මරන තර්ජන හේතුවෙන් සන්ඬේ ලීඩර් කතුවරිය රට හැර යයි

චානක සිල්වා සහ පානිනී විජේසිරිවර්දන විසිනි, 2013 සැප්තැම්බර් 23

මෑතක දී තම නිවසේ දී සන්නද්ධ මැර කල්ලියක ප‍්‍රහාරයට ලක් වූ සන්ඬේලීඩර් පුවත්පතේ සම කතුවරියක වන මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම, තම දිවි ගලවා ගැනීම සඳහා පසුගිය සතියේ මුල පිට රටකට පලාගියා ය. එම ප‍්‍රහාරයෙන් අනතුරුව නොකඩවා එල්ල වූ මරන තර්ජන හේතුවෙන් අබේවික‍්‍රමට තම මාධ්‍යවේදී සැමියා ද, දොලොස් හැවිරිදි දියනිය ද සමග, මෙසේ රට හැර යාමට සිදු වූ බැව් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

පස් දෙනෙකුගෙන් සමන්විත සන්නද්ධ මැර කල්ලියක් අගෝස්තු 24 වන දා, උදැසන 2ට පමන අබේවික‍්‍රමගේ නිවසට කඩාවැදී නිවසෙහි වූ ලිපිගොනු එක් රැස් කොට ගෙන ඇත්තේ මුදල් ඇතුලු අනෙකුත් වටිනා කියන දෑ සිය ග‍්‍රහනයට නතු කරගන්නා ව්‍යාජයක් මවාපාමිනි. මැර කල්ලිය, අබේවික‍්‍රම වෙත පිහියක් දිගුකර ඇය මරා දමන බවට තර්ජනය කර ඇති අතර, පැය තුනකට ආසන්න කාලයක්, එනම් පොලිසියෙන් නිවස තුලට කඩාවදින තෙක්ම, එහි වූ ලිපිගොනු ආදිය සොයමින් රැඳී සිට ඇත.

සිය නිවෙස වෙත පැමිනෙමින් සිටි අබේවික‍්‍රමගේ සැමියා වන රොමේෂ් අබේවික‍්‍රම ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව නිවසට පැමිනි පොලිසිය සමග හටගත් ගැටුමින් මැර කල්ලියේ සාමාජිකයෙකු මිය ගිය අතර සිව් දෙනෙකු තුවාල ලැබූහ. මේ අතර, කල්ලියට අයත් දෙදෙනෙකු යුද හමුදාව හැර පලා ගිය අය බැව් පොලීසිය විසින් හඳුනා ගෙන ඇත. කෙසේ නමුදු, ඉන් දෙසතියකට පසු, එනම් සැප්තැම්බර් 8 දා, නැවත ඇගේ නිවසට කඩා වැදුනු තවත් මැර කල්ලියක් නිවසේ තිබූ පරිගනක යන්ත‍්‍ර පැහැර ගෙන යාමට තැත් කර ඇති බව අබේවික‍්‍රම පවසයි. ඇය එවන විට නිවස හැර ගොස් සිටියා ය.

අබේවික‍්‍රම සන්ඬේ ලීඩර් පුවත්පතට ආන්ඩුවේ නායකයන් පිලිබඳව සීමිත විවේචනයන් ද ඇතුලත් දේශපාලන ලියවිලි සම්පාදනය කලාය. මැර කල්ලිය පැමිනියේ මුදල් ඇතුලු වටිනා දෑ සොරකම් කිරීමට නොව, තම ලිපි ලේඛන පැහැර ගැනීමට යැයි සැක කරන බව අබේවික‍්‍රම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම මරන තර්ජන මාලාව එල්ල වූ බවත්, එතැන් පටන් දිවි ගලවා ගැනීම සඳහා තම පවුලේ සාමාජිකයන් සමග තැනින් තැන සැඟව සිටීමට ඇයට සිදු වූ බවත් මාධ්‍ය වාර්තාවන් මගින් පැහැදිලි කෙරේ.

විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ අබේවික‍්‍රමගේ නිවසට මැරයන් පැමින ඇත්තේ විදේශ ආයෝජකයෙකු විසින් සුවිශාල ගොඩනැගිල්ලක් තැනීමට අදාලව ආන්ඩුවේ ප‍්‍රධානියෙකු කල අයථා ගනුදෙනුවක් පිලිබඳ තොරතුරු ඈ සතුව තිබේ යයි සැකකල නිසා බව ය. එහෙත් ඔහු ඒ පිලිබඳව නිශ්චිතව කරුනු ඉදිරි පත් කලේ නැත.

2006 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ යලි යුද්ධය ඇරැඹීමෙන් පසු ගත වූ කාලය තුල, රාජපක්ෂ තන්ත‍්‍රය සම්බන්ධයෙන් විවේචනාත්මක වූ මාධ්‍යවේදීන්, අවම වශයෙන්, 15 දෙනෙකු ඝාතනය කෙරී ඇති බැව් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ප‍්‍රකාශ කරන අතර 80 කට අධික මාධ්‍යවේදීන් සංඛ්‍යාවක්, තමන්ට එල්ල වූ මරන තර්ජන සහ ප‍්‍රහාර හමුවේ රට හැර ගොස් ඇත. මීට අමතරව, ආන්ඩුව කෙරෙහි විවේචනාත්මක වූ මාධ්‍ය ආයතන ගනනාවකට ම එල්ල කෙරුනු මැර ප‍්‍රහාර වලින් ඒවායේ ගොඩනැගිලි හා උපකරන විනාශ කෙරුනු අතර එය නොකඩවා සිදු වෙමින් පවතී. කොලඹ ආන්ඩුව කෙරෙහි විවේචනාත්මක ආකල්පයක් ගන්නා උදයන් පුවත්පතට යාපනයේදී නොකඩවා එල්ල වන ප‍්‍රහාරය මේ පිලිබඳ බලගතු සාක්ෂියකි.

"මෙම ඝාතන, පැහැර ගැනීම්, පහරදීම් හා ගිනි තැබීම් සම්බන්ධයෙන් කවර හෝ විධිමත් පරීක්ෂනයක් සිදු නොකෙරුනු අතර ඒ සම්බන්ධයෙන් වගකිවයුතු කවරෙකු හෝ නීතිය ඉදිරියට පමුනුවා නැතැ” යි පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර, "ශී‍්‍ර ලංකාව තුල මාධ්‍යවේදීන්ට එරෙහිව නොකඩවා ගෙන යන යුද්ධයේ නවතම ගොදුර” අබේවික‍්‍රම බව සඳහන් කරයි.

ගෝලීය ධනේශ්වර අර්බුදයේ බර කම්කරු පීඩිත මහජනතාව මත පටවමින් සිටින ජාත්‍යන්තර පාලක පන්ති සගයන් අනුයමින් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ නියෝග කි‍්‍රයාවට දමමින් සිටින රාජපක්ෂ ආන්ඩුව, සෞඛ්‍යය හා අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධන කප්පාදු කරමින් හා මහජනතාව මත දැවැන්ත බදු පටවමින් ඔවුනගේ ජීවන කොන්දේසි සමතලා කරමින් සිටී. මෙම තතු යටතේ වැඩෙන මහජන විරෝධය මැඩ පැවැත්වීම සඳහා පොලිස් මිලිටරි පාලනයක් දෙසට වේගයෙන් පියවර තබමින් සිටින ආන්ඩුව තමාට එරෙහි සීමිත විවේචනයකට හෝ ඉඩ නොතැබීමට තීන්දු කර ඇත.

ආන්ඩුවේ ප‍්‍රහාරය හුදෙක් මාධ්‍ය හා මාධ්‍යවේදීන්ට එල්ල කෙරෙන්නක් පමනක් නොව සමස්ත කම්කරු පීඩිත මහජනතාවට එරෙහි මර්දනයකි. අගෝස්තු මස මුල දී පානීය ජලය ඉල්ලා උද්ඝෝෂනය කල රතුපස්වල ජනතාවට එරෙහිව හමුදාව එල්ල කල ප‍්‍රහාරයෙන් තරුනයන් තිදෙනෙකු මියගියහ. සිද්ධිය ආවරනය කරමින් සිටි මාධ්‍යවේදීන්ට හමුදාව විසින් බාධා කිරීම්, තර්ජනයන් මෙන්ම කායික අතවරයන් ද සිදු කෙරිනි.

සන්ඬේ ලීඩර් පුවත්පතම සැලකීමේ දී, එයට යලි යලිත් ප‍්‍රහාර එල්ල විය. 2007 නොවැම්බර් මාසයේ එහි මුද්‍රනාලයට ගිනි තැබූ අතර, 2009 ජනවාරි මාසයේ දී එහි හිටපු කතෘ ලසන්ත වික‍්‍රමතුංග සිය මෝටර් රථයෙන් කාර්යාලය වෙත යමින් සිටිය දී මහ දවල් වෙඩිතබා ඝාතනය කරනු ලැබී ය. කොලඹ දැවැන්ත ආරක්ෂක ජාලයක් තිබු නමුත් ඔහුගේ ඝාතකයන්ට පලා යාමට හැකි වූ අතර පොලීසිය ඔවුන් සොයා ගැනීමට මුලුමනින් ම අසමත් විය. ඉන් පෙන්නුම් කෙරුනේ ඝාතකයන්ට ආරක්ෂක අංශවලින් ආවරනය ලැබුනු බවයි.

කලින් ලියන ලදුව, මියයාමෙන් පසු පලකරන ලද සන්ඬේ ලීඩර් කතුවැකියක වික‍්‍රුමතුංග ඔහුගේ මරනය සම්බන්ධයෙන් රාජපක්ෂට චෝදනා කර තිබුනි. "මගේ මරනයෙන් පසු ඔබ (රාජපක්ෂ) සුපුරුදු බක තපස් හඬ නැගීම් කරනු ඇත. ක්ෂනික හා දැඩි පරීක්ෂනයක් කරන ලෙස පොලීසියට කියනු ඇත. නමුත් ඉහත දී ඔබ නියෝග කරන ලද සියලුම පරීක්ෂනයන්වල දී මෙන් ම මෙහිදී ද කිසිවක් සිදු නොවනු ඇතැ” යි ඔහු එහි ලිවීය.

ආරක්ෂක අවි ගනුදෙනුවක් සම්බන්ධ දුෂනයක් එලිදරව් කරමින් ලිපියක් පල කිරීමට විරුද්ධව ජනාධිපති සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2008 දී සන්ඬේ ලීඩර් ට විරුද්ධව අපහාස නඩුවක් පැවරූ අතර පසුගිය වසරේ ආරක්ෂක ලේකම්ට වාසිදායක තීන්දුවක් දෙමින් අධිකරනය ඔහුට රුපියල් මිලියන 250 ක් ගෙවන ලෙස ලීඩර් ප‍්‍රකාශකයන්ට නියම කලේ ය. රාජපක්ෂට (ආරක්ෂක ලේකම්) අපහාස වන කිසිදු ලිපියක් පල කිරීමෙන් වලකින ලෙස ස්ථීර තහනම් නියෝගයක් ද උසාවිය විසින් පුවත්පතට පැනවීය.

ලීඩර් ප‍්‍රකාශන සමාගම ආන්ඩුවට සමීප තැනැත්තෙකු විසින් පසුගිය වසරේ මිලට ගත් නමුදු ආන්ඩුව විවේචනය කිරීම නතර කිරීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එහි හිටපු කතුවරිය ෆෙඩි‍්‍රකා ජෑන්ස් සේවයෙන් නෙරපා හැරින. ආරක්ෂක ලේකම් රාජපක්ෂ හා ආන්ඩුවේ මැරයන් විසින් ඇයට කර තිබූ මරන තර්ජන හේතුවෙන් ජෑන්ස් සැප්තැම්බර් මාසයේ රට හැර ගියා ය. අනතුරුව සන්ඬේ ලීඩර් මාධ්‍යවේදී ෆාරාෂ් සව්කෙටලිට ගල්කිස්සේ පිහිටි ඔහුගේ නිවසේ දී නාඳුනන තුවක්කුකරුවන් කන්ඩායමක් විසින් වෙඩි තබනු ලැබීය.

පසුගිය දා පැවති කැබිනට් තීරන දැනුම් දීමේ මාධ්‍ය හමුවක දී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙය හුදු මංකොල්ලකාර කන්ඩායමක කි‍්‍රයාවකට ලඝු කල අතර, ඔහු වැඩිදුරත් පැවසුවේ හමුදාව හැරගිය බොහෝ පිරිසක් තවමත් පොදු සමාව යටතේ භාරවී නොපවතින අතර මෙයින් කිහිප දෙනෙක් මෙම කන්ඩායමේ ද සිටිය හැකි බවයි. ඊට මුක්කු සපයමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක බුද්ධික සිරිවර්ධන තවත් මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කර සිටියේ, "ඔවුන් පැමිනියේ තර්ජනය කිරීමට නම්, පැය දෙකකට අධික කාලයක් පුරා නිවස තුල රැදී සිටියේ ඇයි?” යනුවෙනි.

ආන්ඩුවේ ද පොලිසියේ ද ප‍්‍රකාශනවලින් සිදු කර ඇත්තේ එම පහර දීම යුක්තිසහගත කිරීම යි. පසුගිය කාලය තුල ජනමාධ්‍ය වේදීන්ට එල්ල කල සියලු පහරදීම්වලදී ආන්ඩුව හා පොලීසිය පරීක්ෂා කිරීම් නමින් සිදු කර ඇත්තේ අතයට ගැසීම්ය. ඊට හේතුව පහරදීම් කෙලින්ම ආන්ඩුවේ නායකකාරකාදීන් විසින් උසිගන්වනු ලැබීම ය.

සන්ඬේ ලීඩර් මාධ්‍යවේදිනියට එල්ල කල තර්ජනය කම්කරු පන්තියට තවත් අනතුරු ඇඟවීමකි.

Share this article: