ශී‍්‍ර ලංකාව: දෙමල ජාතික සන්ධානය උතුරු පලාත් සභාව ජයගනී

Sri Lanka: TNA wins northern provincial council election

කේ. රත්නායක විසිනි, 2013 සැප්තැම්බර් 23

පසුගිය සෙනසුරාදා පැවැති ශී‍්‍ර ලංකාවේ උතුරු පලාත් සභා මැතිවරනය විසින් ඉස්මතු කරනු ලැබ ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහිව දෙමල කම්කරුවන් හා දුගීන් අතර පවත්නා පුලුල් විරෝධය යි. එම විරෝධයේ ක්ෂනික අර්ථලාභියා වූයේ, ඡන්දවලින් සියයට 78ක් ද, මුලු ආසන 38න් 30ක් ද දිනා ගත් දෙමල ධනපති පක්ෂවල එක්සත් පෙරමුනක් වූ දෙමල ජාතික සන්ධානය (ටිඑන්ඒ) යි.

උතුරු පලාත් සභාව සඳහා මැතිවරනයක් පවත්වන ලද ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර, එය පවත්වන ලද්දේ දීර්ඝ කාලයක් පුරා දිවයිනේ පැවැති වර්ගවාදී යුද්ධය අවසන් කරමින් රජය විසින් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) පරදවනු ලැබ සිව් වසරක් ගත වීමෙන් ඉක්බිතිව ය.

ඡන්දය භාවිතා කල ප‍්‍රතිශතය සියයට 68කි. මේ වූ කලි උතුරේ ඡන්ද දායකයන්ගෙන් සියයට 33ක් පමනක් සහභාගී වූ 2010 මහා මැතිවරනය සමග සසඳන විට බෙහෙවින් ඉහල අගයකි. ටීඑන්ඒයට ලැබුනු ඡන්දවලින් නියෝජනය වන්නේ ඔවුන්ට දැක්වෙන සහයෝගයකට වඩා, අවම වශයෙන් 150,000ක් ජනයා ඝාතනය කෙරුනු 23 වස් යුද්ධයේ ප‍්‍රතිඵලය කෙරේ දැක්වෙන ගැඹුරු විරෝධයයි. 2009 මැයි මස යුද්ධයේ අවසාන සතිවල දී පමනක් දසදහස් සංඛ්‍යාත අහිංසක ජනයා රජය හා එහි හමුදා අතින් මරනයට පත් වුහ.

අද දින පවා ලක්ෂ සංඛ්‍යාත ජනයා කිසිදු යථා ජීවනෝපායයකට අහිමි ව කුඩා තාවකාලික කූඩාරම්වල තවමත් දිවි ගෙවමින් සිටින්නේ, රාජපක්ෂ රජය එම කලාපයේ ජන ජීවිතවල සෑම අංශයක් ම පාලනය කරන හමුදාවල ග‍්‍රහනය තීව‍්‍ර කරන අතරතුර ය.

රාජපක්ෂගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප) මැතිවරනයට තරග කලේ එය හා සන්ධානගත ව සිටින ඊලම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) සමග හවුලේ ය. සිය දේශපාලන විරුද්ධවාදීන්ට හා සිය කි‍්‍රයාකාරකම්වලට එරෙහිවන්නන්ට ප‍්‍රචන්ඩ ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පැරාහමුදාවන් යොදා ගැනීම සම්බන්ධයෙන් ඊපීඩීපීය කුප‍්‍රකට ය. මෙම සන්ධානයට ලැබුනු ඡන්ද ප‍්‍රතිශතය 2010 දී ලද සියයට 34 සිට මෙවර සියයට 18ක් දක්වා පහල වැටී ඇත.

රජයේ වෑයම ව්‍යවර්ථ වී ඇත්තේ ඡන්ද දිනා ගැනීම සඳහා සෑම ආකාරයක ම උපක‍්‍රම භාවිතා කොට තිබිය දී ය. අන් සියලු බලපෑම් අභිබවා යමින්, ඡන්ද දායකයන් සහ විපක්ෂ අපේක්ෂකයන් තැති ගැන්වීමට කි‍්‍රයා කිරීම සඳහා හමුදාව, එහි තොරතුරු රැස් කිරීමේ අංශ හා ඒවා සමග බද්ධව කි‍්‍රයාත්මක වන ඊපීඩීපී පැරාහමුදාවන් මුදා හැරීමට ද ඔවුහු කටයුතු කලෝ ය. යුද්ධ සමයේ විනාශ වූ මහාමාර්ග හා දුම්රිය මාර්ග ප‍්‍රතිනිර්මානය කිරීම සහ බලශක්ති ජාලය විවෘත කිරීම ආදී යටිතල ව්‍යාපෘති, ආර්ථික සංවර්ධනයේ ලකුනු ලෙස හුවා දැක්වීමට රාජපක්ෂ ඉදිරිපත් වුවද ඇත්තෙන්ම මෙම ව්‍යාපෘතිවලින් මූලිකව ප‍්‍රයත්න දැරුනේ විදේශීය ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට ය. සාමාන්‍ය ජනයාට ඉන් ලැබුනු ප‍්‍රතිලාභයක් වී නම් ඒ ඉතා අල්ප වූවකි.

ඡන්ද විමසීමෙන් පසු, උතුරු පලාත් මැතිවරනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහනයකැයි පාලක සන්ධානයේ ප‍්‍රධාන ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත කුහක ලෙස ප‍්‍රකාශ කලේ ය. රාජපක්ෂ අකැමැත්තෙන් වුව මෙම මැතිවරනය පැවැත්වූයේ දෙමල වැඩ කරන ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සලසා දීමට නොව ජාත්‍යන්තර බලවතුන් - විශේෂයෙන්ම එක්සත් ජනපදය හා ඉන්දියාව - සනසා ලීමට ය. එම දෙරටෙහි ම පාලක ප‍්‍රභූ පැලැන්ති 23 අවුරුදු සිවිල් යුද්ධයට පූර්න සහාය ලබා දුන් නමුත්, එය නිමා වූ තැන් පටන් රජයේ යුද අපරාධ සිය මූලෝපායාත්මක උත්සුකයන් වෙනුවෙන් උපයෝගී කර ගත හැකි මං සෙවූහ.

කොලඹ ආන්ඩුවේ යුද්ධයට ආධාර සම්පාදනය කලාවූත් නය බරින් මිරිකී ගිය ආන්ඩුවට දිගටම ආර්ථික ආධාර සපයන්නාවූත් චීනයේ බලපෑමට යටින් වල කැපීමට වොෂින්ටනයට මෙන්ම නව දිල්ලියට ද අවශ්‍යව ඇත.

මැතිවරන ප‍්‍රතිඵල කොලඹ රජය කෙරේ ඇති බහුජන විරෝධය පිලිබිඹු කරන අතරතුර ම, ටීඑන්ඒහි දේශපාලන ඉදිරි දර්ශනය ඉමහත් අනතුරක් කම්කරු ජනයා අබිමුවට පමුනුවයි. ඔවුන් සිය මැතිවරන උද්ඝෝෂනය තුල දී අවුස්සා ලූ සිංහල-විරෝධී පසමිතුරුබව විසින් සිදු කෙරෙනු ඇත්තේ දෙමල කම්කරුවන් සිය සිංහල සගයන් කෙරෙන් බෙදා වෙන්කිරීම පමනෙකි. එල්ටීටීඊ හිතවාදී මනෝභාවයන්ට ආයාචනා කල ටීඑන්ඒ හා එහි මහ ඇමැති අපේක්ෂක වී. විග්නේශ්වරන් ද, යුද්ධාවසානයේ මරුමුව පත් එල්ටීටීඊ හිටපු නායක වී. ප‍්‍රභාකරන් විරයෙකැයි කියා සිටියෝය.

එල්ටීටීඊයේ පරාජයට හේතුවූයේ කුමක්ද යන්න පිලිබඳව ටීඑන්ඒ හා අනෙක් දෙමල කන්ඩායම් ද නිහඬව සිටිති. එය හුදු යුදමය පරාජයක් නොවන බවත්, එල්ටීටීඊයේ ධනේශ්වර බෙදුම්වාදී වැඩ පිලිවෙලෙහි බංකොලොත්භාවය එමගින් ඉස්මතු කෙරුනු බවත් පැහැදිලි කලේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමනෙකි. එල්ටීටීඊය සහාය සඳහා බලා සිටියේ එය පරාජය කිරීමට කොලඹ ආන්ඩුවට ආධාර කල ජාත්‍යන්තර බලවතුන් දෙස ම ය. සිංහල හා දෙමල ප‍්‍රභූ පැලැන්තීන් අතර බලය බෙදා ගැනීමේ ධනේශ්වර වැඩ පිලිවෙලක් මත පදනම් වූ එල්ටීටීඊය, ශී‍්‍ර ලංකාවේ පාලක පන්තියට එරෙහිව ඒකාබද්ධ අරගලයක් සඳහා කම්කරු පන්තිය වෙත කවර හෝ හැරීමකට සතුරුව සිටියේ ය.

ටීඑන්ඒ මැතිවරන ව්‍යාපාරය අධිරාජ්‍ය ගැති වැඩ පිලිවෙලක් මත පදනම් වූවක් විය. එය එක්සත් ජනපදයේ හා අනෙකුත් ජාත්‍යන්තර බලවතුන්ගේ මැදිහත්වීමක් කැඳවුම් කරන්නක් විය. ටීඑන්ඒ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අමතා පැවසුවේ සිය පක්ෂයේ ජයග‍්‍රහනය ශ‍්‍රී ලංකා රජය විසින් මෙන්ම ඉන්දියාව හා ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් ද නිසි ලෙස වටහා ගත යුතු” බවයි.

වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අමතනු වෙනුවට ඊට බෙහෙවින් දුරස් මාවතක් ගනිමින් ටීඑන්ඒය අනුගමනය කරමින් සිටින්නේ, උතුරේ හා නැගෙනහිර කම්කරුවන් හා දුගීන් සූරාකෑමට දෙමල ධනේශ්වර ප‍්‍රභූවට අවස්ථාව සලසා දෙමින් ජාත්‍යන්තර ආයෝජකයන්ට දොර හැර දෙන්නා වූ බලය බෙදා ගැනීමේ "ස්වයං පාලනය” සඳහා වූ වැඩ පිලිවෙලකි.

එදින ම පැවැත්වුනු වයඹ හා මධ්‍යම පලාත් සභා මැතිවරනවල දී සිය පාලනය දිගටම පවත්වා ගැනීමට ආන්ඩුව සමත් විය. සිංහල ජනයා බහුතරයක් වෙසෙන මැතිවරන කොට්ඨාශවල දී සිංහල වර්ගවාදී තුරුම්පුව ගැසීමට රාජපක්ෂ කි‍්‍රයා කලේ ය.

සැප්තැම්බර් 18වන දින මහනුවර දී පැවැත්වුනු සිය අවසන් මැතිවරන රැස්වීම අමතා ඔහු ප‍්‍රකාශ කලේ, "(එල්ටීටීඊ) බෙදුම්වාදයේ පුනර්ජීවනයක් පිලිබඳව ජනතාව පරීක්ෂාකාරීව සිටිය යුතුල බවයි. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් දිග හැරෙමින් පවතින බව නිවේදනය කල ඔහු, "අවුල්සහගත තත්වයන් නිර්මානය කරමින් රටේ සාමය හා එකමුතුකම කඩාකප්පල් කර දැමීමට ඇතැම් කොටස් ක්‍රියා කරමින් සිටින” බවට චෝදනා කලේ ය.

"ආගමික යුද්ධයක්” ඇතිවීමේ අනතුරක් පවතිතැයි ද රාජපක්ෂ අනතුරු හැඟවිය. මේ වූ කලි මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් වක්‍රව කල සඳහනකි. මෑත මාස ගනනාවක් පුරා, මුස්ලිම් ජනයාට එරෙහිව ප‍්‍රචන්ඩ ප‍්‍රකෝපකරනයන් සිදු කල බෞද්ධ ස්වෝත්තමවාදී සංවිධානවලට රජය අනුග‍්‍රහ දක්වා ඇත.

දෙමල කථා කරන දුගී තේ වැවිලි කම්කරුවන් ලක්ෂ සංඛ්‍යාතව වාසය කරන මධ්‍යම පලාතේ දී, දේශපාලන පක්ෂ වශයෙන් ද කි‍්‍රයාත්මක වන වතු කම්කරු වෘත්තීය සමිතිවල සහාය පාලක පක්ෂයට හිමි විය.

රජයේ ප‍්‍රධාන වෘත්තීය සමිති හවුල්කරුවා වන ලංකා කම්කරු සංගමය (සීඩබ්ලිව්සී) සමග එක පෙලට සිටිමින් ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) ද රජයට සහයෝගය දුන්නේ ය. පසුගිය මහ මැතිවරනයේ දී එන්යූඩබ්ලිව් සහාය දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට (යූඇන්පී) ලබා දුන් නමුත්, පසුව එය රජයට එක් විය. යූඇන්පීයට මෙම මැතිවරනයේ දී මධ්‍යම පලාතේ ආසන හයක් ද වයඹ පලාතේ ආසන දෙකක් ද අහිමි විය. මෙම දෙපලාතේ දී, අභ්‍යන්තර ගැටුම්වලින් හෙම්බත් වී ඇති යූඇන්පීයේ අර්බුදය සිය වාසියට යොදා ගැනීමට රාජපක්ෂ සමත් විය. එම අභ්‍යන්තර ගැටුම්වලට බොහෝකොටම හේතු වී ඇත්තේ, යූඇන්පීය 1994 සිට දිනා ඇත්තේ එක් මැතිවරනයක් - 2001 මහ මැතිවරනය - පමනක් වීමයි. ඒඅවස්ථාවේ යූඇන්පී රජය පැවැතියේ වසර දෙකකට යන්තමින් වැඩි කාලයකි. එල්ටීටීඊය සමග ඇති කර ගැනුනු සටන් විරාමයක් වල දැමීම සඳහා, රාජපක්ෂට පෙර ශී‍්‍රලනිප නායිකාව වූ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග එම රජය විසුරුවා හැරීමට කටයුතු කලාය.

පාර්ලිමේන්තුවේ අනෙක් විරුද්ධ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වයඹ පලාතේ එහි එකම අසුන රැක ගැනීමට පමනක් සමත් වී ඇති අතර, එහි ඡන්ද සංඛ්‍යාව පහත වැටී ඇත. රාජපක්ෂගේ ආන්ඩුව ද ඇතුලු විවිධ ධනපති පක්ෂ හා ආන්ඩු සමග සහයෝගීතාවය පවත්වා ගෙන යාම හේතුවෙන් ජවිපෙ පුලුල් ලෙස අපකීර්තියට භාජනය වී ඇත.

දැන්, උතුර හැර සෙසු පලාත් තුල සිය බලය තහවුරු කොට ගත් තතු යටතේ, සකසුරුවම් පිලිවෙත් කි‍්‍රයාවට ලීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වලට පහර දීම සාධාරනීකරනය කිරීම සඳහා රාජපක්ෂ රජය එම වාසිය ප‍්‍රයෝජනයට ගනු ඇත.

සිරියාවට පහර දීම සඳහා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් සකස් කෙරී ඇති සැලසුම්වලින් ද, එක්සත් ජනපදය හා චීනය අතර ගැඹුරු වන ගැටුම්වලින් ද ඉස්මතු කෙරෙන අධිරාජ්‍යවාදී යුද තර්ජනය පිලිබඳව පැහැදිලි කලේ උතුරු පලාතේ යාපනය දිස්ති‍්‍රක්කයට තරග වැදුනු සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනකි. 2008 දී පුපුරා ගිය ලෝක ආර්ථික බිඳවැටීමේ වඩවඩාත් තීව‍්‍ර වෙමින් පවත්නා බලපෑම පිලිබඳව එය අනතුරු හැඟැවීය.

ජීවන කොන්දේසි මත රාජපක්ෂ ආන්ඩුව හෙලන ප‍්‍රහාරවලට ද, එහි පොලිස් - රාජ්‍ය පාලන ක‍්‍රමයට ද එරෙහිව සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එක්සත් කෙරෙන ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් සඳහා සසපය සටන් කලේ ය. එය දකුනු ආසියාව තුල හා ජාත්‍යන්තරව සිය සගයන් වෙත හැරෙමින්, සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට නංවනු වස් කම්කරු හා ගොවි ආන්ඩුවක් පිහිටුවීම සඳහා සටන් වැදීමට කම්කරු ජනයා කැඳවී ය.

සියලු වර්ගවාදී හා ජාතිකවාදී ප‍්‍රවනතාවලට එරෙහිව මෙම දේශපාලන අරගලයේ පදනම මත සසපය ඡන්ද 101ක් ලබා ගත්තේ ය. තවමත් සංඛ්‍යාත්මකව කුඩා නමුදු, මෙම ඡන්දවලින් නියෝජනය කෙරෙන්නේ සමාජවාදී විකල්පයක් සඳහා පන්ති විඤ්ඤානයෙන් යුත් ජනයා තුල පවතින සහයෝගයයි. සසපයට බැඳෙමින් බහුජන විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම සඳහා වන අරගලය අතට ගන්නා ලෙස සසපය කම්කරුවන්ට හා තරුනයන්ට බල කර සිටියි.

Share this article: