වෙලඳපොල කලබැගෑනිය එලඹෙන නව ගෝලීය මූල්‍ය අර්බුදයක් සලකුනු කරයි

Market turmoil signifies a new global financial crisis in the making

2013 සැප්තැම්බර් 03

සිය “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහන යටතේ එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව, භාන්ඩාගාර බැඳුම්කර මිලට ගැනීමේ ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට පටන්ගැනීමත් සමග, ප්‍රධාන හා පාලනය කිරීමේ හැකියාවකින් තොර අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය කවයන්හි කනස්සල්ල වැඩෙමින් තිබේ.

පසුගිය මැයි මාසයේ බැංකුව පලමු වතාවට තමන් “කප්පාදුව” පටන් ගන්නා බවට ඇඟවුම් කරමින් ප්‍රගමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන ඉවත්කර ගැනීම ඇරඹීමේ ප්‍රතිපලයක් ලෙස, සමපේක්ෂන ප්‍රාග්ධනය ඉවතට ඇදී යද්දී, ඊනියා “නැඟී එන වෙලඳපොලවල්” ඒවායේ මුද‍ලෙහි හා කොටස් වෙලඳපොලවල වර්ධනය වන කැලඹීමකට මුහුන දී ඇත.

වසරකට ඩොලර් ට්‍රිලියනයක් තරම් වන භාන්ඩාගාර බැඳුම්කර හා උකස් පිටුබලය සහිත සුරැකුම් එක්සත් ජනපද මහ බැංකුව විසින් මිලට ගන්නා එම වැඩපිලිවෙල යටතේ, පොලී අනුපාතික වාර්තාගත මට්ටම් කරා පහත වැටුනි. වැඩසටහන ඉලක්ක කර තිබුනේ, අර්බුදයට වගකිවයුතු එම කොටස්වල ම වාසි වැඩි කිරීමට ය. 1930 ගනන් වලින් මෙපිට එක්සත් ජනපදය අත් විඳින නරකම සමාජ අර්බුදය හමුවේ එමගින්, තවත් මූල්‍ය බුබුලක් නිර්මානය වීමේ කොන්දේසි බිහි කලේය.

එක්සත් ජනපදයේ පොලී අනුපාත පහත හෙලීම මගින්, ඉතා අඩු පොලියට නයට ගෙන නැඟී එන වෙලඳපොලවල, එක්සත් ජනපදය තුලදී ලැබිය නොහැකි ඉහල ප්‍රතිලාභ ලැබෙන පරිදි ආයෝජනය කිරීමට මූල්‍ය සමපේක්ෂකයින්ට හැකියාව ගෙන දුන් “ලාභ වෙලඳාම” හිස එසවීය. ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයට අනුව, 2010 වසරේ පටන් නැඟී එන වෙලඳපොලවලට ගලා ආ ප්‍රාග්ධන ප්‍රවාහය වසරකට ඩොලර් ට්‍රිලියනයක් කරා ලඟා විය. මෙය දියුනු ආර්ථිකයන් අනුගමනය කල “අසම්මත මූල්‍ය ප්‍රතිපත්තිවල” ප්‍රතිපලයක් විය.

දැන් “කප්පාදුව” හා එක්සත් ජනපද පොලී අනුපාත ඉහල යාම අපේක්ෂා කරමින් සමපේක්ෂන ප්‍රාග්ධනය, ප්‍රතිවිරුද්ධ දිශාවට ගලා යාමට පටන්ගෙන තිබේ. නැඟී එන ආර්ථිකයන්හි මුදල බාල්දු වීමට පටන් ගැනීමත් සමග, සැලකිය යුතු අලාභ විඳීමට පෙර සමපේක්ෂකයින් සිය මුදල් ඉවත්කර ගැනීමට පෙලඹීමත් සමග ඉවතට ගැලීම වේගවත්වී ඇත.

හිටපු මෙක්සිකානු භාන්ඩාගාර ලේකම් ගුලෙර්මෝ ඕර්ටිස් ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයට සඳහන් කර ඇති පරිදි, අප්‍රේල් මාසයේ පටන් ඉන්දුනීසියාවට සිය විදේශ විනිමය සංචිතයෙන් සියයට 14ක් ද ඉන්දියාවට සියයට 5.5ක් පමන ද අහිමිවී ඇත. මෙම පීඩනය දිගටම පැවතියහොත්, පූර්න පරිමානයේ ගෙවුම් ශේෂ අර්බුදයක් වර්ධනය විය හැකි අතර එම තත්වය තුර්කිය, යුක්‍රේනය හා දකුනු අප්‍රිකාවට මෙන්ම වෙනත් රටවලටත් බලපානු ඇත.

ඉන්දියානු රුපියල 2013 වසරේ මේ දක්වා සියයට 20න් අවප්‍රමානය වී ඇති අතර ආර්ථික වර්ධනය 2002-2011 අතර පැවති සියයට 7.7ක සාමාන්‍ය වර්ධන මට්ටමේ සිට සියයට 4.4 දක්වා පහත වැටී ඇත. උද්ධමනය ද අයවැය හිඟයන් ද වැඩිවෙමින් තිබේ.

වසර ආරම්භයේ පටන් තුර්කි ලීරාව සියයට 14න් පමන පහත වැටී ඇති අතර කොටස් වෙලඳපොල සියයට 25න් ලුහුටා ගියේ ය. පසුගිය දශකවල තුර්කියේ ආර්ථික ප්‍රසාරනය බොහෝකොටම සිදුවූයේ මූල්‍ය හා නය බුබුලක් නිර්මානය වීමේ ප්‍රතිපලය ලෙස ය. දැන් වේගයෙන් එහි හුලං බසිමින් තිබේ. ලීරාව දිගටම පහත ගියහොත්, එරටට විදේශ මුදලින් ගෙවිය යුතු නය ගෙවාගැනීමට නොහැකි වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී කල තක්සේරුවකට අනුව, “තුර්කියේ විශාල විදෙස් අරමුදල් අවශ්‍යතා නිසා, ප්‍රාග්ධන ගලනය ආපසු හැරීමකට ‍නිරාවරනය වී ඇත. එවැන්නක් සිදුවුවහොත් ආර්ථික වර්ධනය කඩා වැටෙනු ඇත.”

1997-98 ආසියානු මූල්‍ය අර්බුදය පුනර්කරනය වීමේ අන්තරාය මතුකරමින්, තුර්කියේ ගැටලු නැඟී එන ආර්ථිකයන් පෙලකම ප්‍රති බිම්බනය වන්නේ ඊටත් වඩා විශාල පරිමාවකිනි. එවන් රටවලට දියුනු රටවලින් “විතැන්වී” 2008 කඩාවැටීම හමුවේ ගෝලීය ආර්ථිකයට උත්තේජනයක් සැපයිය හැකිවනු ඇතැයි යන ප්‍රකාශ කුඩුපට්ටම් වී ඇත.

නැඟී එන වෙලඳපොලවල අර්බුදයකින් ලෝක ආර්ථිකය ආරක්ෂාකර ගැනීමේ වෑයමක් ලෙස “තවත් ආරක්ෂක වැටවල්” ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලැගාඩි කැඳවුමක් කර ඇත. එහෙත් කිසිවක් සංයුක්තව යෝජනා කෙරී නැත. කෙසේ වෙතත් පිටතට ගලායාම වේගවත් වන විටකදී එසේ ගලායන අරමුදල්වල ප්‍රමානය සැලකිල්ලට ගන්නා කල ජාමූඅ එය පාලනය කිරීමට අපොහොසත් වනු ඇත.

එක්සත් ජනපද මහ බැංකුව, සිය ප්‍රතිපත්තිවල දේශීය බලපෑම ගැන පමනක් තමන් උනන්දු වන බව පවසමින් ජාත්‍යන්තර තත්වය සඳහා එහි වගකීමෙන් මුලුමනින්ම පාහේ අත සෝදාගෙන ඇත. මෙය සිහියට නංවන්නේ, 1973දී ඩොලරය වැටීම පිලිබඳව යුරෝපීය කනස්සල්ල පලවන තතු හමුවේ භාන්ඩාගාර ලේකම් ජෝන් කොනලි කල කුප්‍රකට ප්‍රකාශයකි. එනම්, “එය අපගේ මුදලයි, එහෙත් ඔබගේ ගැටලුවයි” යන්නය. හතලිස් වසරකට පෙර අනුගමනය කල ආක්‍රමනකාරී ආර්ථික පිලිවෙත දැන්, ලෝකය පුරා එක්සත් ජනපද අශ්‍යතා ලුහුබැඳ යාමේදී දැඩි වන මිලිටරිවාදය සමග අත්වැල් බැඳගෙන එය වඩාත් ඉහල තැනකට එසවී තිබේ.

කිසිදු ජාත්‍යන්තර විසඳුමක් සාකච්ඡා කරන්නේ හෝ පෙනෙනතෙක් මානයක ඇත්තේ නැත. දකුනු අප්‍රිකානු මුදල් ඇමති ප්රුවින් ගෝඩාන් “මුදලේ අස්ථාවර භාවය අවමකර ගැනීමට ගෝලීය පරිමානයෙන් සුදුසු හා ගැලපෙන ප්‍රතිචාරයක් දැනවීමට අප අසමත්ව සිටීම” ගැන පවසා ඇත. මධ්‍ය ම බැංකුකරුවන්ගේ රැස්වීම් ස්ථානයක් වන වයෝමිං ප්‍රාන්තයේ ජැක්සන් හෝල්හිදී කථා කරමින් මෙක්සිකෝවේ මධ්‍යම බැංකුවේ අධිපති ඔගස්ටින් කාස්ටෙන්ස් පසුගිය මාසයේදී සඳහන් කලේ, “ප්‍රාග්ධන ගලනයේ අස්ථාවර ස්වභාවය අතිශයින්ම විනාශකාරී තත්වයකට පත්ව ඇති” බවයි.

මෙම අස්ථාවරත්වයට යටින් දිවෙන හේතු, කලමනාකරන උපදේශන ආයතනයක් වන බේන් සහ සමාගම විසින් මෑතකදී පල කල වාර්තාවක ගෙනහැර දක්වා තිබේ. මූල්‍ය ආර්ථිකය හා යටින් පවතින සමස්ත ආර්ථිකය අතර සම්බන්ධය “තීරනාත්මක සන්ධිස්ථානයකට පැමින ඇති” බව එය පෙන්වා දෙයි. සමස්ත නිමැවුම මන්දගාමී වන තතු තුල, මූල්‍යම වත්කම්වල පරිමාව වේගවත් පරාසයකින් ප්‍රසාරනය වන අතර දැන් එය භාන්ඩ හා සේවාවන්හි ගෝලීය වටිනාකම මෙන් දහ ගුනයක් දක්වා වර්ධනය වී ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, ෆෙඩරල් මහ බැංකුව හා අනෙකුත් මහ බැංකුවල ප්‍රතිපත්ති මගින් දහනය කරන වර්ධනයක් සහිත මූල්‍ය, වත්කම්වල ප්‍රසාරනය වන පරිමාව සාපේක්ෂව කුඩා වන අත්තිවාරමේ මුදුන අරක්ගෙන ඇති තත්වය හමුවේ ලෝක ආර්ථිකය එන්ට එන්ටම ඇතුලතට නැඹුරුවූ පිරමිඩයකට සමානකම් දක්වයි.

ලාභ සොයා යන ප්‍රාග්ධනයේ සමපේක්ෂනාත්මක ගලා ඒම් මගින් නිර්මානය කල වත්කම් බුබුලු “සාපේක්ෂ වශයෙන් හුදෙකලා සිදුවීම් වලින් චලනය වෙමින් ඩොලර් ට්‍රිලියන ගනනකට වග කියන, පද්ධතිය සොලවාලන අර්බුද නිර්මානය කරයි”යනුවෙන් වාර්තාව ගෙනහැර දක්වන්නේ මෙම තත්වයයි.

එක්සත් ජනපද මූල්‍ය ප්‍රාග්ධනයේ භාරකරුවෝ, තම කටයුතුවල ගෝලීය ප්‍රතිවිපාක ගැන තැකීමකින් තොරව ඒකපාර්ශවිකව ක්‍රියාකල හැකිය යන පදනම මත වැඩ කරති. එහෙත් අවසන් විග්‍රහයේදී එක්සත් ජනපදය තරම් ගෝලීය මුදල් ප්‍රවාහයේ ප්‍රචන්ඩ හැලහැප්පීම් වලට වෙනත් කිසිදු රටක් නිරාවරනය වී නැත.

එක්සත් ජනපද මූල්‍ය ක්‍රමය, චීනය විසින් මිලට ගන්නා භාන්ඩාගාර බැඳුම්කර මත දැඩි ලෙස රැඳී ඇත. චීනයේ නය 2008දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 130ක මට්ටමේ පැවති අතර අද එය සියයට 200 තෙක් නැඟී ඇත. මේ තත්වය තුල දැනටමත් අනතුරු ඇඟවීම් නිකුත්වී ඇති එරට ඇතිවිය හැකි ප්‍රධාන නය අර්බුදයක්, එක්සත් ජනපදයෙන් අරමුදල් ඉවත්කර ගන්නා තැනට පත්වී මූල්‍ය කම්පනයක් ජනිත කල හැකිය.

යූබීඑස් වෙල්ත් මැනේජ්මන්ට්හි ප්‍රධාන ආයෝජන නිලධාරී ඇලෙක්සැන්ඩර් ප්‍රීඩ්මාන් පසුගිය සතියේ මෙසේ අනතුරු ඇඟවීය. රට තුල අර්බුදයකට මුහුනදීම සඳහා එක්සත් ජනපද බැඳුම්කර අතහැරීමට චීනයට බලකෙරුනොත්, චීන බැංකු ක්‍රමයට ඇප දීමට ඉක්මනින් හෝ පසුව එක්සත් ජනපදයට සිදුවනු ඇත. එවන් ක්‍රියාවක් පොලී අනුපාතික ඉහලට යොමුකර එක්සත් ජනපදය තුල ආර්ථික කලබැගෑනියක් නිර්මානය කරනු ඇත.

මිලිටරිවාදයේ පැනැනැගීම හා ගැඹුරුවන ආර්ථික අර්බුදය අතර ද වැඩෙන අන්තර් ක්‍රියාකාරිත්වයක් දක්නට ඇත. එක්සත් ජනපදය විසින් එක දිගට දියත් කරන ලද යුද්ධ මාලාව, අවි බලයෙන් සිය සාපේක්ෂ ආර්ථික පරිහානිය ජය ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිපලයකි. එහෙත් සිරියාවට හෝ ඉරානය වැනි අනෙකුත් ඉලක්කයන්ට එරෙහි යුද්ධය, ක්ෂනිකවම එක්සත් ජනපදය තුලට “කඩාවැදිය හැකි” මූල්‍ය අර්බුදයක් මුදාහැරීමේ හැකියාවෙන් යුක්තය.

මූල්‍ය අර්බුදයේ පස්වන වසරට එලඹෙමින් තිබිය දී වඩ වඩාත් පැහැදිලි වන්නේ, ධනේශ්වර ආර්ථික හා මූල්‍ය පද්ධතිය පිලිබඳ ඓතිහාසික අර්බුදයේ කිසිවක් විසඳී නැතුවා පමනක් නොව, එය උත්සන්න වෙමින් තිබෙන බවයි. බිලියන සංඛ්‍යාත මිනිසුන් ජීවත් වන්නේ, තම හිසට ඉහලින් ඩැමොකලිස්ගේ කඩුව ලෙලදෙමින් තිබිය දී ය. ගෝලීය මූල්‍ය පද්ධතිය නව ව්‍යසනයක් කරා ලුහුටා යමින් තිබිය දී එක් දිනකින් දුප්පත් කමට කඩා වැටීමේ තර්ජනය ලඹ දෙයි.

නික් බීම්ස්

Share this article: