උතුරු පලාත් සභා මැතිවරනය සහ ටීඑන්ඒ පිලිබඳ මිථ්‍යාවන්

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2013 සැප්තැම්බර් 19

උතුරු පලාත් සභා මැතිවරනය සඳහා උද්ඝෝෂනය තුල සමාජවාදී සමානතා පක්ෂය (සසප) ධීවරයන්, කම්කරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයන් හා තරුනයන් සමග සිය සමාජවාදී ක‍්‍රියාමාර්ගය ගැන කල සාකච්ඡාවට සැලකිය යුතු ප‍්‍රතිචාරයක් ලැබුනි. මැතිවරනය ගැන මහජනතාව අතර විශ්වාසයක් නැති නමුදු, ප‍්‍රධාන දෙමල ධනපති පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) මැතිවරනය දිනුවොත් අඩුම තරමින් සමහර ප‍්‍රශ්න විසඳා ගැනීමට එය උපකාර වනු ඇතැයි සමහරුන් අතර මිත්‍යාවන් ඇත.

ටීඑන්ඒ මැතිවරනය දිනුවොත් “එය දෙමල ජනතාවට සහනයක් වෙයි. අඩුතරමින් හමුදාව අල්ලා ගෙන සිටින අපේ ඉඩම් ආපසු ලබා ගැනීමටත් පොලිසිය සමග අපේම භාෂාවෙන් ගනුදෙනු කිරීමටත් හැකි වේවි” යැයි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු සසප සාමාජිකයන්ට පැවසුවේ ය.

ඒ හා සමාන අදහසක් පල කරමින් විශ්වවිද්‍යාල සිසුවකු කියා සිටියේ “වෙනත් පක්ෂ ගැන අපට විශ්වාසයක් නැහැ. මම හිතන්නේ අපේ ප‍්‍රශ්න ගැනීමට මේක අපට (දෙමල ජනතාවට) ලැබෙන අවසාන අවස්ථාව වනු ඇති” යනුවෙනි.

ටීඑන්ඒ මෙන් ම යාපනයේ ප‍්‍රකාශයට පත් කරන උදයන්, සුධර් ඕලි, තිනකුරල් සහ වාලම්පුරි වැනි මාධ්‍යත් එවන් මිත්‍යාවන් වගා දිගා කිරීමේ අතොරක් නැති ප‍්‍රචාරයක යෙදී ගෙන සිටියි. දෙමල ජාතික සන්ධානය බලයට ගෙන ඒම හැර වෙනත් විකල්පයක් නැති බව පෙන්වීමට ආන්ඩුව විසින් උතුරු- නැගෙනහිර දිගට ම පවත්වාගෙන යනු ලබන හමුදා වාඩි ලා ගැනීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මර්දනය කිරීම සහ සිංහල කොලනි පිහිටුවීම සඳහා කෙරෙන කුරුමානම් ඇල්ලීම හුවාදක්වති.

අධිරාජ්‍යවාදී බලයන්ගේ සහ ඉන්දියාවේ සහාය ඇතිව බලය බෙදීමේ වැඩ පිලිවෙලක් හරහා තමන්ට උතුරු පලාත් සභාවේ බලය ගැනීමට හැකි වුනොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කිරීමටත් කොලඹ පාලක ප‍්‍රභූවේ මැදිහත්වීම් නතර කිරීමටත් හැකි වෙතැයි ටීඑන්ඒ දෙමල ජනතාවට කියයි. තවත් විනාශයක් සඳහා මග පාදනවා හැර ටීඑන්ඒ සහ එහි පිලිවෙත් දෙමල ජනතාවට විකල්පයක් නො වේ.

පලමුව මෙය දෙමල කම්කරුවන් සහ තරුනයන් සිංහල පන්ති සහෝදරයන්ට එරෙහිව පිහිටුවීමේ තවත් වාර්ගික උගුලකි; සිංහල පරිපාලනයට එරෙහිව දෙමල පරිපාලනයක්! ටීඑන්ඒ පිලිවෙතේ ද කොලඹ ආන්ඩුවේ ම ස්වෝත්තමවාදී ක‍්‍රියාමාර්ගයේ ම අනෙක් පැත්ත ලෙස කම්කරුවන් බෙදීමේ දුෂ්ට ආයුධයක් ලෙස හරඹ කෙරේ.

දෙවනුව, දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්වල ආරක්ෂකයෙක් ලෙස ටීඑන්ඒ කරන මවා පෑම වංචනික ය. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් යනුවෙන් අදහස් කරන්නේ දෙමල කම්රුවන් සහ දුගීන් සුරා කෑමේ ඔවුන්ගේ අයිතිය යි. උතුර සහ නැගෙනහිරට බලය බෙදීම සඳහා ඔවුන් කරන ඉල්ලීම අධිරාජ්‍යවාදීන්ගේ සහාය ඇතිව කොලඹ ආන්ඩුව සමග කේවල් කර එවන් බල වැයික්කියක් තහවුරු කර ගැනීමේ ඉල්ලීමකි. මර්දනය පවත්වා ගෙන යෑම සඳහා පොලිස් බලතලත්, ආයෝජකයන්ට බදු දීම සඳහා ඉඩම් බලතලත් අවශ්‍ය ය. එහෙයින් එකී බලතල සාමාන්‍ය ජනතාවගේ යහපත සඳහා නො වේ.

තෙවනුව, වඩාත් අන්තරායකාරී වන්නේ බලය බෙදා ගැනීම සඳහා සහාය ලබා ගැනීමට අධිරාජ්‍යවාදී බලයන් දිසාවට ඔවුන්ගේ හැරීමයි. එවන් පලාත් සභා පාලනයක් පිහිටුවීම සඳහා ආන්ඩුව මත පීඩනය යෙදීමක් ටීඑන්ඒ අධිරාජ්‍යවාදීන්ගෙන් බලාපොරොත්තු වන අතර ම අධිරාජ්‍යවාදී මූල්‍ය ප‍්‍රාග්ධනයට ආරාධනය කරයි. ලෝක ආධිපත්‍යය සඳහා මිලිටරි බලය යොදා ගැනීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වර්තමාන ධාවනය තුල වොෂින්ටනයේ මූලෝපායාත්මක උවමනාවන්ට සහාය දීමට ටීඑන්ඒ සුදානම් වෙයි.

එක්සත් ජනපදය මැදපෙරදිග දී සිරියාවට එරෙහිව යුද්ධයක් පටන් ගැනීමට කැස කවන අතර මේ කලාපයේ දී චීනයට විරුද්ධව යුද්ධයක් සුදානම් කරමින් සිටී. රාජපක්ෂ එක්සත් ජනපදය සමග සම්බන්ධකම් අලුත් කර ගැනීමට උත්සාහ කරද්දී, චීනය සමග ආරවුලේ දී ටීඑන්ඒ වොෂින්ටනයට සහ ඉන්දියාවට සහාය දෙයි.

මෙම අතිශයින් ම අන්තරායකාරී පිලිවෙත උඩ ටීඑන්ඒ යටතේ පිහිටුවන දෙමල පරිපාලනයක් දෙමල ජනතාව සඳහා “හිතකර” එකක් වන බව යාපනයේ නගර සභා මන්ත‍්‍රීවරුන් යැයි විශ්වාස කල හැකි ටීඑන්ඒ ට පක්ෂපාති විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙක් ප‍්‍රකාශ කලහ. ටීඑන්ඒ එක්සත් ජනපදයට සහය දීම සහ එහි යුද පිලිවෙත ආරක්ෂා කිරීම ඔව්හු සාධාරනීකරනය කලහ. “ඔවුන් මොනවා කරලා තිබුනත්, මොනවා කරමින් සිටියත් මේ මොහොතේ අපට ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහයෝගය අවශ්‍ය යි. එක්සත් ජනපදයට විරුද්ධව ඔබ දෙමල ජනතාව අතර උද්ඝෝෂනය කලොත් එය අපට අවාසියක්”යැයි කී ඔවුහු දෙමල ඡන්ද කැඩීමට උත්සාහ කරන බවට සසපට චෝදනා කලහ. ටීඑන්ඒ තුල කෙරෙන සාකච්ඡාව මෙම අදහස් මගින් පෙන්නුම් කෙරෙයි.

සසප සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී පිලිවෙත් කෙරෙහි දෙමල ජනතාව ආකර්ෂනය වෙතැයි බිය වී සිටින ටීඑන්ඒ සහ එහි දේශපාලන හෙන්චයියෝ ඔවුන්ගේ බංකොලොත් හා ප‍්‍රතිගාමී පිලිවෙත එලිදරව් කිරීම වැලැක්වීමට මංමුලාසහගත ප‍්‍රයත්නයක් දරති. ටීඑන්ඒ බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයේ හොරනෑවක් ලෙස ක‍්‍රියාත්මක විය. සමාජවාදී ධජය යටතේ සිංහල දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුවක් ඇතිවීම කෙරෙහි රාජපක්ෂ ආන්ඩුව මෙන් ම, ටීඑන්ඒ සහ සෙසු දෙමල ප‍්‍රභූහු ද බෙහවින් බිය වී සිටිති.

කම්කරුවෝ, තරුනයෝ සහ බුද්ධිමත්තු පසු ගිය දසක හය තුල සිංහල ධනේශ්වර පාලනයේ හා දෙමල ධනේශ්වරයේ වාර්ගික දේශපාලනයේ කටුක පාඩම් උගත යුත්තාහ. දෙමල විරෝධී වෙනස්කම් කිරීම්, ඝාතන සහ යුද්ධයට සිංහල ධනේශ්වරය මූලිකව වගකිවයුතු වෙයි. දෙමල ධනපති පක්ෂවල වාර්ගික දේශපාලනය මෙම ප‍්‍රහාර සඳහා සිංහල පාලක පන්තියේ අත ශක්තිමත් කිරීමට දායක විය.

විශේෂයෙන් ම කම්කරුවෝ සහ තරුනයෝ එල්ටීටීඊයේ පරාජයේ අත්දැකීම් උගත යුතු ය. දෙමල ජනයාගේ අයිතීන් සෙසු සාමවාදී මාධ්‍යයන් මගින් ලබා ගැනීමට අසමත් වීමෙන් පසු “අවසන් උපාය” හෝ “අවසන් අවස්ථාව” ලෙස එල්ටීටීඊයේ සන්නද්ධ අරගලය ඔජවඩවනු ලැබී ය. එල්ටීටීඊයේ පරාජය මූලිකව එම සංවිධානයේ මිලිටරි දුර්වලත්වයේ ප‍්‍රතිපලයක් නො වේ. එල්ටීටීඊ බෙදුම්වාදය වර්ගවාදී ප‍්‍රපාතයකි. කොලඹ ආන්ඩුවට මුලුමනින් ම සහයෝගය දුන් ඉන්දියාව සහ එක්සත් ජනපදය, යුරෝපය ඇතුලු අධිරාජ්‍යවාදීන්ගේ සහාය ලබා ගැනීමට එය උත්සාහ කලේ ය. මෙම බලයන් මත විශ්වාසය තබා සිටියා මිස එය සිංහල හෝ දෙමල කම්කරුවන්ට පවා ආයාචනා කලේ නැත. දෙමල ජනතාව මත තම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ග‍්‍රහනය තබා ගැනීම සඳහා එල්ටීටීඊය අහිංසක සිංහල සහ මුස්ලිම් සිවිල් ජනයාට ප‍්‍රහාර එල්ල කරමින් දෙමල වර්ගවාදය ඇවිලවූයේ ය.

වාර්ගික යුද්ධයට විරුද්ධව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් සංවිධානය කිරීමට නිරන්තරව සටන් කල එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය හා එහි පෙරගමන්කරු වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පමනි. මෙම එකමුතුවේ කොටසක් ලෙස උතුරින් සහ නැගෙනහිරින් කොන්දේසි විරහිතව හමුදා ඉවත් කරන ලෙස එය දිගට ම ඉල්ලා සිටියේ ය.

සිංහල අධිපතිවාදී ධනපති පාලනය පෙරලා දමා ආසියාවේ සහ ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමූහාන්ඩුවක් එනම් කම්කරු-ගොවි ආන්ඩුවක් තහවුරු කිරීමෙන් තොරව දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගත නොහැකි බව සසප අවධාරනය කලේ ය. මෙම ඉදිරිදර්ශනය මුලුමනින් ම සනාථ වී ඇත.

එම ඉදිරිදර්ශනය හදාරන ලෙස ද සසපට බැඳී එය සිංහල සහ දෙමල කතාකරන කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනගන ලෙස ද අපගේ මැතිවරන උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙස ද සසප කම්කරු පන්තියෙන් තරුනයන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටී.

Share this article: