වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව වතු සමාගම් කම්කරු වැටුප කොල්ල කති

එස්. කේ. අයිරාංගනී විසිනි, 2013 සැප්තැම්බර් 25

වැටුප් ඉල්ලීම් මත කම්කරුවන්ගේ අරගලයක් පැන නැගීම වලකාලමින් අපේ‍්‍රල් 4 දා වෘත්තීය සමිති සහ වතු සමාගම් අතර රහසිගතව අත්සන් කෙරුනු වැටුප් ගිවිසුම මගින් වතු කම්කරුවෝ යලි වතාවක් දරිද්‍රතා මට්ටමේ දෛනික වැටුපකට යටත් කෙරුනි. නව ගිවිසුමට අනුව වතු කම්කරුවන්ගේ ඒකාබද්ධ දෛනික වැටුප වැඩිවුයේ රුපියල් 515 සිට 620 දක්වා රුපියල් 105කින් පමනි. පැමිනීමේ දීමනාව රුපියල් 140ක් සහ නිෂ්පාදන දීමනාව රුපියල් 30ක් ද මෙම දෛනික ඒකාබද්ධ වැටුපට ඇතුලත් ය.

ලංකා කම්කරු කොංග‍්‍රසය (සීඩබ්ලිව්සී) සහ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ලංකා ජනතා වතු කම්කරු සංගමය (එල්ජේඩබ්ලිව්යූ) අත්සන් කල ගිවිසුම කෙරෙහි කම්කරුවන්ගේ විරුද්ධත්වය වාෂ්ප කිරීම සඳහා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොන්ග‍්‍රසය (ඩීඩබ්ලිව්සී) ඇතුලු සෙසු සියලුම වතු සමිති කෛරාටික රඟපෑමක යෙදුනහ.

එම සොච්චම් දෛනික වැටුපත් විවිධ ක‍්‍රමෝපායන් උපයෝගී කරගනිමින් කප්පාදු කිරීමට වතු සමාගම් කටයුතු කරන බවට කම්කරුවෝ චෝදනා කරති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල මල්වත්ත වැවිලි සමාගමට අයත් බංඩාරවෙල එස්ලැබි සහ ඌව හයිලන්ඩ් වතුවල කම්කරුවන් කිහිප දෙනෙක් වැටුප් කප්පාදුව ක‍්‍රියාවට දැමෙන ආකාරයත් තමන් මුහුන දෙන ජීවන කොන්දේසි ගැනත් විස්තර කලහ.

"මාසෙට දවස් 25ක් වැඩ ඉල්ලනව. 620 පඩිය ගන්න අඩුම ගනනේ දවස් 22ක් වැඩ කරන්න ඕන. ඊට වඩා වරුවක් අඩු වුනත් ගෙවන්නෙ රුපියල් 450 මුලික පඩිය විතරයි.” එස්ලැබි වත්තේ දේවි කීවාය.

තමන් පසුගිය මාසයේ දින 22ක් වැඩ කළ නමුත් වැටුප සකසා තිබුනේ දින 21 ට බව එම වත්තේ ම වැඩ කරන විජය ලක්ෂ්මී පැවසුවා ය. "කාඩ් එකෙත් දින 22 ම ලකුනුවෙලා තියනව. ඒත් පඩි හදල තිබුනේ දින 21 ට”

"ගිය මාසෙ දවස් 21 1/2 වැඩ කලා. ලමය ලෙඩ වුන හින්ද වරුවක් වැඩට යන්න බැරි වුනා. ඒ වරුව නිවාඩු ගත්තට පඩිය කපල. පඩිය අතට ගත්තට ඒක කඬේ නයට ගියාම ඉතුරුවෙන ගානෙන් කරන්න දෙයක් නෑ. ගිය මාසෙ කඬේ නය ටිකවත් ගෙවා ගන්න බැරි වුනා. මේක මහ අසාධාරනයක්. මේවට කතා කරන්න කවුරුත් නෑ. අපි කතා කරන්න ගියොත් බනිනව.” ඌව හයිලන්ඩ් වත්තේ එස්. ෂම්මුගන් පැවසීය.

දින 22ක් සඳහා දිනකට රු. 620 බැගින් කම්කරුවකු ලබන පඩිය රු. 13,640කි. ජීවන වියදමේ ඉහල නැගීමත් සමග මෙම වැටුප කිසිසේත් ම ප‍්‍රමානවත් නො වේ. ආන්ඩුවේ ගනන් හිලව්වලට අනුව වුව ද හතර දෙනෙකුගෙ පවුලක් සඳහා මාසික වියදම රුපියල් 40,000 කි. එවන් තත්වයක් තුල දින 21 වැඩ කල කම්කරුවෙකුට දිනකට රු. 450 බැගින් ලැබෙන මුලු මාසික වැටුප රු.9450 කි. එක් දිනක් වැඩට නො පැමිනීම නිසා කම්කරුවකුට අහිමිවන මුදල රු. 4190 කි.

කම්කරුවන්ගේ චෝදනාව ගැන මල්වත්ත වැවිලි සමාගමේ නිලධාරියකුගෙන් විමසු විට ඔහු වැටුප් කප්පාදුව සාධාරනීකරනය කලේ මෙසේ ප‍්‍රකාශ කරමිනි. "අපි පඩි ගෙවන්නෙ ටාගට් එකට. ටාගට් එකට නොකරන මිනිස්සුන්ට පඩි ගෙවන්නෙ කොහොම ද?”

වැටුප් ගිවිසුමට අනුව මාසේ වැඩ දින ගනනෙන් අවම වසයෙන් සියයට 75 වැඩ කලොත් පැමිනීමේ දීමනාව සමග වැටුප ගෙවිය යුතුය. කම්කරුවන් කියන කරුනුවලින් හා වතු නිලධාරියාගේ ඉහත ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වතු හාම්පුතුන් හිතු මතේට වැටුප් කප්පාදු කරන ආකාරයයි. එහෙත් ගිවිසුමෙන් කම්කරුවන්ට හිමි වැටුප පවා කප්පාදු කරමින් හාම්පුතුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට වෘත්තීය සමිති මුලුමනින් ම ඉඩ හැර තිබේ.

වතු හාම්පුතුන්ට අභිමත ආකාරයට වැඩ ඉලක්ක ඉහල දැමීමට 2011 වැටුප් ගිවිසුමේ දී සමිති නායකයෝ එකඟ වුහ. ඒ අනුව වතුවල සශ‍්‍රීකත්වයේ මට්ටමට අනුව දිනකට නෙලිය යුතු දලූ ප‍්‍රමානය කිලෝ දෙකකින් හෝ තුනකින් ඉහල දමනු ලැබීය. ඊට එරෙහිව වෘත්තීය සමිතිවලට පිටින් මස්කෙළිය, බගවන්තලාව, හැටන් ආදී ප‍්‍රදේශවල වතු කම්කරුවන්ගේ අරගල පැන නැගුනි. එහෙත් සීඩබ්ලිව්සී ය කල ආකාරයට විරෝධතාවල යෙදුන කම්කරුවන්ට තමන් වග නො කියන බවට කෙලින් ම තර්ජනය කිරීමෙන් හෝ එන්යූඩබ්ලිව් සහ ඞීඩබ්ලිව්සී ඇතුලූ සමිති විසින් කම්කරුවන්ගේ විරෝධතා හුදකලා කිරීමෙන් ඒවා දුර්මුඛ කර විසුරුවා දැමුනි.

ලැබෙන ආදායම ඉහල යන ජීවන වියදමට කෙසේවත් නො ගැලපෙන තතු තුල කම්කරුවන්ගේ ජීවන තත්වයන් තව තවත් පිරිහෙමින් ඇත. තම දෛනික ආහාර වට්ටෝරුව පරිප්පු හොද්දක් හෝ එක එලවලුවක් සමග බත් වේලකට හෝ රොටියකට සීමා වී ඇති බව කම්කරුවෝ කීහ.

ආර්. මලර් වතු කම්කරුවන්ගේ ආහාර වේලේ ස්වභාවය ගැන මෙසේ විස්තර කලේ ය. "අපි වැඩියෙන්ම උයන්නෙ පරිප්පුයි බතුයි. නැත්තං එලවලුවකුයි බතුයි. අපේ ගෙදර පස් දෙනෙක් ඉන්නව. පරිප්පු කිලෝ එකක් ගෙනාවම මාසයක් විතර කන්න පුලුවන්. හොද්දට පොල් කිරි ඇති තරං දාන්න බෑ. පොල් ගෙඩියක් රු50යි. වතුරෙන් තම්බල පොල්තෙල් පොඩ්ඩකින් තෙම්පරාදු කරනව. මස්, මාලු කන්නෙ පඩි දාට විතරයි. ලමයින්ට කිරි පැකට් එකක් එදාට ගේනව. ඒක ටික ටික දාල ඉවර වෙන කල් දෙනව. මට ලමයි තුන් දෙනෙක් ඉන්නව. නිව්ඬේල් යෝගට් එකක් හැමදාම ලමයෙකුට දෙන්න කියල ටීවී එකේ කියනව. යෝගට් එකක් රු.30යි. හැමදාම තියා මාසෙකට දවසක්වත් අපට ලැබෙන පඩියෙන් අපේ ලමයින්ට ඒව දෙන්න පුලූවන් ද?”

වැඩ ප‍්‍රමානය ඉහල දැමීමට අමතරව කම්කරුවන් ස්ථිර කිරීම කල් පසු කරමින් තාවකාලික පදනමේ දිගටම පවත්වා ගැනීමට වතු සමාගම් කටයුතු කරන බව ද, ඒ සඳහා කාලගුන වෙනස්කම් උපයෝගී කර ගන්න බව ද කම්කරුවෝ කීහ.

වැටුප් කප්පාදු කිරීම හා දුෂ්කර සේවා කොන්දේසි කම්කරුවන් මත පැටවෙන්නේ ගැඹුරුවන ලෝක ආර්ථික අවපාතය හේතු කොට ගෙන ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය මුහුන දී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට වතු සමාගම් සහ ආන්ඩුව දරන ප‍්‍රයත්නයේ කොටසක් ලෙසිනි.

ලෝක ආර්ථික අවපාතය ආරම්භ කෙරුන 2008 සිට ලංකාවේ තේ අපනයන ආදායම පහත වැටීමේ ප‍්‍රවනතාවයක් පෙන්නුම් කරන අතර තේ නිෂ්පාදනය කරනු ලබන කෙන්යාව, ඉන්දියාව, බංග්ලාදේශය හා චීනය වැනි රටවල් සමග තරගය තීව‍්‍ර වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ තේ අපනයන ආදායම 2011 ජනවාරි සිට 2012 ජනවාරි දක්වා කාලය තුල සියයට 7 න් පහත වැටුන අතර 2012 වසරේ සමස්තයක් ලෙස තේ අපනයන ආදායම සියයට 5.3 න් පහත වැටුනි. යුරෝපයේ හා ඇමරිකාවේ විරැකියාව ඉහල යාමත් ආදායම් පහත වැටීමත් නිසා තේ සඳහා ඉල්ලූම අඩුවීම හා සිරියාව, ඉරානය ඇතුලූ මැදපෙරදිග රටවල දේශපාලන අස්ථාවරත්වයත් නිසා ලංකාවේ තේ අපනයන වෙලඳ පොල වඩ වඩා හැකිලෙමින් ඇත.

තේ නිෂ්පාදනය කරන සෙසු රටවල් හා තරගයේ දී ද, ශ‍්‍රී ලංකාව වඩ වඩා ආපස්සට තල්ලු වී ඇත. 1995 දී ලෝකයේ ප‍්‍රධාන තේ අපනයනකරු වූ ශී‍්‍ර ලංකාවේ තැන මේ වනවිට කෙන්යාව හිමිකරගෙන තිබේ. විශේෂයෙන් ම අප‍්‍රිකානු සහ මැදපෙරදිග රටවල තේ වෙලඳපොල කෙන්යාව අතට මාරු වී ඇත. එමෙන් ම 1970 දී ලෝක තේ වෙලඳ පොලේ සියයට 40 ක් වූ ශ‍්‍රී ලංකාවේ පංගුව 2000 දී සියයට 279 ට හා 2011 දී සියයට 21.6 දක්වා පහත වැටී තිබේ.

ලෝක වෙලඳ පොලේ තරගයේ දී ප‍්‍රධාන සාධකයක් වන නිෂ්පාදන වියදම පහල දමා ගැනීමට වැටුප් කප්පාදුව හා නිෂ්පාදන ඵලදායිත්වය ඉහල දමා ගැනීම සඳහා වැඩ වේගවත් කිරීම මෙන් ම පාඩු ලබන වතු වසා දැමීමට ද වතු සමාගම් සහ ආන්ඩුව පියවර ගනිමින් සිටී. පාඩු ලැබීම නිසා ලංකා වතු සංවර්ධන මංඩලයට අයත් වතු වැසීමට ආන්ඩුව ගෙන ඇති තීරනයෙන් 5,000කට අධික කම්කරුවන්ගේ රැකියා අහිමි වීමට නියමිත ය. කම්කරුවන්ගේ ජීවන තත්වය නගා සිටුවන බවට පසුගිය පලාත් සභා මැතිවරනයේ දී ජනාධිපති රාජපක්ෂ ද ආරුමුගම් තොන්ඩමන් සහ පී. දිගම්බරම් ඇතුලු වතු සමිති නායකයන් ද දුන් පොරොන්දු අමූලික පචය.

"කෙන්යාවෙ දෙන්නෙත් මේ පඩියමයි. හැබැයි එහෙ මිනිස්සු උදේ හයේ ඉඳල හවස හය වෙනකල් වැඩ කරනව. මෙහෙ පඩි මීට වඩා දෙන්න බැහැ. "සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් 2012 වසරේ බදුල්ලේ වෘත්තීය සමිති කාර්යාලයේ අලුතින් කාන්තා වෘත්තීය සමිති නායිකාවන් බඳවා ගැනීම සඳහා පැවති රැස්වීමේ දී පැවසූ බව එයට සහභාගි වූ කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලා ය.

ස්ථිර පදනමක් නැති, එදිනෙදාට රැකියා සොයා ගන්නා, දලු නෙලන ප‍්‍රමානයට වැටුප් ලබන කෙන්යාවේ තේ නෙලන්නෝ තේ දලු කි. 1කට කෙන්යානු සිලිං 9ක් (ලංකා රුපියල් 13.63*) ලබති. දිනකට කිලෝ 50ක් කැඩිය යුතු යැයි නිර්දේශ කෙරී ඇති අතර කිලෝ 33ක් අනිවාර්ය ය. දිගු පැය ගනනක් ඔවුහු වැඩ කරති. අඩු වැටුප් සහිත ජීවන තත්වය හේතුවෙන් තම දරුවන් පාසල් යැවීම සඳහා ලිංගික වෙලඳාමේ යෙදීමට එරට වතු කම්කරු කාන්තාවන්ට බල කෙරී ඇත.

සීඩබ්ලිව්සී නායකයා කෙන්යාව පෙන්වන්නේ එහි කම්කරුවන් මුහුන දෙන ඉහත තත්වයන් වසන් කර ලංකාවේ වතු කම්කරුවන්ගේ වැඩ ඉහල දැමීම හා අඩු වැටුප් සාධාරනීකරනය කිරීම සඳහා ය.

එය අහම්බයක් නො වේ: වතු සමිති මෙන් ම සමස්තයක් ලෙස ලංකාවේත් ජාත්‍යන්තරවත් අද වෘත්තීය සමිති ක‍්‍රියාත්මක වන්නේ කම්කරු පන්තිය සිය අරගල මගින් දිනාගෙන ඇති අයිතීන් සියල්ල ආපසු කරකැවීමට හා ලෝක ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමේ දී ධනපති රාජ්‍යයේ ඍජු ඒජන්තයන් ලෙස ය.

Share this article: