ජිනීවා සාකච්ඡා විවෘත කෙරෙද්දී එක්සත් ජනපදය කෙලින්ම සිරියානු මිලිෂියාවන් සන්නද්ධ කරයි

As talks open in Geneva, US begins direct arming of Syrian militias

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2013 සැප්තැම්බර් 13

සිරියාවට එරෙහි යුද්ධය නතර කිරීම අරමුනු කරගත් බව ප්‍රදර්ශනය කෙරෙන සාකච්ඡා සඳහා 12දා එක්සත් ජනපද හා රුසියානු නියෝජිතයින් ජිනීවා වෙත ලඟාවෙද්දී, එක්සත් ජනපද නිලධාරීන් වාර්තා කලේ තමන් සිරියාව තුල ඉස්ලාම්වාදී විපක්ෂයට කෙලින්ම ආයුධ සපයා ඔවුන් සන්නද්ධ කිරීම අරඹා ඇති බවකි. සවුදි අරාබිය හා කටාර් වැනි අනෙකුත් පර්සියානු ගල්ෆ් රාජ්‍යයන් විසින් මුදල් ගෙවා, තුර්කි, නැ‍ඟෙනහිර යුරෝපීය හා අරාබි රටවල් හරහා හොර රහසේ විපක්ෂ මිලිෂියාවන්ට ආයුධ සපයා සන්නද්ධ කිරීම පසුගිය දෙවසර පුරා සීඅයිඒ සංවිධානය විසින් නිරීක්ෂනය කර තිබේ. කෙසේ වෙතත් දැන් එක්සත් ජනපද බදු ගෙවන්නන්ගේ මුදල්, කෙලින්ම හෝ වක්‍ර ලෙස අල්කයිඩාවට අනුබද්ධ විපක්ෂ හමුදාවන් වෙත ගලායනු ඇත.

එක්සත් ජනපද නිලධාරීන්ගේ ආරම්භක ගනන් බැලීම් වලට අනුව වොෂින්ටනය මෙම හමුදාවන්ට ආධාර වශයෙන් ඩොලර් මිලියන 250ක් ලබාදෙනු ඇත. සීඅයිඒ විවිධාකාරයේ සැහැල්ලු අවි හා මූනිස්සම් බෙදාහරින නමුත් විපක්ෂයේ නියෝජිතයෙක් විවේචනාත්මකව පැවසුවේ අවි තොග “සංකේතාත්මක” වන බවකි. ඔහු කියා සිටියේ එක්සත් ජනපදය තමන්ට යුද ටැංකි හා ගුවන්යානා නාශක මිසයිල සැපයිය යුතු බවයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද වාහන, සූක්ෂම පනිවිඩ හුවමාරු උපකරන හා නවීන වෛද්‍ය උපකරන ඔවුන් වෙත සපයා ඇත.

වොෂින්ටනය ඊනියා කැරලිකරුවන් සන්නද්ධ කිරීමෙන් පෙන්වන්නේ, සිරියාව පිලිබඳව රුසියාව සමග සාකච්ඡා පැවැත්වීම කරා සිදුවූ ඔවුන්ගේ මාරුව වංචනික බවයි. අති මහත් බහුතරයක් ඇමරිකානු ජනතාව විසින් විරෝධය පල කල සිරියානු යුද්ධයට බලය පවරන යෝජනාව එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් පරාජයට පත්කරනු ඇති බව පැහැදිලි වීමත් සමග මේ සතියේදී ඔබාමා පාලනාධිකාරය, සිරියාවේ රසායනික අවි විනාශ කිරීම පිලිබඳව සාකච්ඡා කිරීමට රුසියාව කල යෝජනාවට එකඟ විය. එහෙත් මෙම උපායික මාරුව එක්සත් ජනපදයේ යුද ධාවනයේ මූලික වෙනසක් සලකුනු කරන්නේ නැත.

ඊට විපරිතව එක්සත් ජනපද ආන්ඩුව හා එහි අනුචරයෝ, එක්සත් ජනපද හා ජාත්‍යන්තර කම්කරු පන්තිය තමන්ගේ යුද සැලසුම් වලට දැක්වූ ගැඹුරු විරුද්ධත්වයෙන් පැනනැංවූ අර්බුදයට ප්‍රතිචාර වශයෙන් සිය සාපරාධී මැදිහත්වීම් උත්සන්න කරයි. එක්සත් ජාතීන්ගේ අනුමැතියකින් තොරව දියත් කරන නීති විරෝධී යුද්ධයේ දී සෘජුව ම සිරියාවට මිලිටරි මැදිහත්වීමක් සඳහා සූදානම් වන අතර ඉස්ලාම්වාදීන්ට දෙන ඔවුන්ගේ මිලිටරි ආධාර වැඩිකරමින් සිටියි.

පසුගිය මාසයේදී අසාද් විසින් ගෞවුටාහිදී විෂ වායු යොදාගත් බවට දෙසාබාන බොරු පදනම් කරගෙන එක්සත් ජනපද නිලධාරීහු, සිරියාවේ රසායනික අවි විනාශ කිරීමේ කඩිනම් කාලසටහනක් සකසා ගත යුතු බව කියා සිටිති. මෙම සාමාන්‍ය එහෙත් කෙටි කාලසටහන ක්‍රියාත්මක නොකලහොත් එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කරන බව ද ඔවුන් ඇඟවුම් කර ඇත.

ජිනීවාහිදී 12දා සවස පැවැත්වූ මාධ්‍ය හමුවක පෙනී සිටි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, වොෂින්ටනය තවමත් යුද්ධයේ තර්ජනය එල්ල කරන බව අවධාරනය කලේ ය. “රජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අසාර්ථක වුවහොත්, මෙම අවි යොදාගැනීම සඳහා අසාද්ට ඇති හැකියාව අවහිර කර එය අවම කිරීමට බලය යොදාගැනීම අවශ්‍ය වනු ඇති බව ජනාධිපති ඔබාමා පැහැදිලිව සඳහන් කර ඇති” බව ඔහු පැවසීය.

එක්සත් ජනපද හා යුරෝපීය මැදිහත්වීමේ එල්ලය නිසැකව ම රසායනික අවි නොව, මැද පෙරදිග ආධිපත්‍යය සඳහා වන පුලුල් මූලෝපායක කොටසක් ලෙස අසාද් පෙරලා දැමීම ය. අසාද්ගේ පාලනය පෙරලා දැමීම මගින් වොෂින්ටනය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන මැද පෙරදිග කලාපීය එදිරිවාදියා වන සිරියාවට හිතවත් ඉරානය හුදෙකලා කරනු ඇත. එබැවින් වොෂින්ටනය, සිරියාව තුල සිටින වඩාත් විශ්වාස කටයුතු ලෙස පෙනී යන ඉරාන විරෝධී, නිකායික, සුන්නි ඉස්ලාම්වාදී මිලිෂියාවන්ට පිටුබලය දෙමින් ඔවුන් සන්නද්ධ කරයි.

සිරියානු විපක්ෂය රසායනික අවි ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන අතර සාකච්ඡා සඳහා දරන ඕනෑම උත්සාහයක් හෙලා දකිති. “රසායනික අවි ජත්‍යන්තර බාරයට පත්කිරීමේ රුසියානු පියවර නිශ්චිතව ම ප්‍රතික්ෂේප කරන බව අප කිව යුතුය.” යනුවෙන් සිරියානු විපක්ෂයේ ඉහල මිලිටරි කවුන්සිලයේ නායක සලීම් ඉද්රිස් පැවසීය.

වෝල් ස්ට්‍රීට් ජර්නලයට අනුව විපක්ෂ හමුදා “ජනාධිපති බෂර් අල් අසාඩ් ඉක්මනින්ම පෙරලා දැමීමේ හොඳම අවස්ථාව ගිලිහී යනු ඇතැයි බියවී සිටිති.” පෙනී යන පරිදි, සිරියානු හමුදාවට එක්සත් ජනපද හා ප්‍රන්ස ගුවන් ප්‍රහාර එල්ල කරන අවසරයෙන් අගනුවර ඩැමස්කස් වෙත ගොඩබිමින් පහර දීමේ තම සැලසුම් වෙනස් කිරීමට ඔවුන්ට සිදුව ඇත.

අල් නුස්රා පෙරමුන හා සිරියානු හා ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සඳහා පෙරමුන වැනි සෘජුවම අල් කයිඩාවට අනුබද්ධ නැතිනම් ඊට සම්බන්ධ අරාර් අල් ෂාම් සේනාංකය වැනි ඉස්ලාමීය හමුදා කොටස් වලට වොෂින්ටනය පිටුබලය දීමේ කාරනය සමග සලකන කල එක්සත් ජනපද ප්‍රතිපත්තියේ සාපරාධීකම පිලිකුල් සහගතය. පසුගිය දෙසැම්බරයේදී එක්සත් ජනපද ආන්ඩුව, සිරියාව තුල සිය ගනන් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට වගකිවයුතු අල් නුස්රාව ත්‍රස්තවාදී කන්ඬායමක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කලේ ය.

එසේ වුවත් වොෂින්ටනය, අල් නුස්රාව වැනි සුන්නි මිලිෂියාවන් විසින් නිකායික ඝාතන සඳහා යොදාගන්නා මිනීමරු කල්ලිවලට සිරියාවේ උතුරු කොටස් පාලනය කිරීමට උදව් කරයි. එක්සත් ජනපද නිලධාරීහු, විපක්ෂය අල්ලාගෙන සිටින ප්‍රදේශවල ප්‍රාදේශීය පාලක සභා හා මූලික සේවා සැපයුම් ගොඩනගති.

“මෙම ප්‍රාදේශීය සභා හොඳ ආරම්භයක් ලෙස යොදාගත හැකි බවට අපට හැඟීගොස් තිබේ. අපගේ ආධාර ලබන පුද්ගලයින් අනෙකුත් ත්‍රස්තවාදී සංවිධාන සමග අනුබද්ධ නොවන බවට අපට ඔට්ටු තැබිය හැක.” යනුවෙන් පැවසුවේ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු වන මාක් වාඩ් ය. ලිබියාවේ, ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ සේවය කර තිබෙන වාඩ්, දකුනු තුර්කියේ සිට විපක්ෂයට “මාරක නොවන” එක්සත් ජනප ආධාර සැපයුම් සම්බන්ධීකරනය කරයි.

සැබවින්ම එක්සත් ජනපද නිලධාරීහු අල් නුස්රාව විසින් පාලනය කරන ප්‍රදේශ වලට ද ආධාර සපයන බව පැහැදිලිව කියා සිටින අතර ඒ, ඉස්ලාම්වාදීන්ගේ පාලනය යටතේ ඇති ප්‍රදේශවල සිරියානු සිවිල් වැසියන්ගේ “සිත් දිනාගැනීමේ” තරඟයක යෙදෙන එක්සත් ජනපද ප්‍රතිපත්තියට අනුව බව අභූත ලෙස පවසති.

“අල් නුස්රාව ජනතා සිත් දිනාගැනීමට වෙහෙසෙන ස්ථානවල ට්‍රක් රථ හා ගිලන් රථ ඔබ දැකගන්නේ නම් මෙය අහම්බයක් නොවනු ඇත.” මෙය “සංවේදී මූලෝපායක්” බව එක්සත් ජනපද නිලධාරියෙක් වොෂින්ටන් ‍පෝස්ට් පුවත්පතට පැවසීය.

සිරියාවේ හා මැද පෙරදිග ඉස්ලාමීය සුන්නි විපක්ෂයක් නඟා සිටුවීමට ‍එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දරන උත්සාහය දැවැන්ත අන්තරායන් මතු කරයි. එයට විකල්ප වශයෙන් කම්කරු පන්තියේ යුද විරෝධී මහජන ව්‍යාපාරයක් පාලක පන්තීන්ට එරෙහිව ගොඩ නොනැඟුවහොත්, පැතිර යන ගැටුම් මැද පෙරදිග පමනක් නොව සිරියාවේ ප්‍රමුඛ අනුචරයා වන රුසියාව සමග ද පුලුල් පරිමානයේ යුද්ධයක් ඇවිල යා හැකිය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ලියන ලද අදහසක් 12දා නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ පලකර තිබුනි. එහි ශීර්ෂ පාඨය “ප්‍රවේසම් වන ලෙසට රුසියාවෙන් කෙරෙන ඉල්ලීමක්” යන්නය. “ජාත්‍යන්තර නීතියේ හා පාලනයේ සමස්ත පද්ධතියම අස්ථාවර කරන” සිරියාවට එරෙහි එක්සත් ජනපදයේ යුද ව්‍යායාමය එක්සත් ජාතීන්ගේ අධිකාරය වල පල්ලට යැවීමට තර්ජනය කරන බවට ඔහු අනතුරු ඇඟවී ය.

දෙවන ලෝක සංග්‍රාම අවධියේ නාසි ජර්මනියට එරෙහිව සෝවියට් සංඟමය හා එක්සත් ජනපදය අතර පැවති සන්ධානය අගය කරමින් පුටින් මෙසේ ලිවීය. “එක්සත් ජාතීන් යන සාර්වත්‍රික ජාත්‍යන්තර සංවිධානය එවක පිහිටුවන ලද්දේ එවන් ව්‍යසනයක් යලි ඇතිවීම වැලැක්වීමට ය.... දෙවන ලෝක යුද්ධයට පෙරාතුව ලීවරයක් නොමැතිකම නිසා බිඳ වැටුනු ජාතීන්ගේ සංඟමයට අත්වූ ඉරනම එක්සත් ජාතීන්ටත් සිදුවනු දැකීමට කිසිවෙකුටත් අවශ්‍ය නො වේ. බලවත් ජාතීන් එක්සත් ජාතීන් නොතකා හරිමින් ආරක්ෂක මන්ඩලයේ අනුමැතියකින් තොරව මිලිටරි ප්‍රහාරයන් සඳහා පියවර ගතහොත් එවැන්නක් සිදුවිය හැක.”

ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ හා ලිබියාවේ එක්සත් ජනපද යුද්ධ ඇඟවුම් කරමින් පුටින් මෙසේ පැවසී ය. “බලය නිස්කාරන හා වැදගැම්මකට නැති බව සනාථ කර තිබේ.”

ඔබාමා, එක්සත් ජනපදය සුවිශේෂී රාජ්‍යයක් බව පවසමින් ඇමරිකානු විදෙස් පිලිවෙත යුක්තිසහගත කිරීම විවේචනය කරමින් පුටින් මෙසේ ලිවීය. “අරමුන කුමක් වුවත්, තමන් සුවිශේෂී යයි සිතීමට මිනිසුන් පෙලඹවීම අතිශයින්ම අන්තරාදායකය. විශාල රටවල් ද කුඩා රටවල් ද පොහොසත් රටවල් හා දුප්පත් රටවල් ද තිබේ. එසේම දිගු කාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රධායන් සහිත රටවල් ද ප්‍රජාතන්ත්‍රවාදය කරා සිය මාවත තවමත් සොයමින් සිටින රටවල් ද තිබේ. ඒවායේ ප්‍රතිපත්තීන් ද එකිනෙකට වෙනස්ය. අප සියල්ලන් එකිනකාට වෙනස්ය. එහෙත් අප දෙවියන්ගේ අශීර්වාදය ඉල්ලා සිටින විට දෙවියන් අප සමානයන් ලෙස මවා ඇති බව අමතක නොකල යුතු ය.”

එක්සත් ජනපදය තම යුද ව්‍යායාමය අතහැර දැමිය යුතු බවට කරන පුටින්ගේ ඉල්ලීමෙන් ඔහු ඇඟවුම් කරන්නේ ඇමරිකානු නිදහසේ ප්‍රකාශනයයි. මෙය එක්සත් ජනපදයේ නීති සම්පාදකයින් කුපිත කලේය. සෙනේට් සභික නැන්සි පෙලෝසි පුටින්ගේ ප්‍රකාශ හෙලා දකිමින් “මම මුලුමනින්ම විරුද්ධය, ඇමරිකාව සුවිශේෂී රටකි.” යනුවෙන් පැවසුවාය.

ඩිමොක්‍රටික් සෙනේට් සභික රොබට් මෙනන්ඩේස් පැවසුවේ, “කේජීබීය තුලින් ආ කෙනෙක් අපගේ ජාතික අවශ්‍යතා කවරක් විය යුතු ද කවරක් නොවිය යුතු දැයි” දැනුම් දෙන පුටින්ගේ එම පුවත්පත් තීරුව කියවද්දී “ඔක්කාරයට ආ” බවයි.

මේ අතර රුසියානු යුද නැව් ගනනාවක් මධ්‍යධරනී මුහුදේ සිරියානු වෙරල තීරය කරා යාත්‍රා කරමින් තිබේ. මෙම නාවික යාත්‍රා සිරියාවෙන් රුසියානු පුරවැසියන් ඉවත් කිරීම සඳහා පිටත්කර හැරි බව රුසියානු නිලධාරීන් පැවසුව ද සිරියාවට එරෙහිව මිසයිල් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන නේටෝ යුද නැව් සමග මේවා ගැටුමකට මුහුන පායි.

ස්මෙට්ලිවි යන ඩිස්ට්‍රෝයර් නෞකාව, නිකොලායි ෆිල්චෙන්කොව් යන හමුදා ගොඩබස්වන ප්‍රහාරක නෞකාව හා දැඩිලෙස ආරක්ෂිත මිසයිල් කෲසර් මොස්ක්වා යන නැව් ඉදිරි දිනවලදී ප්‍රදේශයට ලඟාවනු ඇත.

Share this article: