දෙමල ජාතික සන්ධානයට එරෙහිව සිංහල වර්ගවාදී උද්ඝෝෂනයක්

විලානි පීරිස් විසිනි, 2013 සැප්තැම්බර් 27

සැප්තැම්බර් 21 දින පැවත්වූ උතුරු පලාත් සභා මැතිවරනය සඳහා ඉදිරිපත් කල දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) මැතිවරන ප‍්‍රකාශය අල්ලා ගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවත් එහි පිටුබලය ලබන විවිධ සිංහල ස්වෝත්තමවාදී සංවිධානත් සිය දෙමල විරෝධී වර්ගවාදී උද්ඝෝෂනය උත්සන්න කර තිබේ.

ටීඑන්ඒ ප‍්‍රකාශය උතුරේ “වෙනම රාජ්‍යයක්” ඉල්ලා සිටින බවටත් එබැවින් එය ශී‍්‍ර ලංකා ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 6 වන සංශෝධනය උල්ලංඝනය කරන බවටත් චෝදනා කරමින් ද ඒ හේතු කොට ගෙන උතුරේ මැතිවරනය පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ද වර්ගවාදී කන්ඩායම් පහක් විසින් ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙත්සම් ගොනු කිරීම මෙම ප‍්‍රතිගාමී උද්ඝෝෂනයේ ම කොටසකි. සැප්තැම්බර් 18 දා එම පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරනය වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇති ටීඑන්ඒ නායකයන් දෙදෙනෙකු වන ආර්. සම්බන්ධන්ට හා මාවෙයි සේනාධිරාජාට ද මැතිවරන කොමසාරිස්වරයාට ද ඔක්තෝබර් 2 දා අධිකරනයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කලේ ය.

පෙත්සම් ගොනුකර ඇත්තේ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ගුනදාස අමරසේකර, දේශ පේ‍්‍රමී භික්ෂු පෙරමුනේ ලේකම් බෙන්ගමුවේ නාලක භික්ෂුව, ස්වර්න හංස පදනමේ සභාපති පුන්‍ය වර්ධන අල්විස්, බොදුගම සංවිධානයේ සභාපති සතිස්චන්ද්‍ර ධර්මසිරි සහ යාපනයේ බෞද්ධ සංගමයේ සභාපති රත්නම් රවිකුමාර යන අය ය.

ටීඑන්ඒ මැතිවරන ප‍්‍රකාශය ඩැහැගෙන අවුලුවන වර්ගවාදී උද්ඝෝෂනය සමස්ත දෙමල ජනයාට එරෙහි ප‍්‍රකෝපකාරිත්වයක කොටසක් වන අතර එහි එල්ලය සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ භේද කිරීම යි. ටීඑන්ඒ සංවිධානයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ දී වර්ගවාදී කන්ඩායම් කි‍්‍රයා කර ඇත්තේ රාජපක්ෂ ආන්ඩුවේ අනුදැනුම ඇතිව සහ එය විසින් ගෙනයනු ලබන දෙමල විරෝධී ස්වෝත්තමවාදී උද්ඝෝෂනයෙන් පිටුබලය ලබමිනි.

ආන්ඩුවේ ඇමතිවරු ගනනාවක් ම ටීඑන්ඒ මැතිවරන ප‍්‍රකාශය අල්ලාගෙන වර්ගවාදී ප‍්‍රකෝපකාරීත්වයක් ඇවිලවීමේ යෙදී සිටී. රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම ඇමතිවරයෙකු වන ඩලස් අලහප්පෙරුම පුවත් පත් සාකච්ඡාවක දී “ටීඑන්ඒ ලියවිල්ල දකුනේ ජනතාව ප‍්‍රකෝප කරවන” බවටත් “සිංහලයන් හා දෙමල ජනයා සදාකාලිකව බෙදා” දැමීමට කටයුතු කරන බවටත් චෝදනා කලේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරෙකු වන, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ උතුරු පලාත් සභා ඡන්දය පැවැත්වීම හා 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනම රාජ්‍යයකට තුඩු දෙන නිසා ඒවා අහෝසි කල යුතු බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කලේ ය. ඇමරිකාවේ හා ඉන්දියාවේ බලපෑම මත උතුරේ පලාත් සභා ඡන්දය පැවැත්වීමට සිදුවූ තතු යටතේ එල්ටීටීඊයට ආධාර කල අයට ඡන්දය නොදෙන ලෙස ආරක්ෂක ලේකම් දෙමල ජනයාගෙන් ඉල්ලා සිටියේ, ටීඑන්ඒයට ඇඟිල්ල දිගු කරමිනි.

ආන්ඩුවේ හවුල්කාර හෙල උරුමයේ නායකයකු වන ඇමති චම්පක රනවක “ටීඑන්ඒ සංවිධානය ඔවුන්ගේ මැතිවරන ප‍්‍රකාශයෙන් ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය යුක්ති සහගත කරමින් ත‍්‍රස්තවාදයට වීරත්වයක් දෙමින් වෙනම ඊලම් රාජ්‍යයක් සඳහා ඔවුනගේ අරගලය පෙරට දමා ඇත”යි කියා සිටියේ ය.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි රාජපක්ෂ ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයේ උද්යෝගිමත් ආධාරකරුවකු වූ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ද ස්වෝත්තමවාදී උද්ඝෝෂනය සමග පෙල ගැසෙමින් මැතිවරන රැස්වීමක දී කියා සිටියේ ඔවුන් ටීඑන්ඒ මැතිවරන ප‍්‍රකාශය දකින්නේ “මැතිවරනයෙන් ඔබ්බට බෙදුම්වාදය කරා යන ලියවිල්ලක්” ලෙස බවයි.

ටීඑන්ඒ සංවිධානය විසින් උල්ලංඝනය කරනු ලැබ ඇතැයි චෝදනා කරන 6 වන ව්‍යවස්ථා සංශෝධනය වනාහි එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් 1983 ජුලි දෙමල ජනයාට එරෙහි ලේවැකි විලෝපනය මධ්‍යයේ ගෙන එනු ලැබූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පනතකි. ශී‍්‍ර ලංකාව තුල වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කටයුතු කිරීම හෝ ආධාර අනුබල දීම තහනම් කෙරුනු එම සංශෝධනය මගින් එවකට උතුරු හා නැගෙනහිර පලාත්වල දෙමල ජනයාගේ ඡන්දයෙන් පත් වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුනේ (ටීයූඑල්එෆ්) මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරෙන තතු සකස් කෙරුනි.

උතුරේ මැතිවරනය පැවැත්වීමට පෙරාතුව පලාත් සභා පිහිටුවීම සිදු කල 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නියමිත ඉඩම් හා පොලිස් බලතල එම සභාවලින් ඉවත් කරමින් එම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කල යුතු යයි ආන්ඩුවේ ම කොටස්කාර හෙල උරුමය ද ඇතුලු සිංහල අන්තවාදී සංවිධාන උද්ඝෝෂනයක් ගෙන ගියහ. 13 වන සංශෝධනය කිසිදු ප‍්‍රජාතන්ත‍්‍ර අයිතියක් දෙමල ජනතාවට ලබා නොදෙන නමුත් එය යටතේ පලාත් සභා හරහා කෙරෙන දෙමල ප‍්‍රභූව අතට සීමිත හෝ බලය බෙදීමකට වර්ගවාදියෝ විරුද්ධව සිටිති.

ජනාධිපති රාජපක්ෂ අකැමැත්තෙන් වුවත් උතුරේ පලාත් සභා මැතිවරනය පැවැත්වූයේ එක්සත් ජනපදය ඇතුලු බටහිර බලයන්ගේ ද ඉන්දියාවේ ද පීඩනය හේතු කොට ගෙන ය. එම බලයන්ට දිවයිනේ දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳ මොන ම තැකීමක් වත් නැත. ඔවුහු සියල්ලෝම රාජපක්ෂගේ දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට මුලුමනින්ම සහාය දුන්හ. යුද්ධයෙන් පසුව දැන් ඔවුන් රාජපක්ෂගේ මිලිටරිය එහි දී සිදු කල යුද අපරාධ ගැන ඇල් මැරුනු විවේචන ඉදිරිපත් කරන්නේ ඔහුගේ ආන්ඩුව චීනය සමග පවත්වාගෙන යන සමීප සබඳතාවන්ගෙන් ඈත් කොට වඩවඩා තමන්ගේ භූ-දේශපාලනික මූලෝපායන් පිටුපස පෙලගස්වා ගැනීමට යි.

ටීඑන්ඒ සංවිධානයට එරෙහි පෙත්සම් මගින් ඉල්ලා සිටි මැතිවරනය අත්හිටුවීමේ ඉල්ලීම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරනය කි‍්‍රයා කර ඇත්තේ එවන් පියවරක් මගින් එක්සත් ජනපදය හා ඉන්දියාව ආන්ඩුව සමග විරසක වෙතැයි පාලක ප‍්‍රභූව තුල පවතින කනස්සල්ල නිසා ය. එහෙත් වාර්ගික භේදකරනය ඇවිලවීමේ ප‍්‍රතිගාමී උද්ඝෝෂනය පෙරට ගෙන යාම සඳහා පෙත්සම් විභාගය ඉදිරියට ගෙනයාමට තීන්දු කර තිබේ.

ආන්ඩුවේ හා සිංහල ස්වෝත්තමවාදීන්ගේ චෝදනාවන්ට ප‍්‍රතිකූල ලෙස ටීඑන්ඒ ඉල්ලා සිටින්නේ වෙනම රාජ්‍යයක් නොව දෙමල ප‍්‍රභූව අතට යම් බලතල ලැබෙන පරිදි කොලඹ ආන්ඩුව යටතේ බලය බෙදාගැනීමේ සැකැස්මකි. එක්සත් ජනපදයේ ද ඉන්දියාවේ ද පීඩනය මගින් එවැන්නකට රාජපක්ෂ නම්මා ගත හැකැයි ගනන් බලමින් එම බලයන්ට ආයාචනා කිරීමේ තැතක එය යෙදී සිටී. ටීඑන්ඒ පෙනී සිටින්නේ දෙමල කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ අවශ්‍යතා නොව දෙමල ධනපති ප‍්‍රභූවේ සූරාකෑමේ අවශ්‍යතා වෙනුවෙනි.

උතුරු පලාත් සභා මැතිවරනයේ දී ආසන 38න් 30ක් ලබමින් ජයගත් වහාම ටීඑන්ඒ යලිත් සහතික කලේ තමන් රාජපක්ෂ ආන්ඩුව සමග සහයෝගයෙන් බලය බෙදාගනිමින් පාලනය ගෙනයාමට කැමති බවය. ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර ද සැප්තැම්බර් 22 දා නේෂන් පුවත්පතට මෙසේ පැවසීය: “මැතිවරන ප‍්‍රකාශය පැහැදිලිව ම කියා ඇත්තේ ෆෙඩරල් පදනමක උතුරු නැගෙනහිර පලාත් එකාබද්ධ කරමින් බලය බෙදීමේ සැලසුමක් ක‍්‍රියාත්මක කල යුතු බවය.”

ටීඑන්ඒ මැතිවරන ප‍්‍රකාශය ඉල්ලා සිටින්නේ “හවුල් පරමාධිපත්‍යයේ පදනම මත බලය බෙදාහැරීමක්” වන අතර එයට “ඉඩම්, නීතිය හා සාමය සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුලු සමාජ-ආර්ථික සංවර්ධනය සම්පත් හා මුදල් බලතල ” ද ඇතුලත් විය යුතු යයි එය කියා සිටී. “තරුනයන් සඳහා රැකියා අවස්ථා නිර්මානය කිරීම ඇතුලු උතුර හා නැගෙනහිර සංවර්ධනය සඳහා විස්තීර්න වැඩපිලිවෙලක් ශී‍්‍ර ලංකා රාජ්‍යයේ දෙමල ඩයස්පෝරාවේ හා ජාත්‍යන්තර ප‍්‍රජාවේ කි‍්‍රයාකාරී සහයෝගය ඇතිව කි‍්‍රයාවට දැමෙන” බව ද එය පවසයි.

ටීඑන්ඒ ඉල්ලා සිටින්නේ උතුරේ හා නැගෙනහිර දෙමල කම්කරුවන්ගේ ලාභ ශ‍්‍රමය සූරාකෑම සඳහා දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන්ට පහසුකම් සලසාලමින් ඔවුන් කොලඹ ආන්ඩුව හා ජාත්‍යන්තර ප‍්‍රජාව නොහොත් අධිරාජ්‍යවාදී බලයන් සමග සහයෝගීව කි‍්‍රයා කිරීම ද එම කම්කරුවන් හා තරුනයන් මැඩීම ද සඳහා අවශ්‍ය බලතලයි.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය පැවති සමයේ එල්ටීටීඊයේ පාර්ලිමේන්තු හොරනෑවක් ලෙස කි‍්‍රයාකල ටීඑන්ඒ එල්ටීටීඊයේ පරාජයෙන් යුද්ධය අවසන් වීමෙන් පසුව කොලඹ දේශපාලන සංස්ථාපිතයට ඒකාබද්ධ වීමේ ප‍්‍රයත්නයක යෙදෙමින් වෙනම රාජ්‍යයක් පිලිබඳ එල්ටීටීඊයේ පිලිවෙත අතහැර බලය බෙදාගැනීමේ සැකැස්මක් ඉල්ලා සිටී. ඒ ඔවුන් සහයෝගය පතා හැරී සිටින එක්සත් ජනපදය හා ඉන්දියාව දිවයින තුල වෙනම රාජ්‍යයක් සඳහා සිය විරුද්ධත්වය පැහැදිලිව ප‍්‍රකාශ කොට ඇති තතු තුලය.

වැඩෙන ගෝලීය ආර්ථික අර්බුදයේ කොටසක් ලෙස එය මුහුන දී සිටින බැරෑරුම් ආර්ථික අර්බුදය හමුවේ රාජපක්ෂ ආන්ඩුව හැරී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කරන දරුනු කප්පාදු පිලිවෙත් හරහා අර්බුදයේ බර කම්කරු පන්තිය හා සෙසු පීඩිත මහජනතාවගේ කර මත පැටවීම පිනිස ය. කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කරමින් බඩුමිල ඉහල දමමින් සහනාධාර ද නිදහස් අධ්‍යාපනය හා රෝහල් සේවය වැනි මහජන සේවා ද කප්පාදු කරමින් කි‍්‍රයාවට දැමෙන එම වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන්ගේ ශිෂ්‍යයන්ගේ හා සෙසු පීඩිත ජනයාගේ අරගල පැනනැගෙමින් පවතී. රාජපක්ෂ ආන්ඩුව දෙමල විරෝධී ස්වෝත්තමවාදය අවුලුවාලන්නේ කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ භේද කොට සිංහල දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එවන් ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීම වලක්වාලීම පිනිස ය.

Share this article: