පිලියන්දල කම්හලක විෂ වායු කාන්දුවෙන් දුසිම් ගනනක් ලෙඩ වෙති

දේහින් වසන්ත විසිනි, 2013 ඔක්තෝබර් 26

විෂ වායුවෙන් රෝගී වූ කම්හල යාබද පිහිටි කෙන්යෝ ෆර්නිචර් සාප්පුවේ තරුනයන් දෙදෙනෙක්

පිලියන්දල බටකැත්තර පිහිටි පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන එස් ඇන්ඩ් ඩී කර්මාන්තශාලාවෙන් 22 දා අලුයම කාන්දුවී ඇමෝනියා විෂවායුව පිටතට පැතිරයාම නිසා කම්හල අවට පදිංචිකරුවන් 72ක් රෝගී වූහ. රෝගී වූවන් පිලියන්දල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයේ සිටි 32ක් දකුනු කොලඹ (කලුබෝවිල) රෝහලට මාරු කරන ලදී.

ඩිසයින් වර්ල්ඞ් ෆර්නිචර් වැඩපලේ කම්කරුවන් දෙදෙනෙක් - රාමසාමි ප‍්‍රදීප් සහ මුත්තුසාමි පෙරියසාමි

කම්හල් හිමියන් කම්කරුවන්ගේ ද ප‍්‍රදේශවාසීන්ගේ ද ජීවිතවලට හානි දායක වන අයුරු නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යෑම පිලිබඳ අලූත්ම උදාහරනය එස් ඇන්ඩ් ඩී කම්හලයි.

විෂවායු කාන්දුව සිදු වී ඇත්තේ අලුයම 1.45 ට පමන ය. දුගඳක් සහිත ඝන දුමාරයක් පැතිර ගිය බවත් නිවෙස්වලින් ඉවතට තමන්ට පලායාමට සිදු වූ බවත් ප‍්‍රදේශවාසීහු කීහ. ගිනි නිවන හමුදාවේ මැදිහත් වීමෙන් විෂවායුව පැතිරයාම පාලනය කර ඇතත් අවට නිවාස 40ක පමන නිවැසියන්ට එහි ප‍්‍රතිවිපාක වලට මුහුන දීමට සිදු විය. විෂවායුවට ගොදුරු වූවන්ට කැස්ස, වමනය, ශ්වසන අපහසුව හා ඇස්වල හා සමේ දැවිල්ල ඇතිව තිබේ. බල්ලන්ට, බලලුන්ට මෙන් ම සෙසු සතුන්ට සහ කෘමීන්ට ද හානි සිදු වී ඇත.

නිවාසවල බිම, බිත්ති හා ගෘහ උපකරනවල දුර්වර්න පැල්ලම් හට ගෙන ඇති බවත්, පරිභෝජනයට ගැනීමට නොහැකි ලෙස ආහාර වලට විස කැවී ඇති බවත් පදිංචිකරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කීහ. එහි ඇති පාරිභෝගික ද්‍රව්‍ය ගැන නිසි පරීක්ෂනයක් කරන තුරු කඩහිමියාගේ ම ඉල්ලීම පරිදි අසල පිහිටි සිල්ලර බඩු වෙලඳසැලට සීල් තබා ඇත. අතේ මිලමුදල් නැති විට නයට ගනුදෙනු කරන කඩයටත් සීල් තැබීම නිසා ගම්මු තවත් අපහසුතාවට පත්ව සිටිති.

සිද්ධියෙන් කෝපයට පත් සිය ගනනක් ප‍්‍රදේශ වාසීහු එදින උදේ කම්හල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනයක් ආරම්භ කලහ. උද්ඝෝෂකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙත් ම කම්හලේ ආරක්ෂාව සඳහා පිලියන්දල, කහතුඩුව, මොරටුව, ගල්කිස්ස ඇතුලු අවට පොලිස් ස්ථාන ගනනාවකින් සිය ගනනක් පොලිස් නිලධාරීන් කැඳවා ඇත.

ප‍්‍රදේශවාසීන්ගේ කෝපය සංසිඳවීම සඳහා උසාවි නියෝගයක් මගින් ඔක්තෝබර් 25 දක්වා කම්හල තාවකාලිකව වසා දැමීමටත් විෂ වායු කාන්දුවට හේතු වූ රසායනික ද්‍රව්‍ය අඩංගු බැරල් 21ක් විනාශ කිරීමටත් පොලීසිය පියවර ගත්තේ ය. කම්හලේ අපජලය ඉවත් කරන කානුව සිමෙන්තියෙන් බැඳීමටත්, ජනයාගේ ආරක්ෂාව සඳහා ගත හැකි ”උපරිම” පියවර ගන්නා බවටත් බස්නාහිර පලාත් දකුන භාර නියෝජ්‍ය පොලිස්පති සහ කැස්බෑව නගරාධිපති ප‍්‍රදේශයේ ජනයාට පොරොන්දු වී ඇත.

සිද්ධිය වූ දවසේ හවස කම්හල් අයිතිකරුවන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, පොලිසිය හා ගම්මුන් අතර ගමේ පන්සලේ දී සාකච්චාවක් පවත්වා තිබේ. කම්හල වහාම වසා දමන ලෙස ගම්මු එහි දී බල කර තිබේ. නුදුරු දිනක දී කම්හල කලූතර ප‍්‍රදේශයට ගෙන යන බව කම්හල් අයිතිකරු එහිදී කියා ඇත. කෙසේ වෙතත් ගම්මු මේ එකදු පොරොන්දුවක් වත් විශ්වාස නො කරති.

මහජන කෝපය සමනය කිරීම සඳහා ආන්ඩුවත් පොලීසියත් වැඩට බැසගෙන ඇත. පොලීසිය විසින් කම්හලට විරුද්ධව කැස්බෑව උසාවියේ නඩුවක් පවරා ඇති අතර අන්තරායකාරී කම්හල්, වැඩපොලවල් හා රසායනාගාර සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීම සඳහා ඒවා ලැයිස්තු ගත කිරීමට "වහාම” පියවර ගන්නා ලෙස පාරිසරික හා බලශක්ති ඇමති සුසිල් පේ‍්‍රම ජයන්ත මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ.

කැස්බෑව උසාවිය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට සහභාගිවූ ජනයාගෙන් කොටසක්

පලමු නඩු වාරය පැවති සිකුරාදා (25) උසාවිය අසලට රැස්වූ 300 ක් පමන ප‍්‍රදේශ වාසීහු නිහඬ උද්ඝෝෂනයක නිරත වූහ. "එස් ඇන්ඩ් ඩී කෙමිකල් මාරයා වසා දමනු”, "අපට හුස්ම ගන්න අයිතියක් නැද්ද?”, "විෂවායුව අපේ පරිසරය විනාශ කරයි!” ආදී සටන් පුවරු ඔවුන් අත තිබුනි. මෙම ව්‍යසනයට එරෙහි උද්ඝෝෂනය පෙරට ගෙන යාම සඳහා ගම්මුන් විසින් කමිටුවක් පිහිටුවාගෙන ඇති අතර නිසි විසඳුමක් ලැබෙන තුරු සිය උද්ඝෝෂනය ඉදිරියට ගෙන යන බව ඔව්හු ප‍්‍රකාශ කලහ.

එස් ඇන්ඩ් ඩී කම්හලේ අයිතිකරුවන් ලෙස කි‍්‍රයා කරන්නේ ජයන්ත ද සිල්වා සහ හංසි ද සිල්වා ය.කම්කරුවන් 70ක් පමන එහි සේවය කරයි. දස වසරකට පමන පෙර කම්හල ආරම්භ කිරීමේ දී අයිතිකරුවන් ප‍්‍රකාශ කර ඇත්තේ එහි හඳුන් කූරු නිෂ්පාදනය කරන බවය.

එහෙත් වසර කිහිපයක් ගත වූ විට කම්හල අවට ලිං ජලය අපවිත‍්‍ර වී පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් වූ බව ගම්මු කීහ. ගම්මුන් විසින් කල පැමිනිල්ලකට අනුව ශ‍්‍රී ලංකා තාක්ෂනික හා විද්‍යා ආයතනය විසින් සිදු කල පරීක්ෂනයක දී ලිං ජලය පරිභෝජනයට නුසුදුසු ලෙස අපවිත‍්‍ර වී ඇතිබව තහවුරු ව ඇත. පසුව ගම්මුන් විසින් කම්හලට විරුද්ධව නඩුවක් පවරා ඇත. එහෙත් පරිසර අධිකාරියේ නිලධාරීන් , තාක්ෂනික හා විද්‍යා ආයතනය හරහා කල තවත් පරීක්ෂන වාර්තාවක් උසාවියට ඉදිරිපත් කිරීමෙන් නඩුවේ දී කම්හල් හිමියාට වාසිවන ආකාරයට කටයුතු කල බව ට ගම්වාසීහු චෝදනා කරති.

කම්හල පිහිටා ඇති බටකැත්තර ජනාවාස ප‍්‍රදේශයකි. අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය උපයෝගීකරගෙන කෙරෙන නිෂ්පාදන එවන් ස්ථානයක කිරීම නීතියට පටහැනි හා මහජනයාට හානිකර නමුත් පසුගිය වසර 10 ට වැඩි කාලයක් කම්හල පවත්වාගෙනයාමට මධ්‍යම පරිසර අධිකාරිය ඇතුලු අදාල සෙසු බලධාරීන් විසින් ඉඩ දී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂවරයෙකු විසින් මාසයකට වරක් කම්හලේ කටයුතු සෞඛ්‍ය ප‍්‍රමිතීන්ට අනුකුලව කෙරෙන්නේ දැයි පරීක්ෂා කලයුතු බවට උසාවි නියෝගයක් ඇතත් අදාල බලධාරීන් ඒ අනුව කටයුතු නොකරන බව ප‍්‍රදේශවාසියෙකුවන අජිත් කරුනාරත්න ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලේ ය.

"අවුරුදු ගනනක් බලධාරීන්ට පැමිනිලි කලත් පලක් වුනේ නැහැ. කලින් හිටපු නගරාධිපති අපිට කිව්වා කම්හලේ බලපත‍්‍රය අවලංගු කලා. කොහම වුනත් ෆැක්ටරියේ වැඩ දිගට ම කෙරෙනවා. මහජනයා ගැන මොන ම තැකීමක්වත් නැහැ. රසායනික බැරල් තොගපිටින් පාරදිගේ ගෙනියන්නේ කිසිම ආරක්ෂක ආවරනයක් නැතිව. ගමේ කිහිප දෙනෙකුට ම පිලිකා රෝගය හැදිලා තියෙනවා. ගම්මු විශ්වාස කරන්නේ කම්හලේ රසායනික වල බල පෑමක් කියලා” කරුනාරත්න කීවේ ය.

කර්මාන්තශාලාවේ අප ද්‍රව්‍ය අනාරෂිත ලෙස පරිසරයට මුදා හරින බව ගම්මු කියති. මෙම අපද්‍රව්‍ය මුදා හරින කුඹුරු යායක් වගා නොකල හැකි තත්වයකට පත්ව තිබේ. ඒ අවට කෘමීන් සහ ජලජ ජීවීන් වඳ වීමට පටන් ගෙන තිබේ.

ඖෂධවේදියා සහ අසල්වැසියන්

කම්හල අසල පදිංචි ඖෂධ වේදියෙකු ප‍්‍රකාශ කලේ කම්හලේ නිෂ්පාදනය අතිශයින්ම අන්තරායකාරී ලෙස කෙරෙන බවය. "වැඩකරන කම්කරුවන්ට මුහුනු ආවරන සහ අත්වැසුම්වත් දෙන්නේ නැහැ. නිවාඩු කාලෙට අවුරුදු 14-15 පාසැල් ලමයි මේකේ වැඩ කරනවා. වැඩ කරන කිසිම කෙනෙකුට මෙහි භාවිතා කරන රසායනික ද්‍රව්‍යවලින් සිදුවන හානිය ගැන හෝ කාර්මික ආරක්ෂාව ගැන මොන ම අවබෝධයක්වත් තියෙන බවක් පේන්න නැහැ” ප‍්‍රදේශයේ ලමයි බහුතරයක් ශ්වසන රෝගවලින් පෙලෙන බව ද ඔහු පැවසීය.

මධ්‍යම පරිසර අධිකාරිය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ප‍්‍රාදේශීය දේශපාලනඥයන් හා පොලීසිය කම්හල් හිමියාව ආරක්ෂා කරන බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

"පලාතේ මිනිස්සු කම්හලට විරුද්ධව උසාවි ගියා. නමුත් කම්හල කාර්මික ප‍්‍රදේශයක පිහිටලා තියෙන බවට උසාවියට පොලිසිය අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කරලා කම්හල් හිමියව ආරක්ෂා කලා. අපි පිලියන්දල නගර සභාවට පැමිනිලි කලා. මහජන සෞඛ්‍ය පරීක්ෂක පැක්ටරිය පරීක්ෂා කරන්න එන්නේ ගම්මුන්ට හොරෙන්.” බව විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු ප‍්‍රකාශ කලේ ය.

කම්හල ආරක්ෂක ප‍්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යන බව මධ්‍යම පරිසර අධිකාරිය ප‍්‍රකාශ කල බව තරුනයෙකු කීවේ ය. "නමුත් කම්හල් අයිතිකාරයන් වැඩ කරන්නේ කිසිම ආරක්ෂක ක‍්‍රමයක් නැතිව. ඒ ගොල්ල අවසර අරගෙන තියෙන්නේ ගබඩා එකකට. නමුත් රසායනික ද‍්‍රව්‍ය ගබඩා තුනක් තියෙනවා. ඒ ගැන අධිකාරිය හොයන්නේ නැහැ. අධිකාරියේ මහත්තුරු කිව්වේ වතුරත් දුෂනය වෙලා නැහැ කියල” ඔහු පැවසුවේ ය.

කම්හල් අයිතිකරුවන් විසින් මුදල් බලයෙන් හැම කෙනෙක් ම තමන්ගේ පැත්තට නම්මවාගෙන ඇති බව උසස්පෙල හදාරන පාසල් සිසුවෙකු ප‍්‍රකාශකලේ ය. "පන්සලේ හාමුදුරුවොත් ඉන්නේ ඒ ගොල්ලන්ගේ පැත්තේ. අයිති කාරය පන්සලේ ලොකු දායකයෙක්. කටින පිංකම වගේ උත්සවවලට එයා අතදිග ඇරලා ආධාර කරනවා. ආන්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලකයොත් ඒගොල්ලන්ගේ පැත්තේ එයාගේ නෝනා ගමේ අයට තර්ජනය කර තියෙනවා ඕන කෙනෙකුට කියල පුලුවන්නම් පැක්ටරියේ වැඩ නතර කරන්න කියල.” ඔහු කීවේ ය.

පරිසරය භෝ මහජන ආරක්ෂාව ගැන නොතකා පවත්වා ගෙන යන කර්මාන්ත මගින් සිදුවන විනාශය වඩ වඩා ඉහල යමින් තිබේ. ලාබය ඉහල දමා ගැනීම සඳහා වූ ධාවනයේ දී නිසි ප‍්‍රමිතීන්වලට අනුකූලව කම්හල් පවත්වා ගෙන යාම ධනපතියන් විසින් මග හරිති. වැලිවේරිය ඩිප් ප්‍රොඩක්ට් කම්හලේ රසායනික අපද්‍රව්‍ය නිසා භූගත ජලය දූෂනය වීමෙන් ගම් දොලහක දහස් ගනනක් ජනයා ව්‍යසනයට පත්ව සිටිති. තවත් තැන්වල පිහිටුවා ඇති මෙවන් කම්හල්වලින් පරිසරයට හා ජන ජීවිතයට සිදුවන හානිය ගැන නිසි සොයා බැලීමක් රජය සහ අදාල ආයතන මගින් නොකරති.

ධනපති රාජ්‍ය, අදාල ආයතනවල ඉහල නිලධරය, පොලිසිය හා ප‍්‍රාදේශීය දේශපාලඥයන් ක‍්‍රියාත්මක වන්නේ මහජනතාවගේ නොව ධනපතියන්ගේ ලාබ අවශ්‍යතාවයන් වෙනුවෙනි. පරිසරය හා ජන ජීවිතයට වින කටින ධනපතියන් ආරක්ෂා කරන ධනපති ආන්ඩුව ඊට එරෙහිවන මහජනයාට විරුද්ධව මර්දනය දිගේලි කරයි. පරිසර දූෂනයට වගකිවයුතු ඩිප් ප්‍රොඩක්ට් කම්හල වසා දමන ලෙසත් පිරිසිදු පානීය ජලය සම්පාදනය කරන ලෙසත් ඉල්ලා අගෝස්තු මාසයේ උද්ඝෝෂනය කල වැලිවේරිය ගම්මුන්ට හමුදාව සහ පොලිසිය වෙඩි තබා තරුනයන් තිදෙනෙකු ඝාතනය කිරීම මගින් ධනපතියන් රැකීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සුදානම් බව මහින්ද රාජපක්ෂ ආන්ඩුව ඔප්පුකර ඇත. බටකැත්තර ජනයා සම්බන්ධයෙන් ද ආන්ඩුවේ පිලිවෙත ඊට වඩා වෙනස් එකක් නොවනු ඇත.

Share this article: