හංවැල්ල තුන්නාන ජල දූෂනය පිලිබඳව ස්වාධීන කම්කරු පරීක්ෂනයක් දියත් කෙරේ

වැලිවේරිය ජල දුෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ ප්‍රකාශයකි, 2014 අප්‍රේල් 8

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව, ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් හංවැල්ල රබර් ප්‍රඩක්ට්ස් කම්හලෙන් තුන්නාන ප්‍රදේශයේ ජලය හා වායුව දූෂනය වීම පිලිබඳව පරීක්ෂා කිරීම දක්වා සිය කටයුතු පුලුල් කිරීමට තීන්දු කර ඇත. නොවැම්බර් 16 දින සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් මෙම ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව පිහිටුවන ලද්දේ රතුපස්වල පිහිටි ඩිප්ඩ් ‍ප්‍රොඩක්ට්ස් සමාගමටම අයත් වෙනිග්‍රොස් කම්හලෙන් වැලිවේරිය ප්‍රදේශයේ ජලය දූෂනය වීම පිලිබඳව විභාග කිරීම සඳහාය.

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් හා එය සම්බන්ධ හේලීස් සමූහ ව්‍යාපාරයේ කම්කරුවන් ඇතුලු පලල් කම්කරු ජනතාවගෙන්ද තුන්නාන ප්‍රදේශයේ පරිසර දූෂනය නිසා පීඩාවට පත්ව සිටින ජනයාගෙන් ද මෙම පරීක්ෂනය සඳහා සහයෝගය දෙන ලෙස අපි ඉල්ලා සිටිමු. පරිසර දුෂනයට එරෙහිව උද්ඝෝෂනය කිරීම නිසා දැන් ආන්ඩුවේත් පොලීසියේත් දඩයමට ලක්ව සිටින තුන්නාන ප්‍රදේශයේ ජනයා ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන ලෙස ද කම්කරු පන්තියෙන් අපි ඉල්ලමු.

කරුනු දෙකක් නිසා මෙම පරීක්ෂනය අතිශය හදිසි කටයුත්තක් ලෙස මතුවී ඇත:

පලමුවැන්න, කම්හල නිසා සිදුවන පරිසර දූෂනය ද ඉන් පැන නැග ඇති සෞඛ්‍ය ප්‍රශ්න ද නතර කර ගැනීමේ ක්‍රියා මාර්ගයක් සොයා ගත යුතු ය. සමේ රෝග හා හුස්ම ගැනීමට අපහසුතා ඇතුලු සෞඛ්‍ය ප්‍රශ්නවලින් තමන් පීඩා විඳින බවට ගම්වැසියෝ චෝදනා කරති.

දෙවැන්න, මතුවී ඇති චෝදනා යටගැසීමට සමාගම ද එහි උදව්වට ආන්ඩුව, පොලිසිය හා ඇතැම් දේශපාලනඥයින් ද දරන තැත හෙලිදරව් කර පරාජය කල යුතුය.

දහස් ගනන් වැලිවේරිය ජනයා ජල දුෂනයට එරෙහිව මාස ගනනක් උද්ඝෝෂනය කරද්දී එය යටපත් කිරීමට සමාගම වෙනුවෙන් මෙම බලවේගවල මැදිහත් වීම උච්චතම අන්තයකට ගියේ පසුගිය වසරේ අගෝස්තු 1 දා ආන්ඩුව මුදාහල හමුදාව වෙඩි තැබීමෙන් තරුනයින් තිදෙනෙකු ඝාතනය කිරීමෙන් හා දුසිම් ගනනකට තුවාල සිදුකිරීමෙනි. ඉන් පසුව ද ආන්ඩුවේ හා රජයේ විවිධ ආයතනවල උදව්වෙන් කම්හල දිගටම පවත්වා ගෙන යාමට සමාගම තැත් කලත් මහජන විරෝධය මැද එය එම පෙදෙසින් ඉවත් කර තවත් පෙදෙසකට ගෙන ගොස් ඇත. එහෙත් කම්හල නිසා ඇතිවූ ජල දූෂනයෙන් මතු වූ ප්‍රශ්න එලෙසම පවතී. අලුතින් කම්හල ගෙන ගිය ප්‍රදේශයේ යලි පරිසර දූෂන ගැටලුව මතුව ඒමට නියමිත ය.

හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් කම්හලෙන් සිදු වන පරිසර දූෂනයට එරෙහිව 2000 ගනන් මැද සිට ප්‍රදේශයේ ජනයා කිහිප වතාවක්ම විටින් විට විරෝධතා දක්වා ඇත. මාර්තු 16 දා පැවැති උද්ඝෝෂනයට පොලිසිය යොදවා පහරදී දුසිම් ගනනක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව නැගුනු විරෝධය යලි කොමාන්ඩෝ භටයින් ඇතුලු පොලීසියේ දහසක් පමන යොදවා මැඬලා දැමුනි. උද්ඝෝෂනය මැඩීමට පැමිනි පොලිස් නිලධාරියෙකු කැපූ ගසකට යටවී මියයාමේ සිද්ධිය මහජනයා මත පටවා පොලීසිය විසින් දැන් තුන්නාන ගමේ භීතියක් උසිගන්වා මර්දනය දිගේලි කර ඇත. පොලිස් නිලධාරියා මරා දැමීමට සම්බන්ධයැයි ඉවක් බවක් නැති හේතු දක්වමින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව මිනීමැරුම් චෝදනා එල්ල කරන්ට යති.

වැලිවේරිය ජනයා පිරිසිදු ජලය ලබා ගැනීමේ ඉල්ලීම උඩ ගෙනගිය උද්ඝෝෂනය හමුවේ ආන්ඩුව එය "විදේශ කුමන්ත්‍රනයක්" යයි හංවඩුවක් ගැසුවේය. තුන්නාන ජනයාට එරෙහිව ද එබඳුම චෝදනා එල්ල කර ඇත. "සමහර බලවේග ජිනීවා සමුලුව අද්දරදී මහජනතාව හා ආන්ඩුව අතර මෙවැනි සිදුවීම් ඇති කරමින් රට අස්ථාවර තත්වයකට පත් කිරීමට කටයුතු කරති" යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මාර්තු 17 දා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී අභූත චෝදනාවක් එල්ල කලේ ය. "රටේ ආර්ථිකය කඩා කප්පල්කිරීමේ කුමන්ත්‍රනයක් " මෙම උද්ඝෝෂනය පිටුපස ඇතයි දිනේශ් ගුනවර්ධන, බන්දුල ගුනවර්ධන හා ගාමිනී ලොකුගේ යන ඇමැතියන් මහජනයාට චෝදනා කර තිබේ.

ආන්ඩුව වැලිවේරියේ දී මෙන්ම තුන්නානේ දී ද ක්‍රියාකර ඇත්තේ මහජනයා මතු කල ප්‍රශ්න විභාග කර ඒවාට විසඳුම් ලබා දීමට නොවේ. වැඩකරන ජනතාව "දේශද්‍රෝහීන්" හා "කඩාකප්පල්කාරයින්" ලෙස හංවඩු ගසා මර්දනය කරමින් ලාබ පිපාසිත දේශීය හා විදේශීය ආයෝජකයින් රැකීමට ආන්ඩුව කැපවී සිටියි.

මෙම තතු යටතේ කම්කරුවන් හා වැඩකරන ජනතාව වෙනුවෙන් සත්‍යය හෙලි කිරීම ද ඔවුන්ගේ අයිතීන් රැකීම ද නොවලහා ඉටු කල යුතු ය. වැලිවේරිය ජල දූෂනය සම්බන්ධයෙන් කලාක් මෙන් ම ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව හංවැල්ල තුන්නාන සම්බන්ධයෙන් ද පහත සඳහන් කරුනු පරීක්ෂනයට භාජනය කිරීමට තීන්දු කර ඇත.

*හංවැල්ල ඩිප්ඩ් ප්‍රොඩක්ට් ආයතනය මගින් සිදුකරන පරිසර දූෂනය හා ඉන් ජනතාව මුහුන දෙන සෞඛ්‍ය ප්‍රශ්න

*කම්හල් පාලකයන්ට මහජන ජීවිත නොතකා කම්හල් පවත්වාගන යාමට ඉඩකඩ ලබී ඇත්තේ කෙසේද?

*කම්හලේ වැඩකරන කම්කරුවන් මුහුනපා සිටින සූරාකෑමේ සේවා කොන්දේසි

*මාර්තු 16 දා මහජනයාට එරෙහි පොලිස් ප්‍රහාරයට වගකිව යුත්තේ කව්ද?

වැලිවේරිය ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව මෙම ප්‍රශ්නවලට අදාලව වාචික හා ලිඛිත සාක්ෂි ගොනුකර විමර්ශනයකට අනතුරුව ඒ පිලිබඳව වාර්තා ද නිගමන ද ඉදිරිපත් කරනු ඇත. මෙම පරීක්ෂනයට සහාය දීමට ඉදිරිපත් වන ලෙස කම්කරුවන්ගෙන් ප්‍රදේශවාසීන්ගෙන් මෙන් ම විශේෂඥ දැනුමක් ඇති වෘත්තීයවේදීන්ගෙන් ද ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව ඉල්ලා සිටී.

අප කමිටුව වැලිවේරිය ජල දුෂනයට ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමේ වගකීම හා මිලිටරි ප්‍රහාරයට අදාලව වැදගත් කරුනු ප්‍රදේශයේ වැසියන්ගෙන් හා තාක්ෂන දැනුමක් ඇති කොටස්වලින් ලබා ගෙන ඇත. ඒවා ඉදිරියේ දී ප්‍රසිද්ධ කෙරෙනු ඇත.

තුන්නාන පොලිස් ප්‍රහාරයට එරෙහි මහජන විරුද්ධත්වය මතුවන තත්වය තුල දී එක්සත් ජාතික පක්ෂය ද ජනතා විමුක්ති පෙරමුන ද ඒ පිලිබඳව විරුද්ධත්වය දැක්වීමට පුවත්පත් සාකච්ඡා කැඳවූහ. බස්නාහිර පලාත් සභා මැතිවරනය පැවැත්වෙන තතු තුල මෙම පක්ෂවල විරෝධය පෑම හුදෙක්ම ඡන්ද වාසි ඩැහැගැනීමට සිදුකෙරුනු ඒවා ය. මෙම පක්ෂ දෙකම මහ ව්‍යාපාරිකයන්ගේ වුවමනාකම් රැකීමට කැපවූ පක්ෂයන් ය.

වැලිවේරියේ දී මෙන්ම තුන්නාන ප්‍රදේශයේ ද කම්හලේ වැඩ කරන කම්කරුවන් හා ගැමියන් අතර භේදයන් ඇවිලවීමට සමාගම හිමියෝ තැත් කරති. එය සමාගම මහජනයා නොතකා කටයුතු කිරීම ආවරනය කර ගැනීමේ තැතක් මිස කම්කරුවන් වෙනුවන් අනුකම්පාවකින් කෙරෙන්නක් නොවේ. දුෂ්කර කොන්දේසි යටතේ වැඩකරන කම්කරුවන් බොහෝ දෙනා සූරාකැවෙන්නේ කොන්ත්‍රාත් පදනමේ තබා ගෙනය. කම්කරුවන් සමාගමේ මෙම උසිගැන්වීම් ප්‍රතික්ෂේප කල යුතු ය.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලෙන් නය ලබා ගෙන ආර්ථිකය යන්තම් ගැටගසා ගෙන යන්නාවූ බැරෑරුම් අර්බුදයකට මුහුනදී සිටියි. ආන්ඩුව ක්‍රියා කරන්නේ මහජන ජීවිත නොතකා ආයෝජකයන් දිරි ගන්වමින් ඔවුන්ගේ ලාභ ආරක්ෂා කර දීමටයි. ලාභ සුරා ගැනීම මත පදනම්ව ඇති ධනේශ්වර ක්‍රමය තුල කම්කරුවන්ගේ හා දුගී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කල නොහැක.

වැලිවේරියේදී මෙන්ම තුන්නානේදී ද පැහැදිලි වී ඇත්තේ, ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගම පරිසර දූෂනය හා ඉන් ජන ජීවිතයට සිදුවන බලපෑම නොතකා ක්‍රියාකරන අන්දම යි. ඒ වනාහී මෙම සමාගමට පමනක් සීමාවූ කරුනක් නොවේ. මෙලෙස කාර්මික පරිසර දුෂනය ලංකාවට පමනක් සීමාවී තිබෙන්නක් ද නොවේ. එය පලල්ව ලාබ හඹායන ධනපති ක්‍රියාකාරිත්වයෙන් පැන නංවා ඇත.

පසුගිය මාස කීපය තුල අවිස්සාවේල්ල රජයේ ආයතනයකට අයත් ටැංකියක ක්ලෝරීන් බටය පුපුරායාමෙන් වතුකම්කරුවන් සිය ගනනක් රෝහල් ගත කිරීමක් ද කැස්බෑවේ ඩීඑන්ඩී කම්හලෙන් ඇමෝනියා පිටවීමෙන් ගම්වැසියන්ට සිදුවූ බලපෑම ද ගාල්ලේ ඩීඑස්අයි කම්හල නිසා අවට ජනයා මුහුන දෙන ප්‍රශ්න ද වාර්තා විය. මේ ප්‍රසිද්ධ වූ වාර්තා පමනකි.

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ පරීක්ෂනය දියත් කරමින් සසප නිකුත් කල ප්‍රකාශයේ අපි මෙසේ සඳහන් කලෙමු:

"කාර්මික දූෂනය හේතුවෙන් ලොව පුරා වැඩකරන ජනතාවගේ ජීවිත විපතට පත්ව ඇත. චීනය, පකිස්ථානය, ඉන්දියාව හා බංග්ලාදේශය වැනි රටවල එවන් සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වේ. ඒවා ගෝලීය සංගතවල ප්‍රධාන ලාභ ශ්‍රම වේදිකාවන් ය. මෙය වනාහි නිරන්තරව ලාභය හඹා යාමේ ව්‍යායාමය වෙනුවෙන් වැඩකරන ජනතාවගේ මූලික අයිතීන් බිල්ලට දී ඇති සමාජ පර්යායක නිමැවුමකි".

මෙම තතු තුල ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් "සමාගමේ කටයුතු හෙලිදරව් කරන කම්කරු විමර්ෂනයක් පැවැත්වීම, සියල්ලන් සඳහා යහපත් ජීවන තත්වයන් ද හොඳ රැකියා ද සහතික කිරීමේ හා කාර්මික දූෂනය අවසන් කිරීමේ අරගලයෙහි පලමු වැදගත් පියවරක් වනු ඇත..." යි අපි පැවසුවෙමු.

හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් කම්හලෙන් ප්‍රදේශයේ මතුව ඇති පාරිසරික ප්‍රශ්න පිලිබඳව අප දියත් කරන පරීක්ෂනය මෙම අරගලයේ ම කොටසකි.

පරීක්ෂනය පිලිබඳව වැඩි විස්තර දැන ගැනීමට පහත සඳහන් ලිපිනයට ලියන්න:

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව,

716 1/1, කෝට්ටේ පාර,

ඇතුල්කෝට්ටේ,

කෝට්ටේ.

දුරකථන අංක: 2869239 /3096987

Share this article: