මිලිටරිය යොදවා දෙමටගොඩ නිවාස සිය ගනනක් ඉවත් කිරීමට රාජපක්ෂ ආන්ඩුව සුදානම් වේ

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් විසිනි, 2013 සැප්තැම්බර් 28

කඩා ඉවත් කරන නිවාසවලින් කොටසක්

නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) දෙමටගොඩ ආරාමය පාරේ නිවාස 326ක් කඩා ඉවත් කරන බව තමන්ට දැන්වූ බව එම පලාතේ නිවැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ. ආන්ඩුවේ විවිධ තර්ජනය කිරීම් තිබිය දී ම ප‍්‍රදේශවාසීන්ගේ බරපතල විරෝධය මෙයට එරෙහිව නැගෙමින් පවතී.

බොහෝ නිවාස ගොඩනගා ඇත්තේ 1980 ගනන් වලදී ජනාධිපති ආර්. පේ‍්‍රමදාසගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව පැවැති සමයේ ලබා දුන් ඉඩම්වල ය. මෙම නිවැසියන් වෙත කාඩ් පතක් ලබාදී ඇතත් නීත්‍යානුකුල ඔප්පුවක් ලබා දී නැත. පවුල් 76කට පමන නීත්‍යානුකූල ඔප්පු ඇතත් ඔවුන්ගේ නිවෙස් ද කඩා දැමෙනු ඇත. නිරන්තරව ගං වතුරට යටවන කුඩා ලෑලි නිවාසයන්හි ජීවත්වන අන්ත දරිද්‍රතාවෙන් පෙලෙන පවුල් අතලොස්සක් මහල් නිවාසවලට යාමට කැමති නමුත් නාසඅ ඉල්ලා සිටින මුදල් ගෙවීමට නොහැකිව අසරනව සිටිති.

මෙම ප‍්‍රදේශවාසීන්ට යාබදව අලුතෙන් ගොඩ නගා ඇති තට්ටු 10කින් යුත් මහල් නිවාසයන්හි කාමර දෙකක් සහිත වර්ග අඩි 450ක පමන කොටසක් ලබාදෙන බවට නාසඅ කට වචනයෙන් පවසා තිබේ. එහෙත් ඒවා ලබා ගැනීමට නම් රු. 100,000ක මුදලක් එකවර ද ඉන් අනතුරුව රු 4,000ක මුදලක් මාසිකව ද ගෙවීම මෙකී ජනයාට සිදු වේ. මෙම මුදල් ද සියලු විදුලි සහ ජල බිල්පත් ගෙවූ බිල් පත් ද නාසඅ වෙත ඉදිරිපත් කරන ලෙස ඔවුනට නියෝග කර තිබේ.

එදිනෙදා යම් මුදලක් උපයා ගන්නා මේසන්වරු ද, ත‍්‍රීවීල් රියදුරන් ද, ගෘහ සේවකයන් ද ඇතැම් කර්මාන්ත ශාලාවන්හි කම්කරුවන් ද මෙම නිවාසවල පදිංචිව සිටිති. මෙම මුදල සොයා ගැනීම ඔවුන්ට අතිශයින්ම දුෂ්කර බව කිවයුතු නො වේ. බොහෝවිට ඔවුන්ට සිදුවනු ඇත්තේ මහමගට වැටීමට ය.

මෙලෙස ලබා දෙන්නේ යැයි කියන තට්ටු නිවාසවල දුෂ්කර කොන්දේසි පිලිබඳව ද මෙම ජනයා කෝපයෙන් හා කලකිරීමෙන් යුතුව අදහස් දැක්වූහ: එම මහල් නිවාසවල තමන්ට ඇති තරම් ඉඩකඩ නැති වීම, වයෝවෘධ උදවියට තට්ටු 10 කෙසේ වෙතත් තට්ටු දෙකක් හෝ නැගිය නොහැකි වීම (එයට පහසුකම් සලසා නොතිබීම) යනාදි ය. බොහෝ අය සඳහන් කලේ, දැනට තම නිවාසයන්හි පවුල් දෙකක් හෝ තුනක් ජීවත්වන බවත් තට්ටු නිවාසවල පුංචි ඉඩකඩක එලෙස ජීවත්විය නොහැකි බැවින් තමනට කෙරෙන්නේ ඉවසිය නොහැකි අසාධාරනයක් බව ය.

මේ අතර ආන්ඩුව, ජනයා අතර ගැටුම් වර්ධනය කිරීමට හේතුවන පරිදි මෙම තට්ටු නිවාස ම කොම්පඤ්ඤවීදියේ ගෙවල් කඩා ඉවත් කල නිවැසියන්ට ද ලබා දීමට කලින් පොරොන්දුව තිබේ.

ආන්ඩුව මෙම නිවාස කඩා දමන්නේ කොලඹ නගරය හා ප‍්‍රධාන නගර වෙලඳ නගර බවට පත්කිරීමේ පුලුල් “සංවර්ධන ව්‍යාපෘතියක” කොටසක් ලෙස ය. ප‍්‍රධාන විරුද්ධ පක්ෂය වන එජාපය හෝ අනෙකුත් කිසිදු දේශපාලන පක්ෂයක් ආන්ඩුවේ මෙම ප‍්‍රතිපත්තියට විරුද්ධ නැත. ආන්ඩුව මේ අයුරින් 2008 සිට ම හමුදාව යොදවා බලහත්කාරයෙන් නිවාස කඩා ඉවත් කිරීම ආරම්භ කල අතර උන්හිටිතැන් අහිමි වූවන්ට මේ දක්වාමත් ස්ථිර නිවාස ලබා දී නැත. ආන්ඩුවේ ගනන් හිලව් වලට අනුව කොලඹ නගරයෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වන පැල්පත් හා අඩු ආදායම් ලාභී නිවාස සංඛ්‍යාව 70,000කි. මෙසේ ඉවත් කරන බිම් විදේශීය ආයෝජකයන්ට පවරාදීම ආරම්භ කර ඇත. මීට සමගාමීව, මධ්‍යම පලාතේ දඹුල්ල “පූජා භූමිය” තුල දුගීන්ගේ නිවාස ද පසුගිය දා හමුදාව යොදා බලහත්කාරයෙන් ඉවත් කෙරුනි.

පසු ගිය සති අන්තයේ දෙමටගොඩ ප‍්‍රදේශයේ නිවැසියන් හමු වීමට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් ඇමතූ ප්ලාස්ටික් කම්හලක කම්කරුවෙක් තමා මුහුන දී සිටින තත්වය මෙසේ විස්තර කලේය:

“මෙම ඉඩම් අයිති නිවාස අධිකාරියට යි. මේ ගෙය මගේ බිරිඳගේ. බිරිඳ රට ගිහින්. නැන්දම්ම තමයි ලමයි දෙන්න බලා ගන්නෙ. ආන්ඩුව අලුතින් දෙන ගෙයට ලක්ෂයක් ඉල්ලනවා. අපි කොහොමද ලක්ෂයක් දෙන්නේ? අවුරුදු විස්සක් තිස්සේ අපි ජීවත් වෙලා ඉන්නේ මේකෙ. ගෙදරට වතුර දැම්මට (ගංවතුර) වතුර බැස්සට පස්සේ ගෙවල් දොරවල් හොඳට හෝදල දාලා අපි ඉන්නවා. දෙපැත්තම ගොඩ කරලා ආන්ඩුවෙන් ගෙවල් හැදුවට පස්සේ තමයි මේ ගෙවල්වලට වතුර දාන්න පටන් ගත්තේ. පේ‍්‍රමදාස මහත්තයා ගෙවල් හදා ගන්න රුපියල් 15,000 ගනනේ දුන්නා. ඒ කාලේ ඒකෙන් අපි ගෙවල් හදාගත්තා. දැන් එහෙම හදන්න බැහැ. අපිට ලක්ෂයක් ගෙවන්න බැහැ. තව මාස්පතා ම රුපියල් 4000 ගෙවන්න වෙනවා. ලක්ෂයක් නයට අරන් දුන්නොත් රුපියල් 4000 ගනනේ ගෙවල් කුලියයි වතුර බිලයි ලයිට් බිලයි නය ගෙවන්නයි ගියොත් ලමයින්ට කන්න බොන්න දෙන්නයි අධ්‍යාපනයටයි බේත්හේත්වලට වියදම් කරන්නේ කව්ද? මට මාසෙට රුපියල් 20,000යි පඩිය ලැබෙන්නේ. මේ ගෙය පර්චස් දෙකයි. ආන්ඩුවෙන් දෙන ගෙවල් පර්චස් එක හමාරලු. ගෙවල්වල තරම බලන්නවත් අපට ගෙවල් පෙන්නුවේ නැහැ.”

පවත්නා කිසිදු දේශපාලන පක්ෂයකින් මෙම ගැටලුව සඳහා මැදිහත්වීමක් නොමැති බව පැවසූ තරුනයෙක් ආන්ඩුව මගින් කරන තර්ජන හා ආන්ඩුවේ හෙන්චයියන් යොදා කරන බලපෑම් ද හෙලිදරව් කලේ ය. “ගෙවල් අත්ඇරලා යන්ට විරුද්ධ වන අයට හමුදාව දාලා තර්ජනය කරනවා. හිර ගෙවල් හොඳයි මේවට වඩා. හමුදාවටයි අපි ඡන්දේ දීලා තියෙන්නේ. කොලඹට මෙහෙම නම් යාපනේ මිනිසුන්ට කොහොම කෙරුවද කියලා දැන් තමයි තේරෙන්නේ. අපි කට්ටිය එකතු වෙලා කතා කරලා යන්න බැහැයි කියලා කිව්වොත් අපිව උස්සනවයි කියලා හමුදාව තර්ජනය කරනවා. ගෙට ගල් ගහනවා. ලයිට් කපනවා කියලා කියනවා. අපේ විස්තර එහෙම මාධ්‍යයට දෙන්න බැහැ. මාධ්‍යයට එන්න දෙන්නේ නැහැ. මන් මේ විස්තර ටික දෙනවයි කියලා දැක්කොත් හමුදාව ඇවිල්ලා උස්සන් යයි. දවස් 5 ඇතුලේ ගෙවල් බාර දුන්නෙ නැත්තම් ගෙවල් බලෙන් කඩනවාලු. තාම අපිට ලිඛිතව මොකුත් දුන්නේ නැහැ. අපේ මුලු සේසත ම දාල යන්න වෙනවා.”

තවත් කාන්තාවක් ශෝකබරිතව මෙසේ අදහස් පලකලා ය: “මගේ මහත්තයා, ගමේ (මාතර) කුඹුරකුයි ගේකුයි විකුනලයි මේ ගේ හැදුවේ. ගේ හදන්න ලක්ෂ විස්සක් විතර ගියා. අපි පවුල් දෙකක් ඉන්නවා ඔක්කොම අට දෙනෙක් ඉන්නවා. 1996 දී එක් ලක්ෂ පහලොස්දාහක් ගෙවල මේ ඉඩම ගත්තේ. මහත්තයා මේසන් වැඩ දන්නවා. එයා ටික ටික හැදුවා තට්ටු දෙකට.

“මේවට ඔප්පු තියනවා. ඔප්පු තියන ගෙවල් 76ක් තියෙනවා. මේ පැත්තට නම් වතුර ගලන්නේ නැහැ. ඉඩම උසයි. අපිට යන්න බැහැයි කියලා කිව්වොත් උන් බුල්ඩෝසර් කලොත් මොකද කරන්නේ. ඒ දෙන ගෙවල් වර්ග අඩි 450ක් කියලයි ආරංචිය. අපේ මේ ගෙවල් වර්ග අඩි 600ක් ඒත් තට්ටු දෙකක ගෙයක්.

“මේ පොඩි කඩ කෑල්ලෙන් තමයි ජීවත් වෙන්නේ. දරුවෝ තුන් දෙනෙක් බොරැල්ල ඉස්කෝලෙට යනවා. තව සමිති සමාගම්වලට නය වෙලයි ඉන්නේ. අපි කඩ කෑල්ලක් ඉල්ලුවා. මේ කඬේ ලියාපදිංචි කරලා නැති නිසා එහෙම දෙන්න බැහැයි කියලා කියනවා. මගේ රත්තරන් බඩු ඔක්කොම උගස් තියලයි තියෙන්නේ.

”මීට කලින් ගෙවල් කඩපු තැන්වල සමහර අයට සාධාරනයක් සිද්ධ වෙලා නැහැ. ඒ අයට තාම ගෙවලුත් නැහැ. තමන්ගේ ගෙවල්වල වටිනාකමට සාධාරන වන්දියක් ලැබුනෙත් නැහැ. මේ පැත්තේ හුඟාක් අය යන්න කැමති නැහැ. නමුත් දඹුල්ලේ, කොම්පඤ්ඤවීදියේ සිද්ධ වෙච්ච දේවල් නිසා කූඩාරමට හරි යන්න ලෑස්ති වෙනවා. නැත්නම් ඒකත් නැහැනේ.”

විශ‍්‍රාමික කාර්මික නිලධාරියෙක් මෙසේ පැවසී ය: “ආන්ඩුවේ ආර්ථික වැඩපිලිවෙල ක‍්‍රියාවට දමන්න අපිව එලවනවා. මේ අපරාධ වැඩවලට එරෙහිව කතා කරන එක පක්ෂයක්වත් නෑ. මහජනයා විරුද්ධ උනොත් ඌරන්ව හරකුන්ව ගහලා උන්ගෙ කොටු වලට දානවා වගේ තමයි සලකන්නෙ. අපේ නිවාස වල තියෙන පහසු කම් තට්ටු නිවාස වල නැහැ. ආන්ඩුව කියනවා තට්ටු නිවාසවල දෙන ගෙවල් රුපියල් ලක්ෂ 65ක් වටිනවලු. එහෙම නම් අපේ ගෙවල් කෝටි 65ක් වටිනවා. ඉතිහාසයේ ඉඳල එකම ආන්ඩුවක්වත් දුප්පත් මිනිහට ඔලුව උස්සන්න දුන්නෙ නැහැ.”

මේ සියලු සිදුවීම් වලින් පැහැදිලි කෙරෙන්නේ ධනපති ක‍්‍රමය යටතේ මහජනතාවට තම නිවාස අයිතිය ආරක්ෂා කර ගත නොහැකි බව සහ නිවාස අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ සංවිධානය විය යුතු බව පැහැදිලි කරමින් ලෝසවෙඅ වාර්තාකරුවන් කල සාකච්ඡාවන්ට නිවැසියන් ඉතා උනන්දුවෙන් සහභාගි වූ අතර ඉදිරි සාකච්ඡා සඳහා තම එකඟතාව ද පල කලහ.

Share this article: