ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් බෞද්ධ අන්තවාදයට උඩගෙඩි දෙයි

සුජීව අමරනාත් විසිනි, 2013 සැප්තැම්බර් 18

සැප්තැම්බර් 3දා කොලඹ දී ආරම්භ වූ 2013 ආරක්ෂක සමුලුවේ ප‍්‍රධාන දේශනය පැවැත්වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වර්තමානයේ ශ‍්‍රී ලංකාව ඇතුලුව ලොව බොහෝ රටවල් මුහුන දෙන මූලික ගැටලුවලින් එකක් මුස්ලිම් අන්තවාදය යයි පැවසී ය. මුස්ලිම්වරුන්ට හා දෙමල ජාතිකයන්ට එරෙහිව ස්වෝත්තමවාදය ඇවිලවීම හා එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ගෙනයන යුද උත්සන්නිය සමග ගැලතී ගැනීම ඉලක්ක කරගත් එම කතාවට බෞද්ධ අන්තවාදීන්ගෙන් උනුසුම් ප‍්‍රතිචාර ලැබුනි.

2011 පටන් වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුලුවට මෙවර රටවල් 29කින් නියෝජිතයන් සහභාගි වූ අතර එහි තේමාව වූයේ “පශ්චාත් යුද ශ‍්‍රී ලංකාව: අභියෝග හා කලාපීය ස්ථාවරත්වය” යන්න යි. එහි අරමුන වන්නේ රැඩිකලීකරනය වන කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ධනේශ්වර පාලනයට එල්ල වන විරෝධය මැඩීම සඳහා අනෙකුත් රටවල මිලිටරි සමග එක්ව මිලිටරීකරනය වේගවත් කිරීම යි.

දෙමල වැසියන් ලංකාවේ පුරවැසියන් සමග අනන්‍ය වනවාට වඩා තමිල්නාඩුව සමග සබඳතා පැවැත්වීමත් මුස්ලිම් ජනයා ලෝක මුස්ලිම් ප‍්‍රජාව සමග අනන්‍ය වීමත් පිලිබඳව කාංසාව පලකල රාජපක්ෂ ”ලෝකය පුරා ද මෙම කලාපයේ ද මුස්ලිම් මූලධර්මවාදය පැතිරෙමින් තිබේ ය යන්න ප‍්‍රකට කරුනක්” යයි කීවේ ය. “...ලංකාව හරහා යන අන්තවාදී පුද්ගලයින්ව හැඳිනගෙන, අත්අඩංගුවට ගෙන නියමිත බලධාරීන්ට භාර දෙනු ලැබූ අවස්ථා තිබෙනවා. එවැනි අන්තවාදීන් ශ‍්‍රී ලංකාව තුල මුස්ලිම් අන්තවාදය පැතිරවීමේ හැකියාව සැලකිල්ලට ලක්විය යුතු කාරනයක්” යයි රාජපක්ෂ තවදුරටත් සඳහන් කලේ ය.

එදින ම හැල්මේ නිවේදනයක් නිකුත් කල සිංහල බෞද්ධ අන්තවාදී බොදු බල සේනා සංවිධානයේ (බොබසේ) විධායක කමිටුව, ආරක්ෂක ලේකම්ගේ ප‍්‍රකාශය ජාතික නායකයෙකුගේ නිර්භීත ප‍්‍රකාශයක් බවත් එය බොබසේ වසරක් තිස්සේ ගෙනගිය දෘෂ්ටිවාදාත්මක අරගලය ලද “වැදගත් ජයග‍්‍රහනයක්” බවත් පැවසී ය. තම සංවිධානය ආරක්ෂක ලේකම් පලකල අදහස් ම ප‍්‍රකාශ කරන විට තමන් ත‍්‍රස්තවාදී සංවිධානයක් යයි හෙලා දකින්නන්ට හා ව්‍යාජ දේශපාලනඥයන්ට රාජපක්ෂ දැක්වූ අදහස් කදිම පිලිතුරකියි බොබසේ සිය නිවේදනයේ සඳහන් විය.

“මුස්ලිම් හා අනෙකුත් වර්ගවල අන්තවාදය පරදා ශ‍්‍රී ලංකාව සාමකාමී රටක් බවට පත්කිරීම සඳහා වන නායකත්වයකට [ආරක්ෂක ලේකම්වරයාගේ] මෙම ප‍්‍රකාශය මුල්ගලක් වනු ඇතැයි බොබසේ අවධාරනය කරයි” යයි එය තවදුරටත් කීවේ ය.

බොබසේ මෙලෙස රාජපක්ෂව උත්කර්ෂයට නංවන්නේ එයට ද සිහල රාවය හා රාවනා බලය වැනි අනෙකුත් සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානවලට ද ආන්ඩුවේ පිටුබලය යහමින් ලැබෙන බව තහවුරු කරමිනි. සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ප‍්‍රතිගාමී වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බෙදා ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප‍්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ නියෝග ක‍්‍රියාවට දමමින් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහිව පොදු දේශපාලන අරගලයක් දියත් කිරීමෙන් ඔවුන්ව වලක්වා ලංකාවේ ධනපති පන්ති පාලනය රැකීම එහි ඉලක්කය යි.

ආරක්ෂක සමුලුවේ දී තවදුරටත් අදහස් පලකල ගෝඨාභය රාජපක්ෂ සිංහල අන්තවාදී සංවිධානවල බිහිවීමට වගකිව යුත්තේ සුලූ ජාතීන් -එනම්, දෙමල හා මුස්ලිම් වැසියන්- යයි නරුම ලෙස කියා සිටියේ ය. මෙය ද බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ අන්තවාදය වසර 40කට පෙර මෙලෙස හඳුනා ගත්තා නම් ශ‍්‍රී ලංකාව අද සංවර්ධිත රටකියි පාරම්බාන බොබසේ ආස්ථානය සමග එක පෙලට පිහිටයි. යථාර්ථයේ දී සියලු ආකාරවල බෙදුම්වාදයන් හා අන්තවාදයන්වල බිහිවීමට වගකිව යුත්තේ 1948 දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී විජිත පාලනයෙන් රූපික නිදහස ලද තැන් පටන් ලංකාව පාලනය කල කොම්ප‍්‍රදෝරු ධනපති පන්තිය යි. කම්කරු පන්තියේ හා පීඩිත දුගී ගොවීන් ඇතුලු මහජනතාවන්ගේ කිසිදු අව්‍යාජ අභිලාෂයක් ඉටු කිරීමට මෙම අධිරාජ්‍යගැති ධනපති පන්තිය මුලුමනින් ම නො පොහොසත් ය.

2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු යලි ඇරඹූ දෙමල විරෝධී වාර්ගික යුද සමයේ සිය ඉල්ලීම් සඳහා අරගලයට බට කම්කරුවන්ට කියන ලද්දේ යුද්ධය අවසන් වනතෙක් “ඉවසන” ලෙස යි. දැන් යුද්ධය අවසන්ව වසර හතරහමාරකට ආසන්න කාලයක් ගතව ඇතත් කම්කරුවන්ගේ හා අනෙකුත් සාමාන්‍ය ජනයාගේ අව්‍යාජ ප‍්‍රජාතාන්ත‍්‍රික අභිලාෂයන් පසෙක තැබුවත් ජීවන කොන්දේසි හෝ වර්ධනය වී නැත.

ගෝඨාභය රාජපක්ෂ “දිවයිනේ සෑම ප‍්‍රදේශයක ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුනස්ථාපනය කරමින් තිබේ” යනුවෙන් බේගල් ඇද බාන්නේ පිරිසිදු පානීය ජලය ඉල්ලා අරගලයට පිවිසි වැලිවේරිය ප‍්‍රදේශයේ ජනයා මත හමුදාව යොදවා කෲර මර්දනයක් දියත් කර තරුනයන් තිදෙනෙකු ඝාතනය කොට තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කිරීමෙන් යන්තම් මාසයක් ගතවන තැන ය. ඉන් පෙර 2011 දී කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදල් මංකොල්ල කෑමට ඊනියා විශ‍්‍රාම වැටුප් පනතක් ගෙන ඒමට එරෙහිව විරෝධතාවේ යෙදුනු කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ට වෙඩි තබා එක් තරුනයෙකු බිලිගත්තේ ද 2012 දී හලාවත දී ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පලකල ධීවරයන්ට වෙඩි තබා ධීවරයෙකු මරා දැම්මේ ද මේ කියන “ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුනස්ථාපනය” කරන අවධියේ ය.

“මානුෂීය මෙහෙයුම හරහා ත‍්‍රස්තවාදයෙන් මුදාගැනීමෙන් පසු... ශ‍්‍රී ලංකාව දැන් සමස්ත ලෝකයේ ම වඩාත් සාමකාමී හා ස්ථාවර රටවලින් එකක්” යයි රාජපක්ෂ කියාගෙන ගියේ ය. අභ්‍යන්තරව අවතැන් වී සිටින 300,000කට ආසන්න ජනයා යලි පදිංචි කිරීම, බිම්බෝම්බ ඉවත් කිරීම හා යටිතල පහසුකම් යලි ඉදිකිරීම, හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 12,000ක් පුනරුත්ථාපනය කිරීම හා ඔවුන්ව යලි සමාජගත කිරීම යන “සියලු අභියෝගවලට සාර්ථකව මුහුන දී ඇතැ”යි ඔහු පාරම්බෑවේ ය. එහෙත් යථාර්ථය වන්නේ දිවයිනේ උතුරු පලාත තථ්‍ය මිලිටරි පාලනයක් යටතේ පවතින බව හා යුද්ධයට තුඩුදුන් කිසිදු සමාජීය හා දේශපාලනික හේතුවකට ආමන්ත‍්‍රනය කිරීමට ආන්ඩුව අපොහොසත්ව ඇති බව යි.

වර්ගවාදය සිය පන්ති පාලනය පවත්වාගෙන යාමේ දී යහමින් උපයෝගී කරගැනීම පිලිබඳව ලංකාවේ පාලක පන්තිය කුප‍්‍රකට ය. 1948 ඊනියා නිදහසින් පසුව බලයට පත් එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ ආරම්භක වැඩකටයුතුවලින් එකක් වූයේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි භාවය අහිමි කිරීම යි.

රාජපක්ෂගේ කතාවෙන් උද්දාමයට පත් බොබසේ ආන්ඩුව තමන්ට පොරොන්දු වූ පරිදි හලාල් සහතිකය ලංකාවෙන් ඉවත් කිරීමට ක‍්‍රියා නො කිරීම නිසා තමන් යලිත් හලාල් සහතිකයට විරුද්ධ උද්ඝෝෂනය අරඹන බව එහි ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව කීවේ ය.

ආන්ඩුව විවෘතව මුස්ලිම් විරෝධී වර්ගවාදයට පිටුබලය දෙන තතු යටතේ තමන් ආන්ඩුව සමග ගෙනයන පෙම්කෙලිය මුස්ලිම් ජනයා තමන්ගෙන් දුරස්ථ කිරීමට හේතුවෙතැයි බියට පත් මුස්ලිම් ප‍්‍රභූව රාජපක්ෂගේ කතාවට ප‍්‍රතිචාර දැක්වූයේ ඔහුට ම නිෂ්ඵල ලෙස ආයාචනා කරන ලිපියක් යොමු කරමිනි. ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය (ශ‍්‍රීලමුක) ආරක්ෂක ලේකම් වෙත යැවූ එම ලිපියේ “ශ‍්‍රීලමුක අපි 2013 සැප්තැම්බර් 3දා ඔබ ආරක්ෂක සමුලුවේ දී කල කතාවේ දී පලකල අදහස් කෙරෙහි මුස්ලිම් ප‍්‍රජාව පල කරන ගැඹුරු නො සතුට කෙරෙහි ඔබගේ කාරුනික අවධානය යොමු කිරීමට කැමැත්තෙමු” යනුවෙන් සඳහන් කරයි.

තමන් කවර ආකාරයක හෝ ආයුධ සන්නද්ධ වීමකට විරුද්ධ බවත් ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාගේ නාමයෙන් කිසිදු අන්තවාදී කන්ඩායමක් එලෙස සන්නද්ධ වීම වැලැක්වීමට තමන් වගබලා ගන්නා බවත් ශ‍්‍රීලමුක සිය ලිපියේ සඳහන් කරයි. සිංහල බෞද්ධ අන්තවාදීන් පිලිබඳව ලිපිය කනිපින්දම් කීවත් ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් සාමාන්‍ය මුස්ලිම් ජනයා මුහුන දෙන අන්තරායන් පිලිබඳව එකදු වචනයක් හෝ එහි සඳහන්ව නැත. මෙය අහම්බයක් හෝ අත්වැරදීමක් නොව ශ‍්‍රීලමුක පසුතැවෙන්නේ කොලඹ සංස්ථාපිතය තුල තමන්ගේ වරප‍්‍රසාදවලට වලකැපීම පිලිබඳව ය යන්න එයින් පෙන්නුම් කෙරේ.

රාජ්‍ය මාධ්‍ය මෙන් ම බොහෝ පෞද්ගලික මාධ්‍ය ද රාජපක්ෂගේ කතාවේ අවධාරනයට ලක්කල අංශය වූයේ මුස්ලිම් මූලධර්මවාදය හා අන්තවාදය පිලිබඳව ඔහු පලකල අදහස්වලට ය. ඒ සමග ම බොබසේ දැක්වූ ප‍්‍රතිචාරය ද ප‍්‍රචාරය කරන ලදී. කම්කරු පන්තිය -සිංහල, දෙමල හා මුස්ලිම්- මෙයින් අවශ්‍ය නිගමන උපුටාගත යුතු ය. රාජපක්ෂ ඇතුලු කොලඹ පාලක සංස්ථාපිතය වියරු වැටී සිටින්නේ මෑත කාලයේ අරගලයට පිවිසි දුම්රිය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රවල කම්කරුවන් ඇතුලුව කම්කරු පන්තියෙන් සිය පන්ති පාලනයට එල්ල විය හැකි අභියෝගය පිලිබඳව යි. රාජපක්ෂගේ කතාව එවැනි අභියෝගයක් පෙරලොප් කිරීම ඉලක්ක කර ගනී.

Share this article: