උතුරේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමෘද්ධිය” ගැන රාජපක්ෂ බේගල් ඇදබායි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2013 සැප්තැම්බර් 20

ඔහුගේ ආන්ඩුව විසින් ගෙන ගිය රුදුරු යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ දෙමල ජනතාවගේ ඡන්දය එලඹෙන පලාත් සභා මැතිවරනයේ දී ගසා කෑමේ මංමුලා සහගත තැතක් ලෙස උතුරේ ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදයේ සහ සමෘද්ධියේ පාරාදීසයක් යලි තහවුරු කර ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශ කලේ ය. බහුතර ඡන්දයක් ලබා ගැනීමට හැකි වුනොත් එයට දෙමල ජනතාවගේ සහයෝගය ඇති බවත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන එල්ල කෙරෙන චෝදනා අසත්‍ය ප‍්‍රචාරයක් බවත් ආන්ඩුවට ප‍්‍රකාශයට පත් කිරීමට හැකි වෙතැයි ඔහු ගනන් බලයි.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, නිදහසේ සහ බියෙන් සහ සැකෙන් තොරව ජීවත්වීමේ සියලු දෙනාගේම අයිතිය ආරක්ෂා කිරීම අපේ ආන්ඩුවේ යුතුකම” බව සැප්තැම්බර් 12 මන්නාරමේ පැවති මැතිවරන රැස්වීමක දී ඔහු ප‍්‍රකාශ කලේ ය. “උතුරු වසන්තය මගින් අපි ඔබගේ ප‍්‍රදේශයේ ලොකු සංවර්ධන වැඩ කරලා තියෙනවා. අපි තව තවත් වැඩ කරන” බව ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

මහජනතාව විසින් පිලිපැදිය යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම ගැන සැප්තැම්බර් 14 කිලිනොච්චියේ පැවති රැස්වීමක දී රාජපක්ෂ දේශනයක් කලේ ය. ඔහු මෙසේ පැවසුවේ ය: “මෙතැන් පටන් වර්ගවාදය, බෙදුම්වාදය සහ ත‍්‍රස්තවාදය අවශ්‍ය නැහැ. සදහට ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැවතිය යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව වැඩ කිරීමට දැන් අවස්ථාව විවෘත වෙලා තියෙනව. අප ජනතාව වැරදි මාර්ගවලට යොමු නොකල යුතුයි. වෛරයේ දේශපාලනය සදහට ම අවසන් කල යුතුයි” ඔහ එහි දී පැවසුවේ ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඔහුගේ දෙඩවිලි තිබිය දී ම අවම වසයෙන් ලක්ෂයක පමන හමුදාවක් වාඩිලාගෙන සිටින උතුරු පලාතේ ඔහු සංචාරය කලේ සිය ගනනක් ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන ය. දෙමල ජනතාවගේ ජීවිතයේ හැම පැත්තක් ම හමුදාව විසින් පාලනය කරනු ලබයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම ගැන ඔහුගේ දේශනය පැවැත්වුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ වාර්තාවට අනුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධයේ අවසන් සතිවල දී අවම වසයෙන් 40,000ක් සිවිල් ජනයා ඝාතනය කරනු ලැබීමෙන් පසුව ය. රාජපක්ෂ සහ මිලිටරියේ ඉහල නිලධරය යුද අපරාධ වලට වග කිව යුතු බව වාර්තාව ඇඟවුම් කර තිබේ. යුද්ධය අවසන් වීමෙන් පසුව 300,000 පමන ජනයා හමුදාව විසින් පාලිත කඳවුරුවල සිර කෙරුන අතර 12,000 ට ආසන්න තරුන ජනයා එල්ටීටීඊ සැකකරුවන් ලෙස සලකා රැඳවුම් භාරයේ තබනු ලැබුහ. පෙර පැවති ආන්ඩු මෙන් ම රාජපක්ෂ ද ප‍්‍රකාශ කරන්නේ මේවා හුදෙක් ම දෙමල ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ඒම සඳහා සිදුකල හිතකාමී ක‍්‍රියාවන් බවයි.

යුද්ධයේ දී ඝාතනය කල එල්ටීටීඊ නායක වී. ප‍්‍රභාකරන්ගේ පින්තූරයක් සහිත දෙමල ජාතික සංධානයේ (ටිඑන්එල්) පුවත් පතක පිටපත් අතැතිව සිටි තරුනයන් දුසිම් ගනනක් ඔහු කිලිනොච්චි රැස්වීම ඇමතීමට දිනකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනි. ඔවුන්ගෙන් හතර දෙනෙකු නිදහස් කෙරුනේ දින කිහිපයක් රඳවා තබා ගැනීමෙන් පසුව ය.

හමුදාව ඍජුව සහ වක‍්‍රව මැතිවරනයේ දී රාජපක්ෂගේ පාලක සභාගය වෙනුවෙන් උද්ඝෝෂනය කරන අතර විපක්ෂයේ පක්ෂවලට විරුද්ධව ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන් මුදා හැර තිබේ. සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජික වී. මුරුගානන්දන් ගේ නිවසට ගිය හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ඔහු සහ පක්ෂය ගැන තොරතුරු ලබා ගැනීමට උත්සාහ කලේ ය. ඊලම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) ප‍්‍රාදේශීය නායකයෙක් සැප්තැම්බර් 9 කයිට්ස් දුපතේ මැතිවරන උද්ඝෝෂනයේ යෙදී සිටි සසප සාමජිකයන්ට අඩම්තේට්ටම් කිරීම සදහා පොලීසිය මෙහෙය වුයේ ය. මිලිටරිය සමග වැඩකරන ඝාතක කල්ලි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඊපීඩීපී ය කුප‍්‍රකට ය.

ටීඑන්ඒ සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු විපක්ෂයේ සෙසු පක්ෂවල අපේක්ෂකයන්ගේ නිවෙස්වලට හා පක්ෂ කාර්යාලවට ද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගොස් ඇත. ස්ථාන කිහිපයක දී ඊපීඩීපී මැරයෝ ටීඑන්ඒ උද්ඝෝෂක කන්ඩායම්වලට පහර දුන්හ. කයිට්ස් හි සමහර ප‍්‍රදේශවල උද්ඝෝෂනය කිරීම විපක්ෂයේ පක්ෂවලට ඔවුන් තහනම් කර තිබුනි.

හමුදා වාඩිලා ගැනීම පවත්වාගෙන යමින් හා දේශපාලන විරුද්ධවාදීන් බිය ගන්වමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇද බාන බේගල් පෙන්නුම් කරන්නේ කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිලිබඳව රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව දක්වන තුච්ඡ පිලිකුල සහ දෙමල සුලුතර ජනයා කෙරෙහි දක්වන සිංහල ස්වෝත්තමවාදී ආකල්පය මිස අන් කිසිවක් නො වේ.

“අවුරුදු 30ක් මේ ප‍්‍රදේශයේ (දේපොල) විනාස වුනා. මේ විනාස වුන දේවල් අවුරුදු හතරක් ඇතුලත අපට ආපසු ගොඩනගන්න පුලුවන් වෙලා තියෙන” බව රාජපක්ෂ කිලිනොච්චි රැස්වීමේ දී ප‍්‍රකාශ කලේ ය. “පාරවල් සහ රෝහල් ගොඩ නගමින් තියෙනවා. මේ ආකාරයට අප ජනතාවගේ ජීවිත සතුටු කරන්න වැඩ කරමින් ඉන්න” බව රාජපක්ෂ තව දුරටත් පැවසුවේ ය. මේ මුසාවාද ජනයාගේ උගුරෙන් පහලට පහසුවෙන් ගිල්ලවීමට අපහසු වූ නිසා “අපි දන්නවා තවමත් ප‍්‍රශ්නය තියෙනවා. ඉඩම් සහ නිවාස ප‍්‍රශ්නය මෙහි තියෙන” බව රාජපක්ෂ කීවේ ය.

තිස් අවුරුදු විනාසයේ වගකීම පැවරෙන්නේ රාජපක්ෂ ආන්ඩුව ඇතුලුව මෙතෙක් බලයේ සිටි කොලඹ ආන්ඩුවලට ය. යුද්ධය වකවානුවේ, විශේෂයෙන් ම ඔහුගේ ආන්ඩුව යටතේ වන්නියෙන් උගුල්ලා දැමූ දස දහස් ගනන් ජනයා මූලික පහසුකම්වලින් තොරව තාවකාලික කුඩාරම්වල “යලි පදිංචිකර” සිටිද්දී රාජපක්ෂ බොරු සංවර්ධනයක් ගැන කතා කරයි.

උතුරේ යටිතල පහසුකම් සඳහා ඉදිකල ගොඩනැගිලි විවෘත කිරීමෙන් අනතුරුව යුද්ධයෙන් විනාස වී වසර 23ට පසු යලි ඉදි කල දුම්රිය මාර්ගයේ දුම්රියෙන් ඔහු කිලිනොච්චියට ගියේ ය. දින කිහිපයකට ඉහත දී රාජපක්ෂ චුන්නාකම් විදුලි බලාගාරය ද විවෘත කලේ ය. විවෘත කිරීමේ එවැනි උත්සව මැතිවරන ඇස්බැන්දුම් ලෙස කල නමුදු ආන්ඩුවට පුලුල් සැලැස්මක් ඇත. එය යටිතල පහසුකම් ගොඩ නගන්නේ යුද්ධයෙන් ව්‍යසනයට පත් කම්කරුවන් සහ දුගීන් සඳහා නොව: දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා ය. දරිද්‍රතාවෙන් ඇලලුන දෙමල ජනයා, විශේෂයෙන් ම තරුනයෝ ලාබ ශ‍්‍රමිකයන් ලෙස අලෙවි කල හැකි වෙතැයි රාජපක්ෂ පාලක කල්ලිය ගනන් බලයි.

එය දැනටමත් සිදුවෙයි. දැවැන්ත විදේශ ඇඟලුම් කම්හලක් වන බ‍්‍රැන්ඩික්ස් වන්නියේ කිලිනොච්චිවල කම්හලක් ආරම්භ කර ඇත. යාපනයේ අච්චුවේලි ප‍්‍රදේශයේ නිදහස් වෙලඳ කලාපය යලි විවෘත කර තිබේ. සංචාරක ස්ථාන ලෙස සංවර්ධනය කිරීම සඳහා කුඩා දූපත් සලකුනු කර ඇත. උතරු වසන්තය ලෙස නම් කරනු ලැබ ඇත්තේ මෙම සමස්ත ව්‍යාපෘතිය යි.

දෙමල ප‍්‍රභූවට මොනයම් ම හෝ සහනයක් දීමට ඔවුන් විරුද්ධ හෙයින් පලාත් සභා නීතිය යටතේ හිමිවිය යුතු පොලිස් සහ ඉඩම් බලතල උතුරට දීමට ආන්ඩුවත් ස්වෝත්තමවාදීනුත් අකමැතිය. ටීඑන්ඒ බලයට ආවොත්, මෙම සංවර්ධන ව්‍යපෘති නතර කරන බවට රාජපක්ෂ ආන්ඩුව සියුම් තර්ජනයක් ද කර තිබේ.

පසු ගිය සතියේ වඩුක්කොඩෙයි හි දී රැස්වීමක් අමතමින් ආර්ථික සංවර්ධන කටයුතු ඇමති බැසිල් රාජපක්ෂ මෙසේ ප‍්‍රකාශ කලේ ය: “සැප්තැම්බර් 21දා මහ ජනතාවට තෝරා ගැනීමක් තියෙනවා. නිදහස සාමය සහ ඔවුන්ගේ ම නියෝජිතයන් විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප‍්‍රදේශයක් සහිත සංවර්ධනයක් අවශ්‍ය ද නැතහොත් පලාත සංවර්ධනය කිරීමට මාධ්‍ය සහ කිසිදු සම්පතක් නැති ස්වයං පාලනයක් ගැන වාචාල කතාවලින් ඔවුන් ව අඳුරු යුගයට තල්ලු කරන කන්ඩායමක් බලයට ගෙන එනවා දැයි ඔවුන් තීන්දු කල යුතු ය.”

අදහස පැහැදිලි ය. එය පාලක සභාගයට ඡන්දය නුදුන්නොත් ඊනියා සංවර්ධන කටයුතු නතර කරන බවට කල තර්ජනයකි. දෙමල මහ ජනතාවට එරෙහි වෙනස්කම් කිරීමේ කොටසක් ලෙස 1948න් පසු දශක ගනනාවක් තුල බලයට පැමිනි කොලඹ ආන්ඩු ඔවුන්ගේ සොච්චම් සංවර්ධන ව්‍යපෘතිවල දී පවා උතුරට අරමුදල් වෙන් කලේ නැත.

ටීඑන්ඒ උතුරු පලාත් මැතිවරනය ජය ගත්තත් දෙමල ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ සමෘද්ධිය නො ලැබෙනු ඇත. ඒ වෙනුවට ඔවුන් මුහන දෙනු ඇත්තේ ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ට සහ ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් ගේ තීව‍්‍ර වීමකට ය. විදේශීය ප‍්‍රාග්ධනයට ආරාධනා කිරීම ටීඑන්ඒ මැතිවරන ප‍්‍රකාසනයේ මූලික අරමුන වේ.

සමාජවාදී ඉදිරිදර්ශනයක් මත ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට හා ජීවන කොන්දේසිවලට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව කම්කරුවන්, තරුනයන් හා සෙසු පීඩිත ජනයා සංවිධානය කිරීමට මෙම මැතිවරනය තුල තරග කරන එක ම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය පමනි. මෙම ඉදිරිදර්ශනය මත සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් බලමුලු ගැන්වීමට සසප සටන් කරයි. පක්ෂයට බැඳෙන ලෙසත්, මෙම ක‍්‍රියාමාර්ගයට ඡන්දය දෙන ලෙසත් අපි කම්කරුවන්, තරුනයන් හා සෙසු පීඩිත ජනයාගෙන් ඉල්ලමු.

Share this article: