ජල දූෂනය පිලිබඳ කම්කරු පරීක්ෂනය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ සසප ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

Sri Lankan SEP holds public meeting on workers inquiry into water pollution

රොහන්ත ද සිල්වා විසිනි , 2014 පෙබරවාරි 12

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය, වැලිවේරිය ජල දූෂනය පිලිබඳව සොයා බැලූ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වැදගත්කම පැහැදිලි කිරීම සඳහා පෙබරවාරි 02දා ගම්පහදී සාර්ථක ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන ලදී. රැස්වීමට පැමින සිටි අය අතර වැලිවේරිය ප්‍රදේශවාසීහු ද ශිෂ්‍යයෝ ද වූහ.

පසුගිය වසරේ විනිග්‍රොස් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම විසින් ප්‍රදේශයේ ජල සැපයම දූෂනය කර ඇතැයි යන සැකය මත පරීක්ෂනය සඳහා සසප උද්ඝෝෂනයක් දියත් කලේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව අගෝස්තු 01දා ජල දූෂනයට එරෙහිව විරෝධතා දැක්වූ ගම්වාසීන්ට මිලිටරිය යොදවා පහර දුන්නේය. එහිදී සිසුන් දෙදෙනෙක් හා තරුන කම්කරුවෙක් මරුමුවට පත් විය. දුසිම් ගනනක් තුවාල ලදහ.

ප්‍රදේශය තුල සසප හා එහි තරුන හා ශිෂ්‍ය සංවිධානය විසින් තියුනු උද්ඝෝෂනයක් ගෙන යමින් රැස්වීම ගොඩනඟන ලදී. සසප ප්‍රකාශනය හා පරික්ෂනයට අදාල ලෝසවෙඅ ලිපි දහස් ගනනක් බෙදාහරින ලද අතර එයට පුලුල් මහජන සහයෝගයක් පල විය.

පානිනී විජේසිරිවර්දන රැස්වීම අමතයි

ජල දූෂනය හා මිලිටරි ප්‍රහාරයට එරෙහි මහජන විරෝධය දියකර හැරීමේ ව්‍යායාමයක නිරතවූ රාජපක්ෂ ආන්ඩුව, ප්‍රෙද්ශවාසීන්ට නල ජලය සැපයීමට පොරොන්දු විය. එම පොරොන්දුව මාර්තු 29දා පැවැත්වෙන බස්නාහිර පලාත් සභා මැතිවරනයේදී ඡන්දදායකයින්ගේ ඇස්වලට වැලි ගැසීමක් පමනි.

එක් සුලු ව්‍යාපාරිකයෙක් උද්ඝෝෂකයින්ට මෙසේ පැවසීය. “ජල සැපයුම ලබාගැනීම සඳහා වන පෝර්ම කඩදාසි ආන්ඩුව ගම්වාසීන් අතර බොදාහැරියා. පෝර්ම බාරදෙන්ට ගිය අයට කියා ඇත්තේ ජල සම්බන්ධතාව ලබාගැනීමට මුදල් ගෙවන ලෙසයි. අනෙකුත් ඒවා වගේම මෙයත් මැතිවරනය අවසන්වූ පසුව පැත්තකට දමන ඡන්ද ප්‍රෝඩාවකි.“ සිය ගනුදෙනුකරුවන් අතර බෙදා හැරීම පිනිස ඔහු සසප ලිපි රැසක් ඉල්ලා ගත්තේය.

රැස්වීමේ මුලසුන දැරුවේ, එලඹෙන බස්නාහිර පලාත් සභා මැතිවරනයේදී කොලඹ දිස්ත්‍රික්කයට තරඟ වදින පක්ෂයේ අපේකෂකයෙක් වන එම්. රාජපක්ෂ විසිනි. සසප දේශපාලන කමිටු සාමාජිකා හා අපේක්ෂක ලැයිස්තුවේ නායිකා විලානි පීරිස් රැස්වීමේ ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කලාය.

කම්කරු පරීක්ෂනයේ අවශ්‍යතාව මතුකරමින් ඇය මෙසේ පැවසුවාය. “මිලිටරියේ මනුෂ්‍ය ඝාතන වලින් පසුව මාස හයක් ඉක්මගොස් ඇතත්, මහේස්ත්‍රාත් පරීක්ෂනයේ වාර්තාව තවමත් නිකුත්කොට නැත. තමන්ට මිලිටරියේ කටයුතු පිලිබඳව පරීක්ෂන පැවැත්වීමට බලයක් නැති නිසා ඒ පිලිබඳව නීතිපතිගෙන් විමසා ඇතැයි ගම්පහ මහේස්ත්‍රාත්වරයා පැවසූ බව වාර්තා විය. සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් හා හමුදා නිලධාරීන්ගේ සාක්ෂි තවමත් ලබාගත යුතුව තිබේ. ආන්ඩුව ඊට වගකියුත්තන් වසං කිරීමේ යෙදී සිටියි.

ලොකු ව්‍යාපාරිකයෝ තත්වය ගැන විමසිල්ලෙන් පසුවෙති. භූගත ජල දූෂනය පිලිබඳ කිසිදු වගකීමක් භාර ගැනීම ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගම ප්‍රතික්ෂේප කරයි.“

කම්හල යලි විවෘත කල යුතු බව සමාගම අවධාරනය කරන නමුත් ඒ සඳහා සමාගම යලි යලිත් දැරූ උත්සාහය ප්‍රදේශවාසීන්ගේ කෝපාවිෂ්ඨ විරෝධය හමුවේ ව්‍යර්තවී ඇතැයි ඇය පැවසුවාය.

ජල දූෂනයෙන් මතුව ඇති සෞඛ්‍ය ගැටලු ගැන සඳහන් කරමින් පීරිස් පැවසුවේ, රොගාතුරවී සිටින ප්‍රදේශවාසීන් රැසකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවයි. ගම්වාසීනට එරෙහිව විනිග්‍රොස් සමාගම ආරක්ෂා කිරීමට දරන ආන්ඩුවේ උත්සාහය හෙලිදරව් කරමින් ඇය මෙසේ පැවසුවාය. “ආන්ඩුවට අවශ්‍යව ඇත්තේ, දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් වෙත, තමන් ඔවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානම් ය යන පනිවිඩය දීමටයි“.

මිලිටරිය වැලිවේරියේදී කල වෙඩිතැබීම්, හුදෙකලා සිදුවීම් නොවන බව ඇය පැවසුවාය. “2011 වසරේදී ආන්ඩුව, කටුනායක නිදහස් ‍වෙලඳ කලාපයේ වැඩවර්ජිත කම්කරුවන් මැඬලීම පිනිස පොලිස් කොමාන්ඩෝ භටයින් යෙදවූ අතර එක් අයෙක් මරා දැමුනි. 2012දී ආන්ඩුවේ තෙල් මිල වැඩිකිරීමට විරෝධයපෑ හලාවත ධීවරයින්ට එල්ල කල පොලිස් කොමාන්ඩෝ වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙක් මිය ගියේය. දෙමල ජනතාවට එරෙහිව 26 වසරක් තිස්සේ ගෙනගිය යුද්ධය අවධියේ ශක්තිමත් කරන ලද හිංසාකාරී පොලිස් මිලිටරි මෙවලම දැන් වැඩකරන ජනතාවට හා පීඩිත ජනතාවට එරෙහිව එල්ල කර ඇත.“ පොලිස් රාජ්‍යයක් සඳහා වන ආන්ඩුවේ සැලසුම් ස්වාභාවික විරෝධතා මගින් පමනක් පරාජය කල නොහැකි ය”යි ඇය අවධාරනය කලාය. 2011 පටන් ඊජිප්තුව තුල පැනනැඟී ඇති සිද්ධීන් පෙන්නුම් කරන්නේ, කම්කරුවන්ට විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක නායකත්වයේ අවශ්‍යතාවයි. කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳීමට සටන් වදින්නේ සසප පමනකි.

ජල දූෂනයට විරුද්ධව පෙනී සිටින බව පෙන්වීමට දරන විපක්ෂයේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ උත්සාහය ප්‍රෝඩාවකි, පීරිස් පවසුවාය. “එජාපයේ ප්‍රාෙද්ශීය නායකයෙක් වන ප්‍රමිත හෙට්ටිආරච්චි නායකත්වය දෙන සියනෑ ජලය සුරැකීමේ ව්‍යාපාරය, විනිග්‍රොස් කම්කරුවන්ට එරෙහිව ගම්වාසීන් පෙලගැස්වීමට වැඩ කරයි. කම්හල වෙනත් ප්‍රදේශයකට ගෙනයා යුතු බවට මෙම ව්‍යාපාරය කරන ඉල්ලීම ප්‍රතිගාමීය. එය කම්කරුවන්ගේ රැකියා ප්‍රශ්නය යට ගසනවා පමනක් නොව, කම්හල යලි පිහිටුවන ප්‍රෙද්ශයේ කම්කරුවන්ගේ හා නිවැසියන්ගේ සෞඛ්‍යට සිදුවන හානි ද නොතකා හරියි.”

වැලිවේරිය ප්‍රෙද්ශවාසීන් අතර එජාපයේ ප්‍රතිගාමී මැදිහත්වීමට සහාය දෙමින් නව සමසමාජ හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඬායම් ඉටුකල ද්‍රෝහී ක්‍රියාකලාපය ද පීරිස් ගෙනහැර දැක්වූවාය. “නසසප හා එසප කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන බලමුලුගැන්වීමකට විරුද්ධ වන අතර දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂයක් වන එාපය ප්‍රජාන්ත්‍රවාදී අයිතීන්හි ආරක්ෂකයෙක් ලෙස පිම්බීම මගින් ඔවුහු කම්කරුවන් දේශපාලනිකව එම පක්ෂයට ගැටගැසීමට වැඩ කරති.” මෙම ව්‍යාජ වම්මුන් කම්කරු පන්තිය විසින් ප්‍රතික්ෂේප කිරීම හා නිෂ්පාදන මාධ්‍ය වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය පාලනයක් යටතට ගෙන ඒමේ අවශ්‍යතාවය ද ඇය අවධාරනය කලාය.

ජලයේ ගුනාත්මක තත්වය සම්බන්ධයෙන් විනිග්‍රොස් කම්හලෙන් ඇතිව තිබෙන බලපැම සසප දේශපාලන කමිටු සාමාජික පානිනී විජේසිරිවර්ධන විසින් පැහැදිලි කලේය. කම්හලෙන් ජලය බැහැර කිරීමේ ක්‍රියාවලිය ගැන පරීක්ෂනයක් පැවැත්වූ ආන්ඩුවේ විශ්ලේෂකයා විසින් ගම්පහ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක් ඔහු විමසුමට ලක් කලේය. සීමිත නමුත් වැදගත් කරුනු වාර්තාවෙන් හෙලිදරව් කොට තිබුනි. කම්හලේ ජල කලමනාකර ක්‍රමය හරියාකාරව ක්‍රියාත්මක නොවන බවත් ජලය බැහැර කිරීම නිසි ප්‍රමිතියට නැති බවත් වාර්තාවෙන් හෙලිකර තිබුනි.

ජල දූෂනය පිලිබඳ සත්‍යය ආන්ඩුවේ ආයතන වලින් බලාපොරොත්තු විය නොහැකි යයි ඔහු පැවසීය. කාර්මික තාක්ෂනික ආයතනය විසින් සිදුකල පරීක්ෂනයේ වාර්තාවට අත්වූ ඉරනම හොඳ නිදසුනකි. ගම්වාසීන් සංසුන් කිරීම පිනිස ජනාධිපති රාජපක්ෂ වැලිවේරිය ජල දූෂනය ගැන පරීක්ෂන පැවැත්වීමට එම ආයතනයට නියම කර තිබුනි. එහෙත් කිසිදු වාර්තාවක් ප්‍රසිද්ධියට පත්කර නැත. ස්වාධීන කම්කරු පරීක්ෂනයේ අවශ්‍යතාව මේ මගින් සලකුනු කෙරේ.”

පසුව උනුසුම් සාකච්ඡාවක් පැවැත්විනි. මෙසේ පවසමින් එක් වයස්ගත පුද්ගලයෙක් කථිකයින් සමග එකඟත්වය පල කලේය. “අප කුඩා කාලයේ ප්‍රෙද්ශයේ වතුර පාරවල්වල නොයෙකුත් වර්ගයේ මාලුන් සිටියා. පාසැල ඇරීමෙන් පසුව අපි යාලුවන් සමග විනෝදයට මාලු ඇල්ලීමේ යෙදුනා, එහෙත් දැන් එය අතීතයට අයත් දෙයක් පමනි. එයින් පෙන්වන්නේ ජලය විසවී ඇති බවයි.”

මිලිටරි ප්‍රහාරයෙන් මිය ගිය සිසුවෙකුගේ මිත්‍රයෙක් වන තවත් තරුන සිසුවෙක්, තොරතුරු එකතු කිරීම පිනිස ආන්ඩුව මල ගෙවල් වලට ඔත්තු සේවා නිලධාරීන් පිටත්කර හැරිය ආකාරය විස්තර කලේය. “ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එක් නිලධාරියෙක් තමා අල්ලපු ගමේ බවට බොරුවක් කීවේය. අගෝස්තු පලවනදා ප්‍රහාරය සඳහා ආරක්ෂක හමුදා යෙදවූයේ කවුරුන් විසින් ද, වෙඩැතැබිමට නියෝග දුන්නේ කවුරුන් ද යන ප්‍රශ්න වලට තවමත් පැහැදිලි පිලිතුරු ලැබී නැත. (ජනාධිපති හා ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇඟවුම් කරමින්) ශ්‍රී ලංකාව පාලනය කරන්නේ නෑදෑයින් කන්ඬායමකි. මිනීමැරුම් වලට ඔවුන් සියල්ලෝම වගකිව යුතුය.”

රැස්වීමේදී, එක්සත් ජනපද සසප විසින් ඩෙට්රොයිට් කලා ආයතනයට පහර දීම හා ඩෙට්රොයිට් බංකොලොත් කිරීම පිලිබඳව පවත්වන කම්කරු පරීක්ෂනයට ඒකමතිකව සහාය පල කරන යෝජනාවක් සම්මත කරන ලදී. එහි මෙසේ සඳහන් විය. “ඩෙට්රොයිට් බංකොලොත් කිරීම පිලිබඳ කම්කරු පරීක්ෂනය හා වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය මගින් ධනපති සමාගම් හා පාලකයින්ගේ සාපරාධිත්වය ගැන කැපීපෙනෙන කරුනු හෙලිරව්කර තිබේ. මෙම නිර්දය ධනේශ්වර ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේදී ඒවා තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටුකරනු ඇත.”

Share this article: