උද්ඝෝෂනයේ යෙදුනු හම්බන්තොට ධීවරයෝ අත්අඩංගුවට

නන්දන නන්නෙත්ති සහ රත්නසිරි මලලගම විසිනි, 2013 ඔක්තෝබර් 15

ධීවර වරායට රැස්වූ ධීවර පවුල් සමාජිකයන්

රාජ්‍ය දේපලවලට හානි සිදු කලේය යන චෝදනාව මත, ප‍්‍රදේශවාසී ධීවරයන් 14 දෙනෙකු හම්බන්තොට පොලීසිය විසින් පසුගිය සෙනසුරාදා සවස අත්අඩංගුවට ගැනින. හම්බන්තොට ධීවර වරායේ අනාරක්ෂිතභාවය හේතුවෙන් සිදුවූ ධීවර මරනයකට එරෙහිව, සිකුරාදා පැවති ධීවර උද්ඝෝෂනයෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

තොටුපල පිවිසුම් දොරටුව තුලින් ගොඩ කිරීමට උත්සාහ දරමින් සිටිය දී තම යාත‍්‍රාව රල පහරට හසුවී විනාශ වීමෙන් දෙදරු පියකුවන මොහමඩ් අස්මි නිෂාර් නැමැති ධීවරයා මරනයට පත් විය. සංවේගයට හා කෝපයට පත් ජනයා මියගිය තම සහෝදර ධීවරයාගේ අලාභහානි වූ බෝට්ටුව යොදාගෙන මහමාර්ගය අවහිර කරමින් තවත් ජීවිත බිලි ගැනීමට ඉඩ නොතබා වරාය පිවිසුම නිසි ලෙස සකස් කර දියයුතු යයි බලකිරීමේ උද්ඝෝෂනයක නිරත වුහ. මෙහි දී කැඩීගිය බෝට්ටුවට ගිනි තබන ලදී.

මගතොටේ දී හා ධීවර නිවාසවල දී තවත් අය අත් අඩංගුවට ගැනීමට පොලිසිය ක‍්‍රියා කරන බැවින්, වෙනදා 500ක් පමන ගැවසෙන හම්බන්තොට ධීවර වරායට "ඇඳිරි නීතිය දැමුවා වැනි” තත්වයක් උද්ගත වී ඇතැයි ධීවරයෝ පවසති.

උද්ඝෝෂනය නිසා මහා මාර්ගයට හා දුරකථන රැහැන්වලට හානි සිදු වූ බවට ධීවරයන්ට චෝදනා එල්ල වී ඇත. පොලීසිය විසින් ගනු ලැබූ වීඩියෝ දර්ශන තුලින් උද්ඝෝෂනයේ යෙදී සිටි ධීවරයන් අතර කැපී පෙනුනු කොටස් තෝරා ගෙන අත්අඩංගුවට ගැනීම පසු දින දියත් කෙරුනි. "අපිට සිංහල මුස්ලිම් කියා භේදයක් නෑ. අපේ මහත්තුරු ජීවත් වෙන්නෙ මුහුදු ගිහින්, මිය ගියේ අපේ සහෝදරයෙක්. පොලීසිය අපේ මිනිස්සුන්ට ඒ සහෝදරයාගේ මරනෙට වත් සහභාගිවෙන්න ඉඩ තිබ්බෙ නෑ.” සිංහල ධීවරයෙකුගේ බිරිඳක් උද්ගතව පවතින තත්වය විස්තර කලේ එසේය.

"අපි එදිනෙදා හම්බකරලා ජීවත් වෙන මිනිස්සු. අපේ මනුස්සයා නැති උනාම දරු පවුල රකින්නෙ කොහොමද? ” යනුවෙන් අත් අඩංගුවට පත් ධීවරයෙකුගේ බිරියක් ප‍්‍රශ්න කලාය.

ධීවර දරු පවුල්වල ජීවනෝපාය අහිමිකර එයින් ඇති කරන ආර්ථික හා මානසික පීඩාව දැඩි කිරීම මගින් තමන්ට අවශ්‍යව සිටින ධීවරයන් අත්අඩංගුවට ගැනීම පිනිස පොලඹවා ගැනීමටත් උද්ඝෝෂනයට එරෙහිව ත‍්‍රස්තය ඇවිලවීමටත් පොලිසිය උත්සාහ දරමින් සිටී. මේ තුච්ඡ උත්සාහයන් මගින් පෙන්නුම් කෙරෙන්නේ පීඩිත මහජනතාවගේ මොනම ගැටලුවක් හෝ විසඳීමට රාජපක්ෂ ආන්ඩුව තව දුරටත් නුසුදානම් බවය.

ධීවරයන් පවසන පරිදි මෙම ‘වරාය’ නිසි ලෙස සකසා ගැනීම සඳහා කාලයක් තිස්සේ කල උද්ඝෝෂනවලට ප‍්‍රතිචාර වශයෙන් ආන්ඩුව විසින් කෙරුනු ප‍්‍රතිසංස්කරනය ධීවරයන්ගේ ගැටලුව තවත් ඔද්දල් කෙරී ඇත. එය වරායකට අවශ්‍ය නිසි පහසුකම් සහ ආරක්ෂාව සහිත සකස් කිරීමක් නො වී ය. මේ නිසා මෙම මරනයට පෙර තවත් ජීවිත දෙකක් මෙම ස්ථානයේ දී ම මුහුදට බිලි වී ඇති අතර බෝට්ටු ගනනාවකට හානි සිදුවී ඇත. දැන් රජයේ දේපලවලට සිදු වූ හානිය ගැන ධීවරයන්ට එරෙහිව නඩු පැවරීමට යන ආන්ඩුවට මෙම ජීවිත හෝ දේපල සම්බන්ධයෙන් කුමන හෝ තැකීමක් නැත.

ධීවර පවුල් සහභාගීවූ රැස්වීමකට පැමිනි දකුනු පලාත් ධීවර අමාත්‍ය ඞී.වී. උපුල් පූච්චානම් කතාවක් කරමින් ප‍්‍රකාශ කලේ, මීට වඩා රජයේ දේපල විනාශ කිරීම් තමන් දැක ඇති නමුත්, "මේ වගේ අත්අඩංගුවට ගැනීම් දැක නැති” බවයි. රජයට යම් අලාභයක් සිදු වී ඇති නම්, "එය ධීවරයන්ට ගෙවීමට බැරිනම්” ඒ මුදල් ගෙවා ධීවරයන් නිදහස් කර ගැනීමට හා ඔවුන්ට එරෙහිව පැවරෙන නඩුවලදී නීතිඥයන් සම්පාදනය කිරීමට තමන් ඉදිරිපත්වන්නේ යයි ප‍්‍රකාශයක් කර ඇමතිවරයා ලිස්සා ගියේ ය. තවත් ධීවරයන් ගනනාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය දරන තැත ගැන කිසිවක් නොපැවසූ ඔහු, නැති වූ ජීවිතය හා යාත‍්‍රාව ගැන ගත හැකි කවර හෝ පියවරක් යෝජනා නො කලේ ය. ආපදා කලමනාකාර අමාත්‍යංශය මගින් මෙබඳු අනතුරකින් මිය ගිය ධීවරයන් සඳහා ලබා දෙන ලද රු 10,000 ක සොච්චම් දීමනාව පවා පසුගිය කාලයේ දී අනතුරුවලින් මිය ගිය ධීවරයන්ගේ පවුල්වලට නො ලැබුනි.

ලංකාව පුරා ඇති ධීවර වරායන්ගෙන් කිහිපයක් හැරුනු විට අන් සියල්ලම හම්බන්තොට වරායට සමාන අනාරක්ෂිතභාවයකින් යුක්ත ය. දකුනු පලාතේ ධීවර වරායන් ලෙස හඳුනාගත් ස්ථාන 25ක් පමන වන අතර මෙයින් 20ක් ම අනාරක්ෂිත තත්වයේ පවතී. ඒවා අදාල ප‍්‍රමිතියට අනුව සකස් කිරීම සඳහා පිරිවැය යෙදීමට කිසිම ආන්ඩුක් කි‍්‍රයාකර නොමැත.

ධීවර ජනයා ලෝක සමාජවාදී වෙබ් අඩවියට කරුනු දක්වමින්

හම්බන්තොට ධීවර ජනයා අප වෙබ් අඩවියට ප‍්‍රකාශකල පරිදි ඔවුහු "හතර අතටම නය වී සිටිති.” සුනාමියෙන් පසු ගෙවීගිය වසර ගනනාව පුරා මූදු ගියත්, තමා තවමත් තම අස්වැන්න මිල දී ගන්නා මුදලාලිට රු. 64,000ක් නය වී සිටින බව පැවසූ කුඩා බෝට්ටු හිමියකු වන පී.එම්. රාසිම් තව දුරටත් කියා සිටියේ මේ නිසා මුදලාලි රිසි පරිදි මාලු මිල නියම කිරීමේ අයිතිය ද පවරා ගෙන ඇති බවය.

ධීවරයන් දිගින් දිගටම මුහුන දෙන මෙම ආර්ථික ගැටලු විසඳා ගැනීම සඳහා තම බිරින්දෑවරුන් ගෘහ සේවය කරා මැදපෙරදිග යැවීමෙන් දරු දැරියන් අතුලු පවුලම විනාශයට මුහුන දුන් හැටි ඔවුහු පෙන්වා දුන්හ.

තම දකුනු පාදය ද යාත‍්‍රාව ද අහිමි වූ නිෂාර් ඕමාන්

2009 වසරේ මෙම ස්ථානයේ දී අනතුරට පත්ව තම දකුනු පාදය ද යාත‍්‍රාව ද අහිමි වූ නිෂාර් ඕමාන්, ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න හා ධීවර අමාත්‍යංශය යාත‍්‍රාවක් ලබා දෙන බවට තමාට වූ පොරොන්දුව මග හරිමින් සිටින හැටි පැහැදිලි කලේ ය. දිනකට රු. 300 ක වැටුපක් සඳහා ධීවර දැල් සකස් කිරීමේ කටයුතුවල යෙදීමට ඔහුට සිදු වී ඇත.

ඉහත උද්ඝෝෂනය පැන නැගුනේ මෙම තත්වයන් යටතේ වන අතර එහි මුදුනත පිහිටා ගත් පොදු ධීවර සමිතියේ වැඩපිලිවෙල වන්නේ ආන්ඩුවට ආයාචනා කිරීම සහ සම්මුති වලට යාමයි. උද්ඝෝෂනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපති දැනුවත් කල බවද ඔහු ඊට අවසර දුන් බවද පොදු ධීවර සමිතියේ ප‍්‍රධාන සංවිධායකයෙකු වන මයිකල් සඳහන් කලේ ය. බෝට්ටු ගිනි තැබුවේ ධීවරයාගේ මරනය හා මින් පෙර සිදු වූ එවැනි සිදු වීම් නිසා ඇති වූ වේදනාව හේතුවෙන් වන බැවින් ඔහු දකුනු පලාත් ඇමතිවරයාගෙන් සමාව අයැද සිටියේ ය. "ජනාධිපතිතුමාගේ අවධානය යොමුකර ගැනීමට” ධීවරයන් එසේ කල බව ඔහු තව දුරටත් කිවේ ය. කෙසේ වුවද මයිකල්ගේ අයාචනා ධීවර ඇමතිවරයා විසින් ගොඩින්ම ඉවතලන ලදී.

පොදු දේපලවලට අලාභහානි සිදු කිරීම යටතේ ලක්ෂ ගනනක වන්දියක් ධීවරයන්ගෙන් අයකර ගැනීමට දැනටමත් කටයුතු සූදානම් කෙරෙමින් පවතී. පීඩිත ධීවරයන් මිස අන් කිසිවකු හෝ මේවාට කර ගසනු නැත. දිවි පරදුවට තබා ධීවරයන් උපයන මුදල, යාත‍්‍රා එන්ජින් ආම්පන්න යනාදිය හා නය සැපයීමේ මාර්ග ඔස්සේ ගසා කා යැපෙන මහා ධනපති සමාගම්වල අවශ්‍යතා වෙනුවෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරායට කෝටි ගනන් මුදල් යට කරන ආන්ඩුවට ධීවර වරාය ගොඩ නැගීමේ අවශ්‍යතාවක් නොමැත්තේ එය කලත් නොකලත් ධීවරයන්ගෙන් ලැබෙන කොටස ධනපතියන්ගේ ගිනුම් වලට බැර වන බැවිනි.

රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත වන්නේ, කම්කරු පන්තියෙන් හෝ අන් පීඩිත ජන කොටසකින් මතුවන කවර හෝ විරෝධතාවක් පොලිස්-මිලිටරි බලය යොදා මැඩීම යි. තෙල් මිල ඉහල දැමීමට එරෙහිව උද්ඝෝෂනයේ යෙදුනු හලාවත ධීවරයන්, ඊනියා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව විරෝධතාවයේ යෙදුනු නිදහස් වෙලඳ කලාප කම්කරුවන් හා පානීය ජලය ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුනු රතුපස්වල මහජනයාට එරෙහිව පොලීසිය හා මිලිටරිය යොදා පහර දී ඔවුන් ඝාතනය කලේ එබැවිනි. හම්බන්තොට ධීවරයන්ට එරෙහි ප‍්‍රහාරය මෙම පිලිවෙතේම කොටසකි.

Share this article: