පේරාදෙනිය සම සෞඛ්‍ය පීඨය වසා දමන බවට උපකුලපති තර්ජනය කරයි

සුජීව අමරනාත් විසිනි, 2014 අපේ‍්‍රල් 30

තම සිව් අවුරුදු උපාධි පාඨමාලාව වසරකින් කප්පාදු කිරීමට එරෙහිව සත්‍යග‍්‍රහයක නිරතව සිටින සම සෞඛ්‍ය පීඨ සිසුන් මැයි 05 දා වන විට දේශන වලට සහභාගි නොවුනහොත් එම පීඨය වසා දමන බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති අතුල සේනාරත්න පසුගිය 28 දා ප‍්‍රකාශ කලේය. එම සරසවියේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සේනාරත්න තර්ජනාත්මකව කියා සිටියේ “සිසුන් දිගටම දේශන වර්ජනය කරන්නේ නම් සම සෞඛ්‍ය පීඨය වසා දැමීම හැර අන් විකල්පයක් නොමැති” බවයි.

පේරාදෙනිය, කොලඹ, ජයවර්ධනපුර, රුහුන, යාපනය හා නැගෙනහිර යන විශ්ව විද්‍යාලයන්හි සම සෞඛ්‍ය සිසුන් ගෙනයන මෙම අරගලය දින 125 කට වැඩිකාලයක් ඉක්මවා දිග්ගැස්සී තිබේ. පේරාදෙනියේ ගලහ හන්දිය, කොලඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ආදී වසයෙන් එම ශිෂ්‍ය‐ශිෂ්‍යාවෝ සත්‍යග‍්‍රහයන්හි නිරත වෙමින් සිටිති.

2004 වර්ෂයේ උසස් පෙල විභාගයට පෙනී සිටි සිසුන් අතරින් තෝරා ගත් පිරිසක් සඳහා ජයවර්ධනපුර සරසවියේ හෙද උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමත් සමග ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාලයන්හි මෙම පාඨමාලා ආරම්භ කෙරින. ඉන්පසු 2005 වසරේ උසස් පෙල විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් තෝරා ගත් අය සඳහා, ජයවර්ධනපුරට අමතරව ඉහත සඳහන් කල අනෙකුත් විශ්ව විද්‍යාලයන්හි ද භෞතචිකිත්සක, විකිරන ශිල්පී, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදී හා හෙද යන සිව් අවුරුදු උපාධි පාඨමාලා ආරම්භ කරන ලදී. දැනට එක් වසරක් සඳහා රජයේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුලත් කර ගන්නා මුලු සම සෞඛ්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 900 ක් පමන වේ.

ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩෙන මහජන විරෝධය සමහන් කිරීමට, විධිමත් පහසුකම් සහ සැලසුම් වලින් තොරව, 1990 ගනන් වල මැද භාගයේ වයඹ, රජරට, සබරගමුව වැනි විශ්ව විද්‍යාල ආරම්භ කලාක් මෙන් ම, මෙම පාඨමාලා ආරම්භ කෙරෙන විට සිසුන්ට සිය අධ්‍යන කටයුතු කරගෙන යාමට අවශ්‍ය නව පහසුකම් හා දේශනශාලා ආදී කිසිවක් අලුතින් ඉදිකිරීමක් සිදු වූයේ නැත.

2005 සිට 2008 දක්වා සම සෞඛ්‍ය පීඨයන්ට වාර්ෂිකව ඇතුලත් කරගත් සියලු සිසුන්ට සිව් අවුරුදු උපාධි පාඨමාලාව හැදෑරීමට අවකාශ ලැබී ඇති නමුත්, 2009 වසරේ පටන් ඇතුලත් කර ගන්නා සිසුන් අතරින් ඉහල ලකුනු ලබා ගන්නා සිසුන් අතලොස්සකට පමනක්, විශේෂ උපාධියක් ලෙස සිව් අවුරුදු පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලබා දෙමින් සාමාන්‍ය උපාධිය අවුරුදු තුනකට සීමා කර තිබේ.

සායනික පුහුනුව ද ඇතුලත් අත්‍යවශ්‍ය න්‍යායික හා ප‍්‍රායෝගික විෂය කොටස් මෙලෙස කප්පාදු කෙරී ඇති අතර එවන් කප්පාදු සහිත තුන් අවුරුදු පාඨමාලාවකින් පසු ලබා දෙන උපාධියට ජාත්‍යන්තර වශයෙන් පිලි ගැනීමක් නොමැති බව ද රැුකියා සොයා ගැනීමේදී හා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉල්ලූම් කිරීමේ දී එය බලගතු ප‍්‍රශ්නයක් වන බව ද සිසුහු පෙන්වා දෙති.

විශේෂ උපාධියක් සඳහා කිසියම් නිශ්චිත විෂයයක් සම්බන්ධයෙන් වූ පාඨමාලාවක් හැදෑරිය යුතු වුව ද, තෙවන වසරේදී විශේෂ උපාධිය සඳහා තෝරා ගැනෙන සම සෞඛ්‍ය සිසුන්ට අවසන් වසරේදී හදාරන්නට සිදු වන්නේ කලින් පැවති සිව් අවුරුදු සාමාන්‍ය උපාධි පාඨමාලාවේ අවසන් වසරට අයත් පොදු විෂය කොටස් පමනක් බවත්, ඒ අනුව මෙම නව විශේෂ උපාධිය සහ කලින් ලබා දුන් සාමාන්‍ය උපාධිය අතර ගුනාත්මක බවින් වෙනසක් නොමැති බැව් සිසුන්ගේ අදහසයි.

මේ අතර පසු ගිය මාර්තු 26 දා, සම සෞඛ්‍ය සිසු සිසුවියන් හා ඔවුනගේ දෙමාපියන් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා ගිය විරෝධතා පාගමනට ප‍්‍රතිචාර දක්වමින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිනි ක්ෂනිකා හිරිඹුරේගම පැවසුවේ ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය එකඟ නම් පමනක් සිසු ඉල්ලීම් ලබා දියහැකි බවයි.

සිව් අවුරුදු සම සෞඛ්‍ය පාඨමාලාවේ ගුනාත්මකභාවය ඉතා පහල මට්මක පවතින බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එය වසරකින් කප්පාදු කිරීම සම්බන්ධයෙන් කවර හෝ විරුද්ධත්වයක් මෙතෙක් ප‍්‍රකාශ කොට නැත. ශ්‍රේනිවාදී ප‍්‍රතිගාමී සංවිධානයක් වන මෙම සංගමය පුද්ගලික විශ්ව විද්‍යාල පිලිගනිමින් ආන්ඩුවේ ප‍්‍රහාර සමග එක පෙලට සිටී.

සම සෞඛ්‍ය උපාධි කප්පාදුව, ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල මෙතෙක් සිදු කෙරී ඇති දැවැන්තම පාඨමාලා කප්පාදුවක් වන අතර කොලඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය සහ ප‍්‍රසංග කලා සඳහා වන සිව් අවුරුදු පාඨමාලාව ද වසරකින් කප්පාදු කිරීමට පිඹුරුපත් සැකැසෙමින් පවතින බව වාර්තාවේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරු සම සෞඛ්‍ය පීඨයේ ශිෂ්‍යයන් සමග කරුනු දක්වමින්

උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග‍්‍රහයේ නිරතව සිටින ශිෂ්‍ය‐ශිෂ්‍යාවන් කීප දෙනෙකු තම පාඨමාලා කප්පාදුව සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට දීර්ඝ වශයෙන් කරුනු දැක්වූහ. පේරාදෙනිය සම සෞඛ්‍ය පීඨයේ දෙවන වසර ශිෂ්‍ය්‍යකු වන වරුන ධනන්ජය කියා සිටියේ උපාධි පාඨමාලාව කප්පාදු කිරීමෙන් එහි වැදගත්ම කොටස් වන සායනික පුහුනුව හා පර්යේෂන අවස්ථා අහිමි වන බවයි. “මෙයින් පහර එල්ල වෙන්නෙ අපට පමනක් නොවෙයි. අවසාන විග‍්‍රහයේදී එය බලපාන්නෙ මහජන සෞඛ්‍යයට. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෛද්‍යවරු හැරුනම ඊ ලඟට ඉන්න ප‍්‍රධාන වෘත්තිකයො අපි. අපේ උපාධියේ ගුනාත්මකබව පහත දැම්මම ඒක වඩාත්ම නරක විදියට බලපාන්නෙ රෝගීන්ට. ආන්ඩුව මේ කරන්නෙ අධ්‍යාපනයයි, සෞඛ්‍යයි දෙකම වලපල්ලට යවන එක.”

මෙවන් සත්‍යග‍්‍රහ විරෝධතා මගින් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් පරාජය කල හැකි වෙතැයි ශිෂ්‍ය සංගම් වපුරන මිථ්‍යා මතයේ බලපෑමට යම් දුරකට නතුව සිටි ධනන්ජය මෙසේ පැවසීය: “ මේ ප‍්‍රශ්නෙ ගැන අපි ජනතාව දැනුවත් කරල තියෙනව. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙ වගේම වෙනත් ක්ෂේ්ත‍්‍ර වල වෘත්තීය සමිති ගනනාවක් අපි සමග ඉන්නව. අපිට දෙමව්පියන්ගෙ පූර්න සහයෝගය ලැබෙනව. ජනතාව අතර අපි බලපෑමක් ඇති කරල තියෙනව. ඒ නිසා ආන්ඩුවට අපේ ඉල්ලීම ඉටු නොකර බැරි තත්වයක් උදා වෙමින් තියෙන්නෙ.”

නිදහස් අධ්‍යාපනයට රජයෙන් වෙන් කල යුතු මුදල දල ජාතික නිශ්පාදනයෙන් සියයට 8 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ සංගමය ගෙන ගිය උද්ඝෝෂනය මධ්‍යයේ එම සංගමය ද මෙවැනිම අදහසක් ප‍්‍රකාශ කල නමුදු සිදු වූයේ අධ්‍යාපන වියදම් තව දුරටත් කප්පාදු කිරීමක් බැව් ලෝසවෙඅ වාර්තාකරුවන් පෙන්වා දුන් විට ධනන්ජය පැවසුවේ ආන්ඩුවේ කප්පාදු වලට එරෙහි “පුලුල් ජන කොටස් සම්බන්ධ කර ගත් අරගලයක්” අවශ්‍ය බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා මහ බැංකුව ඇතුලු මූල්‍ය ආයතන මගින් පනවා ඇති විධාන මත ගී‍්‍රසිය සහ ස්පාඤ්ඤය වැනි යුරෝපා රටවල සිදු කෙරෙමින් පවත්නා කප්පාදු වලට එරෙහිව මිලියන සංඛ්‍යාත “පුලුල් ජන කොටස්” අරගලයට අවතීර්න වූ නමුත් එම කප්පාදු ආපසු හැරවිය නොහැකි වූ බවත් එසේ වූයේ් එම අරගල වලට විප්ලවවාදී නායකත්වයක් සහ ඉදිරි දර්ශනයක් නොමැති වූ නිසා බවත් පැහැදිලි කල විට එය “සිතා බැලිය යුතු අදහසක්” බැව් ධනන්ජය පැවසීය.

ධනන්ජය සමග සම සෞඛ්‍ය පාඨමාලාව හදාරන ආසිරි නම් තවත් ශිෂ්‍යයෙකු කියා සිටියේ රජයේ විශ්ව විද්‍යාල තුල තිිබූ සිව් අවුරුදු පාඨමාලාව වසරකින් කප්පාදු කෙරෙන අතරතුර, අධික මුදලක් ගෙවා හැදෑරිය හැකි සිව් වසරක සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවක් කොතලාවල හමුදා ඇකඩමියේ ආරම්භ කෙරී ඇති බවයි. එම ඇකඩමියේ වෛද්‍ය පීඨය සඳහා දැවැන්ත මුදල් කන්දරාවක් වැය කරමින් නව ශික්ෂන රෝහලක් ද ඉදි කරමින් පවතී. මහජන අධ්‍යාපනය ඉවබව නොමැතිව කප්පාදු කරන රාජපක්ෂ ආන්ඩුව මිලිටරීකරන වැඩපිලිවෙල සඳහා බිලියන සංඛ්‍යාත මුදල් යොදවමින් සිටී.

ආසිරි මෙසේ පැවසීය: “අපි එක්ක මෙම පාඨමාලාව හදාරන බොහෝ දෙනෙක් දුප්පත් පවුල් වලින් ආපු අය. මගේ දෙමාපියන් ගඩොල් කපල තමයි අපිට කන්න අඳින්න දෙන්නෙත්, අධ්‍යාපනයට වියදම් කරන්නෙත්. ඔවුන්ට බෑ ලක්ෂ ගනන් වියදම් කරල කොතලාවල ඇකඩමියට හෝ පිටරට විශ්ව විද්‍යාලයකට අපි යවන්න. කොහොම වුනත් අවසානෙදි රැකියා වෙලඳපොලේදි අපිට තරග කරන්න වෙන්නෙ සල්ලි වියදම් කරල සිව් අවුරුදු උපාධිය ගත්ත අය එක්ක. අපි නිකම්ම කැපිල යනව.”

සම සෞඛ්‍යය පාඨමාලා කප්පාදුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග මත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කි‍්‍රයාවේ යොදවමින් සිටින පුලුල් කප්පාදු වැඩපිලිවෙලේ අත්‍යවශ්‍ය අංගයක් බව පැහැදිලි කල පසු ආසිරි මෙසේ පැවසීය. “ඇත්තටම ඔබලා පැවසූ පරිදි මේක ජාත්‍යන්තරව සිදු වන්නක් කියලවත්, මේක ලාභය අරමුනු කර ගත් ධනපති ක‍්‍රමයේ අර්බුදයෙන් ගලා එන්නක් කියලවත් අපි සාකච්ඡා කරල නෑ. ඒ නිසා එම දැනුම අපි ඇති කර ගන්න ඕන. ඒ වගේම අනෙකුත් මහජනතාවට කියා දෙන්න ඕන. ඒත් ඒක කල් ගත වන පුලුල් වැඩක්. එතකන් අපි මෙහෙම සටන් කරන්න ඕන. දැනට ශිෂ්‍යයො එහෙම සටන් කරල දිනල තියෙනවනෙ. උදාහරන වශයෙන් කැලනිය සරසවියෙ මෑතකදි ගෙන ගිය නේවාසිකාගාර සටන දිනල තියෙනව.”

කැලනිය සරසවියේ නේවාසිකාගාර පහසුකම් නොමැති 800 ක් පමන වූ සිසුන්ගෙන් 80 කට පමනක් යන්තමින් ප‍්‍රමානවත් නේවාසිකාගාරයක් ලබා දීමෙන් අනතුරුව සරසවි පරිපාලනය නිකුත් කල නියෝගයකට යටත් වෙමින් එහි මහා ශිෂ්‍ය සංගමය නේවාසිකාගාර අරගලය පාවා දීමෙන් අනතුරුව එම සංගමයත් එයට නායකත්වය දෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයත් (අවිශිබම) එය ජයග‍්‍රහනයක් ලෙස හුවා දක්වමින් “ශිෂ්‍ය සටන්” උත්කර්ෂයට නංවමින් සිටී.

පාලකයන් විසින් සිදු කොට ඇත්තේ ඉතා අල්ප පහසුකමක් ලබා දී අරගලය දිය කොට හැර වඩාත් බලගතු ප‍්‍රහාරයක් සඳහා කල්යල් ගැනීමයි. ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වය යටතේ කි‍්‍රයාත්මක වන අවිශිබමය මෙය ජයග‍්‍රහනයක් ලෙස හුවා දක්වමින් සිදු කරන්නේ ඊනියා විරෝධතාවන්හි ශිෂ්‍යයන් කොටු කොට ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට යටත් කර තැබීම බව පෙන්වා දුන් විට ධනන්ජය කියා සිටියේ “සැබැවින්ම එය ජයග‍්‍රහනයක් ලෙස ප‍්‍රකාශ කල නොහැකි” බවයි.

ලෝක ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදයෙන් පැන නංවා ඇති තෙවන ලෝක යුද තර්ජනයටත් ලොවපුරා කම්කරු‐පීඩිත මහජනතාවට එල්ල කොට ඇති ප‍්‍රහාරයන්ටත් එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ කොටසක් ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ලබන මැයි 04 වන දා අන්තර්ජාලය හරහා පවත්වන ජාත්‍යන්තර මැයි රැලියට සහභාගි වන ලෙස කල ඇරැයුම පිලිගත් සිසුන් කීප දෙනෙකු ඒ සඳහා ලියා පදිංචි වන බවට සහතික වූහ.

Share this article: