කැලනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය වාඩිලා ගැනීම තෙවන සතියට අවතීර්න වේ

ෂානක සිල්වා සහ සුජීව අමරනාත් විසිනි, 2013 ඔක්තෝබර් 02

කැලනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කන්ඩායමක්, තම නේවාසිකාගාරයට එල්ල කල මැර ප‍්‍රහාරයකට එරෙහිව, සැප්තැම්බර් 17වන දා සිට විශ්ව විද්‍යාල ශිෂ්‍ය මධ්‍යස්ථානය වාඩිලාගෙන සිටිති. එම ශිෂ්‍යයන් නේවාසිකව සිටි කන්නන්ගර නේවාසිකාගාරයට සැප්තැම්බර් 14දා උදෑසන 3.30ට පමන ඇතුල් වූ මැර කන්ඩායමක් විසින් ශිෂ්‍යයන්ගේ යතුරුපැදි හා පාපැදිවලට ද විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකුගේ මෝටර් රථයකට ද පහර දී දැඩි ලෙස හානි පමුනුවා ඇත. සන්නද්ධව පැමිනි මැර කල්ලිය නේවාසිකාගාර ආරක්ෂක අංශ බියවද්දා එහි ඉබි යතුරු කඩා නේවාසිකාගාර පර්ෂදයට ඇතුලු වී පහර දීම සිදු කර තිබේ.

නේවාසිකාගාරය තුල ආරක්ෂාව තහවුරු කරන ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස විශ්ව විද්‍යාල පරිපාලනයෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාරයක් නොලද හෙයින් සැප්තැම්බර් 17 වන දින 2,000 ක් පමන සිසුන් කැලනිය විශ්ව විද්‍යාලයේ සිට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගිය විරෝධතා පා ගමනින් පසු මෙම වාඩි ලා ගැනීම සිදු කර ඇත.

වාඩිලාගෙන සිටින සිසුන්ට එම ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් වන ලෙස සරසවි පාලනාධිකාරය දන්වා ඇති නමුදු සිය ආරක්ෂාව තහවුරු කිරීම ඇතුලු අනෙකුත් නේවාසිකාගාර ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් තමන් ඉවත් නො වන බව සිසුන් පවසන අතර අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද ඔවුන්ට සහයෝගය දක්වති.

කැලනිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය පවසන ආකාරයට 2010න් මෙපිට කන්නන්ගර නේවාසිකාගාරයේ රැඳී සිටින සිසුන් අවස්ථා 20ක දී පමන පහර කෑමට ලක්ව ඇත. එලෙස පහර කෑමට ලක් වූ කලමනාකරන පීඨයේ එක් ශිෂ්‍යයෙකු පාඨමාලාව හැරගොස් ඇත්තේ හිසට සිදු වූ තුවාල හේතුවෙන් මූර්ඡා තත්ත්වයට පත්වූ බැවිනි.

2003 දී ශිෂ්‍යාවන් සඳහා ආරම්භ කෙරුනු මෙම නේවාසිකාගාරය, 2010 වසරේදී පරිපාලනය විසින් ශිෂ්‍ය නේවාසිකාගාරයක් බවට පත් කරනු ලැබුවේ එය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයෙන් පිටත පිහිටා තිබීම හේතුවෙන් ශිෂ්‍යාවන් අනාරක්ෂිත වෙතැයි පවසමිනි. මෙහිදී පරිශ‍්‍රය ඇතුලත නේවාසිකව සිටි ශිෂ්‍යයන් 400 ක් කන්නන්ගර නේවාසිකාගාරයටත් එහි නේවාසිකව සිටි ශිෂ්‍යාවන්1200 න් 400ක් පරිශ‍්‍රය තුලටත් මාරු කිරීමට පියවර ගත් අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ශිෂ්‍යාවන් 800කට නේවාසික පහසුකම් අහිමි විනි. මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරන ආකාරයට මෙම පියවරේ ප‍්‍රතිඵලයක් ලෙස සිසුන් හා සිසුවියන් යන දෙගොල්ලන්ගේ ම තත්ත්වය වඩා අනාරක්ෂිත වී තිබේ.

සිසුන් ආහාර ගන්නේ ද වාඩිලා ගත් ගොඩනැගිල්ලේ සිට ය.

ශිෂ්‍යයන් වාඩි ලා සිටින ශිෂ්‍ය මධ්‍යස්ථානය අඩි 100 ක් පමන දිග හා අඩි 80 ක් පමන පලලින් යුක්ත ගොඩනැගිල්ලකි. එහි ආපන ශාලාවේ තිබු මේස නිදාගැනීමට හා පරිඝනක භාවිතය වැනි කටයුතු වලට යොදා ගැනෙන අතර ගොඩනැගිල්ල අසල ස්ථානයක සිසුන් විසින් ම ආහාර පිලියෙල කර ගැනීම සිදු කරයි. ශිෂ්‍යයන් තම ඇඳුම් රඳවා තබනුයේ ගොඩනැගිල්ල ආවරනය කිරීම සඳහා යොදා ඇති කම්බි දැල්වල සහ වැල් පොටවල ය.

සිසුන් කීප දෙනෙක් ඇඳන් ලෙස සකස් කර ගත් මේස මත

සැබැවින්ම මෙම සිසුන්ගේ නේවාසිකාගාරවල තත්වය ද දැන් ඔවුන් වාඩිලා සිටින ස්ථානයේ තත්වය ද අතර එතරම් වෙනසක් නොමැත. කන්නන්ගර නේවාසිකාගාරයේ කොන්ක‍්‍රීට් තට්ටු ඇඳන් සහිත කුඩා කාමරයක් තුල සිසුන් 12 ක් පමන සිර වී සිටීමට සිදුව ඇති අතර බොහෝ සිසුන් බිම අතුරා ගත් රෙදි මත නිදා ගනී. කිසිසේත් ප‍්‍රමානවත් නොවන නාන කාමර පද්ධතිය ගරා වැටී ඇත. පාඩම් කිරීම සඳහා වෙන් කල කිසිදු ස්ථානයක් නොමැති බැවින් ඒ සඳහා කිලෝ මීටරයකට අධික දුරක් ගෙවා ශිෂ්‍ය මධ්‍යස්ථානයට පැමිනීමට සිසුන්ට සිදුව තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් අධ්‍යාපනය ලාභ උපදවන කර්මාන්තයක් බවට පත් කිරීම වේගවත් කර ඇති තතු යටතේ තම අයිතීන් වෙනුවෙන් දහස් සංඛ්‍යාත ශිෂ්‍යයෝ අරගලයට ඇදෙමින් සිටිති. අරගලයට අවතීර්නව සිටින කම්කරුවන්, අවශේෂ පීඩිතයන්, ශිෂ්‍යයන් හා තරුනයන්ට එරෙහිව පොලීසිය හා මිලිටරිය අනුකම්පා විරහිතව මුදාහරිද්දී පවා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීමේ අව්‍යාජ උවමනාවෙන් පෙලෙන සිසුන්දහස් ගනනින් පෙලපාලි, පිකට් හා පන්ති වර්ජනයන්හි නිරතුරුව යෙදෙමින් සිටී.

මෙම ශිෂ්‍ය රැඩිකලීකරනයට එරෙහිව ආන්ඩුව දැඩි මර්දන හස්තයක් දිගු කර ඇත. පසුගිය මාස කිහිපය තුල විශ්ව විද්‍යාල කිහිපයක ම ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් සිය ගනනකගේ පන්ති තහනම් කිරීම හා ශිෂ්‍යභාවය අහෝසි කිරීම සිදු කොට ඇත. ජයවර්ධනපුර, සබරගමුව හා රජරට යන විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම් තහනම් කොට ඇති අතර කොලඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍ය සංගම් නිලවරනය වසර ගනනාවකින් පවත්වා නැත.

මේ වසරේ මැයි මාසයේ පහසුකම් ඉල්ලා පෙලපාලි ගිය සබරගමු සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොලීසිය යොදවා ඉවක් බවක් නැතිව පහර දුන් අතර මිලිටරිය ද එම ස්ථානයට කැඳවා තිබිනි. දැනට මාස කිහිපයකට පෙර ආන්ඩුවේ මර්දනයට එරෙහිව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට ජනාධිපති මන්දිරය වෙත ගිය සිසු පාගමන කැරලි මර්දන පොලීසිය යොදවා නුගේගොඩ මංසන්ධියේ දී නතර කෙරින. ඉන් දින ගනනක් ගෙවුනු තැන සෑම සරසවියක්ම නියෝජනය කෙරුනු සිසු සිසුවියන් 8,000ක් පමන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට පාගමනින් පැමින විරෝධතාවක් පැවැත්වූහ.

ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ නියෝග මත රාජපක්ෂ ආන්ඩුව විසින් කි‍්‍රයාවට නගමින් සිටින ශී‍්‍ර ලංකාව "දැනුම් කේන්ද්‍රයක්” බවට පත් කිරීම හෙවත් මුදලට අධ්‍යාපනය විකිනීමේ ස්ථානයක් බවටත් පත් කිරීමේ සැලසුම් වලට එරෙහිව සිසුන් පමනක් නොව විශ්ව විද්‍යාල ආචාර්යවරු ද අනධ්‍යන කාර්ය මන්ඩල සේවකයෝ ද අරගලයට පිලිපන්හ.

එහෙත් ශිෂ්‍ය සංගම්වල අධිකාරය දරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මගින් මෙහෙයවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) මෙන් ම ආචාර්ය සමිති සම්මේලනය හා අනධ්‍යන සේවක වෘත්තීය සමිති ද රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් යොදා ධනේශ්වර අර්බුදය මගින් නිෂ්පන්නිත පිලිවෙත් ආපසු හැරවිය හැකිය යන මාරක මිථ්‍යාව වපුරමින් සිටිති. අවිශිබම අනුයන කැලනිය මහා ශිෂ්‍ය සංගමය ද අදාල බලධාරීන්ට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කොට එයට ප‍්‍රතිචාර අපේක්ෂාවෙන් පසුවෙති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කතාකල මහා ශිෂ්‍ය සංගමයේ නායකයෙක් තමන් විශ්වාස කරන්නේ "මෙම ගැටලු විසඳිය හැක්කේ සමාජවාදී ක‍්‍රමයක් තුල පමනක්” යයි කීවේය. "සිසු-කම්කරු සන්ධානයක් අවශ්‍යයි. ඒකට අවශ්‍ය ශිෂ්‍ය අංශ නායකත්වය ගොඩනැගීමයි අපි මේ කරන්නේ” යයි හෙතෙම තවදුරටත් පැවසී ය.

අවිශිබමයට හා එය මෙහෙය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සමාජවාදය සමග කිසිදු සම්බන්ධතාවයක් නැත. ඉහත කී ප‍්‍රකාශය ම පෙන්නුම් කරන්නේ සිසුන් කම්කරු පන්තියෙන් වෙන්කර, "ශිෂ්‍ය අංශ නායකත්වය ගොඩනැගීම”, "සිසු-කම්කරු සන්ධානය හැදීම” ආදී නම්වලින් හඳුන්වා ගත් විරෝධතා කි‍්‍රයා මගින් සිසුන් දේශපාලන උගුලක සිර කර තැබීමකි.

ශිෂ්‍ය සංගම් නායකත්වය ඉදිරිපත් කරන වැඩ පිලිවෙල බංකොලොත් ය; සිසුන් අවමංගත කිරීමකි. ඔවුන් කැලනිය සරසවි පරිපාලනයට හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් මෙලෙස ය: අභ්‍යන්තර නව පිරිමි නේවාසිකාගාරයක් ඉදිකිරීම, කාන්තා නේවාසිකාගාරවල නිදහස තහවුරු කිරීම, මැර ප‍්‍රහාර නැවැත්වීම, සරසවිය තුල නිදහස තහවුරු කිරීම, ශිෂ්‍ය මර්දනය නතර කිරීම හා නව පහසුකම්. ඔවුන් මේවා ඉල්ලා සිටින්නේ තමන් මර්දනය කිරීමට පොලීසිය දිගේලි කරන හා පහසුකම් කප්පාදු කරන ආන්ඩුවෙන් ම ය.

Share this article: