කොලඹ දුගීන්ගේ නිවාස අයිතිය රැකදීමට කම්කරු පන්තිය මූලිකත්වය ගත යුතු යි

විලානි පීරිස් විසිනි, 2013 ඔක්තෝබර් 21

රාජපක්ෂ ආන්ඩුව කොලඹ දුගීන්ගේ නිවාස ඉවත් කිරීම කම්කරු පන්තියට එරෙහි එල්ල කරන පලල් ප‍්‍රහාරයක කොටසකි.

ඔක්තෝබර් 13 දින ස්වාධීන රූපවාහිනී නාලිකාව ප‍්‍රවෘති විකාශයක දී කොලඹ දෙමටගොඩ සාදා ඇති නව මහල් නිවාස සංකීර්නය නගරයේ නිවාස අහිමි කෙරුනු පිරිසකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පවරා දෙනු ලබන බව වාර්තා කෙරුනි. මෙතෙක් කොලඹ විවිධ ප‍්‍රදේශ වල නිවාසවලින් පලවා හරින ලද්දා වූත් වහා ඉවත් වන ලෙසට නියෝග ලැබුනා වූත් දහස් ගනනක් සිටින තතු තුල දෙමටගොඩ තනා ඇති නිවාස ඒකක 500 එම නිවැසියන්ගෙන් කොටසකට පමනක් පවරමින් ඔවුන් භේද කර තම උන්හිටි තැන් අහිමි කිරීමට ගොදුරු කෙරෙන ජනයා අතරින් පැන නැගිය හැකි ඒකාබද්ධ විරෝධයක් නතර කිරීමට ආන්ඩුව ප‍්‍රයත්න දරයි.

ආන්ඩුව වහා ඉවත්වෙන ලෙසට දන්වා ඇති දෙමටගොඩ ආරාමය පාරේ නිවාස 365 ක නිවැසියන් හට ද, ඉවත්විය යුතු බවට දැනුම් දී ඇති දෙමටගොඩ දුම්රිය නිල නිවාස 400ක පමන කම්කරු පවුල්වලට ද පොරොන්දු දී ඇත්තේ දෙමටගොඩ දැනට සාදා නිම කර ඇති මහල් නිවාස ලබා දෙන බව ය. මෙම නිවාස ලැබෙන්නේ ඉන් කොටසකට පමනක් බව ඉතා හොඳින් පැහැදිලි ය.

කොම්පඤ්ඤවීදියෙන් 2009 දී බලහත්කාරයෙන් පලවාහැර කොලඹ, තොටලඟ, වැලි ගොඩදාන වත්ත නම් වගුරු බිමක කිසිදු පහසුකමකින් තොරව කුඩා පේලි නිවාසයන්හි පදිංචි කල නිවැසියන් පසුගිය සතියේ දී දෙමටගොඩ දුම්රිය ස්ථානය ඉදිරිපිට නිවාස ඉල්ලා උද්ඝෝෂනයක යෙදීම ආන්ඩුවේ ප්‍රෝඩාව තවදුරටත් පැහැදිලි කරයි.

එම නිවැසියෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට මෙසේ ප‍්‍රකාශ කලේය: "අපිව මෙතනට බලහත්කාරයෙන් එව්වේ 2009. අපිත් එක්ක පලවා හැරි පවුල් 75කට තාමත් නිවාස ලැබිල නැහැ. ආන්ඩුව අපිට බොරු කිව්වා, දැන් දෙමටගොඩ සාදා නිමකර ඇති නිවාස දෙන බවට. දැන් දැනගන්න ලැබුනා ඒවා නිවාස අහිමි කල වෙනත් අයට දෙන බව. මේක නිවාස ලබා දීමක් නෙවෙයි. එකිනෙකා කෙටවීමක්.”

දෙමටගොඩ දුම්රිය කම්කරුවන්ගේ නිවාස මේ වන විට නාගරික සංවර්ධන අධිකාරියට (නාසංඅ) පවරා ගෙන ඇත. එසේ පවරා ගනිමින් පවුල් 400කට පමන දන්වා අත්තේ නිල නිවාස වලින් ඉවත්විය යුතු බවයි. මෙම කම්කරුවෝ කිලෝ මීටරයක් පමන දුරින් පිහිටි දුම්රියපොල වෙත පෙලපාලියකින් ගමන් කර නිවාස ලබාදෙන ලෙස උද්ඝෝෂනය කලහ. ආන්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල පැමින ගොඩනගා අවසාන දෙමටගොඩ මහල් නිවාස ඔවුනට ද ලබාදෙන බවට පොරොන්දු වී ඇත.

දෙමටගොඩ ආරාමය පාරේ නිවාස 365ක නිවැසියන්ට ඉවත්වන ලෙසට දනුම් දී ඇත්තේ ද ඉහත කී මහල් නිවාස ලබාදීමට පොරොන්දු වෙමිනි. ඔවුන්ගෙන් බොහෝ නිවැසියන්ට තම ඉඩම් සඳහා ලියකියවිලි ද ඇත. මීට අමතරව කොම්පඤ්ඤවීදියෙන් 2010දී මාසික කුලී මුදලක් ගෙවා පිටමං කල නිවැසියන්ට ද දන්වා ඇත්තේ දෙමටගොඩ මහල් නිවාසයන් ලබා දෙන බවයි. ලොසවෙඅට ඔවුන් කියා සිටියේ නිවාස ලබා ගැනීම සඳහා උද්ඝෝෂනයක් සංවිධානය කරන බවය.

කඩාදමන නිවාසයන් වෙනුවට නොමිලේ නව නිවසක් සම්පාදනය කරන බවට ආන්ඩුව කරන ප‍්‍රකාශ ද ප්‍රෝඩාකාරී ය. දෙමටගොඩ මහල් නිවාස ලබා ගැනීමට නම්, රුපියල් ලක්ෂයක මුදලක් පලමුව ගෙවිය යුතු අතර මාසිකව රු. 4,000 කුලියක් ගෙවිය යුතු ය. ඊට අමතරව වතුර බිල් හා විදුලි බිල් ගෙවිය යුතු අතර කෑම පිසීම සඳහා යොදා ගත හැක්කේ ගෑස් උදුන් පමනකි. මෙවැනි අධික වියදමක් දැරිය නොහැකි බව නිවැසියෝ පවසති.

ස්වාධීන රූපවාහිනිය තවදුරටත් කියා සිටියේ මෙවා ගොඩනැගෙන්නේ නගර සංවර්ධනය සඳහා පලාත් වාසීන්ගේ කැමැත්ත ඇතිව බව ය. මෙය තවත් බොරුවකි. මෙතෙක් නිවාස බුල්ඩෝසර් කරන ලද්දේ හමුදාව ආයුධ සන්නද්ධව මෙහෙයවා ජනතාව බලහත්කාරයෙන් පලවා හරිමිනි.

නගර සංවර්ධනය සඳහා යයි පවසමින් ආන්ඩුව ගෙනයන වැඩ පිලිවෙලේ අරමුන වන්නේ කොලඹ නගරය ආසියාකරයේ ප‍්‍රධාන වෙලඳ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම ය. ඒ සඳහා පැල්පත් හා අඩු ආදායම්ලාභී පවුල් ඔවුනගේ නිවාසයන්ගෙන් ඉවත් කරමින් එම බිම් විදේශීය හා ශ‍්‍රී ලංකාවේ ආයෝජකයන්ට දීර්ඝ කාලයකට එනම් වසර 99කට බදුදීම ආන්ඩුව විසින් ආරම්භ කර ඇත. දැනටමත් කොම්පඤ්ඤවීදියේ අක්කර 8ක් ඉන්දියාවේ ටාටා නිවාස සංවර්ධන සමාගමට ද අක්කර 5ක් පකිස්තාන් සමගමකට ද, ගෝල්ෆේස් පිට්ටනිය ඉදිරි පිට තවත් අක්කර 5ක් ෂැරටන් සුපිරි හෝටලය සෑදීම සඳහා ද පවරා ඇත. කොම්පඤ්ඤවීදියේ තවත් නිවාස ඉවත් කරමින් බැස්ටියන් ව්‍යාපෘතිය නමින් බේරෙ වැවේ පාවෙන වෙලඳ සැලක් විදේශීය සංචාරකයන් අද්දා ගැනීම සඳහා නාසඅ විසින් ඉදි කෙරෙන බව ප‍්‍රකාශ වී ඇත. ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රකෝටිපතියකු වන ජේම්ස් පැකර් අවුරුදු 10ක පූර්න බදු සහන ඇතිව කොලඹ නගරය මධ්‍යයේ කැසිනෝ සූදුපොලක් ඇතුලු හෝටල් සහ සාප්පු සංකීර්නයක් ඉදි කිරීමට නියමිත ය.

කොලඹ නගරය වානිජ පුරවරයක් කරන ගමන් ම රටේ තවත් ප‍්‍රධාන නගර ගනනාවක් ම වානිජ නගර බවට පත් කර දේශීය හා විදේශීය ආයෝජකයින්ට විවෘත කර දීම ආන්ඩුවේ ප‍්‍රතිපත්තිවලට ඇතුලත් ය. නාගරික සංවර්ධන අධිකාරිය කොලඹ හැර දැනට ව්‍යාපෘති 5ක් නම් කර ඇත. එනම්, හම්බන්තොට, කුරුනෑගල, දඹුල්ල, අනුරාධපුරය, නුවර-එලිය යන ව්‍යාපෘති ය. දැනටමත් දඹුල්ල ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර සිය ගනනක් නිවැසියන් කිසිදු නිවසක් ලබා නොදෙමින් පමනක් නොව නිවසක් ලබාදීමේ පොරොන්දුවක් හෝ නොමැතිව හමුදාව යොදවා පලවා හැර ඇත.

මෙම ඊනියා සංවර්ධන වැඩ පිලිවෙල ලෝක බැංකුවේ යෝජනාවකි. ලංකාවට පමනක් නොව මෙම කලාපයේ අනෙකුත් රටවලට සංවර්ධනය මුවාවෙන් වෙලඳ නගර ගොඩ නගමින් දුගීන් නගර තුලින් පලවා හැරීමේ හා අයෝජකයන් කැඳවීමේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට දමන ලෙසට ලෝක බැංකුව නිර්දේශ කර ඇත.

ගිය අවුරුද්දේ අපේ‍්‍රල් මාසයේ ඉන්ටර් ප්‍රෙස් සර්විස් (අයිපීඑස්) වෙබ් අඩවිය ලෝක බැංකුවේ හා ලංකාවේ ඉහල නිලධාරින් නිවාස ප‍්‍රශ්නය පිලිබඳව දැක්වූ අදහස් වාර්තා කර තිබුනි.

ලෝක බැංකුවේ දකුනු ආසියානු නාගරික ජල සහ ආපදා කලමනාකරන අංශයේ කලමනාකරු වන මින්ග් ශාන් ප‍්‍රකාශ කලේ කලාපය තුල නාගරික ප‍්‍රදේශවල සියයට 25ක් ම "අනවසර ජනගහනයක්”ලෙස හෙවත් මුඩුක්කුවල ජීවත් වන බවට වර්ගීකරනය කර ඇති බවයි.

ලෝක බැංකුවේ නාගරික සැලසුම් අංශ භාර කලමනාකරු වූ අභා ජෝෂි-ඝානි සඳහන් කලේ "මහා නාගරික සැලසුමක්” ඇත්නම් ගැටලුවෙන් ලොකු පංගුවක් ම විසඳාගත හැකි බවකි.

ලෝක බැංකු සාකච්ඡාවල දී ලංකාවේ නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ "ජල ගැලීම්වලට ප‍්‍රධාන හේතුව නම් ජලය තැන්පත් වන ප‍්‍රදේශවල, ඇල මාර්ග සහ කාල ගුන වෙනස්කම්වලට ඔරොත්තු නොදෙන තැන්වල හා ඒවා අසල නිවාස තැනීම බවයි.”

එලෙස, දුගී ජනයාගේ නිවාස ඉවත් කිරීමට යොදා ගෙන ඇති එක් අභූත හේතු දැක්වීමක් නම්, ජල ගැලීම් සිදුවන්නේ පැල්පත් නිසාය යන්නයි.

මේ බේගලට එරෙහිව පවතින සත්‍යය නම් කලාපයේ එකදු ආන්ඩුවකට වත් දුගී ජනයාගේ නිවාස ප‍්‍රශ්නය විසඳීමට කිසිදාක නොහැකි වූ බවය. වාර්තාවලට අනුව පැල්පත් ජනගහනය දකුනු ආසියානු කලාපය තුල ඉතා අධික ය. අයිපීඑස් සඳහන් කලේ, බංග්ලාදේශ් අගනුවර වන ධකාහි සියයට 40ක් ම ජීවත් වන්නේ මුඩුක්කුවල බවයි. ඉන්දියාවේ නව දිිල්ලියේ ජනගහනයෙන් හරි අඩක් ද මුම්බායි නගරයේ සියයට 60ක් පමන ඉහල සංඛ්‍යාවක් ද පැල්පත්වල ජීවත් වෙති.

ඔක්තෝබර 10 දින දිනමින පුවත් පතට අනුව කොලඹ සංගනනයකින් පැල්පත් ජනාවාස වල පදිංචි පවුල් 78,812ක් හඳුනා ගෙන තිබේ. "අනවසර පදිංචිකරුවන්” ලෙස හඳුනා ගෙන ඇති මේ පවුල්වලින් 30,000ක් පමන පදිංචිව සිටිනුයේ කිසි සේත්ම පදිංචියට නුසුදුසු හරිහැටි වහලක් පවා නැති පැල්පත්වල බව සංගනනයේ දී හෙලිව ඇත.

ඒ සියල්ලන්ට ම නිවාස දෙන බව ද මේ වසර අවසානයේ 14,000ක් නිවාස ගොඩ නගන බවද ආන්ඩුව පවසයි. නිවාසයන්ගෙන් පලවා හැර ඇති මහජනයා අනේක විධ දුෂ්කරතාවන්ට මුහුන දෙති. වහාම ඉවත් විය යුතු බවට කොලඹ නිවැසියන් දහස් ගනනකට පවසා ඇතත් ඔවුන්ට පැවරීමට නිවාස 78,812ක් කොලඹ ගොඩ නැගීමට කිසිදු සැලස්මක් ආන්ඩුවට නැත.

ආන්ඩුව ක‍්‍රියාත්මක කරන ලෝක බැංකුවේ ප‍්‍රතිපත්තීන්ට හා නිවාස ඉවත් කිරීමට ප‍්‍රධාන ධනපති පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය (එජාප) මුලුමනින්ම පක්ෂපාතී ය. එජාපයේ කොලඹ නගරාධිපති ඒ.ජී.එම්. මුසම්මිල් ප‍්‍රකාශ කරනු ලැබුවේ: "මහ නගර සභාව, කොලඹ සංවර්ධනය කිරීමට ද එම ප‍්‍රයත්නය මගින් මුලූ රටම පරිවර්තනය කිරීමට ද ආන්ඩුව සමග සමීප සහයෝගිතාවයකින් කි‍්‍රයා කරන බවයි.”

එජාපය නිවාස ඉවත් කෙරෙන ඇතැම් වතු වල ව්‍යාජ විරුද්ධත්වයන් දක්වන්නේ ජනයා නොමග යැවීමට හා ආන්ඩුව කෙරේ මහජන කෝපය ඡන්ද ගරා ගැනීමට ගසා කෑම සඳහා ය. කොලඹ පැල්පත් ඉවත් කිරීමේ හා දුගී නිවැසියන් නගරයෙන් පලවා හැරීමේ වැඩ පිලිවෙල මුලින්ම ඇරඹුවේ කලින් පැවති එජාප ආන්ඩුව යි.

ව්‍යාජ වම්මුන්ගේ නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය එජාපය සමග පෙල ගැසී සිටින තතු තුල කොලඹ පැල්පත් ඉවත් කිරීම පිලිබඳව නිශ්ශබ්ධව සිටිමින් පක්ෂපාතීත්වය ප‍්‍රකාශ කරයි. ලංකාව තුල දැන් සිදුවිය යුත්තේ ධනේශ්වර සංවර්ධනය බව ප‍්‍රකාශ කරමින් එජාපයට මුක්කුව දෙන නසසප කොලඹ දුගී නිවාස ඉවත් කිරීමට විරුද්ධ නැත.

විපක්ෂයේ සිටින ජනතා විමුක්ති පෙරමුන ද නිහඬව සිටිමින් ආන්ඩුවේ වැඩ පිලිවෙලට පක්ෂපාතිත්වය දක්වයි.

ධනේශ්වර අධිකරනය නීති විරෝධී හා අසාධාරන ලෙස දුගීන්ගේ නිවාස අහිමි කිරීමට පක්ෂපාතීව සිටියි. නිවාසවලින් ඉවත් කිරීමට එරෙහිව සාධාරන විසඳුමක් ඉල්ලා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කල කොලඹ කොම්පඤ්ඤවීදියේ නිවැසියන් පිරිසකට අග‍්‍ර විනිශ්චයකාර වරයා අනතුරු අඟවමින් ප‍්‍රකාශ කලේ ආන්ඩුවේ සංවර්ධන වැඩපිලිවෙලට බාධා නොකරන ලෙස යි.

2008 වසරේ ඇමරිකාවේ මූල්‍ය ආයතන බිඳ වැටීමකින් ප‍්‍රකාශයට පත් වී උග‍්‍ර වන ලෝක ධනපති අර්බුදයේ කොටසක් ලෙස ලංකාවේ ධනපති ක‍්‍රමයේ ද ආන්ඩුවේ ද අර්බුදය තියුනු වී ඇත. මෙම තතු තුල රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාත්මක වන්නේ අර්බුදයෙන් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය සඳහා ලාභ ශ‍්‍රමය හා සම්පත් සපයා දෙමින් අර්බුදයේ බර වැඩ කරන ජනයා මත පැටවීමට ය. කොලඹ දුගී ජනයා ඉවත් කර භූමිය නිදහස් කර ආයෝජකයන්ට පැවරීමට ආන්ඩුව ගෙන යන වැඩපිලිවෙල, වැඩ කරන ජනයාගේ සුබ සාධන සේවා, අධ්‍යාපනය, සෞඛ්‍ය, වැටුප් හා රැකියාවලට පහර දෙමින් ගෙන යන පුලුල් වැඩ සටහනක කොටසකි.

බදු සහන පුදමින් හා ආයෝජකයන්ට පොදු කාර්ය ව්‍යූහය ගොඩ නැගීමට බිලියන ගනන් වැය කරන ආන්ඩුව, දුගී ජනයාගේ නිවාස තැනීමට එලෙස මුදල් වැය කිරීමට සූදානම් නැත.

වැඩ කරන ජනයාගේ අනෙකුත් අයිතීන් මෙන් ම නිවාස අයිතිය ලබා දිය හැක්කේ විදේශීය හා දේශීය ධනපතියන්ගේ උවමනාකම් ඉටු කිරීමට නො ව මහජනයාගේ උවමනාකම් රැකීමට කැපවූ වැඩපිලිවෙලක්, එනම්, සමාජවාදී වැඩපිලිවෙලක්, කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි. මේ අරගලය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසකි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම වැඩ පිලිවෙල ඉදිරිපත් කරයි.

කොලඹ නිවහන් පෙදෙස්වල කම්කරුවන් ද තරුනයන් ද සහභාගී කර ගත් කි‍්‍රයාකාරී කමිටු ගොඩ නගමින් දුගීන්ගේ නිවාස අයිතිය රැක ගැනීමේ හා ලබා ගැනීමේ වැඩපිලිවෙලකට මුල පුරන ලෙස සසප ඉල්ලා සිටී. එමගින් දුගී නිවැසියන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස ද සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

Share this article: