ඇමරිකාවේ දැවැන්ත සමාජ පරතරය

The social chasm in America

2013 සැප්තැම්බර් 13

කැලිෆෝනියා බර්ක්ලේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එමානුවෙල් සාඑස් ගේ වාර්තාවකට අනුව ඔබාමා යටතේ පොහොසතුන් හා සමාජයේ සෙසු කොටස් අතර පරතරය තියනු ලෙස පුලූල් වී ඇත. පොහොසත් ම සියයට එක ඇමරිකාව තුල සියලූ ම කුටුම්භ ආදායමෙන් සියයට 22ට වඩා වැඩි කොටසක් හිමිකර ගනිති. ජනගහනයේ පොහොසත් ම සියයට දහය දැන් ජාතික ආදායමෙන් අඩකට වඩා, එනම් සියයට 50.4ක් පාලනය කරති― ආන්ඩුව 1917දී සංඛ්‍යාලේඛන එකතු කිරීම ආරම්භ කලාට පසු මෙය ඉහල ම අනුපාතය යි.

2009 සිට පොහොසත් ම සියයට එක සියලු ම ආදායම් ඉපයුම්වලින් සියයට 95ක දැවන්ත කොටසක් හිමිකරගෙන ඇත. ආන්ඩුවේ පන්ති යුද්ධ ප‍්‍රතිපත්ති, එනම් බැංකු ඇපදීම්, “ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම්” සහ කම්කරු පන්තියේ වැටුප් හා සමාජ ප‍්‍රතිලාභ මත එල්ල කරන ප‍්‍රහාර, මුදුනේ සියයට එකේ ආදායම සියයට 31.4කින් ඉහල දමා ඇත. 2008 වෝල් වීදියේ බිඳ වැටීමෙන් සිදුවූ සියලූ අලාභයන්ම පාහේ මේ වන විට ධනවතුන්ට ආපසු ලැබී තිබේ.

මේ අතර, පතුලේ සියයට 99 අත් විඳින්නේ, තම ආදායමේ 0.4ක අල්ප වැඩිවීමක් පමනි. 2007-2009 වාර්තාගත කුටුම්භ ආදායම් වැටීමෙන් කිසිසේත් ගොඩවිත් නැති කම්කරුවන් මිලියන ගනනාවක් දැවන්ත විරැකියාව, පහත වැටෙන වැටුප්, නිවාසවලින් නෙරපා හැරීම්, නයගැතිකම හා සමාජ සේවා කප්පාදුවල ප‍්‍රතිඵල වශයෙන් පීඩාවට පත්ව සිටිති.

ඇමරිකානු සමාජයේ යන්තම් මතුපිටට යටින් කැකෑරෙන පන්ති ආතතීන්ගේ මූලය මෙම සමාජ පරතරය යි. වැඩෙන මහජන ප‍්‍රතිරෝධයට එරෙහිව පොලිස්-රාජ්‍ය ඒකාධිපතිත්වය දෙසට තල්ලුවීම පිටුපසින් පවතින්නේ ද මූල්‍ය ප‍්‍රභූව සිය අභිලාශය ක‍්‍රියාවට නැගීමට දරන මෙම උත්සාහයයි.

සමාජ අසමානතාව පිලිබඳ නව වාර්තාව පලවූයේ ඇමරිකානු පාලක පන්තිය මැද පෙරදිග තවත් යුද්ධයක් දියක් කිරීමට සූදානම් වීමත් සමග ය. ඔබාමා පාලනාධිකාරය යුද්ධය සඳහා ප‍්‍රචාරක මෙවලම් බලමුලු ගැන්වීමට උත්සාහ ගනිත් ම එය මුහුන දුන්නේ බලාපොරොත්තු නො වූ දෙයකට ය: එනම් ඇමරිකානු මහජනතාවගේ අති ප‍්‍රභල විරුද්ධත්වයට ය. මාධ්‍ය ප‍්‍රචාරක ව්‍යාපාරය මධ්‍යයේ මත විමසුම් පෙන්වන්නේ, යුද්ධයට සහාය දක්වන පුද්ගලයන්ගේ ප‍්‍රතිශතය යන්තම් සියයට 3 සිට 10 දක්වා පවතින බව යි.

මෙම ප‍්‍රපංච දෙක එකිනෙකට සම්බන්ධ ය. එක් පැත්තක ගිනිය නොහැකි ප‍්‍රතිවිපාක සහිත නව යුද්ධයක් දියත් කිරීමට වන පාලක පන්තියේ තල්ලුව හා අනෙක් පැත්තේ ඇමරිකානු මහජනතාවගේ මනෝභාවය අතර මතුව ඇති මෙම ගැටුම සාඑස් වාර්තාව තුල හෙලිදරව් කෙරෙන දැවැන්ත සමාජ අගාධයේ ආරම්භක දේශපාලන ප‍්‍රකාශනය වන්නේ ය.

සමාජ අසමානතාවයේ වර්තමාන මට්ටම් දශක ගනනාවක් දීර්ග සමාජ ප‍්‍රතිවිප්ලවයේ කූටප‍්‍රාප්තියකි. 1970 අවසානයේ සිට ඉදිරියට ඇමරිකානු පාලක පන්තිය තම ලෝක ආධිපත්‍යයේ බිඳවැටීමට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ විදේශයන්හි මිලිටරිවාදය හා රට තුල පන්ති යුද්ධය හරහා ය.

කම්කරු පන්තියෙන් පොහොසතුන්ට ධනය නැවත බෙදාහැරී ඇත්තේ, මූල්‍ය සමපේක්ෂනයේ ඉතාමත් ම පරපුටු රූපාකාරයන් සමග අත්වැල් බැඳගත් කාර්මිකකරනයෙන් බැහැරවීම හරහා ය. 1980 සිට අද දක්වා ඉහල සියයට එකට යන ආදායමේ පංගුව දෙගුනයකටත් වඩා වැඩි වී ඇත. එය සියයට 10කට වඩා පහලක සිට සියයට 20 දක්වා ඉහල යාමකි. මෙම ක‍්‍රියාවලිය 2008 පටන් වේගවත්වී ඇත.

විශේෂයෙන් ම තරුන පරම්පරාවට දැඩිව පහර වැදීමත් සමග සමස්තයක් ලෙස කම්කරු පන්තිය මුහුන දෙන්නේ දැවන්ත විරැකියාවේ හා දරිද්‍රතාවයේ අනාගතයකට ය. ආර්ථික ප‍්‍රතිපත්ති ආයතනයට අනුව, වර්ෂ 2000-2011 අතර මෑත විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගේ උද්ධමනයට ගැලපූ පසු වැටුප් සියයට 13කින් ද, විද්‍යාලයීය උපාධිධාරීන්ගේ වැටුප් සියයට 8කින් ද පහත වැටුනි. සේව්‍යයා ගෙවීම් දරන සෞඛ්‍ය ආරක්ෂාව හිමි මෑත විද්‍යාලයීය උපාධිධාරීන්ගේ ප‍්‍රතිශතය ද 1989 සිට 2011 දක්වා අඩකින් පහත වැටුනි.

සමාජ අසමානතාවයේ වර්ධනය ප‍්‍රගාඪ දේශපාලන ප‍්‍රභේදනයක් නිර්මානය කරයි. කම්කරුවන් හා තරුනයන් ඉරාක යුද්ධයේ අත්දැකීම් විනිවිද ගොස් ඇතිවා පමනක් නො ව අවසානයක් නොමැති යුද්ධය එක්සත් ජනපදය තුල කම්කරු පන්තියේ සෑම සමාජ අයිතියකට ම එල්ල කරන ප‍්‍රහාරයේ කොටසක් බවට අවබෝධයක් ද වැඩෙමින් තිබේ. සමාජ අසන්තෘප්තිය යුද්ධයෙන් ඉවතට හැරවීම සඳහා යොදාගත් පට්ට ගැසුනු ක‍්‍රමවේදය සහ “ජාතික ආරක්ෂාව” හා “ජාතික එක්සත්කම” සඳහා හඬගෑම සැකයට පාත‍්‍ර වී හෝ ඇහුම්කන් නොදෙන තත්වයට පත් වී ඇත.

සාඑස්ගේ අධ්‍යයනය පෙන්වන පරිදි, පසු ගිය දශක තුන හමාර තිස්සේ පොහොසත් ව ඇත්තේ ජනගහනයේ ඉහල සියයට එක පමනක් නො වේ. ඇමරිකානු ජනගහනයෙන් ඉහල සියයට 5 හෝ 10 සමන්විත පුලුල් තට්ටුවක් හා ඉහල වැටුප් ලබන වෘත්තීය වේදීහු, ස්ථීර මහාචාර්යවරු, මාධ්‍යවේදීහු හා වෘත්තීය සමිති ක‍්‍රියාකාරීහු අධිරාජ්‍යවාදී යුද්ධයේ ඩිමොක‍්‍රටික් පක්ෂ “ලිබරල් හා” “වාම” හවුල් කරුවන්ගේ පදනම සකසති.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ කොටසක් යුද-විරෝධීන් ලෙස පෙනී සිටි 2003ට වඩා වෙනස් ආකාරයකින්, යුද්ධය සඳහා දේශපාලන සංස්ථාපිතය තුල සැබෑ පොදු එකඟත්වයක් ඇත. මෙයට ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි ව්‍යාජ වාම කන්ඩායම් ද අයත් ය. මොවුහු 2003දී යුද විරෝධී විරෝධතා සංවිධන කටයුතුවල නියලුනු අතර දැන් සිරියාව තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අරමුනු සමග පෙල ගැසෙති.

යුද විරෝධය තීරනාත්මක ලෙස කම්කරු පන්තිය වෙතට මාරු වෙමින් තිබේ. තවමත් උදාසීන හා සම්පූර්නයෙන් දැනුවත් නැති වුවත් ඔබාමාගේ යුද්ධයට පවතින ගැඹුරු විරුද්ධත්වය පෙන්වන්නේ දැවැන්ත යුද වරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පවතින විශාල හැකියාව යි. මෙම විරුද්ධත්වයට දැනුවත් දේශපාලන ආකෘතියක් ලබා දිය යුතු ය. ධනේශ්වර පක්ෂ දෙකෙන් වෙන්වීමට හා යල්පැනගිය ලාභ පද්ධතිය සමාජවාදය මගින් විස්ථාපනය කිරීමට සාමය, සමානතාව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අව්‍යාජ එකම සමාජ බලවේගය වන කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ දේශපාලන අරගලය තුල එය මුල් බැස ගත යුතු ය.

එවැනි ව්‍යාපාරයක වර්ධනය ඉල්ලා සිටින්නේ, ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ නව, විප්ලවවාදී නායකත්වයක් එනම්, සමාජවාදී සමානතා පක්ෂය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම යි.

ජෙරී වයිට්

Share this article: