ලේමන් බ්‍රදර්ස් බිඳවැටීමේ තැන් පටන් පස් වසරක්

Five years since the collapse of Lehman Brothers

2013 සැප්තැම්බර් 14

පස් වසරකට පෙර 2008 සැප්තැම්බර් 15දා එක්සත් ජනපදයේ ලේමන් බ්‍රදර්ස් ආයෝජන බැංකුව කඩා වැටීම, ගෝලීය මූල්‍ය අර්බුදයේ ආරම්භයට වඩා වැඩි දෙයකි. ක්‍රියාවලීන් මාලාවක් මුදා හල එම සිදුවීම, ලෝක ධනවාදයේ අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලන සම්බන්ධතා මතුපිටට ගෙනැවිත් තිබේ.

සියල්ලටත් වඩා මූල්‍ය අර්බුදයේ ඓතිහාසික ස්වභාවය සලකුනු කරන්නේ, මූල්‍ය සමපේක්ෂනය සඳහා අතිශයින්ම ලාභ මුදල් ප්‍රතිපාදනයේ පදනම මත ආන්ඩු හා මූල්‍ය බලධාරීන් යොදාගත් එම පියවරයන්ම, උනුවී යාමේ තර්ජනය ඉවත් කරනවා වෙනුවට, නව ව්‍යසනයක් සඳහා කොන්දේසි නිර්මානය කල බවය.

2008 සිදුවීම්වල ප්‍රතිපල වශයෙන් එක්සත් ජනපදය තුල රැකියා මිලියන 8.8ක් අතුගෑවී ගිය අතර කුටුම්භයන්හි ධනය ඩොලර් ට්‍රිලියන 19.6ක් අහිමි විය. අර්බුදයේ පරිමාව එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව බැංකු ක්‍රමය තුලට මුදාහල හදිසි පහසුකම් මගින් සලකුනු කෙරේ. ට්‍රිලියන 17.7ක් ඒ සඳහා වෙන් කෙරුනු අතර ප්‍රමුඛ නයගැතියන් වන සිටි ගෲප්, මෝගන් ස්ටැන්ලි හා මෙරිල් ලින්ච් ඩොලර් ට්‍රිලියන 11.5ක පහසුකම් ලබාගත්තේය. මෙය ද්‍රවශීලතා අර්බුදයක් නොව වස්තු භංගත්වයේ අර්බුදයක් විය.

ප්‍රධාන බැංකු හා මූල්‍ය ආයතන ගලවාගැනීමෙන් පසුව මහ බැංකුව, 2008 අර්බුදයට තුඩු දුන් වර්ගයේම සමපේක්ෂන ක්‍රියාවලියකට අරමුදල් සම්පාදනය සඳහා මසකට බිලියන 85ක් මූල්‍ය වෙලඳපොලට නිකුත් කරන, මුදල් අච්චු ගැසීමේ වත්මන් වටය වන “ප්‍රමානාත්මක ලිහිල්කිරීමේ” වැඩසටහන දියත් කලේ ය. වෝල් ස්ට්‍රීට් ජර්නලයට අනුව, සමස්ත සංගත බැඳුම්කර නයෙහි වර්ධනය 2007 තිබුනු මටටමට වඩා සියයට 57න් වැඩි ට්‍රිලියන 6 දක්වා ඉහල නැඟුනි. බිඳවැටීමට පෙරාතුව එක්සත් ජනපදය තුල අලෙවිකල ව්‍යාපාරික බැඳුම්කරයන්ගෙන් සියයට 17ක් වූ කසල බැඳුම්කර අගය, දැන් සියයට 25 දක්වා වර්ධනයවී ඇත.

ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය, මහජන විරැකියාව දිගටම පවතින බව සලකුනු කරමින් ශ්‍රම බලකායේ වර්ධනය වත් දරාගැනීමට අවශ්‍ය කෙරෙන මට්ටමට බෙහෝ පහත් අගයක, එනම් සියයට 2කටත් අඩු මට්ටමක පවතිද්දී, ව්‍යාපාර වස්තු වෙලඳපොල වාර්තාගත නව ඉහලකට එසවී තිබේ.

බ්‍රිතාන්‍යයේ හා යුරෝ කලාපයේ දල දේශීය නිෂ්පාදිතය, 2007 පැවති මට්ටම් කරා ලඟාවී නැත.

“නැගී එන වෙලඳපොලවලට” දියුනු ආර්ථිකයන්ගෙන් විතැන්වී, ගෝලීය ආර්ථික වර්ධනය සඳහා නව උත්තේජනයක් සැපයිය හැකිය යන බෙහෙවින් හුවා දක්වන ලද ප්‍රපංචය කුඩුපට්ටම්වී ගොසිනි. සැබෑව නම් මෙම ආර්ථිකයන් නව මූල්‍ය උනුවී යාමක් ඉක්මන් කරනු ඇතැයි යන්න ය. මෙම රටවලට ගලා ආ ලාභ මුදල්, සමපේක්ෂනාත්මක බුබුලු මාලාවක් පුම්බා ඇති නමුත්, ෆෙඩරල් මහ බැංකුව සිය වත්කම් මිලට ගැනීමේ වැඩසටහන ආපසු කරකවනවාත් සමග ම මුදල් ආපසු ගැලීම පටන් ගනු ඇත.

අර්බුදය හටගත් අවධියේ, ඒ මගින් බැංකු ක්‍රමය ප්‍රතිසංස්කරනයකට ලක්ව, ඒ තුල ආධිපත්‍ය ය විහිදවූ මූල්‍ය යෝධයින් ඇද වැටෙනු ඇති බවට විවිධ මත පලව තිබුනි. ඒ වෙනුවට වසර පහක් ගතව ඇති තැන සිදුව ඇත්තේ, ඇමරිකානු බැංකු හා මූල්‍ය ක්‍රමය අර්බුදයට පෙරාතුව තිබුනාටත් වඩා ඒකාග්‍ර වීමයි. එම කාරනය, යුරෝපය, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව හා වෙනත් රටවල් සම්බන්ධයෙන් ද සත්‍යයකි.

බිඳ වැටීමට දායකවූ මූල්‍ය භාවිතාවන්ගේ සාපරාධී ස්වභාවය මනාව පැහැදිලිව තිබිය දී ද කිසිදු විධාය‍කයෙකු සිරගත කිරීම කෙසේ වෙතත් ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ල කර හෝ නැත. එක්සත් ජනපදයේ නීතිපති පැහැදිලි කල පරිදි ඔබාමා පාලනාධිකාරය, ප්‍රධාන බැංකු හෝ ඒවායේ ඉහල විධායකයින්ට චෝදනා කිරීම ප්‍රතික්ෂේප කර ඇත. මක්නිසා ද යත්, එමගින් ගෝලීය ප්‍රතිවිපාක ජනනය කල හැකි අර්බුදයක් මුදාහරිනු ඇතැයි යන බිය නිසා ය.

එක්සත් ජනපද “ප්‍රකෘතියේ” සාරය නම්, ආදායම් පරිමාව අනුව ධනය යලි බෙදාහැරීම ය. 2009-12 අතර ඊනියා “ප්‍රකෘතිය” කාලයේ එරට ආදායම, සියයට 6න් වර්ධනය වූ නමුත් ඉන් සියයට 95ක් ම ගලා ගියේ ජනගහනයේ සියයට එකක් වෙත ය. ජනගහනයේ බහුතරයක මූර්ත ආදායම පහත වැටී ඇත.

ජාතික ආදායමෙන් ශ්‍රමයේ පංඟුව මූල්‍ය අර්බුදය අවධියේ පැවති සියයට 62 සිට දැන් සියයට 59 දක්වා පහත බැස තිබේ. එක්සත් ජනපදයේ දල දේශීය නිෂ්පාදිතය ට්‍රිලියන 15ක් වන තතු හමුවේ, බිලියන 450ක පමන ධන සම්භාරයක් මූල්‍ය කතිපයාධිකාරය පොහොසත් කිරීම පිනිස කම්කරු පන්තිය වෙතින් උදුරාගෙන ඇත.

දශක ගනනාවක් තිස්සේ සියලු ආකාරයේ සංශෝධනවාදියෝ, එක් අන්තයක ධනය ගොඩගැසෙද්දී අනෙක් අන්තයේ සමාජ කාලකන්නිකම කඳු ගැසීම අංඟලක්ෂිත ධනේශ්වර ආර්ථිකයේ ගතිකය සම්බන්ධයෙන් කාල් මාක්ස්ගේ විශ්ලේෂනය සමච්චලයට ලක් කලහ. එවන් අංඟ ලක්ෂනයක් යොදාගත හැක්කේ 19වන සියවසට නැත්නම් 1930 ගනන් වලට පමනක් යයි ඔවුහු කියා සිටියහ.

එහෙත් 2008 කඩා වැටීමෙන් ඉක්බිත්තෙහි, සමාජ අසමානතාවය ගැඹුරු වන තතු හමුවේ, ප්‍රමුඛ දියුනු ධනපති රටවල් සියල්ලේම මූල්‍ය හා ව්‍යාපාරික ප්‍රභූවේ එක් මූලික ඉල්ලීමක් වූයේ, පෙර සියවස තුල කම්කරු පන්තිය දිනා‍ගෙන ඇති සියලු සමාජ සහන මුලුමනින්ම විනාශ කිරීම නොවේ නම්, ආපසු කැරකවීමයි. සමාජ ප්‍රතිවිප්ලවය මුදාහැර ඇත.

මූල්‍ය ක්ෂේත්‍රයේ හී තුඩ වන සාපරාධිත්වය, පරපුටුකම හා කොල්ලය, එක්සත් ජනපදයේ හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ විදෙස් පිලිවෙත තුල සිය සහචරයා සොයාගෙන ඇත. නියුරම්බර්ග් නඩු වල නාසීන්ට එරෙහි චෝදනාවන් සඳහා නීතිමය පදනම සම්පාදනය කල එම කාරනයම, එනම්, මූලෝපායික දේශපාලන හා ආර්ථික ඉලක්ක සපුරාලීමේ මාධ්‍යයන් ලෙස යුද්ධය යොදාගැනීම දැන් විවෘතව ම සිදුවෙමින් තිබේ.

යුද්ධය හා සමාජ ප්‍රතිවිප්ලවය සාමකාමීව හෝ ප්‍රජාතන්ත්‍රවාදී රූපාකාරයන් තුලින් ක්‍රියාවට නැඟිය නොහැකි ය. යෝධ ඔත්තු බැලීම් ජාලයන් මත පාදකවූ සියලු දියුනු ධනපති රටවල පොලිස් රාජ්‍ය යාන්ත්‍රනයන් ගොඩනැඟීමේ ගාමක බලය නම් මෙයයි. පාලක පන්ති, ගෝලීය මූල්‍ය ක්‍රමයේ තවත් බිඳ වැටීමක්, විප්ලවකාරී පරිමාවන් අත්කරගන්නා සමාජ නැගිටීම් වලට තුඩුදෙනු ඇතැයි බියපත්ව සිටිති.

පසුගිය පස් වසර දැකගත හැකි වූයේ, ඊජිප්තු විප්ලවය එහි ඉහල ම තුඩ සලකුනු කල, මහජන අරගලවල පුපුරා යාමක් ලෙස ය. එහෙත් එම අරගලයන්ම හෙලිදරව් කලේ, කම්කරු පන්ති නායකත්වයේ හා ඉදිරිදර්ශනයේ අර්බුදය යි.

තමන් අසුන් දරා සිටින ආර්ථික හා සමාජ පර්යායේ “ප්‍රකෘතියක්” ගැන පාලක පන්තීන්ට විශ්වාසයක් ඇත්තේ නැත. ඔවුන් කම්කරු පන්තියේ සමාජ තත්වයන්ට එල්ල කරන ප්‍රහාරයන් තව තවත් උග්‍ර කරන්නේ ද පාලනයේ අධිකාරිවාදී රූපාකාරයන් සූදානම් කරන්නේ ද එබැවිනි.

ඊට නොඅඩු දැනුවත් බවකින් කම්කරු පන්තිය, පසුගිය පස් වසරේ පාඩම් උකහා ගනිමින් සූදානම් විය යුතු ය. ධනපති ක්‍රමය අසාර්ථකවී ඇත. යුද්ධය, ආඥාදායකත්වය හා මහජන විරැකියාව කරා යලි සේන්දුවීම හැරෙන්නට කම්කරු පන්තිය හා සමස්ත මානව වර්ගයාට ම පිලිගැන්විය හැකි විසඳුමක් එය සතුව ඇත්තේ නැත. දවසේ දැවෙන ප්‍රශ්නය වන්නේ ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන්වදින නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැඟීමයි.

නික් බීම්ස්

Share this article: