ඇප කොන්දේසි ඉවත් කරන ලෙස ශිෂ්‍ය සංගම් නායකයා කල ඉල්ලීම අධිකරනය ප‍්‍රතික්ෂේප කරයි

කපිල ප‍්‍රනාන්දු විසිනි , 2013 ඔක්තෝබර් 12

විශ්ව විද්‍යාලවලට ඇතුලුවීම හා ශිෂ්‍ය විරෝධතාවලට සහභාගී වීම තහනම් කරමින් තමාට පනවා ඇති ඇප කොන්දේසි ඉවත් කරන ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු සංජීව බන්ඩාර මේ මස මුලදී කල ඉල්ලීම කොටුව මහේස්ත‍්‍රාත් අධිකරනය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

පසුගිය වසරේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය මධ්‍යයේ "අයුතු ජනරාශිය” යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බන්ඩාර, ඇපමත නිදහස් කිරීමේ දී පැනවූ මෙම කොන්දේසි වලට අනුව, ඔහුට "උපකුලපතිවරුන්ගේ අවසරය නොමැතිව විශ්ව විද්‍යාල වලට ඇතුලුවීම තහනම් කෙරී ඇති අතර සහභාගි විය හැක්කේ "නීති විරෝධී නොවන” විරෝධතා වලට පමනකි.

මෙම කොන්දේසි පනවා ඇත්තේ, උපකුලපති ධුරයන් ඇතුලු විශ්ව විද්‍යාල පරිපාලනයේ ඉහල නිලතල සියල්ලම පාහේ රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු හා ශිෂ්‍ය මර්දනය ක‍්‍රියාවට නගන ගහලයන්ගෙන් පුරවා ඇති තත්වයක් තුල හා විරෝධතාවයන් හි "නීත්‍යනුකූලභාවය” ආන්ඩුවේ අවශ්‍යතාව මත තීන්දු කරන තතු යටතේය.

අවිශිබමය විසින් පසු ගිය ජුලි මාසයේ, "සිසු මර්දනය නතර කරනු” යන ශීර්ෂය යටතේ ජයවර්ධනපුර සරසවියේ සිට අරලියගහ මන්දිරය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කල අතර, පා ගමන අවසන තම ඉල්ලීම් ඇතුලත් සංදේශයක් ජනාධිපති රාජපක්ෂට භාරදීමට නියමිතව තිබුනි. ආන්ඩුව විසින් කැරලි මර්දන පොලීසිය යොදවා නුගේගොඩ මංසන්ධියේ දී පා ගමන නතර කල අතර අවිශිබමය ඉන් දින කීපයකට පසු උසස් අධ්‍යාපන අමාත්‍යංශය කරා එවැනි ම පා ගමනක් සංවිධානය කලේ ය. පනවා ඇති ඇප කොන්දේසි කඩ කොට ඇතැයි චෝදනා කරමින් නැවත අත් අඩංගුවට ගත් බන්ඩාර මුදා හලේ මුල් ඇප කොන්දේසි යලි ස්ථාපිත කරමිනි.

බලපෑම් දැමීමේ බංකොලොත් ඉදිරි දර්ශනය මත අවිශිබමය සංවිධානය කරන මෙම සීමිත කි‍්‍රයාවන් පවා රාජපක්ෂ ආන්ඩුවට ඉවසිය නොහැක්කේ නිදහස් අධ්‍යාපන කප්පාදුව හා රාජ්‍ය මර්දනය හමුවේ වැඩෙමින් පවත්නා ශිෂ්‍ය රැඩිකලීකරනය හේතුවෙනි.

ලොවපුරා අනෙකුත් පාලකයන් සේම, ගෝලීය ධනේශ්වර අර්බුදයේ බර කම්කරු පීඩිත මහජනයා මත පටවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දමන ජනාධිපති රාජපක්ෂ, එම ප‍්‍රහාරයන්ට එරෙහිව මහජනයාගෙන් එල්ල වන විරෝධතා මැඩීම සඳහා සෑම අංශයකම බලය සංකේන්ද්‍රය කර ගනිමින් සිටී.

හිටපු අගවිනිසුරුවරිය ඉවත් කොට තමාට මුලුමනින් අවනත තැනැත්තකු එම තනතුරට පත් කර ගැනීමෙන් අධිකරනය මත තම අධිකාරිය තහවුරු කරගත් ජනාධිපති රාජපක්ෂ, තම න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට දැමීම සඳහා අධිකරනය යහමින් යොදා ගනී. බන්ඩාරට එරෙහි අධිකරනමය කි‍්‍රයාදාමයමත් ඒ සඳහා වන බලගතු උදාහරනයකි.

රාජපක්ෂ ආන්ඩුව, අධිකරනය පමනක් නොව, එල්ටීටීඊයට එරෙහිව ගෙනගිය යුද්ධයේ ක‍්‍රමෝපායන් සියල්ලම පාහේ මහජනයාගෙන් එල්ල වන විරෝධතා මැඩීම සඳහා යොදා ගනිමින් සිටී. පිරිසිදු පානීය ජලය ඉල්ලූ වැලිවේරිය ජනතාවට පසුගිය දා එල්ල කල රුදුරු හමුදා ප‍්‍රහාරයෙන් එය යලි පෙන්නුම් කෙරින. මෙම ප‍්‍රහාරයේදී තරුනයන් තිදෙනකු ඝාතනය කෙරුනි.

මිලිටරි පොලිස් ප‍්‍රහාරයන්ට අමතරව මහජනතාව වාර්ගික ආගමික ආකාරයට බෙදාලීම සඳහා ‘බොදුබල සේනා’ ‘සිහල රාවය’ වැනි සිංහල අන්තවාදී සංවිධාන පාරට බස්සා ඇති අතර මහජනයා පැහැදිලිව අත්දකින්නේ මෙම සංවිධානවල ප‍්‍රකෝපකරනයන්ට හා බලහත්කාරකම්වලට කිසිදු නීතියක් වලංගු නොවන බවයි.

බන්ඩාරට එරෙහි නියෝගය පිටුපසින් ශිෂ්‍යයන්ට එරෙහි මර්දන නියෝග හා ප‍්‍රහාර මාලාවක දිගු වාර්තාවක් ඇත. මේ වන විට සරසවි බොහොමයක ශිෂ්‍ය සංගම් පිහිටුවීම හා ඒ සඳහා අවශ්‍ය නිලවරන පැවැත්වීම සරසවි පාලනාධිකාරයන් විසින් තහනම් කර තිබේ. ශිෂ්‍ය නායකයන්ට එරෙහි පොලිස් හා මැර තර්ජන දිගින් දිගටම සිදු වෙමින් පවතී.

පසුගිය සතියේ ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍ය සංගම් කාර්යාලයට පරිපාලනය විසින් සීල් තබා ඇත්තේ ශිෂ්‍ය සංගමය පිහිටුවීමට අවශ්‍ය භන්ඩාගාරික හා අනුශාසක ධුර සඳහා ආචාර්යවරුන් ඉදිරිපත් නොවීම දඩමීමා කර ගනිමිනි. වාර්තා වන ආකාරයට ජයවර්ධනපුර සරසවියේ එම තනතුරු ආචාර්යවරුන් භාර නොගෙන තිබෙන්නේ ඔවුන්ට එල්ල වෙන විවිධ බලපෑම් හේතුවෙනි.

කැලනිය සරසවියේ ශිෂ්‍ය සංගම් කාර්යාලය 2010 දී ගිනි තබා විනාශ කල අතර සටන්කාමී ශිෂ්‍යයන් බහුතරයක් රැඳී සිටින එම සරසවියේ කන්නන්ගර නේවාසිකාරයට 2010 සිට මැර ප‍්‍රහාර 20 ට වැඩි ප‍්‍රමානයක් එල්ල වී තිබේ.

පසුගිය මාස කිහිපය තුල පමනක් විරෝධතාවලට සම්බන්ධ වූ සිසුන් 300 ට ආසන්න ප‍්‍රමානයකගේ පන්ති තහනම් කර ඇති අතර අඩු පහසුකම්වලට එරෙහිව දිගින් දිගටම විරෝධතාවල නියැලෙන සබරගමුව සරසවියේ ශිෂ්‍යයන්ගේ උපවාසයකට කඩා වැදුනු මැරයන් අහසට වෙඩි තබා තර්ජනය කර පලා ගියේ පසුගිය මැයි මාසයේ දී ය. ශිෂ්‍යන්ට එරෙහිව සිදුවන මෙවැනි මැර ක‍්‍රියා සම්බන්ධව කිසිවෙකු අත් අඩංගුවට ගෙන හෝ හඳුනා ගෙන නොමැත.

කෙසේ නමුත් "ශිෂ්‍ය සටන්” උත්කර්ෂයට නංවමින් ආන්ඩුවට බලපෑම් දැමීමේ අවිශිබමයේ විරෝධතා දිගින් දිගටම ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවට හා ශිෂ්‍ය මර්දනයට මාවත විවෘත කර දී තිබේ.

ජනතා විමුක්ති පෙරමුන යටතේ පැවති කාලයේ අවිශිබමය කියා සිටියේ තමා යෙදී සිටින්නේ "ශිෂ්‍ය දේශපාලනයක” බවයි. මෙම සූත‍්‍රය යටතේ ඔවුන් විරුද්ධ දේශපාලන ව්‍යාපාරවලට එරෙහිව කායික තර්ජන හා කායික ප‍්‍රහාර එල්ල කල අතර නවක සිසුන් තම ග‍්‍රහනයේ තබා ගැනීම සඳහා ‘නවක වදය’ යොදා ගත්තේ ය. මේ සෑම පියවරයක්ම ශිෂ්‍ය මර්දනය දැඩි කිරීම සඳහා ආන්ඩු විසින් යහමින් යොදා ගෙන තිබේ.

දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ අවිශිබමයේ ශිෂ්‍ය නායකයන් කියා සිටින්නේ ඔවුන් "සිසු- ජන සන්ධානයක්” වෙනුවෙන් පෙනී සිටින බවයි. ඔවුනගේ මෙම "සිසු - ජන සන්ධානයේ” රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහි දේශපාලන ප‍්‍රතිප‍්‍රහාරයක් සඳහා කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් බලමුලු ගැන්වීමට එරෙහිව බලපෑම් දැමීමේ ඉදිරි දර්ශනය තුල ඔවුන් සිර කර තැබීම සඳහා අටවන තවත් මර උගුලකි.

කෙසේ වුවද, බන්ඩාරට එරෙහි වාරන නියෝගයන්, තම අයිතීන් සහ අවශ්‍යතා සඳහා සංවිධානය වීමට ඇති මූලික ප‍්‍රජාතන්තී‍්‍රය අයිතියට එල්ල කරන ලද බලගතු ප‍්‍රහාරයක් වන අතර එහි දුර දිග යන ඇඟවුම් පවතින බවට සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට, තරුනයන්ට සහ අවශේෂ පීඩිතයන්ට අනතුරු අඟවයි.

Share this article: