඩල සේවයෙන් පහ කරන ලදී.

ප‍්‍රථම අතු ගා දැමීමේ දී අත්පත් කර නොගැනුනු භාන්ඩ සොයා පසුව 1941 දී යලි පීරා බැලීමක් සිදුවිය. එස්එස් භටයෝ තිබිය හැකි සෑම කලා කෘතියම අල්ලා ගනු වස් ඈඳා ගැනුනු ප‍්‍රදේශවල, ගමක් ගමක් පාසා, මාලිගයක් මාලිගයක් පාසා, වතු යායක් වතු යායක් පාසා පීරා බැලූහ.

1940 මැයි 10 වන දින නාසි හමුදාවෝ ඕලන්ද දේශසීමාව තරනය කලෝ ය. මැජිනෝ රේඛාව වටා ලක්සම්බර්ගය මැදින් දිගටම ඉදිරියට ගිය ඔවුහු ප‍්‍රන්සයට ඇතුලූ වූහ. ජූනි වන විට හිට්ලර් බටහිර යුරෝපය පාලනය කලේ ය.

ග‍්‍රන්ථය සහ චිත‍්‍රපටය යන දෙකෙන් ම සිත් කම්පා කරවන අයුරින් සනිටුහන් කෙරෙන්නේ යුද්ධයට සුදානම් වනු වස් ප‍්‍රන්ස කෞතුකාගාර කම්කරුවන් ගෙන ගිය අරගලයේ ඓතිහාසික වාර්තාවයි. කලා එකතු, යුද කලාපය ලෙස පූර්වාපේක්ෂිත මැජිනෝ රේඛාවෙන් හැකි තාක් දුරට ගෙන යමින් ශතවුක්ස්වලට පටවා යැවින. මුද්‍රා තබන ලද වෑන් රියක ගිලන් මැස්සක හොවා ලූ මොනාලිසා ලොවිග්නි කරා ගෙන යන ලදී. වෑන් රථය එහි ගමනාන්තයට පැමිනෙන විට ආලේඛය යසට පැවතියත්, එම වෑන් රියේම පැමිනි එහි භාරකරු සිටියේ අඩ සිහියෙනි.

ලූවර්හි වඩාත් කීර්තිමත් ප‍්‍රතිමාවන් වූ වීනස් ඩි මිලෝ, විංග්ඩ් වික්ටරි (තටු ලද ජයග‍්‍රහනය) සහ මයිකල් ඇන්ජලෝගේ ස්ලේව්ස් (වහල්ලු), අතිමහත් දුෂ්කරතා මධ්‍යයේ අසුරනු ලැබ වැලෙන්කේහි ටැලිරෑන්ඩ් වසමට ප‍්‍රවාහනය කරන ලදී. ට‍්‍රක් රථ ගනන් කලා කෘති ගම්බද පෙදෙස් පුරා විසුරුවා හරින ලදී.

කෙසේ වෙතත්, හිට්ලර්ගේ ආක‍්‍රමනයේ ගමන් මග අනපේක්ෂිත ලෙස මැජිනෝ රේඛාව මග හැර ගිය කල්හි, මොනාලිසාට තවත් කඩිමුඩියේ අසුරනු ලැබූ කෘතීන් කිහිපයක් ද සමග ලොවිග්නි හැර දමා ලොක් ඩියු ඇබේ කරා සංක‍්‍රමනය වීමට සිදු විය. ප‍්‍රන්ස කලා කෘති භාරකරුවන්ගේ අසාමාන්‍ය ප‍්‍රයත්නයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස 3,000කට අධික චිත‍්‍ර සංඛ්‍යාවක් මෙම ස්ථානයට සේන්දු වී තිබින. ජූනි 17 වනදා අවසාන රැුකවල් කන්ඩායම ලෝයි නදිය තරනය කලේ එහි පාලම් පුපුරුවා හැරීමට යන්තම් පැය කිහිපයකට ඉහත දී ය.

ප‍්‍රන්සයේ දී, අත්හැර දමා ගිය යුදෙව් සාප්පු හා නිවාසවලින් භාන්ඩ ඉවත් කර ගනිමින් ගෙස්ටාපෝ කන්ඩායම් වැඩ ඇරඹූහ. ඉක්බිති ඔවුහු පැරීසියේ ප‍්‍රමුඛතම යුදෙව් ජාතික කලා කෘති වෙලඳුන් 15 දෙනා සතු ස්ථානවලින් තමන්ට සොයා ගත හැකි වූ සැම දේ ම සොරකම් කලහ. කෙසේ වෙතත්, පෞද්ගලික දේපල ඉවත් කර ගෙන යාම නිශ්චිතව ම තහනම් කල හේග් සම්මුතිය උල්ලංඝනය කරන ලෙසට ලද ආඥාවන්ට ජර්මන් හමුදාව ප‍්‍රතිරෝධය දැක්වීය. එබැවින් නාසීහු, "සංස්කෘතිකමය භාන්ඩ” ප‍්‍රවාහනය කිරීමට අයින්සට්ස්ටාබ් රීච්ලීටර් රොසෙන්බර්ග් කාර්ය සාධක බලකාය (ඊආර්ආර්) වෙත බලය පැවරීය. ප‍්‍රන්ස කලා කෘති සොරකම් කිරීමේ ප‍්‍රධානතම කාර්ය භාරය ඊආර්ආර් විසින් කි‍්‍රයාවට නැංවීමට නියමිත විය.

ප‍්‍රන්සයේ කවදත් - සහයෝගී විකි රජය මෙහි ලා සිය කොටස ඉටු කරමින්, රටින් පලා ගිය ප‍්‍රන්ස ජාතිකයන් තව දුරටත් තම පුරවැසියන් නොවන බවට ප‍්‍රකාශයට පත් කලේ එමගින් ඔවුන්ගේ දේපල අත්පත් කර ගත හැකි වන පරිදි ය.

Anthony van Dyck's Portrait of a Lady taken by Goering from the Jeu de Paume (ජ්‍යු ඩෙ පුම් වෙතින් ගෝරිං විසින් පැහැරගනු ලැබූ ඇන්තනි වෑන් ඩියුක්ගේ ආර්යාවකගේ චිත්‍රය)

කෙතරම් කලා කෘති මෙසේ එකතු කර ගන්නා ලද්දේද යත්, ඒවා ගබඩා කර තැබීමට ඊආර්ආරයට ජ්‍යු ඩෙ පුම් නම් කුඩා කෞතුකාගාරයක් ලබා දෙන ලදී. වහා පැමිනි හර්මන් ගෝරිං සිය එකතුව සඳහා චිත‍්‍ර තෝරා ගැනීමට පටන් ගත්තේ ය. ඔහු ගෙන ගිය කෘතීන්ට රැම්බ‍්‍රාන්ට්ගේ "බෝයි විත් අ රෙඩ් බෙරට් (රතු හිස් වැස්මක් ලූ පිරිමි ලමයා)” සහ වැන් ඩයික්ගේ "පෝර්ට්රේට් ඔෆ් අ ලේඩි (කුලකතකගේ ආලේඛය)” ද ඇතුලත් විය. කොල්ල කෑ කලා කෘතීන්හි ප‍්‍රථම තේරීම සෑමවිටම ෆියුරර්වරයාට (හිට්ලර්) හිමි වූ අතර ඊලඟ අවස්ථාව ලැබුනේ ගෝරිං වෙත ය. යුදෙව්-විරෝධී අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමට නිදර්ශක තෝරා ගැනීම සඳහා නාසි පරමාදර්ශ කථික ඇල්ෆ‍්‍රඩ් රොසෙන්බර්ග්ට මීලඟට අවසර ලැබුනේ ය. ජර්මන් කෞතුකාගාර සඳහා හෝ වෙලඳපල සඳහා යැවීමට සිව්වන කාන්ඩයක් වෙන් කෙරිනි.

ගෝරිං ජ්‍යු ඩෙ පුම් කරා තවත් 17 වරක් පැමිනෙයි. ඔහු ගෙන ගිය මුලු කෘතීන් සංඛ්‍යාව 600කි. කටයුතුවල නීත්‍යානුකූල තත්වය පවත්වා ගනු වස්, ප‍්‍රන්ස ජාතික චිත‍්‍ර ශිල්පියෙකු ලවා මෙම කෘතීන් තක්සේරු කරනු ලදුව ගෝරිං ඒවා "මිල දී ගත්තේය.” මෙම තක්සේරුකරුගේ තක්සේරු මිල ගනන් ගෝරිංගේ අභිලාෂයන්ට අනුව වෙනස් විය.

ජ්‍යු ඩෙ පුම්හි සේවය කල රෝස් වැලන්ඩ් භාරකාරියක වූවාය. වැඩි දෙනාගේ අවධානයට ලක් නොවන පරිදි ජීවත් වූ ඕ, ඊආර්ආර් විසින් නැව් ගත කෙරුනු භාන්ඩ පිලිබඳව ද, සිතුවම් යැවෙන ස්ථාන පිලිබඳව ද ඉතා සුපරීක්ෂාකාරී වූවා ය. කලා කෘති සංරක්ෂනය සඳහා ඇය විසින් දැරුනු වීරෝදාර ප‍්‍රයත්නයන් යුද්ධයෙන් පසු කාල පරිච්ඡෙදයේ දී අත්‍යවශ්‍ය වූ බැව් පෙනී යයි. අවාසනාවට ජ්‍යු ඩෙ පුම්හි 1943 ජූලි 27 වන දින සිදු කෙරුනු යුදෙව් පවුල්වල ආලේඛ හා යුදෙව් චිත‍්‍ර ශිල්පීන්ගේ කෘති ද ඇතුලත් නූතන කලා කෘති පුලුස්සා දැමීමේ දී එය වාර්තා කිරීමට වඩා වැඩි යමක් කිරීමට ඇයට හැකියාවක් නො වී ය. මෙසේ ගිනි ලූ කෘතීන් අතර පැබ්ලෝ පිකාසෝ, ෆ‍්‍රාන්සිස් පිකාබියා, රොජර් ඩි ලා ෆ්‍රෙස්නයෙ, පෝල් ක්ලී, ජෝන් මිරෝ, මැක්ස් අර්නස්ට්, ජීන් ආර්ප්, සැල්වදෝර් ඩාලි හා ෆර්ඩිනන්ඩ් ලීගර්ගේ කෘතීන් ද විය.

පැරීසියේ දී අත්පත් කර ගැනීම් කෙතරම් වේගයෙන් වර්ධනය වී ද යත්, තවත් කලා ඉතිහාසඥයන් එහි ගෙන ඒමට සිදු විය. කලා කෘති භාරකරුවන්ගේ, වෙලඳුන්ගේ සහ මහාචාර්යවරුන්ගේ හමුදාවක් නාසීන්ගේ කොල්ලකාරී මෙහෙයුමට ආධාර කලෝ ය.

සැබැවින්ම සමස්ත නාසි නායකත්වය ම සංචයන (එකතුකරන්නන්ගේ) සන්නියට හසු වී, යුරෝපය පුරා රටක් රටක් පාසා සිදු කෙරෙන මෙහෙයුම්වලින් අශික්ෂිත ලෙස ලාභ උපයමින් උන්හ. ඕලන්දයේ දී අධිවාසයේ කප්පම් ලෙස ගෙවූ ලන්දේසි ගිල්ඩර මිලියන ගනනකට අත පෙවීමේ අවස්ථාව ලද ජර්මානු රාජ්‍ය නිලධාරීහු කලා කෘති මිල දී ගැනීමට එය වැය කලහ. හිට්ලර් හා ගෝරිං යන දෙදෙනාම සතුව, ඉතාලියේ හා පහල රටවල, සියලු සුදුසුකම් සපුරා ලූ කලා කෘතීන් මිල දී ගැනීමේ මෙහෙයුම් පැවතිනි.

1942 ජනවාරියේ ඊආර්ආරය මෝබෙල් (ගෘහ භාන්ඩ) ව්‍යාපෘතිය තුල එම් - ඇක්ෂන් මෙහෙයුම ක‍්‍රියාත්මක කලෝ ය. සමස්ත පැරිස් පුරය මුලුල්ලේ ගෙන් ගෙට යමින් කල පරීක්ෂාවක් ඇරඹුනි. වාසස්ථාන 71,619ක් වටලා ඉන් වාසස්ථාන තිස් අට දහසක් මුද්‍රා තබන ලදී. සියල්ල රැගෙන යන ලදී: කලා කෘති මෙන්ම ඇඳන්, ඇතිරිලි, සෝපා, ලාම්පු ආදියත්. විස්මය දනවන සුලු විස්තීර්න භාවයකින් යුතු වූ මෙම මංකොල්ලයට සමාන්තරව ප‍්‍රන්සයේ හා පහල රටවල ප‍්‍රතිමා හා දේවස්ථාන ඝන්ඨාවන්ට අභිලාෂවත් ප‍්‍රහාරයක් එල්ල කෙරුනි. ඒවා රීචයේ කම්හල් සඳහා උනු කර ලීමට නියමිත විය.

යුද්ධය වඩාත් කුරිරු වූයේ සෝවියට් සංගමය ආක‍්‍රමනය කිරීමෙහි දී ය. එහි "සංස්කෘතිකමය, වාර්ගික හා දාර්ශනික” පාරිශුද්ධකරනය සාක්ෂාත් කරනු වස් යුදෙව්වන් හා බෝල්ෂෙවිස්ට් වරුන් වහා මරා දැමිය යුතු යැයි හිට්ලර් නිශ්චය කල අතර, ආහාර සැපයුම් "රීචයේ වඩාත් වටිනා පුරවැසියන්ට” හරවා යැවීම මගින් ස්ලාව් ජාතික සාමාන්‍ය ජනයා හාමතයෙන් මිය යන්නට හැර දැමිය යුතු විය. ”උච්ඡාරනය කල නොහෙන නම් ඇති සහ කිසිත් අනුකම්පාවකින් හා දයාවකින් තොරව වෙඩි තබා දැමීමට සිත් දෙන ශරීර ලක්ෂන සහිත.... මිලියන 180ක ජනකායක්, වාර්ගික මිශ‍්‍රනයක්” ලෙස ඔහු විසින් හඳුන්වා දෙන ලද "බෝල්ෂෙවිස්ට් වරුන්” මුලිනුපුටා දැමීම මෙහෙයවීමට හෙන්රිච් හිම්ලර් පත් කරන ලදී.

තවද, ලෙබන්ස්රෞම් නැතහොත් ජීවන අවකාශය සඳහා වූ සිය සැලසුම් ප‍්‍රකාශයට පත් කල හිට්ලර්ට අවශ්‍ය වූයේ ලෙනින්ග‍්‍රාඩය (දැන් සෙන්ට් පීටර්ස්බර්ගය) "මිහිතලයෙන් මුලුමනින් අතුරුදහන්” වීමයි, "මොස්කව් නගරයට ද එම ඉරනම ම අත් විය යුතු” විය.

නාසි පාලනයට නතු වූ සෝවියට් සංගමයේ සෑම කොටසක දී ම, ඉහල සංස්කෘතික මට්ටමක සිටි පුද්ගලයන්ගේ නිවාස හා කෞතුකාගාර ආලාපාලු කිරීමට විශේෂ අවධානයක් යොමු කරන ලදී. පුෂ්කින්ගේ නිවස එහැමපිටින්ම අවුස්සා කොල්ල කන ලදී. ටෝල්ස්ටෝයිගේ යස්නායා පොල්යානා වතු යාය ද චෙකොෆ්, රිම්ස්කි-කොර්සකොව් හා චෛකොව්ස්කිට ගෞරව කිරීමට පිහිටුවා තිබූ කෞතුකාගාර ද, පාත‍්‍ර වූයේ එම ඉරනමට ම ය.

එහෙත් කලා භාන්ඩ මිලියන 2.5ක් තබා තිබුනු ලෙනින්ග‍්‍රාඩ්හි හර්මිටේජ් මහා කෞතුකාගාරයේ කාර්ය මන්ඩලයේ වීරෝදාරභාවය, රන බිමේ සෝවියට් බල සේනාංකයන්හි වීරෝදාර බව සමග සැසැඳෙන්නක් විය. යුද්ධය ආරම්භ වූ බව දැන ගන්නට ලැබී යන්තම් පැය 48කට පසු හර්මිටේජය වෙත පලමු ප‍්‍රහාරය එල්ල විය. පුරවැසි ජනයා නගරය වටා යුද අගල් හා ආරක්ෂක වලලු ඉදිකරන අතරවාරයේ භාරකරුවෝ සතුරු ප‍්‍රහාර මැඩ පැවැත්වීමේ සූදානමින් යුතුව හර්මිටේජයේ වහල මත මුර සංචාර පැවැත්වූහ.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන් ද සමග පැය විසි හතර මුලුල්ලේ ම කලා කෘති ඇසිරීම සිදු කෙරිනි. ලොමොනොසොව් පෝසිලේන් කම්හලෙන් පැමිනි විශේෂඥයෝ දහස් සංඛ්‍යාත බඳුන් හා විසිතුරු භාන්ඩ ඇසිරූහ. මටසිලුටු ගී‍්‍රක කලස් එතීමට පලමු අපමන වෙහෙසක් දරා ඒවාට කිරල ඇබ කැබලි පුරවන ලදී. ඇසුරුම් පෙට්ටි පුරවා ඒවා මුද්‍රා තැබීමෙන් ඉක්බිති රතු නාවුක හමුදාවේ නාවිකයෝ කන්ඩායම් වශයෙන් ඒවා ප‍්‍රවාහනය ඇරඹූහ. භාන්ඩ අඩ මිලියනයක් පැටැවූ මැදිරි 22කින් සමන්විත දුම්රියක් ජූලි 1 වන දින සයිබීරියාව කරා පිටත්ව ගියේය. ජූලි 20වන දින තවත් තොගයක් පිටත් කෙරින. එහෙත් එය, පිටත් කර හැරුනු අවසන් තොගය විය.

නාසි හමුදාවේ ඉදිරි පෙල, කෞතුකාගාරයේ සිට සැතපුම් 8.5ක් තරම් ආසන්නයට පැමිනි සිටි හෙයින්, සෙසු සියල්ල බිම් මහල කරා පටවා ගෙන යා යුතු විය.

නිකොලස් පැහැදිලි කරන පරිදි, "දුම්රිය මාර්ග කපා හැරුනු පසු හර්මිටේජ භාරකරුවෝ දිගටම භාන්ඩ අසුරමින් දැවැන්ත උමං කුටි කරා ඒවා ගෙන ගියෝය... බෝම්බවලට ඔරොත්තු දෙන පරිදි තනා තිබූ මෙම උමං කුටි තුල කලා කෘතීන් සමග දිවි ගෙවූ 2000ක පමන මනුෂ්‍ය ප‍්‍රානීන්ගෙන් සැදුම් ලද ජනපදයක් ද විය. දිගටම වටලනු ලැබ සිටි කාලය තුල මෙම අන්තර්භෞම අවකාශයන් බුද්ධිමය ප‍්‍රතිරෝධයේ හා නොනැසී බේරී සිටීමේ මධ්‍යස්ථානය බවට පත් විය. ශීත ඍතුව උදාවීමත් සමග, ශීතලෙන් අඩ වශයෙන් ගල් ගැසී ගිය කලා ඉතිහාසඥයෝ ද. කවීහු ද, ලේඛකයෝ ද සිය පර්යේෂන ව්‍යාපෘතිවල වැඩ කටයුතු කරමින් සිටියෝ ය.”

මිනිස් යුද ඉතිහාසයේ අධිකතම මිලක් ගෙවන්නට සිදු වූ වැටලීම වන ලෙනින්ග‍්‍රාඩ් වැටලීම සමයේ නගරය තුලට ගෙන ආ හැකි වූයේ ආහාර ඉතා අල්ප වූ ප‍්‍රමානයකි. 1941 දෙසැම්බරයේ දී පමනක් 50,000ක් දෙනා කුසගින්නෙන් මිය ගියෝය.

වසන්තයේ උදාවත් සමග දිය මිදී ගිය පයිප්ප පුපුරා ගිය තැන්වලින් ජලය ගලා විත් බිම්මහල් දියෙන් යට වන්නට විය. දුබලව සිටි භාරකරුවන්ට දියෙහි බැස සිටිමින්, පාවෙමින් තිබූ මේසන් පෝසිලේන් කොටස් සෙවීමට සිදු විය. වැටලීම තවත් දෙවසරක් පැවැත්තේ ය. බෝම්බ දැමීම් දිගටම සිදු වෙද්දී, අලවංගු භාවිතා කරමින් විචිත‍්‍ර වීදුරු හා ලෑලි පොලොවෙන් අයිස් හා හිම සමග මුසු වූ වීදුරු කැබැලි ඉවත් කල කාර්ය මන්ඩලය 1943 දී පමනක්, ටොන් 80ක ද්‍රව්‍ය සිය කායික ශ‍්‍රමය යොදා ඉවත් කලෝය. හර්මිටේජය මත අවසාන බෝම්බය පතිත වූයේ වැටලීම බිඳ හෙලා ලෙනින්ග‍්‍රාඩය මුදා ගැනීමට යන්තම් දින 25කට පෙර ය.

එස්එස් පාදඩ රැල හමුවේ මෙම කලා කෘති අනාගතය වෙනුවෙන් සංරක්ෂනය කර ගැනීමට සිය මුලු ශක්තිය කැප කල, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ සිට ජර්මනිය දක්වාම වූ, ගනන් නැති දහස් සංඛ්‍යාත පිරිසකගේ වීරෝදාර අධිෂ්ඨානය පිලිබඳව යමෙකුට අකම්පිතව හිඳිනු නොහැකි වනු ඇත. මෙම ගැඹුරින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූ සංවේදිතාව, බොහෝ අවස්ථාවන්හි දී උත්තර මානුෂික ප‍්‍රයත්නයක් බවට පත් වූ දෙයට ප‍්‍රානය ලබා දුන්නේය. වැඩිදුරටත් The Rape of Europa කෘතිය, ස්මාරක ලලිත කලා හා සංරක්ෂනාගාර වැඩපිලිවෙල යටතේ, කලා කෘති සුරක්ෂිත කිරීමේ හා හැකි අවස්ථාවන්හි දී ඒවා පෙරලා ඒවා අයත් රටවලට යැවීමේ කර්තව්‍යය සඳහා කි‍්‍රයාත්මක වූ එක්සත් ජනපද හමුදාවේ කුඩා කේඩර කන්ඩායමක් වූ "ස්මාරකකරුවන්”ගේ කාර්යභාරය පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු සපයයි. එය තවත් බලවත් හා චිත්තාකර්ෂනීය වෘත්තාන්තයකි.

කෘතිය මත පදනම් වූ චිත‍්‍රපටය නිමාවන්නේ, ටෝරා ශුද්ධ ලියැවිලි (යුදෙව් ආගමික ලියැවිලි) ඒවා පැහැර ගැනුනු පරිෂදවලට ආපසු භාරදීමේ කාර්යයට සම්බන්ධ වූ ජර්මානු පර්යේෂක රොල්ෆ් රොස්මේස්ල්ගේ කටයුතු පිලිබඳව දක්වමිනි. සිය කාර්යය සඳහා තමා අභිපේ‍්‍රරනය ලැබුවේ කුමකින්දැයි ඔහු පේ‍්‍රක්ෂකාගාරය අමතා ඉතා උද්වේගී ආකාරයකින් මෙසේ කියයි: "කලාව මනුෂ්‍යත්වයට අයත් වූවකි. ඉන් තොරව, අපි හුදු තිරිසන් සතුන් වෙමු. අප මනුෂ්‍යයන් බවට පත් කොට ඇත්තේ එයයි.”

Share this article: