ශ්‍රී ලංකාවේ අගවිනිසුරු කොලඹ නිවැසියන් ඉවත් කිරීමට පිටුබලය දෙයි

Sri Lankan chief justice backs Colombo evictions

විලානි පීරිස් විසිනි, 2013 ඔක්තෝබර් 05

අගවිනිසුරු මොහාන් පීරිස් සැප්තැම්බර් 28දා මෙසේ පැවසීය. “කොලඹ දැන් සිදුකෙරෙමින් තිබෙන සංවර්ධන කටයුතු වලට කිසිවෙකුත් බාධා නොකල යුතුය.” නගරය තුල නිවැසියන් තොග පිටින් ඉවත් කිරීමට අදාල පෙත්සම විභාග කල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ලේ සභාපති ඔහු විය.

වසර අග වන විට සිය නිවාස හා ව්‍යාපාරික ස්ථාන වලින් ඉවත් වන ලෙසට නාගරික සංවර්ධන අධිකාරිය (නාසංඅ) විසින් දී තිබුනු නියෝගයකට එරෙහිව කොම්පඤ්ඤ වීදියේ නිවැසියන් පිරිසක් පෙත්සම ගොනුකර තිබුනි. ඉන්දියාවේ නිවාස සංවර්ධන කටයුතුවල නියුතු ටාටා සමාගම විසින් භාරගෙන තිබෙන ව්‍යාපෘතියක් සඳහා ඉඩම් හෙක්ටෙයාර් 2.4ක් හෙලි පෙහෙලි කිරීම පිනිස පවුල් 456ක් හා කුඩා ව්‍යාපාර 90ක් පමන ඉවත් කෙරෙමින් තිබේ. කොලඹ නගරයෙන් පවුල් 70,000ක් ඉවත්කර එවුන්ගේ ඉඩම් දේශීය හා විදේශීය ආයෝජකයින්ට පැවරීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවෙහි සැලසුම් වලට පීරිස්ගේ ප්‍රකාශය පැහැදිලිවම සහාය පලකර තිබේ.

ආන්ඩුවේ බලහත්කාරී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී නෙරපා හැරීම් වලින් නීතිමය ආරක්ෂාව පැතීමට උත්සාහ කරන අයගේ ව්‍යවස්ථාමය අයිතිය ඔහුගේ ප්‍රකාශය මගින් නිසැකවම උල්ලංඝනය කෙරේ. වඩාත් පුලුල්ව එය අවධාරනය කරන්නේ, ආයෝජකයින්ගේ ලාභාවශ්‍යතා වෙනුවෙන් මෙම පවුල්, නිවසක් සඳහා තමන් සතු මූලික අයිතිය අත්හල යුතු බවයි. පීරිස් විසින් කොලඹ දුගී නිවහන් ප්‍රදේශ "නීතිවිරෝධී කටයුතුවල උත්පත්ති ස්ථාන” ලෙස හංවඩු ගැසීය. යෝග්‍ය නිවාස පහසුකම් නොමැති බැවින් නිවැසියන් අපරාධ වලට පෙලඹෙන බව කියා සිටි ඔහු, ඔවුන්ට සුදුසු වාසස්ථාන සපයා දීමෙන් එවන් කටයුතු වලට නැඹුරුවීමේ ප්‍රවනතාවය නතර කල හැකි යයි කියා සිටියේය.

පදිංචිකරුවන් ඉවත් කිරීම යුක්තිසහගත කරන රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රචාරනය අගවිනිසුරුගේ ප්‍රකාශය තුලින් රැව් දෙයි. යථාර්තය නම්, කොලඹ හා තවත් නගර ගනනාවක සිදුකරන ආන්ඩුවේ "සංවර්ධන ව්‍යාපෘතීන්හි” අරමුන මහා ව්‍යාපාරිකයින්ට හා දේපල වෙලෙන්දන්ට ඉඩම් හා වෙනත් පහසුකම් සපයා දීමය යන්නයි.

මෙරට අධිකරනය එන්ට එන්ටම දේශපාලනීකරනය වෙමින් තිබේ. පීරිස් අගවිනිසුරු තනතුරට පත් කලේ මේ වසර මුලය. ආන්ඩුව පලාත් සභා වෙතින් ආර්ථික බලතල පැහැර ගැනීම ව්‍යවස්ථා විරෝධී බවට දුන් තීන්දුවක් නිසා ඔහුගේ පූර්වගාමී ශිරානි බන්ඩාරනායකට එරෙහිව ගොතන ලද චෝදනා මත දෝෂාභියෝගයක් ගෙනැවිත් තනතුරෙන් ඉවත් කරන ලදී.

ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරනය යන ත්‍රිත්ව රාජ්‍ය ආයතන "සංවර්ධනය” සඳහා එක්ව කටයුතු කල බව රාජපක්ෂ නැවත නැවතත් කියා ඇත. මෙය වනාහි "සංවර්ධනයේ” නාමයෙන් ඒකාධිපති පාලනයක් සඳහා කරන හඬගෑමක් මිස අන් කිසිවක් නො වේ. ආන්ඩුව සැලසුම් කරන්නේ, කොලඹ "දකුනු ආසියාවේ වානිජ්‍ය මධ්‍යස්ථානය” බවට පත්කිරීමට ය. නිවැසියන්ගේ ප්‍රතිරෝධය මැඩීම පිනිස රාජපක්ෂ, නාසංඅ, සිය සොහොයුරෙක් වන ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වය දරන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කලේය.

ලෝක බැංකුවේ ද පිටුබලය ඇතිව ආන්ඩුවේ ආයෝජන මන්ඩලය, ආයෝජකයින් සමග ගිවිසුම් ගනනාවකටම අත්සන් තබා ඇත. ටාටා සමාගමට මෙන්ම කොම්පඤ්ඤ වීදියේ හෙක්ටෙයාර් 1.4ක භූමිභාගයක් සංවර්ධනය කිරීම ඉම්පීරියල් බිල්ඩර්ස් නම් පකිස්ථාන සමාගමකට පවරා ඇත. කොටස් වශයෙන් ඉවත් කිරීම දැනටමත් සිදුවෙමින් තිබේ. ඉතිරි පවුල් ද ඉවත් කරන බවට නාසංඅ සමාගමට දුන් පොරොන්දුව පරිදි එය ක්‍රියාත්මක වෙයි. චීනයේ ඇවික් ජාත්‍යන්තර සංස්ථාව ද ඩොලර් මිලියන 300ක් වටිනා ව්‍යාපෘතියක් පිලිබඳව නිවේදනය කර ඇත.

හමුදාවේ ද සහාය ඇතිව නාසංඅ 2010 වසරේ සිට කොලඹ නගරයේ කොම්පඤ්ඤ වීදිය, දෙමටගොඩ, ඇපල් වත්ත හා ඉබ්බා වත්ත යන තැන්වල ද දඹුල්ල නගරයේ ද පැල්පත් සියගනනක් විනාශකර තිබේ. නිවැසියන් බොහොමයකට ස්ථාවර නිවාස සපයා දී නැත. ඒ වෙනුවට කොලඹට යාබද තොටලඟ පිහිටි නාගලගම් වීදියේ කඳවුර තුල කිසිදු මූලික පහසුකමක් නොමැති ලී මඩුවල ජීවත් වීමට ඔවුන්ට බලකෙරී ඇත. තවත් සමහර පවුල් වැලිගොඩවත්තේ එවැනිම මඩුවල පදිංචිකර ඇත.

කොම්පඤ්ඤ වීදියේ නිවැසියන් වෙනුවෙන් නීතිඥයෙකු හා විපක්ෂයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පෙනී සිටි අතර නඩුවෙන් අපේක්ෂා කලේ නෙරපා හැරීම් අත්හිටුවීම නොව වන්දිය වැඩිකර ගැනීම ය. සැප්තැම්බර් 28 විභාගයෙන් පසුව ඔහු සිරස රූපවාහිනී නාලිකාවට පැවසුවේ ඉඩම් වලින් සියයට 80-90 අතර ප්‍රමානයක් නිවැසියන් සතුවන බවයි. "මේවා ආන්ඩුවට අයිති නැත. මේවා පෞද්ගලික ඉඩම්ය”

"කොම්පඤ්ඤ වීදියේම අක්කර හතක බිම් කොටසක ඉදිකෙරෙමින් තිබෙන ගොඩනැගිල්ලක නිවාස පහසුකම් සැපයීමට අධිකරනය තීරනය කර ඇත. මෙම ගොඩනැගිල්ල ඉදිවනතෙක් එම පුද්ගලයින්ට කුලියක් ලැබෙනු ඇත.” සේනසිංහ පැවසී ය. කෙසේ වෙතත් පසුගිය වාර්තාව පෙන්නුම් කරන්නේ, නෙරපාහල නිවැසියන් කොම්පඤ්ඤ වීදියේම පදිංචි කරන බවට කිසිදු සහතිකයක් ඇත්තේ නැති බවයි.

දැන් නිවැසියන්ගේ විරෝධය ගසාකෑමට උත්සාහ කල ද එජාපය, ඉවත් කිරීමට විරුද්ධ නැත. කොලඹ පැල්පත් ඉවත්කොට නගරය වානිජ්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පලමු වරට ඉදිරිපත් වූයේ, 1980 ගනන්වල පැවති එජාප ආන්ඩුව යටතේ ය. සමහර පැල්පත් විනාශ කර ආන්ඩුවේ කාර්යාල ද නගරයෙන් පිටතට ගෙනයන ලදී.

ලෝසවෙඅට කථාකරමින් කොම්පඤ්ඤ වීදියේ නිවැසියෙක් පැවසුවේ, "තම පාරම්පරික ඉඩම් වලින් මිනිසුන් නෙරපා හරින මෙම සංවර්ධනයේ අර්ථය කුමක් ද? අපට අවශ්‍ය නිදහසේ ජීවත්විය හැකි නිවාස පහසුකම්ය. මනා නිවාස නොමැතිව මෙතැනින් ඉවත් නොවීමට ගත් තීරනයේ අපි දිගටම ඉන්නවා.”

උපන්දා පටන් ප්‍රදේශයේ ජීවත්වන 85 හැවිරිදි නිවැසියෙක් මෙසේ පැවසීය. "පර්චසයක් (වර්ග මීටර් 25ක්) සඳහා රුපියල් ලක්ෂ 43ක් (ඇඩො 33,000ක්) ගෙවන බවට මුලින් ආන්ඩුව පොරොන්දු වුනා. ඉන් පසුව ආන්ඩුව, එය රුපියල් ලක්ෂ 15ක් දක්වා අඩු කලා. අපි එයට විරුද්ධ වුන විට සුජීව (සේනසිංහ) මන්ත්‍රී එය අධිකරනයේදී තීන්දු කරගමු යයි යෝජනා කලා. මෙම නඩුව අපි ඉවත්විය යුතු ද නැද් ද යන්න තීරනය කරන්නක් නෙවේ. නිසැකවම අපිට යන්ට වෙනවා. අධිකරනය තීන්දු කරනවා ඇත්තේ වන්දිය කීයක් ගෙවිය යුතු ද යන්න විතරයි.”

ආන්ඩුව තමන්ට නිවාස සපයා දෙනු ඇති බවට පැල්පත්වල ජීවත්වන කිසිදු කම්කරුවෙකුට හෝ පීඩිතයෙකුට මිත්‍යාවක් ඇත්තේ නැත. ආන්ඩුව පවුල් කීප සීයකට තට්ටු ගෙවල් සාදා තිබේ. එහෙත් නගරයේ දස දහස් ගනනක් පවුල් පදිංචි කිරීමේ කිසිදු සැලසුමක් ඇත්තේ නැත.

ඒ අතරවාරයේ රාජපක්ෂ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන කප්පාදු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටියි. යථාර්තය නම්, ව්‍යාපාරික පැලැන්තියට, ඉහල මධ්‍යම පන්තියට හා විදේශගත ධනවත් අය සඳහා ආන්ඩුව වෙලඳ සංකීර්න, සතුටු උයන්, ඇවිදීමේ තීරු හා තට්ටු නිවාස සංකීර්න ඉදිකරන අතර දුගී ජනතාව එදිනෙදා පැවැත්ම ගැටගසා ගන්නා අරගලයක නිරතව සිටින බවයි.

දුගීන් හා වැඩකරන ජනතාවගේ මූලික නීතිමය හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කෙරෙහි රටේ ඉහලම විනිසුරුවරයා පල කරන සතුරුකම, වැඩෙන සමාජ නොසංසුන්තාව මැඩීම් පිනිස වර්ධනය කරන ආඥාදායක ක්‍රමෝපායන් පිලිබඳ තවත් ඇඟවුමකි.

Share this article: