ආන්ඩුවේ ඉඩම් කොල්ලයට එරෙහිව දෙමල ජනතාව අතර විරුද්ධත්වය වැඩෙයි

இலங்கை அரசாங்கத்தின் நில அபகரிப்புக்கு எதிராக தமிழ் மக்கள் மத்தியில் எதிர்ப்பு குவிகிறது

සුභාස් සෝමචන්ද්‍රන් සහ සුජීව අමරනාත් විසිනි, 2013 සැප්තැම්බර් 14

හමුදාව විසින් සිවිල් ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් දිගටම වාඩිලාගෙන සිටීම උතුරු නැගෙනහිර සිවිල් පාලනය තහවුරු කරනු ලැබ ඇතැයි ආන්ඩුව කරන ප‍්‍රකාශයේ කුහකත්වය පෙන්නුම් කරයි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය නිම වී සිව් වසරක් ගත වී ඇතත් මෙම පලාත්වල අධිආරක්ෂක කලාප පවත්වාගෙන යාමට හා හමුදා වාඩිලා ගැනීම දිගටම පවත්වාගෙන යාම සඳහා නව ආරක්ෂක සංකීර්න ගොඩ නැගීමට ආරක්ෂක හමුදාවන් විසින් මෙම ඉඩම් නීතිවිරෝධීව තබා ගෙන ඇත.

හමුදා වාඩිලා ගැනීම සහ සිවිල් ජන ජීවිතයේ සෑම අංශයක් ම ආරක්ෂක හමුදාවන් විසින් පාලනය කිරීමෙන් එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අක්ත පත‍්‍රවල සංකේතයක් ලෙස ආන්ඩුව විසින් විස්තර කරන ලද උතුරු පලාත් සභා මැතිවරනයේ විසිලු ස්වභාවය පෙන්නුම් කෙරෙයි.

දෙමල ජනතාවට කිසිදු සහනයක් දීමට එරෙහි සිංහල ස්වෝත්තමවාදීන්ගේ දැඩි විරුද්ධත්වයට මුහුන දෙමින් වොෂින්ටනයේ සහ නවදිල්ලියේ පීඩනය යටතේ මෙම මැතිවරනය කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට බල කෙරුනි. මැතිවරනය “දේශපාලන විසඳුමක” කොටසක් යැයි එක්සත් ජනපදය සහ ඉන්දියාව විසින් සාවද්‍ය ලෙස ප‍්‍රකාශ කර ඇත. රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට සහයෝගය දුන් මෙම රටවලට ශී‍්‍ර ලංකාව තුල තමන්ගේ ම භූ -දේශපාලනික උත්සුකතාවයන් තිබේ.

දසක තුනකට ආසන්න යුද්ධය තුල දී ලක්ෂ සංඛ්‍යාත ජනයා ඔවුන්ගේ දේපලවලින් පලවා හරිනු ලැබූහ. යලි පදිංචිවීම සඳහා ඔවුන්ගේ නීත්‍යානුකුල ඉඩම් ආපසු දෙන ලෙස ඔව්හු දැන් බල කරති. ඔවුන්ගේ උද්ඝෝෂනයේ කොටසක් ලෙස සර්ටියෝරාරි ආඥාවක් සහ ආන්ඩුව විසින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකෑම වලකන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා 2176 ක් විසින් නඩු දෙකකක් අභියාචනාධිකරනයේ පවරනු ලැබ ඇත.

පෙත්සම්කරුවන්ට අනුව “මහජන අවශ්‍යතාවයක්” සඳහා වහාම අක්කර 6381 හෙවත් වර්ග කිලෝ මීටර් 25.8 ප‍්‍රදේශයක් අවශ්‍ය බව යාපන දිස්ති‍්‍රක්කයේ ඉඩම් අත්පත් කර ගැනීමේ නිලධාරියා විසින් කර ඇත. මෙම ප‍්‍රදේශය වර්ග කිලෝ මීටර් 37.21 තුල විහිදී ඇති සම්පුර්න කොලඹ නගරයෙන් තුනෙන් දෙකකට සමාන වෙයි. ඇත්ත වසයෙන් ම මේවා බොහෝ දෙනා ගොවිතැනින් තම ජීවිතය ගැට ගසා ගන්නා කුඩා ඉඩම් කැබලිය.

කොලඹ ආන්ඩු විසින් ඔවුන්ගේ ප‍්‍රතිගාමී අරමුනුවලට අනුව ඉඩම් අත්පත් කර ගැනීමේ පනත මත් උපාමාරුවල යොදවා ඇත. නැගෙනහිර පලාතේ දෙමල සහ මුස්ලිම් ජනයා බලහත්කාරයෙන් ඉවත් කරමින් සිංහල දුගී ගොවීන් පදිංචි කරවීමට කලින් පැවති ආන්ඩු පියවර ගත්හ. වාර්ගික උත්සන්නිය තීව‍්‍ර කිරීම සඳහා උතුරු පලාතේ සිංහල කොලනි පිහිටුවීමට රාජපක්ෂ ආන්ඩුව ද සැලසුම් කරන බව පෙනෙන්ට තිබේ.

ඉඩම් පවරා ගැනීමේ නිලධාරියාගේ දැන්වීමේ මෙසේ සඳහන් වේ “ඉඩම් පවරා ගැනීම සිදු කෙරෙන්නේ (යාපනය) ආරක්ෂක මුලස්ථානය සඳහා අධිආරක්ෂිත කලාපය (පලාලි සහ කන්කසන්තුරේ) පිහිටුවා ඇති ප‍්‍රදේශය බාරදීම යථාවත් කිරීම සඳහා ය.” මෙහි තේරුම මෙම ඉඩම් පවරා ගැනීමට සහ ඒවාට නීතිමය ආවරනයක් සම්පාදනය කිරීම සඳහා ආන්ඩුව ඉඩම් පවරා ගැනීමේ පනත යොදා ගන්නා බවයි.

පෙත්සම්වලට උත්තර බැඳීම සඳහා සැප්තැම්බර් 27 උසාවියේ පෙනී සිටින ලෙස යාපනේ ඉඩම් අත්පත් කර ගැනීමේ නිලධාරියාට සහ ඉඩම් ඇමති ජනක බන්ඩාර තෙන්නකෝන්ට අභියාචනාධිකරනය විසින් දැනුම් දී ඇත.

සිය ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහි ජනයාගේ විරුද්ධත්වය යටපත් කිරීම සඳහා ඔවුන් බිය ගැන්වීමට ආන්ඩුව සහ හමුදාව යෙදීගත් ආකාරය පිලිබඳව බොහෝ සිද්ධීන් වාර්තා වී ඇත. මන්නාරමේ පුරවැසි කමිටුව (එම්සීසී) විසින් ජූනි මාසයේ සංවිධානය කල නීති විරෝධී ඉඩම් කොල්ලය ගැන දැනුවත් කිරීමේ වැඩ පිලිවෙලක් හමුදාව විසින් කඩාකප්පල් කරනු ලැබීය. මැයි 30 සිට ජුනි 01 දක්වා දින තුනක් මෙම දැනුවත් කිරීමේ වැඩ සටහන පැවැත්වීමට නියමිතව තිබුනි. සම්මන්ත‍්‍රනය පටන් ගත් දිනයේ හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙක් අනවසරයෙන් එහි පැමිනීම හිරිහැරයක් වූ බව එම්සීසී නිලධාරීහු ප‍්‍රකාශ කලහ.

බුද්ධි අංශ නිලධාරියා සම්මන්ත‍්‍රනය පැවති ස්ථානයෙන් ඉවත්ව ගිය නමුත් වැඩසටහනට නිලධාරීන් නො යවන ලෙස මන්නාරමේ හමුදා මුලස්ථානය විසින් දිස්ත‍්‍රික් ලේකම්වරයාට උපදෙස් දී ඇති බව ප‍්‍රාදේශීය ලේකම් විසින් එම්සීසීයට දැනුම් දී ඇත. හමුදාවේ කි‍්‍රයාව හෙලා දකිමින් එම්සීසීය නිකුත් කල පුවත්පත් නිවේදනයක ප‍්‍රදේශයේ තුල තවත් ඉඩම් අත්පත් කර ගැනීමට හමුදාව කටයුතු කරමින් සිටින බවට චෝදනා කර තිබේ.

උතුරු පලාත් සභා මැතිවරනය සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ය. ඉඩම් සහ පොලිස් බලතල පලාත් සභාවලට නො දෙන බව ජනාධිපති රාජපක්ෂ කියා ඇත. ඔහුට පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) පාර්ශවකරුවන් වන ජාතික නිදහස් පෙරමුන (ජානිපෙ) සහ ජාතික හෙල උරුමයේත් (ජාහෙඋ) විපක්ෂයේ සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනේත් (ජවිපෙ) සහයෝගය තිබේ. පලාත් සභා මට්ටමින් පොලිස් සහ ඉඩම් බලතල විමධ්‍යගත කර තිබෙන 13 වන ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රතිසංශෝධනය කිරීමට මෙම පක්ෂ උද්ඝෝෂනය කරති.

මෙම සංශෝධනය, එල්ටීටීඊය නිරායුධ කරන අතර ශී‍්‍ර ලාංකික දෙමල ප‍්‍රභූවට අල්ලසක් දීමට ඉන්දියානු ආන්ඩුව කල බලපෑම යටතේ 1987 අත්සන් කල ඉන්දු-ලංකා ගිවිසුමේ කොටසකි. උතුරු පලාත් සභාව අත එවැනි බලතල පැවතීම උතුරේ හමුදා වාඩිලා ගැනීමට සහ සිවිල් ජනයාගේ ඉඩම් අත්පත් කර ගැනීමට එය බාධාවක් වනු ඇතැයි රාජපක්ෂ ආන්ඩුවට බියක් ඇත.

ඉඩම් පවරා ගැනීමේ පනත පවා උල්ලංඝනය කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ දේශීය සහ විදේශීය ප‍්‍රාග්ධනයට ලාබ ශ‍්‍රමය සුරාකෑම සඳහා රටේ උතුරු ප‍්‍රදේශය විවෘත කර දීමේ රාජපක්ෂ ආන්ඩුවේ මංමුලාසහගත ප‍්‍රයත්නය කිසිසේත් ම නතර නොවන බවය. යුද්ධය නිසා නිර්මානය වී ඇති ආන්තික දරිද්‍රතතාවය සහ සමාජ ව්‍යසනය උතුරේ බොහෝ ජනයාට සිය ශ‍්‍රමය තුට්ටු දෙකට විකිනීමට බල කෙරෙනු ඇතැයි ආන්ඩුව ගනන් බලයි. එමෙන් ම මෙම ඉඩම් හමුදා සංකීර්න ඉදි කිරීම සඳහා උපයෝගී කර ගැනීමට ද ආන්ඩුව බලාපොරොත්තු වෙයි.

උතුරේ සහ නැගෙනහිරේ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන දෙමල ධනපති පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) මැතිවරනයේ දී එහි ඡන්ද වැඩිකර ගැනීම සඳහා ඉඩම් ප‍්‍රශ්නය ගසාකෑමට උත්සාහ කරයි. ඔවුන් අභියාචනාධිකරනයේ නඩු පැවරුවේ සාමාන්‍ය දෙමල ජනයා කෙරෙහි ඇති හිතවත්කමක් නිසා නො වේ, ඔවුන් උතුරු පලාත් සභාව දිනා ගැනීමට උත්සාහ කරන්නේ කොලඹ ආන්ඩුව සමග කේවලයේ දී සිංහල ප‍්‍රභූව සමග එකාබද්ධව දෙමල ප‍්‍රභූවට ද දෙමල කම්කරු පන්තිය සුරාකැමේ අවකාශ ලබා ගැනීම සඳහා ය. එය විදේශීය ආයෝජකයන්ට අරාධනා කරන බව ටීඑන්ඒ දැනටමත් ඇඟවුම් කර ඇත.

දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහිව දිගටම මර්දනකාරී පාලනයක් පවතින තතු තුල උසාවියේ නඩු පැවරීමෙන් ඔවුන්ගේ ඉඩම් ආන්ඩුවෙන් සහ හමුදාවෙන් ආපසු ලබා ගැනීම පිලිබඳ සහතිකයක් නැත. උසාවි ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කරන අතර ආන්ඩුව උසාවි තමන්ගේ වාසියට හසුරුවමින් නීතියේ පාලනය නොතකා හරියි.

ඉඩම් පිලිබඳ නීත්‍යානුකුල අයිතිය ලබා ගැනීම හමුදා වාඩිලා ගැනීම, වෙනස්කම් කිරීමේ රාජ්‍ය පාලනය සහ දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ඉඩම් විකිනීමේ ආන්ඩුවේ පිලිවෙත්වලට එරෙහිව කරන අරගලය සමග බැඳී ඇත. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනට සිංහල, දෙමල, මුස්ලිම් කම්කරුවන් එකමුතු කරමින් කොලඹ ආන්ඩුවට එරෙහිව කරන දේශපාලන අරගලයකි.

අපේක්ෂකයන් 19 ඉදිරිපත් කරමින් එලඹෙන පලාත් සභා මැතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම ප‍්‍රතිපත්ති මත යාපනය දිස්ත‍්‍රික්කයට තරග කරයි. උතුරේ හමුදා වාඩිලා ගැනීම අවසන් කිරීම සදහා සමාජවාදී ප‍්‍රතිපත්ති මත සටන් කිරීමේ නොකැලැල් වාර්තාවක් සසපට තිබේ. අපගේ අරගලයට සහයෝගය දෙන ලෙස කම්කරුවන්, තරුනයන් සහ සෙසු පීඩිත ජනයාගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: