එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් පැවැත්වීමට තර්ජනය කරයි

UNHRC threatens international probe of Sri Lankan war crimes

කේ. රත්නායක විසිනි, 2013 සැප්තැම්බර් 30

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදම් පිල්ලේ, එල්ටීටීඊයට විරුද්ධව ගෙන ගිය යුද්ධය අවධියේ සිදුකල මානව අයිතිවාසිකම් කඩකිරීම් පිලිබඳව ආන්ඩුව "පෘථුල පියවර” නොගතහොත්, ජාත්‍යන්තර පරීක්ෂනයකට මුහුන දීමට සිදුවිය හැකි බවට පසුගිය සතියේ අනතුරු ඇඟවූවා ය.

රටවල් ගනනාවක මානව අයිතීන් විමර්ෂනය කල, මානව හිමිකම් කොමිසමට සැප්තැම්බර් 25දා ඉදිරිපත්කල වාචික වාර්තාවක දී පිල්ලේ මෙසේ අනතුරු ඇඟවූවා ය. මාර්තුවේ දී කොමිසම එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් සම්මත කල යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ආන්ඩුව ගෙන ඇති පියවර තක්සේරු කිරීමට පිල්ලේ පසුගිය අගෝස්තුවේ දී ලංකාවේ සංචාරය කලා ය. එල්ටීටීඊයට එරෙහිව 2009 වසරේදී ගෙන ගිය මිලිටරි මෙහෙයුමේ අවසන් අදියරේ දී කරන ලද යුද අපරාධ වසං කිරීම පිනිස ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කල උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ සීමිත යෝජනා ක්‍රියාත්මක කරන ලෙස එම යෝජනාවෙන් ඉල්ලා තිබුනි.

“ස්වාධීනව හා විශ්වාසනීය ලෙස (යුද අපරාධ) චෝදනා විභාග කිරීමට (ආන්ඩුව) කිසිදු නව හෝ පෘථුල උත්සාහයක්” දරා නැතැයි පිල්ලේ කොමිසම හමුවේ පැවසුවා ය. "පුද්ගල අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකැර ගැනීම ද ඇතුලු සාධනීය ප්‍රතිපල ගෙන දෙන විශ්වාසනීය ජාතික ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස” ඇය ආන්ඩුවෙන් ඉල්ලා සිටියා ය. මෙය 2016 මාර්තු වන විට සිදු නොවුනහොත්, “ජාත්‍යන්තර ප්‍රජාවට තමන්ගේ ම පරීක්ෂන වැඩසටහනක් පිහිටුවීමේ වගකීම පැවරෙනු ඇතැයි” ද ඇය පැවසුවා ය.

එල්ටීටීඊයට එරෙහි අවසන් ප්‍රහාරය අවධියේ අඩුම තරමින් පුද්ගලයින් 40,000ක් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ කොමිසමත් ගනන් බලා තිබුනි. විවිධ පැරා මිලිටරි කන්ඩායම් සමග එක්ව පැහැර ගැනීම් හා අතුරුදහන් කිරීම් ද ඇතුලු වෙනත් අපරාධ සම්බන්ධයෙන් ද ආරක්ෂක හමුදාවන්ට චෝදනා එල්ල වී තිබේ. මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීම්, සිවිල් පරිපාලනයට හා ආර්ථික කටයුතු වලට වඩ වඩාත් ආරක්ෂක හමුදාවල මැදිහත්වීම, කාන්තාවන්ට හා ගැහැනු ලමුන්ට ලිංගික අතවර කිරීම, නිදහස් කල දේශපාලන සිරකරුවන් ආවේක්ෂනයට ලක් කිරීම, උතුරේ දැවැන්ත මිලිටරි බලයක් යොදවා තිබීම ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි අනෙකුත් ප්‍රහාරයන් ගැන ද පිල්ලේ සඳහන් කර තිබේ.

2009 යුද අපරාධ පරික්ෂන සඳහා දින නියම කිරීමට පිල්ලේට බලයක් නොමැති බව පවසමින් ආන්ඩුවේ නියෝජිත කන්ඩායම මානව හිමිකම් කොමිසමේ වාර්තාව වහාම ප්‍රතික්ෂේප කලහ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් චෝදනා දිගටම ප්‍රතික්ෂේප කරන ආන්ඩුව කියා සිටින්නේ, එල්ටීටීඊයට එරෙහි අවසන් ප්‍රහාරයේදී මිලිටරිය යෙදී සිටියේ “මානවවාදී මෙහෙයුමක” බවයි.

“වගකීමට බැඳීම පිලබඳ අර්ථවත් ප්‍රගතියක් නොමැති බවත් ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා කෙරෙන කැඳවුම දිගටම පවතිනු ඇති බවත්” සඳහන් කරමින් මානව හිමිකම් කොමිසමේ එක්සත් ජනපද නියෝජිත එයිලීන් ඩොනහෝ පිල්ලේගේ වාර්තාවට සහාය පල කලා ය. එසේම ඇය, ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් හා ජාත්‍යන්තර මානවවාදී නීතිය උල්ලංඝනය කිරීම පිලිබඳ චෝදනා ගැන ස්වාධීන හා විශ්වාස කටයුතු පරීක්ෂනයක්” පවත්වන ලෙස ද රාජපක්ෂ ආන්ඩුවට කියා සිටියා ය.

මේවා මුලුමනින්ම නරුම ඉල්ලීම්ය. සිය භූදේශපාලන මූලෝපායික අවශ්‍යතා පෙරටුකර ගැනීමේ දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ජාත්‍යන්තර නීතියත් මානව හිමිකමුත් එක දිගටම උල්ලංඝනය කරයි. බෂර් අල් අසාද්ගේ ආන්ඩුව තම පුරවැසියන්ට එරෙහිව රසායනික අවි යොදාගත්තේය යන කඩතුරාව යටතේ සිරියාවට අප්‍රකුපිත දැවැන්ත මිලිටරි ප්‍රහාරයක් එල්ල කිරීමට ඔබාමා පාලනාධිකාරය සූදානම් වූයේ යන්තම් සති තුනකට පෙර ය. සිරියාවේ පාලන තන්ත්‍රය පෙරලා දැමීම අරමුනු කොට ගත් සිය මෙහෙයුම්වල කොටසක් ලෙස වොෂින්ටනය, අල් කයිඩාව ඇතුලු අනෙකුත් ත්‍රස්තවාදී කන්ඩායම් පුහුනු කර සන්නද්ධ කරයි.

පිල්ලේගේ වාර්තාවට සහාය දක්වන එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ට මෙරට ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම හා යුද අපරාධ හෙලි කිරීම පිලිබඳව කිසිදු උනන්දුවක් ඇත්තේ නැත. බීජිනය සමග සම්බන්ධතා ලිහිල් කරන ලෙසට ආන්ඩුව මත දේශපාලන පීඩනය යෙදීමට වොෂින්ටනය උත්සාහ දරයි. මිලිටරිමය වශයෙන් චීනය වැටලීමේ “ආසියාවට හැරීම” යන සිය මූලෝපාය සමග පෙලගැසෙන ලෙස ඔබාමා පාලනය මෙරටට බල කරයි.

රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට වොෂින්ටනය පූර්න පිටුබලය දුන් අතර, එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී ආන්ඩුවේ ප්‍රධාන ‍ආයුධ සැපයුම්කරුවා ලෙස චීනය මතුව ඒම කෙරෙහි එය වඩ වඩාත් කනස්සලු විය. තව ද බීජිනය, මෙරට ප්‍රධාන නය සැපයුම් හා ආයෝජන මූලාශ්‍රය ලෙස පවතියි. රුසියාව සමග එක්ව චීනය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිස‍ම තුල ආන්ඩුවට වැදගත් දේශපාලන සහායක් ද ලබාදෙයි.

ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජනපද යෝජනාවට ඉන්දියාව පිටුබලය දෙන නමුත් පිල්ලේගේ වාර්තාව කෙරෙහි එය එක එල්ලේ ප්‍රතිචාර නො දක්වයි. ඉන්දියාව කියා සිටින්නේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ඉදිරියටත් වැඩ කල යුතු බවය. මෙරට චීනයෙන් දුරස්ත වීම ඉන්දියාවේ අවශ්‍යතාවක් වන නමුත් ඕනෑවට වඩා දේශපාලන පීඩනය යෙදීමෙන් ආන්ඩුව බීජිනයට වඩාත් සමීප වීමේ හැකියාව ගැන ද ප්‍රවේශම් වේ.

පිල්ලේගේ වාර්තාව ඉදිරිපත් කිරීමට දෙදිනකට පෙරාතුව රාජපක්ෂ එක්සත් ජනපද මහා මන්ඩලය අමතා කථාකරමින් කියා සිටියේ, “(මානව අයිතීන් පිලිබඳව) කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්වා ඇති” නමුත් ශ්‍රී ලංකාව “අසමාන ලෙස සැලකීමට” පාත්‍රවී ඇති බවයි.

සමහර රටවල ඒක “පාර්ශවීය කටයුතු” පිලිබඳව ද ඔහු චෝදනා එල්ල කලේ ය. “විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආරක්ෂාව සහතික කිරීමේ බලය දරන තතු තුල සමහර රාජ්‍යයන් පොලිස්කාරකමේ යෙදීම අවශ්‍ය නොවන” බව ඔහු පැවසී ය. විවිධ රටවලට සම්බාධක හා ආර්ථික තහංචි පැනවීම ද “කනස්සල්ට” හේතුවකැයි ඔහු කියා සිටියේ ය.

රාජපක්ෂගේ කථාව මෙරට ජන මාධ්‍යවල උලුප්පා දක්වනු ලැබිනි. අයිලන්ඩ් පත්‍රයේ කතුවැකියක සඳහන් කෙරුනේ, "ලෝක බලවතුන්ගේ බියගැන්වීම්වල අවදානම මධ්‍යයේ පවා එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය තුල සමහර දේශීය සත්‍යයන්” ගෙනහැර දැක්වීම මගින් ජනාධිපති “දිරිමත්කම” පෙන්වා ඇති බවයි.

සමහර රටවල සම්බාධක හා "පොලිස්කාරකම්” පිලිබඳව රාජපක්ෂගේ කනස්සල්ල, ප්‍රධාන බලවතුන්ට කෙරෙන අභියෝගයක් නො වේ. ශ්‍රී ලංකාවට එරෙහි "ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්” පිලිබඳ ඔහුගේ සුපුරුදු හඬගෑම් හා බටහිර විරෝධියෙකු ලෙසට කරන රඟපෑම්, ජනතාවගේ ඇස්වලට වැලිගැසීමේ උත්සාහයන් පමනි. කලින් පැවති ආන්ඩුව මෙන්ම රාජපක්ෂ පාලනය ද එජ යේ ව්‍යාජ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” ද ඇෆ්ගනිස්ථාන හා ඉරාක යුද්ධයන්ට ද පිටුබලය සැපයීය. තමන් එල්ටීටීඊයට එරෙහිව ගෙන ගිය යුද්ධය සඳහා එජ, යුරෝපීය සංඟමයෙන්, ජපානයෙන් හා ඉන්දියාවෙන් සහාය පැතීමේදී ඔහුට කිසිදු ප්‍රශ්නයක් තිබුනේ නැත.

පසුගිය මාසයේදී ජනාධිපතිගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යුද්ධය අවධියේ වොෂින්ටනය ලබාදුන් තීරනාත්මක සහයෝගයේ පැති, ඕස්ට්‍රේලියානු පුවත්පතක් වන ඕස්ට්‍රේලියන් වෙත හෙලිකර තිබුනි. "(එල්ටීටීඊ වෙත) ගෙනආ පාවෙන අවි ගබඩා 12ක් 2006-2008 අතර කාලයේ අපි වනසා දැම්මෙමු. එය කරන්නට පුලුවන් වූයේ කෙසේ ද? ඇමරිකානුන් බෙහෙවින්ම උදව් විය. මෙම නැව් රඳවා තිබෙන තැන් බොහොමයක් ම අපට පෙන්නුම් කලේ ඇමරිකානුන්” යයි ඔහු පැහැදිලි කලේ ය. මෙරට හමුදාව සතුව නොපැවති සමහර ආයුධ ද ඇතුලු එල්ටීටීඊය වෙත අවි ගෙන ආ බව කියන මෙම නැව් පිලිබඳ සැටලයිට් තොරතුරු එක්සත් ජනපද පැසිෆික් මෙහෙයුම් මැදිරි තුලින් සපයන ලදී. ආරක්ෂක ලේකම් පැවසූ පරිදි මෙම අවි විනාශ කිරීම යුද්ධයේ "සන්ධිස්ථානයක්” විය. කිසිදු බාධාවකින් තොරව එක්සත් ජනපද සහචරයන් වන ඊස්රායලය හා පකිස්ථානය මෙරටට ආයුධ සැපයූ බව ද ඔහු පැවසී ය.

ප්‍රධාන බලවතුන් අතර නැ‍ඟෙමින් ඇති ආතතීන් අතර සිරවී සිටින අතර, එක් පසෙකින් එක්සත් ජනපදය හා ඉන්දියාව ද අනෙක් පසෙන් චීනය ද අතර තුලනය වීමේ රාජපක්ෂ ආන්ඩුවේ හැකියාව එන්ට එන්ටම දුෂ්කරවී තිබේ. එක්සත් ජනපදය වෙනුවෙන් ආන්ඩුවට පීඩනය යෙදීමේ, යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක හැකියාව පිලිබඳව පිල්ලේගේ තර්ජනය, මේ තත්වය ඉස්මතු කර දක්වයි.

Share this article: