ඔන්ලයින් මැයි දින රැලියට ලොව පුරා සහාය පලවෙයි

අද ම ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට ලියාපදිංචි වන්න

Worldwide support grows for online May Day rally

2014 අප්‍රේල් 18

මැයි 04දාට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් කැඳවා තිබෙනජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට සහයෝගය ගොනු වෙමින් තිබේ. රැලිය එක්සත් ජනපදයේ නැඟෙනහිර වේලාවෙන් පෙ.ව 11.00ට පැවැත්වෙන අතර එකවරම එය අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා විකාශනය කෙරේ.

මේ දක්වා මහාද්වීප 6ක රටවල් 35කට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් ලියාපදිංචි වී ඇත. ඊට එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ, ජර්මනියේ, ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ, දකුනු අප්‍රිකාවේ, දකුනු කොරියාවේ ඕස්ට්‍රේලියාවේ හා තවත් රටවල අය ඇතුලත්ය.

“ප්‍රතිචාරය අසාමාන්‍යය” යයි එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් පැවසීය. “එය මෙම සිද්ධියේ මුලුමනින්ම සුවිශේෂී වූ ප්‍රකාශනයකි. එය වනාහි, යුද්ධයට සමාජ අසමානතාවට හා ආඥාදායකත්වයට විරුද්ධ කම්කරුවන්ගේ හා තරුනයින්ගේ ලෝක පරිමාන රැස්වීමකි.”

විකාශනය සඳහා යූආර්එල් (ලෝක පරිමාන වෙබ් පිටුවක ලිපිනය) ලබාගැනීමට සහභාගී වන්නන් ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියටහි නොමිලේ ලියාපදිංචි විය යුතුය. එහෙත් ඔවුන්ට මෙම ව්‍යාපෘතියේ වියදමි පියවා ගැනීමට ආධාර ද ලබාදිය හැකිය.

““අපි මෙම කටයුත්ත හැකිතාක් පුලුල් ලෙස ප්‍රසිද්ධ කිරීම පිනිස වෙහෙස නොබලා වැඩ කරන්නෙමු. ව්‍යාපාරික හා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ ව්‍යසනකාරී ප්‍රතිපත්ති වලට එරෙහිව සටන් වැදීම සඳහා ඉදිරිදර්ශනයක් හා ක්‍රියාමාර්ගයක් සොයන්නාවූ ඕනෑම අයෙකු අදම මෙයට සම්බන්ධ වීමට පියවර ගත යුතුයයි” කිෂෝර් පැවසීය.

ලියාපදිංචිවූ බොහෝ දෙනෙක් තමන් මීට සම්බන්ධ වන්නේ මක්නිසාදැයි පැහැදිලි කර ඇත. “ජාත්‍යන්තර කම්කරු පන්තියට මේ දක්වා ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් සිදුවීම සමග එක්ව කටයුතු කිරීමට ලැබෙන අවස්ථාවක්” බව ශ්‍රී ලංකාවේ කල්යාන ලියා ඇත.

එජ මිනසෝටා ප්‍රාන්තයේ සින්තියා මෙසේ පවසා ඇත. “මෙය නිසැකවම ජාත්‍යන්තර කම්කරුවන්ගේ දිනය ලෙස මැයි දිනයේ උරුමය යලි අත්කර ගැනීමට කාලයයි. එසේම ලොව පුරා කම්කරුවන්, තරුනයින් හා ශිෂ්‍යයින් අතර සම්බන්ධය ගොඩනඟා ගැනීමට කාලයයි.”

“සාමය හා උන්නතිය සඳහා නීතිය හා සමානාත්මතාවය පූර්ව අවශ්‍යතාවක් වේ. මෙම සමාජවාදී සංකල්ප උත්කර්ෂයට නැංවිය යුතුය.” සිංගප්පූරුවේ සිට ෂස්නි එසේ ලියා ඇත.

තමා ලියාපදිංචි වුනේ මන්දැයි කැනඩාවේ සිට ප්‍රන්සුවා ලියා ඇත. “හජාජාක මැයි දිනය සැමරීමට රැලියක් සංවිධානය කිරීම මැයි දිනයේ විප්ලවවාදී ස්වභාවය යලි පනගැන්වීමකි. ක්විබෙක්හිදි එය ජාතිකවාදී සිදුවීමක් බවට හරවා ඇත. එය පුම්බනු ලබන පාර්ටි ක්විබෙකෝ වනාහි මහ ව්‍යාපාරිකයින්ගේ හා වෘත්තීය සමිති නිලධරයින්ගේ ධනේශ්වර ජාතිකවාදි පක්ෂයකි. ස්වාධීන සමාජ හා දේශපාලන බලයක් ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තියේ ශක්තිය පෙන්වන කම්කරුවන්ගේ දිනය ලෙස මැයි දිනය අප අතට ගත යුතුය.”

ඔන්ලයින් රැලිය සංවිධානය කරන්නේ යුක්‍රේනය තුල පැතිර යන අර්බුදය හමුවේය. එය ඇරඹුවේ එජ ආන්ඩුව හා එහි යුරෝපීය සහචරයින්ගේ පිටුබලය ලත් දක්ෂිනාංශික කුමන්ත්‍රනයෙනි. ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවත්තු, විනාශකාරී ලෝක යුද්ධයක තර්ජනය මතු කරමින් රුසියාවට එරෙහිව ආතතීන් පතුරුවා හැරීමට ද නැඟෙනහිර යුරෝපය මිලිටරීකරනයට ද අවස්ථාවක් ලෙස මෙම අර්බුදය යොදා ගනියි.

ඔන්ලයින් රැලියේ අරමුන පැහැදිලි කල ඉදිරිදර්ශන තීරුවක ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඬලයේ සභාපති හා කතාකිරීමට නියමිත කථිකයෙක් ද වන ඩේවිඩ් නෝර්ත් මෙසේ ලිවීය. “යුක්‍රේනය පිලිබඳව රුසියාව සමග ගැටුම, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ දිශාවනතියෙහි නව හා අනතුරුදායක හැරීමක් සලකුනු කරයි. අධිරාජ්‍යවාදී යුද්ධයේ දෙවිවරු පිපාසිතයෝය! පලමු හා දෙවන ලෝක සංග්‍රාමයන්ට පූර්ව වසරවල ලෝකයේ නව බෙදීමක් සුදානම් කරනු ලැබුවා සේය...

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙම ඔන්ලයින් සැමරුම සඳහා කැඳවුම් කර ඇත්තේ අනතුරු ඇඟවීමටත්, අධිරාජ්‍යවාදයට එරෙහි යලි පනගැන්වූ අරගලය තුල කම්කරු පන්තියේ ලෝක පරිමාන එකමුතුව සඳහා සටනත් වෙනුවෙනි.”

මෙහිදී කථිකයින් විසින් අමතනු ලබන අනෙකුත් මාතෘකාවන්ට, සමාජ අසාමානතාවයේ ලෝක පරිමාන වර්ධනය හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන පෙර නොවූ විරූ ප්‍රහාරයන් ද ඇතුලත් වේ. 2008 වසරේ ආර්ථික අර්බුදයෙන් පසුව ධනවතුන්ගේ සාක්කු වලට දැවැන්ත ධන සම්භාරයක් යලි බෙදාහැර තිබේ. ලෝකයේ ලොකුම ධනවතුන් 85 දෙනා දැන් ලෝක ජනගහනයෙන් පතුලේ සිටින සියයට 50කගේ නැතිනම් බිලියන 3.5ක ජනතාවගේ ධනයට සමාන කොටසක් පාලනය කරයි.

සමාජ පිපිරීම් හා පන්ති ගැටුම් වලට සුදානම් වීමේදී එජ ව්‍යාපාරික හා මූල්‍ය වංශාධිපතිත්වය විසින් මෙහෙයවනු ලබන පාලක පන්තිය, ග්‍රහලෝකය මත සිටින සෑම කෙනෙකුගේම සන්නිවේදනයන් ඉලක්ක කරගත් ඔත්තු බැලීමේ සැඩසටහන් ද ඇතුලත් පොලිස් රාජ්‍ය ආකෘතිය සකස්කර ඇත.

යුද්ධයට, අසමානතාවට හා ආඥාදායකත්වයට ලෙව පුරා දැවැන්ත විරුද්ධත්වයක් පවතින නමුත් මෙම ප්‍රතිරෝධය නිල දේශපාලනය තුල ප්‍රකාශනයක් අත්කර නොගනියි. ඔන්ලයින් මැයිදින රැලිය පදනම් වන්නේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක පදනම මත, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම මත මානව වර්ගයාගේ අනාගතය රඳාපවතින්නේය යන ඉදිරිදැක්ම මතය.

අද ම ඔන්ලයින් මැයිදින රැලිය සඳහා ලියාපදිංචි වන්න! ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලිය වෙත පිවිසෙන්න.

Share this article: